Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය-38 අපවත්වී වදාළ රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය-38

අපවත්වී වදාළ රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ

මේ යුගයේ සම්බුද්ධ ශාසනයේ සංඝ සමාජය සුපෝෂිත කළ, සුපුෂ්පිත කළ, සුගන්ධවත් කළ, සුපටිපන්න ගුණ සහිත, භික්‍ෂූන් වහන්සේ නමක් සතු විය යුතු සකළ ගුණාංගයන් ගෙන්ම පරිපූර්ණ වූ දසක දහයක දිගු සුචිත්‍ර දිවියක අවසාන නිමේෂය සෙමෙන් සෙමෙන් පැමිණෙමින් පැවතියේ ය.

මෙවන් සංඝෝත්තමයාණන් වහන්සේ නමකට උපස්ථාන කිරීමට යම් අයකුට අවස්ථාවක් සැලසෙන්නේ නම් එය ඒ උපස්ථායකයාට ලැබිය හැකි ඉමහත් භාග්‍යයකි. එදා රේරුකානේ මහා නා හිමියන්ගේ උණුසුමෙහි පවනැල්ලක් වත් නො වදින සමීපයේ නො වුණු ගම් දනව් සිය ගණනක් ඈතකින් සිටිමින් වුවද කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ඇදහුවේ උන්වහන්සේගේ ගුරු උත්තමයාණන් වහන්සේ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් වශයෙනි. ධම්මානන්ද හිමියන් භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත් වූයේ රේරුකානේ මහා නා හිමියන්ගේ ධර්ම ග්‍රන්ථ කියැවීමෙන් ලද උද්දාමය නිසාය. විශේෂයෙන් ‘ශාසනාවතරණය’ කියැවීමෙන් ශාසනාවතරණය කිරීමට සිත පෙළඹුණේය.

ගුරුවරයා ගෝලයාව දැක නොතිබුණද ගෝලයා එම විශිෂ්ට ධර්ම ග්‍රන්ථ තුළින් ගුරුතුමාව දුටුවේය. එසේ තමාට මහණ දම් පිරීමට සිතක් පහළ වූ කුසල කර්මය නිසාම තම ගුරු දේවයන්ට කෘතගුණ සැලකීමට ධම්මානන්ද හිමියන් පෙළඹුණේ කිසිවකු බල කළ නිසා නොව තම යුතුකම වගකීම නොපිරිහෙළා ඉටුකරන්නයැයි තම සිත විසින් තමාට බලකල නිසාය.

මේ පිළිබඳව මහා නා හිමියෝ හාන්කවිසියකවත් දැන නො සිටියහ. කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් චන්දවිමල මහා නා හිමියන්ගේ ශිෂ්‍යයකු බවට පත්වන්නේ අහඹු ලෙස දෛවඥ විසින් ලියා තැබූ සිදුවීමක් පරිද්දෙනි. ඒ වන විට ගුරු හිමියන් වියපත්ය. භෞතික වශයෙන් කිසිවකුත් දිය නොහැකි ශරීර සෞඛ්‍යයද පිරිහෙමින් පැවැති කාලයේ ධම්මානන්ද හිමියන් මහා නා හිමියන් වෙත පැමිණෙන්නේ උතුම් සිතිවිල්ලක් පෙරදැරි කර ගනිමින් ඇප උපස්ථාන කිරීමේ ඒකායන අරමුණින්මය.

තම සබ්බ සකල මනාවම දරුවන් වෙනුවෙන් දායාද කළ දයාබර පියාණන්ද, වැදූ මවද පිළිකන්නට තල්ලුකර දමන ඇතැම් ඇත්තන් සිටින සමාජයක් තුළ ධම්මානන්ද වැනි වූ භික්‍ෂූන් වහන්සේලා සැරියුත් මුගලන් මහ රහත් උත්තම සංඝ පරපුරෙහි ආනන්ද මහරහතන් වහන්සේලාගේ භූමිකාව ශෝභාවත් කළ සංඝරත්නයන්මය. දෘෂ්‍ය පථයේ නො ඉඳිමින් ධර්මාවබෝධය ලබා දුන් ගුරු පියාණන්ට මේ බුද්ධ පුත්‍රයාණෝ කෙළෙහිගුණ සැලකීමට තම උපන් ගම් බිම ද හැර දමා ගම් නියම්ගම් පසු කරමින් ආගන්තුක ගමක ආගන්තුක විහාරස්ථානයකට පැමිණියහ.

