Print this Article


සීල විසුද්ධිය 9 කොටස සේඛබල පුරුදු කිරීම තුළින් සීල විසුද්ධියට

සීල විසුද්ධිය 9 කොටස

සේඛබල පුරුදු කිරීම තුළින් සීල විසුද්ධියට

අප විශ්වාස කරනවා ඔබ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමින් තමන්ගේ විමුක්තිය සොයා ගැනීමට කැමති අය කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇසුරට පිවිසෙන්නේ කොහොමද කියන කාරණේ තමයි පසුගිය පරිච්ඡේදවල දී දිගින් දිගටම විස්තර කරමින් සිටියේ. එහිදී අප කතා කළා සීලය පිරිසුදු කර ගැනීමට විශාල කල්පනාවකින්, වෑයමකින්, නුවණකින් කටයුතු කළ යුතුයි කියා.

එහෙම නැත්නම් අප සමාදන් වූ සිල් පදයන් සිතේ පිරිසුදු භාවය පිණිස භාවිතා නො කර ඒ ඔස්සේ දන්නේ ම නැතිව මාන්නය හදා ගන්නවා. එහෙම වුණොත් අපට භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමාදන් වූ සිල්පද තුළින්, ඉගෙන ගත් යම් ධර්මයක් තියෙනවා නම් ඒ තුළින්, අපේ සිත පිරිසුදු වෙන වැඩපිළිවෙලට ප්‍රවිෂ්ට වෙන්නේ කොහොමද කියන කාරණාව හොඳින් ඉගෙන නොගත්තොත්, අපට ඒවා හොඳින් පුරුදුකර ගන්ට බැරිව යනවා.

එකිනෙකා කෙරෙහි ගරුසරුභාවය ඇතිව එකට වාසය කරන පිරිස ඇසුරු කරන්ට පුරුදු වුණොත් අන්න ඒක අපට සීලය පිරිසුදුකර ගැනීම පිණිස උපකාරී වෙනවා. සීලය පිරිසුදු කර ගන්නවා කියන එකෙන් අදහස් කළේ සීලය යළි අපිරිසුදු නො වන විදියට පිරිසුදුවීම යි. අපි යම් සීලයක් සමාදන් වුණාම, ඒ සීලය මුල්වෙලා උපදින කුසල් හේතු කරගෙන අපි සුගතියේ උපදිනවා. නමුත් ඒ කුසලය ගෙවිල අවසන් වෙලා යනකොට සුගතියේ ඉන්ට බැරිව පහතට වැටෙනවා නම්, ආපසු දුගතියේ ඉපදෙනවා නම් ඒ සීලයෙන් ඇතිකර ගත්තා වූ දියුණුව ප්‍රමාණවත් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය නොමැති කාලෙත් ඇතැම් අය සීලය පුරුදු කළා. ඒ හේතුවෙන් සුගතියේ ඉපදුණා. ඒ සීලය මඟින් ඉපදුණා වූ යම් කුසලයක් ඇත්නම් ඒ කුසලය ඉවර වුණාම ආයෙම දුගතිගාමී වුණා. ඒ වගේම තමයි, ඇතැම් අය ඒ සීලය මුල්කරගෙන සමාධියක් ඇතිකර ගත්තා. එයින් ඔවුන් සුගතිගාමී වුණා. ඒ සීල, සමාධි මුල් කරගෙන යම් කුසල් ඉපදුණා නම් ඒ කුසල් ඉවර වුණාම ඒ අය නැවත දුගතිගාමී වුණා.

එනිසා පැවිදිවීමෙන් ම හෝ ශාසන කටයුතු කරනවා කියලා හෝ එසේ වූ පමණින් ම නිවන් මඟට පැමිණෙන්නේ නැහැ. අප ඒ බ්‍රහ්මචරිය හඳුනගන්න ඕන. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා කෙනෙක් බ්‍රහ්මචරිය හඳුනගත්තා නම් එයාට බ්‍රහ්මචරිය පුරුදුකිරීමේ අවස්ථාව තිබෙනවා. බ්‍රහ්මචරිය හඳුනා නො ගත්තොත් ගිහි අයටත් පැවිදි අවයටත් පිහිටක් පිළිසරණක් නැහැ..එහෙනම් අප මාර්ගය හරියට නො දැන යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් කටයුතු කළත් අපට එමඟින් නිවැරදි ප්‍රතිඵලය නෙවෙයි ලැබෙන්නේ.

