Print this Article


ප්‍රඥාව විකසිත කර ගැනීමට විවෘත වූ මාවත

ප්‍රඥාව විකසිත කර ගැනීමට විවෘත වූ මාවත

අධ්‍යාපනයෙන් හා තාක්‍ෂණයෙන් අප කොතරම් ඉහළ ගියද තවමත් මානව වර්ගයා අතර එකිනෙකාට වෛරකරමින් සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා පවතී. නවීන තාක්‍ෂණය මිනිසා අතර දුරස්ථබව නැතිකර තිබේ. එහෙත් ඒ සමීප බව එකිනෙකා තේරුම් ගැනීමට වඩා එකිනෙකා අවිශ්වාස කිරීමටත් එකිනෙකා විනාශ කරගැනීමටත් හේතු වී තිබේ.මෙනිසා ජාතින් අතර යුද ගැටුම් මෙන්ම වෙනත් අර්බුද රැසක් නිර්මාණය වී තිබේ. මෙම අසතුටුදායක තත්ත්වය වෙනස් කිරීමෙහිලා ලෝක ආගම් වෙත පැවැරෙන වගකීම විශාලය. අවිහිංසාව සිය මූලික ඉගැන්වීම කරගත් බුදුසමයට මේ සම්බන්ධයෙන් වැදගත් තැනක් හිමිවේ. සමාජයක් තුළ විවිධ මතවාද ඉගැන්වීම් මෙන්ම විවිධ විශ්වාස පද්ධතියක්ද තිබේ. බුදුරදුන් මෙම විවිධත්වය බුද්ධත්වයෙන් පළමු සතියේම දුටු ආකාරය අරියපරියේසන සූත්‍රයෙන් පැහැදිලි වේ. එහි දැක්වෙන පරිදි සමාජයේ පවතින විවිධත්වය නෙළුම්විලකට උපමා කෙරේ. නෙළුම්විලක විවිධ මට්ටමේ නෙළුම් මල් දක්නට ලැබෙන්නාක් මෙන් සමාජයකද විවිධ ගති ස්වභාවයන් සහිත පුද්ගලයන් දක්නට ලැබේ. ඔවුන් අතරින් ඇතමෙකුගේ හැසිරීම යහපත් වන අතර තවත් අයෙකුගේ හැසිරීම නරක වේ. එසේම ඇතැම් කෙනෙකු බුද්ධිමත් වන අතර තවත් අයෙක් අනුවණ වේ.මේ ආදි වශයෙන් චර්යාමය හා මානසික වශයෙන් මිනිසුන් අතර විවිධත්වයක් පවතී. මෙම විවිධත්වය නොපිළි ගන්නා සමාජයක නිරන්තරයෙන්ම ගැටුම් නිර්මාණය වේ. විවිධත්වය මෙන්ම තමන් දරන මතය හා දෘෂ් ටිය පමණක් සත්‍යය යන පිළිගැනීම නිසා දෘෂ් ටි ගතික වී එයට පටහැනි මත දරන හා පුද්ගලයන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය පතුරනු ලැබේ.ලොව සියලුම ත්‍රස්තවාදි සංවිධාන මෙන්ම ආගමික මූල ධර්මවාදය බිහි වී තිබෙන්නේ මෙම තත්වය වටහා ගත නොහැකිවීමේ හේතුවෙනි.බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මග පෙන්වීම මෙවැනි සමාජයකට බෙහෙවින් වැදගත්වේ.

