UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළ සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය

 හෙළ සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය

මෙම ලිපියේ පළමු කොටස පොසොන් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙරාතුව ශ්‍රී ලංකාව තුළ ‘ගින්න පිළිබඳව එක විශ්වාසයක් පැවතුණි. එදා සමාජය ප්‍රකාශ කරනු ලැබුවේ ‘ගිනි දෙවියා’ පිදීම යනුවෙනි. ස්වාභාවිකව උපදින ‘ගින්න’ දෙවියෙක් ලෙසට සැළකීමට තරම් ආගමික විශ්වාස ප්‍රබල වුණි. සෘග්වේද යුගයේ උපනිෂද් ග්‍රන්ථවල පවා ‘ගින්නට’ දෙවියෙක් ලෙස සඳහන් කරන සංස්කෘත සාහිත්‍යයේ තැන් තිබේ. එම ඉන්දියානු බලපෑම ලංකාවට පැමිණියේ ය. ලංකාවේ බොහෝ පිරිස් ‘ගින්න’ දෙවියෙක් ලෙස හිතල’ ගින්න’ දෙවියෙක් ලෙස පිළිඅරගෙන ගින්න නමැති දෙවියාට වැඳුම් පිදුම් කළවිට තමන් සිතන පතන දේ ලබාගන්නට පුළුවන් යැයි ‘ගින්න’ දෙවියෙක් ලෙසට පිළිගෙන ‘ගින්නට’ වැඳුම් පිදුම් කළහ. ‘ගින්න’ නිවෙන්නට නොදී ජීවිතාන්තය දක්වා රැක ගැනීම දෙවියන් පිළිබඳ හොඳ භක්තියකින් කටයුතු කිරීම සිරිතක් ලෙස ඔවුන් සැළකූහ. ඇතැම් දෙමාපියන් විවාහ වන තම දුවට, පුතාට ධනය ලෙස පවරලා දුන්නේ ගිනි දෙවියායි. මිහිඳු හිමියන් ලංකාව තුළට වඩින විටත් ‘ගිනි දෙවියාට’ වැඳුම් පිදුම් කිරීමට හුරුපුරුදු වුණා. පිරිසක් ලංකාව තුළ ජීවත් වුණි, ලංකාවට වැඩම කළ මිහිඳු හාමුදුරුවන් ශ්‍රී ලංකාව තුළ පැවතුණ මේ ‘ගිනි දෙවියා’ කියන මිනිසුන් තුළ පැවතුණ විශ්වාසය හා එහි ස්වභාවය අධ්‍යයනය කරන්නට ඇති. උන්වහන්සේ එලෙස අධ්‍යනය කළ නිසා බුදුපියාණන් වහන්සේ පිළිබඳ හැඟීම මතුකරගෙන මිනිසුන්ට මෙලෙස දේශනා කරන්න ඇති. බුද්ධාගමෙත් ගිනිදෙවියා පුදන ක්‍රමයක් තිබෙන බවත් එම ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රඥාව දල්වාලන ක්‍රමයයි. ආලෝකය දැල්වීමේදී අන්ධකාරය දුරු වේ. ආලෝකයෙන් අන්ධකාරය දුරුවන්නාසේ මිනිසුන්ගේ මනස තුළ තිබෙන මෝහය නමැති අන්ධකාරය දුරුකර හරින්නට ප්‍රඥාව නමැති ආලෝකයට හැකියාව තිබේ. මේ ආකාරයේ අනුශාසනා මිහිඳු හිමියන් සිංහල සමාජයට දේශනා කරන්න ඇති. මිහිඳු මහරහතන් වහන්සේ මේ අනුශාසනා කරන විට ගිනිදෙවියා පුදන ඇතැම් අය ඒ ක්‍රමය පිළිබඳ අදහස නැවත නැවත සිතන්න යාමේ ප්‍රතිඵලයක් ලෙසට ‘ගින්න’ දෙවියෙක් වුවත් ‘ගින්නට’ මිනිසුන්ට කළ හැකි උදව් උපකාර නැති බවට වටහා ගන්න ඇති.