ප්‍රතිඵලය වගේ දෙයක්. සමහර අය මාර්ගය නො දැන සමාධිය පුරුදු කරන්නට කල්පනා කරනවා. ඇතැම් විට යම් සමාධියක් ලැබෙයි. නමුත් මාර්ගය මඟින් ලැබෙන සමාධිය ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ ලැබුණු සමාධියකින් මත්වෙලා අහංකාර වෙලා තමාව හුවා දක්වමින්, අන් අය හෙළා දකිමින් කටයුතු කර මහා කළබැගෑනියක් කරනවා. ඒ තුළින් පිරිස අතර සමඟිය, හිතවත්භාවය, කීකරුභාවය, අවංකභාවය පිණිස කටයුතු කිරීමක් නැති නිසා පිරිස අතර කැළඹිලි හට ගන්නවා.

යම් කෙනෙක් නිවන් මඟ පුරුදු කරනවා නම් ඔහු හේතුකොට ගෙන ඔහුගේ ක්‍රියාකාරකම් හේතුකරගෙන පිරිස අතරේ කැළඹිලි හට ගැනීමක් සිදු නොවිය යුතුයි. ඔහු සංසිඳීම පිණිස කටයුතු කරන සංසිඳීම සමාදන් කරවන, සංසිඳීමට උපකාරවන විදියේ දේවල් පිරිසට කියා දෙනවා.

අතීතයේ එක්තරා අවස්ථාවලදී සඟ පිරිස අතර කලබල ඇතිවුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිරිස සංසිඳවන්න නොයෙක් ආකාරයෙන් කටයුතු කළා. අන්තිමට පිරිස මොකද කිව්වේ...? “භාග්‍යවතුන් වහන්සේ විවේකෙන් වැඩ සිටිත්වා! අප අපේ ප්‍රශ්න විසඳ ගන්නම්....” කියා. භාග්‍යවතුන් වහන්සේ නිහඬවම වනාන්තරයට වැඩම කළා. සංසිඳීමට කැමති, සංසිඳීම හඳුනාගන්නා වූ පිරිස සංසිඳවන්න කටයුතු කරනවා. වෑයම් කරනවා. ඒ පිරිස සංසිඳෙන්නේ නැත්නම්, සංසිඳෙන වැඩපිළිවෙලක නියැලෙන්නේ නැත්නම් ඒ වෑයම අසාර්ථකයි. ඒ වෑයම හේතුකරගෙන තවත් විපත් කර ගනියි කියා තේරුණොත් ඒ අය එතැන ඉන්නේ නැහැ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය. ඒ නිසා අප නිවන් මඟ හඳුනාගෙන, සංසිඳීම ඇතිවන ප්‍රතිපදාව පුරුදුකළ යුතුයි.