මේ සම්බන්ධයෙන් වැදගත් වන සූත්‍රයක් උදාන පාලියේ ඡච්ඡන්ධ වග්ගයේ ඇතුළත් වේ. එහි ඇතුළත් වන පරිදි එක්තරා රජ කෙනෙකු තම රාජ්‍යයෙහි වාසය කළ ජාති අන්ධයන් රජ මිදුලට කැඳවා ඔවුන් අබියසට ඇතෙකු ගෙන්වාගෙන එම ඇතුගේ එක් එක් ශරීරාංග එක් එක් අන්ධයන්ට ස්පර්ශ කිරීමට සැළස්වීය.අනතුරුව ඔවුන්ගෙන් ඇතුගේ ස්වභාවය පිළිබඳ තතුවිමසීය. එහිදී ඔවුනොවුන් තම තමන් ඇතුගේ සිරුරේ ස්පර්ශ කළ ස්ථානය අනුව ඇතු පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලදී. මෙහිදී එක් අයෙකු කී දෙයට වඩා වෙනස් ප්‍රතිවිරුද්ධ අදහසක් තවත් කෙනෙක් ඉදිරිපත් කළහ. තම මතය හා දැක්ම නිවැරදිය සෙසු මතය හා දැක්ම වැරදිය යන අදහසෙහි පිහිටා ඔවුනොවුන් මහත් හඬින් වාද විවාද කළහ.මෙම උපමා කථාවෙන් පෙන්වා දෙන්නේ යම් මතයක් හෝ දෘෂ්ටියක් පරම සත්‍ය සේ පිළිගෙන එය සමස්තයට ආරෝපනය කිරීමට යාමෙන් ඇතිවෙන මතවාදි ගැටුමයි. මෙම සූත්‍රයෙහි දැක්වෙන ජාති අන්ධයන් ඇතාගේ එක් එක් ශරීර කොටස් ස්පර්ශ කිරීමෙන් දක්වන ලද මතය අර්ධ වශයෙන් සත්‍ය වේ.උදාහරණයක් වශයෙන් ඇතා කුල්ලක් වැනි යැයි කන අතගෑ ජාති අන්ධයෙක් ප්‍රකාශ කළේය.ඇතාගේ මුළු ශරීරයම ස්පර්ශ නොකොට එක් ප්‍රදේශයක් පමණක් අත ගෑ ඔහුගේ ප්‍රකාශය අර්ධ වශයෙන් සත්‍ය වේ. එහෙත් සම්පූර්ණ ඇතා කුල්ලක් වශයෙන් හඳුනාගැනීම වැරදිය.මේ ආකාරයට ඇතැම් මතවාද අර්ධ වශයෙන් සත්‍යවේ. එහෙත් එම අර්ධ සත්‍ය සමස්ත සත්‍ය බවට පත්කරන්නට උත්සාහ ගැනීමෙන් සිදුවන්නේ පුද්ගලාන්තර ගැටුම් නිර්මාණය වීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාව විකසිත කර ගැනීමට විවෘත වූ මාවතකි. බුදුරජාණන් වහන්සේ මෙන්ම බෞද්ධ ශ්‍රාවකයාද නෙළුමක් හා සමවේ.සමාජය නමැති මඩ ගොහොරු වෙන් ඉහළට ඇවිත් ලෝකය සමග ගැටුමක් නැතිව වාසය කරන්නෙකි. ප්‍රතීත්‍ය සමුත්පාදය, ත්‍රි ලක්‍ෂණ ධර්මය හා සමාජ සංස්කෘතික විවිධත්වය වටහාගත් ආර්ය ශ්‍රාවකයෙකුට ලෝකය සමග විවාදයක් නැත. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදි දේශනා කළේ උන්වහන්සේ ලෝකය සමග විවාද නොකරන බවත් එහෙත් ලෝකයා උන්වහන්සේ සමග විවාද කරන බවත්ය. ප්‍රඥාව අවදිකරගැනීමේ මාර්ගය පෙන්වා දෙන බුදුසමය හැමවිටම සමාජ ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගන්නේ සාකච්ඡාවය.ලෝක ආගම් අතරින් තම දහම ප්‍රචලිත කිරීම උදෙසා අවි ආයුධ හෝ ප්‍රචණ්ඩත්වය යොදා නොගත් එකම දහම වන්නේ බුදුසමයයි.මෙම දහම අනුගමනය කරන බෞද්ධ ශ්‍රාවකයාද තමා වෙසෙන අවට ලෝකයේ තිබෙන ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කරගැනීම උදෙසා අනුගමනය කළ යුත්තේ බෞද්ධ විධි ක්‍රමයයි. එනම් සාකච්ඡාමය ක්‍රියා මාර්ගයයි.බෞද්ධයා ප්‍රඥාවන්තයෙකු හෙයින් දුරදක්නා නුවණින් ක්‍රියා කරන්නෙකි. නාමිකව අප බෞද්ධයැයි කීවද එයින් දහමට හෝ සසුනට සිදුවන යහපතක් නොමැත.අප බෞද්ධ යැයි හඳුන්වාදුන්විට බෞද්ධ බවේ අනන්‍යතාව අපගෙන් ප්‍රකට විය යුතුයි. එසේ නොවුන විට බෞද්ධ අප හා අබෞද්ධයන් අතර අනන්‍යතාවක් ප්‍රකට නොවේ. ගැටලු විසඳාගැනීමේදි මෙය අපගේ අවධානයට යොමු කළ යුතු එක් වැදගත් කරුණකි. එබැවින් බෞද්ධයන් විසින් සමාජ ප්‍රශ්න විසඳිය යුත්තේ බෞද්ධ පිළිවෙතට අනුවයි.