ලංකාවේ තිබූ ‘ගිනිදෙවියා’ පිදීමේ සංකල්පය පහන් පූජාවක් බවට පරිවර්තනය වන්නේ, අද වැනි දිනක මිහිඳු හිමියන් විසින් දක්වන ලද ප්‍රතිහාර්යය නිසයි.

බුදුපියාණන් වහන්සේට පහන් පත්තු කරන්නේ, අප තුළ තිබෙන මානසික තත්ත්වය සෑදීමට මිස, බුදුපියාණන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා නොවේ. අප තුළ තිබෙන මානසික තත්ත්වය තමයි මනස තුළ තිබෙන අවුල් වියවුල්. අපේ හිතේ තිබෙන අවුල් වැඩි වූ විට එයට වියවුල කියනවා.

ඒ ඒ වේලාවට සිත එක එක ආකාරයට ක්‍රියා කර කරන්න අවශ්‍ය නිවැරැදි දෙය මෙය යැයි සිතට ආවත්, එය කෙරෙන්නේ නැති තරමට අපේ හිත් හරිම දුර්වලයි. මෙම දුර්වල සිත ප්‍රබල සහ ප්‍රභා සම්පන්න බවට පත්කර ගන්නට භාවනා කළ යුතුය. අපේ සිත නතර කරගන්න ක්‍රමයක් දන්නේ නැතිව භාවනා කරන්නට යන්නේ කෙසේද? අපේ සිත නතර කරගැනීමේ ක්‍රම දෙකක් තිබේ. ඉන් පළමුවැන්න ශබ්දවල සිත රැඳවීමක්, රූපවල සිත රැඳවීමත් ය. බුදුපියාණන් වහන්සේට ආලෝක පූජාවක් කරන විට එම ආලෝකය ලෙස දිස්වන පහන් දැල්ල රූපයක්. පහන් දැල්ල දහනය වීම අපට දක්නට ලැබෙන්නේ රූපයක් ආකාරයටයි. ඇතැම් වෙලාවට දැල්ල වැඩිවේ. ඇතැම් වෙලාවට පහන් දැල්ල අඩුවේ. ඇතැම් වෙලාවට එකම ආකාරයට පවතී. හිතත් මෙම පහන් දැල්ල නමැති රූපය තුළ රඳවන්න පුළුවන්. අපි බුදුපියාණන් වහන්සේට පහන් පත්තු කරන විට ගාථාවකුත් කියනු ලැබේ.

“ඝන සාරප්ප දිප්තේන
දීපේන තමදං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං “

“දීපේන තම දං සිනා” අඳුර තිබෙන ස්ථානයක එළිය පත්තු කළ විට අඳුර දුරු වේ. අප මේ සිද්ධිදාමය බුදුහාමුදුරුවන්ට සම්බන්ධ කරනු ලැබේ. ‘තිලෝක දීපං’ දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක, අපාය කියන තුන් ලෝකයටම පහනක් වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මේ පහන් පූජා කරමි. කියමින් පූජා කරනවා. අඳුර දුරුකරන්නාවූ මේ පහන් ආලෝකය, බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ආලෝකයට උපකාරයක් ලෙස අප පූජා කරනු ලැබේ. එම පහන් පූජාව අප කරන්නේ භාවනානුයෝගී සමාධිගත සිතකින්. එම භාවනානුයෝගී සමාධිගත සිත අප හරියට වැඩුවොත් ජීවිතයේ මතුවන හැම ප්‍රශ්නයකටම පිළිතුරු සෙවිය හැකි ශක්තිමත් සිතක් අපට තිබේ. එදා සමාජයේ තිබු ගිනිදෙවියා පිදීම යන අදහස ඒ තුළ තිබුණ ගින්න එලෙසම තිබෙද්දී’ දෙවියා යන අදහස වෙනස් කරමින් බෞද්ධ ආගමික මුහුණුවරක් ලෙස සාර අදහසක් ලෙස මේ සංස්කෘතියට කැව්වේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසාම මිහිඳු මහ රහතන් වහන්සේගේ එම ඉගැන්වීම අපේ සංස්කෘතියට අපේ සමාජය වැළඳගත්හ. අපි පන්සලේ පමණක් නොව නිවස තුළත් පහන් දැල්වීම ආරම්භ කළහ. නිවස තුළ ගෙදර බුදුන් සමඟ එකතු වෙලා බුදුපියාණන් වහන්සේට පහන් පත්තු කරනු ලැබේ. පන්සලේ දී බුදුපියාණන් වහන්සේට පහන් පත්තු කරනු ලැබේ. මෙතන තිබෙන්නේ ගැඹුරු වූ දාර්ශනික අදහසකි. මෙම සංකල්පය අපේ සිත්වලට එකතු කර ගැනීම පොසොන් පොහොය දවසේ පමණක් නොව තුන්සිය හැටපස් දවසේම ජීවිතය එකලු කරන්න ආලෝකමත් කරන්න හේතු වේ. ගිනිදෙවියා කියන අදහසත් වර්තමානයේ පහන් පත්තු කිරීමේ අදහසත් අදහස් වශයෙන් කෙතරම් වෙනස්ද? ප්‍රඥාව වශයෙන් කෙතරම් වෙනස්ද? ‘ගිනි දෙවියා’ පිදීමට වඩා ප්‍රඥාව දල්වන ආලෝක පූජාව අපේ සංස්කෘතිය තුළ තවත් වර්ධනය වේ. ඇතැම් අය එක පනහක් බුදුහාමුදුරුවන්ට පත්තු කරනු ලැබේ. ඇතැම් අය ප්‍රකාශ කරනුයේ ‘එක පහනක් පත්තු කළත් එකයි’ ‘පහන් ලක්‍ෂයක් පත්තු කළත් එකයි’ යනුවෙනි. එහෙම කියන්නේ බෞද්ධ ආගමික අදහස්වල ගැඹුරු වටිනාකම හරිහැටි වටහා නොගත් අයය. ඒ අයගේ තතු දැණුම් තේරුම්කම නිසා ඒ අය එහෙම ප්‍රකාශ කරති. නමුත් එක පනහක් බුදුපියාණන් වහන්සේට පත්තු කළ කියන කරුණත්, බුදුපියාණන් වහන්සේගේ තිබු නව ගුණයටම නව ගුණයම සිහිකර කර පහන් නවයක් පත්තු කරන එක අතර වෙනසක් තිබේ. මේ ආකාරයට පහන් ප්‍රමාණය වැඩි වී අපේ සංස්කෘතිය තුළ අසූහාර දහසක් පහන් පූජා පවා වර්තමානය තුළ තිබේ. දෙසැත්තෑ ඥානය සඳහන් පහන් පූජා තිබේ. අටවිසි බුදුවරුන්ට වෙනම පහන් තිබේ. මේ වගේ පින්කම් කරන්නම් වාලේ කරන අයත් සිටිති. නිකම්ම ගෙදර ඉන්නවාට වඩා කරන්නම් වාලේ කරන එකත් වටිනවා. නමුත් මේ වායේ අර්ථය, මේවායේ ප්‍රයෝජනය වටහාගෙන ඒ අර්ථයත් ප්‍රයෝජනයත් තමන්ගේ ජීවිත වල තියෙන අඳුර දුරු කරන හේතුවන ආකාරය හරියට තේරුම් ගෙන ප්‍රඥාව පෑදෙන ආකාරයට බුද්ධිය මෝරන ආකාරයට මේ පහන් පූජාව සිදු කිරීම වටී. මේ අයුරින් සිතා බලමින්, කල්පනා කරන විට, පොසොන් පොහොය දවස කියන දවස, අපට ජීවිතයේ වටිනාකම් මෙපමණයි කියා නිමකරන්නට බැරි තරම්. අපේ ජීවිතවල තියෙන ගුණධර්මවල තිබෙන වටිනාකමත් මැන නිමකරන්න බැරි තරම්. ඒ නිසයි පොසොන් පොහොය දවස ‘අනුබුදු මිහිඳු’ දෙවන බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය පළමු දවස ලෙසට සළකන්නේ.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]