අප කිව්වේ සීලය පිරිහෙන්නේ නැති විදියට පිරිසුදු කර ගැනීමට තමයි අපි කල්පනා කළ යුත්තේ කියන කාරණාවයි. ඒක තමයි ශාසනයකින් පිහිට පිළිසරණ ලබනවා කියල කියන්නේ. එහෙම නැත්නම් සිල් පද ටිකක් සමාදන් වෙලා, ඒ ගැන කියාගෙන ගිහින් අන් අයව හෑල්ලුවකට ලක් කිරීමක් නෙවෙයි. ශාසනය කියා කියන්නේ. යම් කෙනෙක් යම් සමාධියක් උපදව ගන්නවා. ඒ සමාධිය මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අන් අය හෙළා දකිනවා. පිරිස කැළඹීමට පත් කරන, සංසිඳීම, සමඟිය, එකමුතුභාවයට කැළලක් වන ආකාරයට කටයුතු කිරීම ශාසන ප්‍රතිපදාව නෙවෙයි. එහෙම වෙන්නේ ශාසනයේ යම් ප්‍රතිපදාවක් තියෙනව නම් ඒ ප්‍රතිපදාව අනුගමනය නො කිරීමෙන්. නො මඟින් යමක් ගන්ට වෑයම් කරපු කෙනෙකුට මොනව හරි ලැබෙනවා. නමුත් මාර්ගයෙන් යමක් ගන්න කටයුතු කරන කෙනාට හරි දේ ලැබෙනවා. අපි හිතමු, කෙනෙකුට කොළඹට යන්න ඕන. එයා තව කෙනෙකුගෙන් පාර අහගන්නෙත් නෑ කියල හිතමු. එයා කොහේ හරි පාරකින් යනවා. ‘මට හොයා ගන්න පුළුවන්... පාරවල් තියෙනවා නම්, වාහන තියෙනව නම් යන්ඩ බැරියැ’ කියල යනවා. මෙහෙම යනකොට එයාට මොකක් හරි නගරයක් හමුවෙනවා. එයා හිතනවා මම කොළඹ ගියා කියලා. එයා ඇවිල්ලා කියනවා ‘මම කොළඹට ගියා කියලා. නමුත් ඒක නෙමෙයිනේ ක්‍රමය. එයා මීට පෙර කොළඹට ගිය කෙනෙකුගෙන් කොළඹ කියල නගරයක් තියෙනවා.... ඒකට යන්නේ කොහොමද? කියල හරියට පාර අහගන්න ඕන. එතකොට කියනවා මෙන්න මේ පාරේ යන්න. එහෙම යන කොට මෙන්න මෙහෙම නගරයක් හම්බවෙනවා එතැනින් හරවන්න කියලා. ඔහු ඒ මග යනකොට තැන් තැන් වල මඟ සළකුණු තියෙනවා. ඒ මඟ සළකුණු ඔස්සේ යන නිසා කිසි අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. නමුත් නො මගින් ගිය කෙනා පිරිස කළඹනවාම යි. ඇයි එයා දන්නේ නෑනේ කොළඹ. ‘ඔහේ නෙවෙයි කොළඹ තියෙන්නේ එන්න මෙහෙට... මම ගිහින් තියෙන්නේ’ කියනවා. ඒ නිසා මග තියෙද්දී නොමගින් කටයුතු කරන්න ගියාම පිරිස කැළඹෙනවා.

ඒ වගේම අප ලෝකයට වගකීමක් ඉටු කරන්න කල්පනා කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාළ මේ ශාසනය තියෙන්නේ අන් අයගේ හා තමාගේ ප්‍රයෝජනය පිණිස. ඒ නිසා මේ ශාසනයට හානි නොවන විදියට පවත්වාගෙන යාම අපේ වගකීමක්. ශාසනය කියල කියන්නේ ප්‍රායෝගිකව පුරුදු කිරීමක්. අප ඒ පුහුණු කිරීම හරියට හඳුනගන්න ඕන. ඒකයි ශාසනයේ ඉන්න අයට ‘සේඛ, අසේඛ’ කියා කියන්නේ. අප කටයුතු කළ යුත්තේ පුහුණු වන අය (සේඛ අය) විදිහට යි. ශාසනයේ පුහුණු කරන වැඩ පිළිවෙලක් නේද තියෙන්නේ? ඒ පුහුණු කිරීමේ වැඩපිළිවෙල නිසියාකාරව දැන ගත්තේ නැත්නම්, තමනුත් කැළඹිලා, අන් අයවත් කළඹන අය බවට පත්වෙනවා. එනිසා අප භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දුන් පුහුණු වැඩපිළිවෙල, මනුස්සයා පිරිසුදුභාවය කරා පමුණුවන පිළිවෙල හඳුනගෙන පුරුදුකර ගන්ට ඕන. ඒ තුළින් නැවත පහතට නො වැටෙන ආකාරයට සීලය පුරුදු කර ගත යුතුයි. ඒකට තමයි ‘සීල විසුද්ධිය’ කියලා කියන්නේ. ඒ ආකාරයට සීලය පිරිසුදුවෙලා යන්නේ ‘සේඛ බල’ පුරුදු කිරීමෙන්.