විවේචන අභියස දී කෝපයටත් ප්‍රංශසාවේදී උද්දාමයටත් පත් නොවී විවේචනය මෙන්ම ප්‍රසාදය සත්‍ය මත පදනම් ව සිදුවන්නක්දැයි ප්‍රඥාවෙන් සොයාබලා කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසට දේශනා කළහ.මේ වනාහි ගැටලු විසඳීමේ බෞද්ධ පිළිවෙතයි. එසේ නොමැතිව ක්‍රියාකිරීමෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට තවදුරටත් වාසිය අත්පත්කර දීමක් වන අතර ඔවුන්ගේ ප්‍රකාශන සත්‍ය බවට පත්කිරීමක්ද වේ. ඉවසීම හා විචක්ෂණශීලි වීම ප්‍රඥාබවේ ලක්ෂණයයි. බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේගේ දෘෂ්ටිය අන් අය වෙත තහවුරු කළේ ප්‍රඥාව උපයෝගි කරගෙනය.මේ සඳහා එක් නිදසුනකි.තුන් බෑ ජටිලයන් දමනය කිරීම, ප්‍රතිවාදියාගේම ආරාමයේ වෙසෙමින් ඔහුගේ කාරුණික සත්කාර ලබමින් ඔහුගේ සාවද්‍ය දෘෂ්ටිය බැහැර කිරීමෙහිලා බුදුරදුන් ක්‍රියා කළ අයුරු වර්තමානයටද ආදර්ශ කරගත හැකිවේ.අවි ආයුධ භාවිතයෙන් හා කිසිදු බලපෑමකින් තොරව අවසානයේදි උරුවේල කාශ්‍යප විසින් ‘තමා තරම් රහත් කෙනෙක් නොවේයැයි (නෙÀව චඛො අරහා යථා අහංති) “ යනුවෙන් දැරූ මතයෙන් ඔහු බැහැර කොට සත්‍යයෙහි පිහිටුවීම සිදුකළේ බුදුරදුන්ගේ මහා ප්‍රඥාවේ බලමහිමයෙන්ය. ආලවක දමනය මගින් පෙන්වා දෙන්නේ ලිහිල්ව ක්‍රියා කළ යුතු තැනදි ලිහිල්වත් දැඩිවිය යුතුතැනදී දැඩිවීමත්ය. එහෙත් එම දැඩිවීම කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය ප්‍රකට කිරීමක් නොවේ. ආලවක සූත්‍රය අවසානයේ දැක්වෙන බුද්ධිමය සාකච්ඡාව මගින් සාවද්‍ය මතවාදය පරාජයට පත්කිරීමේ ක්‍රමවේදය පැහැදිලි වේ.

ගැටලු විසඳීමෙහිලා බුද්ධිමය සාකච්ඡාවේ ඵලදායිත්වය පවතින්නේ ඉවසීමෙන් යුක්තව සවන් දීමේ හැකියාව මතය. තම ගැටලුවට විසඳුමක් සොයමින් විවිධ ශාස්තෘවරුන් සොයාගිය සභිය පරිබ්‍රාජක තරුණයාට එම ශාස්තෘවරු තම ගැටලුවට විසඳුම ලබා දීම තබා එය ඇසීමටත් සූදානම් නොවූ අවස්ථාවකදි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එම සභිය තරුණයා උන්වහන්සේගේ සවන්දීමේ ගුණය පිළිබඳ ප්‍රසාදයට පත්ව ප්‍රකාශ කළේ තම ගැටලුවට සවන්දීමට බුදුරජාණන් වහන්සේ කැමැත්ත දැක්වීමෙන්ම එම ගැටලුව විසඳුනු බවයි. (සුත්තනිපාත සභිය සුත්ත) ප්‍රඥාව අවදි වන්නේ සාකච්ඡාවතුළින් බව (සාකච්ඡාය භික්‍ඛවේ පඤ්ඤාවේදිතබ්බං) බුදුසමයේ ඉගැන්වීමයි. කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවෙන් විවිධ අදහස් ඉදිරිපත් වේ. එවිට වඩාත් ඵලදායි විසඳුම පහසුවෙන් වෙන්කර ගැනීමේ හැකියාව පවතී.මෙම ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ මෙන්ම ශ්‍රාවක පිරිසද අනුගමනය කළ අයුරු සූත්‍ර හා විනය දේශනාවලින් පැහැදිලිවේ. ගැටලු විසඳීමේ නිවැරදි ක්‍රමය වන්නේ සාකච්ඡාවයි.මෙය බුදුසමය වැනි ශ්‍රේෂ්ඨ චින්තනයක් අනුදත් පිළිවෙතයි.