ඒ නිසාම මහා නා හිමියන්ගේ දිවිමගේ අවසාන මොහොතේද ධම්මානන්ද හිමියෝ උන්වහන්සේගේ සමීපයේම වැඩ සිටියහ.

අනියත දිවියේ නියත මරණයේ අවසන් ගමන් පථය ඉමේ මහා නා හිමියෝ කුඩා සයනයේ සැතපී සිටිති.

කයෙන් හෝ වචනයෙන් - සිතිවිල්ලෙන් යම් හෝ සුළු වැරැද්දක් වත් වූයේද එය කමා කර ගැනීමට කාලය පැමිණ තිබේ. ධම්මානන්ද හිමියන්ගේ ස්වරය ශෝකාකූලය.

‘නායක හාමුදුරුවනේ අප අවුරුදු 17ක් තිස්සේ හැකි පමණින් ඔබ වහන්සේට උපස්ථාන කළා. ඒ කාලයේ නායක හාමුදුරුවන්ට අපේ අතින් වැරදි සිද්ධ වුණා වෙන්නට පුළුවන්. එසේ අප අතින් වරදක් සිදු වුණේ නම් මට අනුකම්පා කර සමාවන සේක්වා!’ එසේ ධම්මානන්ද හිමියන් වදන්පෙළ එකතු කරගත්තේ දැනෙන චිත්ත පීඩාවත් සමඟ මහත් අපහසුවෙන් විය හැකිය.

එසේ පවසා වැඳ නමස්කාර කර අවසන් වශයෙන් ද මහා නා හිමි පාණන් වහන්සේගෙන් සමාව ඇයදී ය.

එහෙත් මේ මොහොතේ. ගුරු දේවයාණන්ට ගෝලයාට ආශිර්වාද කිරීමට, නැඟී සිටින්නට නො හැකිය. ‘සුවපත් වේවා!’ යැයි කෙටි වදනකින් හෝ ප්‍රාර්ථනයක් කිරීමට වත් මුව හැසිරවීමට නො හැකිය. එහෙත් සමාව අයැදු බව තවමත් අවදියෙන් පසු වූ සිතට දැනෙන්නට ඇත.

ඒ මොහොතේ හිස පිරිමැද ආශිර්වාද කිරීමට නො හැකි වුවද අවසානයේ කළ හැකිව තිබූ එකම දෙය වූ සෙමෙන් හිස සළා දැක්වූ ප්‍රතිචාරය තුළ සිසු පුතනුවන්ගේ හිස පිරිමැද කළා වැනි සුබ ප්‍රාර්ථනාවන් පෙළක් ගොනු වී තිබෙන්නට ඇත.

‘දැන් මා නායක හිමියන්ට පිරිත් කියනවා ‘ යැයි පැවසූ විටද හිස සළා එයට අනුමැතිය ප්‍රකාශ කළහ.

වසර 17ක් තිස්සේ මහා නා හිමියන්ගේ ශීල සුගන්ධය වින්දනය කරගත් උණුසුමෙන් පෝෂණය වී ධම්මානන්ද හිමියන් මහා නා හිමියන්ගේ ළය සුමුදුව සෙමෙන් පිරිමදිමින් තම අධ්‍යාත්මය පුරවා ගත් ගුරු සෙනෙහසේ පිවිතුරු උණුසුම හදවතින් අත්ලට රැගෙන ඒ ළයාන්විත ළය මත තවරමින් පිරිත් සජ්ඣායනා කරන්නට විය. මෙම පිරිත් සජ්ඣායනය අඛණ්ඩව රාත්‍රී 8 පමණ වනතුරු පැවතුණි. ඒ වෙලාවේ සුදස්සි හිමියන්ද නැවත පැමිණ “හාමුදුරුවනේ ඔබ වහන්සෙට මහන්සි නම්” මා පිරිත් කියන්නම් කියා පැවසීය.

නොකඩවා පිරිත් කීම නිසා උගුරකට වියළී පිපාසය දැණුනු බැවින් එයට අනුමැතිය දී ධම්මානන්ද හිමියන් වතුර ටිකක් බීමට ගොස් ඉක්මනින් නැවත පැමිණියේය.