සේඛ බල ඇතිකර ගැනීම පිණිස එකිනෙකාට ගරුසරුව ඇතිව වාසය කරන්ට ඕන. එකිනෙකා ගරුසරුව ඇතිව වාසය කිරීම නිසාමයි පිරිස සංසිඳීමෙන්, වත් පිළිවෙත් ආදිය සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා ‘පින්වත් මහණෙනි, සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි යටහත් පැවතුම්, ගරුසරු තියෙනවා නම් ඒ භික්‍ෂුව තුළ ආභිසමාචාරික ධර්මයන් පරිපූර්ණ වෙනවා කියන කාරණාව සිද්ධ වෙන දෙයක්. ආභිසමාචාරික ධර්මයන් පරිපූර්ණ වන විට සේඛ ධර්මයන් පරිපූර්ණ වෙනවා කියන කාරණාව සිද්ධ වෙන දෙයක්. සේඛ ධර්මයන් පරිපූර්ණ වන විට සීලය පරිපූර්ණ වෙනවා කියන කාරණය සිද්ධ වෙන දෙයක්. සීලය පරිපූර්ණ වෙන විට සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙනවා කියන කාරණය සිද්ධ වෙන දෙයක්.”

එසේ වත් පිළිවෙත් කිරීම තුළ එකිනෙකා කල්‍යාණ යහළුවන් බවට පත්වෙනවා. ඒ කල්‍යාණ යහළුවන් සියලු දෙනා කල්‍යාණ මිත්‍රයාට නැඹුරු වූ අයයි. අප එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව, එකිනෙකාගේ ගුණ මෙණෙහි කරමින් වාසය කරන විට කෙනෙකුගේ අඩුපාඩුවක් දුටුවම අනුකම්පාව උපදවාගෙන එය සකස් කර ගැනීමට උපකාර කරන්ට හිත නැමෙන අය බවට පත්වෙනවා.

කල්‍යාණ යහළුවන් කියල කියන්නේ යහපත් දේම පුරුදු කරන, යහපත් දේම ප්‍රකාශ කරන, යහපත් දේම සමාදන් කරවන, යහපත් දේම ප්‍රශංසා කරන, යහපත් දෙයින්ම සතුටුවන පිරිසයි. ඒ නිසා ඔබලාත් කල්‍යාණ යහළුවන් බවට පත්වීම තමයි සුදුසු. එවිට ඔබ සියලු දෙනා එකිනෙකා කෙරෙහි ගරුසරුව ඇතිව වාසය කරයි. ඔහු ළඟත් සීලයක් තියෙනවා. එයා සීලයට කැමති කෙනෙක්. එහෙනම් ඔහුගේ ඒ සීලය පුරුදු කරන්න තියෙන කැමැත්තට, ඔහු සමාදන් වූ සීලයටත් අප ගරු කළ යුතුයි. ඔහුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. යම් හෝ ශ්‍රද්ධාවකින් තමයි ශාසනයට ආවේ. එහෙනම් අප ඒ ශ්‍රාවකත්වයට, ඔහුතුළ ඇතිවන ශ්‍රද්ධාවට ගරු කළ යුතුයි. යහපත් වූ සියලු දෙනාට ගරුකළ යුතුයි. සියලු දෙනා තුළම යම් හෝ ශ්‍රද්ධාවක් තියෙනවා. එහෙනම් ඒ සියලු දෙනාටම ගෞරවයට හිමිකමක් තියෙනවා.

ඒ නිසා අපි සියලු දෙනාටම ඉතාම සෙනෙහසින් සෙත් පතන්න කැමතියි, හැමදෙනාටම තමන් සමඟ එකට වාසය කරන අය ගැන ගරුසරුභාවය උපදවාගෙන මෛත්‍රියෙන් යුතුව සීලය පරිපූර්ණ කර ගැනීමටත් දුර්ලභ වූ භාග්‍ය උදාවේවා!

නයනා නිල්මිණි


සීල විසුද්ධිය 8 කොටස බඹසරට නුසුදුසු දේ ඉගෙන ගත යුත්තේ ධර්මය තුළින්මයි