UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව

මෙහි පළමු කොටස පොසොන් පුර පසළොස්වක පත්‍රයේ පළවිය

හේ කාම රූප අරූප යන ත්‍රිවිධ භවයන්හි කල කිරීමටත් නොඇලීමටත් ඒවයි නොපැවැත්මටත් පිළිපන්නේ වේ. හේ පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව ක්‍ෂය කිරීමටත් භවලෝභය හෙවත් භවාසාව දුරලීමටත් පිළිවෙත් පුරයි. හේ මරණින් පසු එක්තරා දේව සුද්ධාවාසයක නිකායක උපදියි. ඔහු එම දේව නිකායෙන් චුතව (අනාගාමීව) යළිත් මිනිසත් බවට නොයෙන්නෙක් වේ. ඇවැත්නි, මොහු යළිත් මිනිස් බවට නො පැමිණෙන අනාගාමී වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයා වේ. යයි වදාළහ.

සැරියුත් හිමියන්ගේ දේශනාව නිම වූ පසු ඒ ධර්මය ශ්‍රවණය කළ සමඟින් ඇති බොහෝ දෙවතාවෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට මෙසේ කීහ. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්ත හිමියෝ පූර්වාරාමයේ දී භික්‍ෂූන්ට අජ්ක්‍ඛත්ත සංයෝජන ඇති පුද්ගලයා හා බහිද්ධා සංයෝජන ඇති පුද්ගලයා යන දෙදෙනා පිළිබඳව ධර්ම දේශනාවක් සිදු කළා. ස්වාමීනි, එය ඇසූ පිරිස සතුටු වූහ. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස අනුකම්පාකොට සාරිපුත්ත හිමියන් සමීපයට වඩිනු මැනවියි කීහ. තථාගතයන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එම ආරාධනාව පිළිගෙන ශක්තිමත් පුරුෂයකු වක්කළ අතක් දික් කිරීමටත් දික්කළ අතක් වක් කිරීමටත් පෙරාතුව සැවැත්නුවර ජේතවනාරාමයෙහි සැරියුත්, හිමියන් අභිමුඛයෙහි පෙනී සිටියසේක. පනවන ලද අස්නෙහි වැඩහුන් තථාගතයන් වහන්සේ මෙසේ වදාළහ. ‘ඉධ සාරිපුත්තසම්බහුලා සමචිත්තා දෙවතා යෙනාහං තෙනුපසං කමිංසු’ සාරිපුත්‍රය සමසිත් ඇති බොහෝ දෙවිවරු පිරිසක් මා වෙත පැමිණ මට වැඳ එකත් පසෙක හිඳ මෙසේ කීහ.

ස්වාමීනි, සාරිපුත්ත හාමුදුරුවො මිගාරධාතු ප්‍රාශාදයෙහි අජ්ඣත්ත සංයෝජනික පුද්ගලයා සහ බාහිර සංයෝජනික පුද්ගලයා යන දෙදෙනා පිළිබඳව දේශනා කරති. ස්වාමිනි, පිරිස සතුටු වූහ. ස්වාමීනි, ඔබවහන්සේ අනුකම්පා කොට සැරියුත් හිමියන් වෙත වැඩම කරන්නේ නම් මැනවි. තථාගතයන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් දෙවිවරුන්ගේ ඇරැයුම ඉවසූසේක. එකල්හි තථාගතයන් වහන්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නට හෝ දික්කළ අතක් වක්කරන්නට හෝ පෙරාතුම ක්‍ෂණයකින් පූර්වාරාමයට වැඩ සැරියුත් තෙරුන් ඉදිරියෙහි පෙනී සිටියසේක. පනවන ලද අස්නෙහි වැඩ හුන් තථාගතයන් වහන්සේ එකත් පසෙක හුන් සැරියුත් තෙරන් වහන්සේට බුදුහු මෙය වදාළහ. සාරිපුත්ත, සමසිත් ඇති බොහෝ දෙවතා පිරිසක් මා වෙත පැමිණ මට වැඳ එකත් පසෙක හිඳ මට මෙසේ කීහ. ස්වාමීනි, මේ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේ පූර්වාරාමයෙහි දී භික්‍ෂූන් අමතා අජ්ඣත්ත සංයෝජන ඇති හා බාහිර සංයොජන ඇති පුද්ගලයන් දෙදෙනා පිළිබඳව දේශනා කළහ. ස්වාමිනී, පිරිස සතුටු වූහ. ස්වාමීනි ඔබවහන්සේ අනුකම්පා කොට ආයුස්මත් සාරිපුත්ත හිමියන් වෙත එළඹෙනව නම් මැනවි. සාරිපුත්ත, ඒ දෙවතාවෝ දසදෙනා, විසිදෙනා, තිස් දෙනා, හතළිස් දෙනා, පණස් දෙනා, හැටදෙනා වශයෙන් කාණ්ඩ කාණ්ඩව අවුත් ඉදිකටු තුඩක් පමණ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක (සියුම් සිරුරු වවාගෙන) එකිනෙකා එකිනෙකාගේ සිරුරෙ නොගැටී එකිනෙකාට කිසිම අවසරයක් නැතිව මා ඉදිරියෙහි සුවසේ සිටිය.