දැන් සුදස්සී හිමියෝ පිරිත් කියති. ධම්මානන්ද හිමි නායක හිමියන්ගේ පපුව පිරිමදියි. ඒ මොහොත වන විට නායක හාමුදුරුවන්ගේ තත්ත්වය තව තවත් දුර්වල අතට හැරෙමින් පවතින බව දැනෙන්නට විය. ඒ නිසාම ධම්මානන්ද සහ සුදස්සී හිමිවරු දෙදෙනාම එකතු වී පිරිත් සජ්ඣායනා කළහ. වේලාව රාත්‍රී 8.30 ට පමණ විය. පරිසරය අඳුර විසින් ගිල ගෙනය. ඊට එරෙහි වු තාක්‍ෂණික මිනිසා සොබා ධර්මය රැගෙන එන රාත්‍රි අඳුරට අභියෝග කළේ විදුලි ආලෝකය සොයා ගැනීමෙනි.

අවසාන නිමේශයේ අප කවුරු කවුරුත් හෙළන අවසාන හුස්ම පොද වාතලය හා මුසු වුවද අනන්ත වු වාතලයට නම් එය කිසිසේත්ම දැනෙන්නට ඉඩක් නැත.

එහෙත් මේ අසහාය සංඝ පීතෘවරයාණන් හෙළන හුස්ම පොද වාතලයට දැනී කම්පාවට පත්වූ නිසා අඛණ්ඩව ගලායන විද්‍යුත් තරංගයන් ද කම්පනය වී ඛණ්ඩනය වූවා විය හැක. ඒ නිසා විදුලි ආලෝකය නැතිවී ප්‍රදේශයම අඳුරෙන් වැසී ගියේය. එහෙත් විනාඩියකින් පමණ නැවත විදුලි ආලෝකය ලැබුණි.

මේ වන විට බොජ්ඣංග පිරිත් ආදිය කියා ධම්මචක්ක පවත්තන සූත්‍රය සජ්ඣායනා කිරීම ආරම්භ කර තිබුණි.

වාතලයද කම්පිත කරමින් ඉතා හැඟුම් බර ස්වරයෙන්ද ධම්සක් පැවැතුම් සුතුර සජ්ඣායනා වෙමින් යුග පිරිත ඇදී යයි. රේරුකානේ මහා නා හිමියන්ගේ ගන්ධකුටිය දැන් පිරිත් මණ්ඩපයකි. ඉතා තීරණාත්මක මෙවන් හැඟුම් බර මොහොතක දැන් දම්සක් පැවතුම් සූත්‍රය සජ්ඣායනා කෙරෙන්නේ තම ගුරුදේවයන් වෙනුවෙන් ගෝලයකුට අවසානයේ දිය හැකි එකම වටිනාම තිළිණය මහත් ඵල සහිත පිරිකරක් පරිදදෙනි. එය අධ්‍යාත්මීය සංවේදී ප්‍රකාශනයකි.

එදා සම්බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් වෙනුවෙන් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන විට භුමි නිශි‍්‍රත දෙවියෝ සාධු කාර දුන්නේ ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයේ අන් කිසිවකු විසින් හෝ නො පැවැත්විය හැකි ධර්ම චක්‍ර පවත්වන ලදැයි කියාය.

භූමි නිශ්‍රිත දෙවියන්ගේ සාධුනාදය අසා සදෙව්ලොව දක්වාද අකනිටා බඹලොව දක්වාද මේ සුමධුර නාදය නින්නාද වී මේ තුන්ලෝකයම සාධු! සාධු! මිහිරි නදින් පිරී ගියේය. සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් තම අනුගාමිකයන් වෙනුවෙන් දේශනා කළ ධර්මය දැන් මේ බුද්ධ පුත්‍රයන් දෙදෙනා සජ්ඣායනා කරන්නේ තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මාලෝකය ලෝකය පුරා විහිදුවා හැරියා වූ ගුරුදේවයාණන් වහන්සේ වෙනුවෙනි.

ධම්මචක්ක පවත්තන සූත්‍රයේ නිවන් මඟ විස්තර කරන ආර්ය අෂ් ඨාංගික මාර්ගය සජ්ක්‍ධායනා කරමින් යුග පිරිත් ඇදී යන මොහොතේ රාත්‍රී 8.45 පමණ වන විට රේරුකානේ චන්දවිමල නම් වූ මහෝත්තමායණන් වහන්සේ සියක් වසක ආයු කාලය නිමාකර අවසාන හුස්ම පොද වාතලයට මුසු කළ සේක.

මතු සම්බන්ධයි.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය-37 සසල නොවූ නිසල මනස