සාරිපුත්ත මේ ඉඳීම පිළිබඳව මේ වැනි අදහසක් ඔබට ඇතිවිය හැකියි. මේ දෙවිවරුන් දසදෙනා ආදී වශයෙන් ඉදිකටු මූණක් පමණ ඉඩක එකිනෙකාට බාධාවක් නැතිව (පහසුවෙන්) ඉන්නෙ ඒකාන්තයෙන්ම ඔවුන් මේ (දැන් සිටින දිව්‍ය භවයෙහිදී) භවයෙහිදී පුරුදු කරන ලද සිත වැඩීම (සිත ප්‍රගුණ කරන ලද) නිසායයි ඔබට සිතෙන්නට පුළුවනි. සාරිපුත්‍ර, එසේ නොසිතිය යුතුයි. සාරිපුත්‍රය, එසේ සිතන්න එපා. සාරිපුත්‍රය, මේ දෙවිවරුන් දහය, විස්ස, තිහ ආදී වශයෙන් කාණ්ඩ කාණ්ඩවම ඉදිකටු මූණක් ප්‍රමාණ ඉඩක ඔවුනොවුනට ගැහැටක් නොවනසේ සිටින්නේ (පෙර ) මේ සාසනයෙහි පැවිදිව සිටියදී ඔවුන් විසින් (එසේ සිටීමට හැකිවෙන සේ) සිත වඩල තිබුණ නිසයි. සාරිපුත්‍රය, ඔබත් සන්සුන් (ශාන්ත දැමුණු) ඇස් ආදී ඉඳුරන් ඇතිකර ගන්න. ශාන්ත සිත් ඇති කරගන්න පුරුදු වන්න. එවිට සන්සුන් ඉඳුරන් ඇතිකර ගත්තා වූ සන්සුන් සිත් ඇත්තාවූ තොපගේ කායකර්මය සන්සුන් (ශාන්ත) වේ. වාග්කර්මය සන්සුන් වේ. මනෝකර්මය සන්සුන් වේ. එය සබ්‍රම්සරුන් වහන්සේ කෙරෙහි (සමාන බඹසරණ රත්නවුන් කෙරෙහි) පිරිනමන ශාන්ත වූ උපකාරයක් (පරිත්‍යාගයක්) සේ සලකා එසේ පිළිපදින්නැයි වදාළහ.

බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේ සැරියුත් හිමියන්ගේ මේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව බුද්ධ භාසිතයක් වශයෙන් පිළිගත්හ. එසේම සූත්‍රය අවසානයෙහි ‘අනස්සුඛො තෙ සාරිපුත්ත අඤ්ඤතිත්ථියා පරබ්බාජකා යෙ ඉධං ධම්ම පරියායං න අස්සොසුං’ යනුවෙන් සාරිපුත්තය, යමෙක් තමාගේ පව්කාර හිස්, නිරර්ථ මිථ්‍යාදෘෂ්ටිය නිසා මේ ඉහත කී උතුම් ධර්ම දේශනාව අසන්නට නො ලැබුවෝ ද ඔවුහු විනාශ වූවෝ වෙති. යි දේශනා කිරීමෙන් ගම්‍ය වෙනව සැරියුත් හිමියන්ගේ මේ දේශනාවේ අත්‍යුත්තම බවත් ඒ තුළින් සැරියුත් හිමියන් තමන් වහන්සේගේ පැසසුමට භාජනය කළ ආකාරයත්. එහෙයින් බෞද්ධයන් වන අප විසින් මෙය වාචෝක්ගත කර ගැනීම පවා තම තමන්ගේ ඉතාමත් සුභසිද්ධියට මෙන්ම පරලෝක සුභසිද්ධියටත් නිර්මාණාවබෝධය පිණිසත් පිහිට වන සූත්‍රයක් බව සිතන්න.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]