UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත මෙහෙය වූ “බුදුසරණ “ දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථමස්ථානය හිමිකරගත් රචනය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත මෙහෙය වූ “බුදුසරණ “ දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථමස්ථානය හිමිකරගත් රචනය

ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමිය

භාරතයේ දෑසින් වැටෙනා පුංචි කඳුළු බිඳුවකට සමකළ හැකි තරම් කුඩාවූ ඉන්දියන් සාගරය නම් කරදිය වළල්ලෙන් වට වූ මුතුªඇටය නමින් විරුදාවලිය ට පාත්‍රවූ මගේ මාතෘභූමිය නම් සුරඟනගේ ගෙල බැඳී රන් රුවන් දම ලෙස අනුරාධපුර පුණ්‍යභූමිය හැඳින්විය හැකිය.


යූ.එන්. සඳරුවනි නදීෂා

කොළඹ අගනගරයේ සිට ගම්පහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක පසුකරමින් තලාව රත්මලේ යන ප්‍රදේශ පසුකර ගොස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගනගරය ලෙස සැළකෙන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියට ප්‍රවිශ්ඨ විය හැකිය.

ඉතිහාස වංශකතා වලට අනුව ශ්‍රී ලකාවේ සිංහල රාජාවලියේ ප්‍රථම රජතුමා වූ විජය රජතුමාගේ අනුරාධ නම් අමාත්‍යතුමා විසින් පිහිට වූ “අනුරාධ” ග්‍රාමය පසුව අනුරාධපුරය වූ බව වංශකතාවල සඳහන් වේ. ගමක් ලෙස මුලින්ම පිහිටවනු ලැබූ අනුරාධ ග්‍රාමය 437 දී ශ්‍රී ලංකාදීපයේ රජ වූ පණ්ඩුකාභය රජතුමා විසින් නගරයකට අවශ්‍ය සියලු අංගෝපාංගයන් ගෙන් සමන්විත අනුරාධපුරවරය බවට දියුණු කර ගොඩ නංවනු ලැබූ බව මහාවංශයේ සඳහන් වේ.

ඉතිහාසය රන් කැඩපතකින් පිළිබිඹු කරන්නාසේ අනුරාධපුරය නම් මෙම ඓතිහාසික පුරවරය තුළ සිහල කලාකරුවාගේ සියුමැලි මට සිලිටු දෑතින් මහා ගල් කණු වලට ජීවය ලබා දෙමින් නිර්මිත ආගමික සිද්ධස්ථාන අතුරින් මුලසුන හොබවමින් ඉපැරණි නටබුන් හා න්‍යෂ්ඨාවශේෂ බොහෝමයක්ද, ගෘහ නිර්මාණ, මහා දාගැබ්, සමුදුර පරදවන මහා වාරිමාර්ග පද්ධතියන් මෙරට සිහල උරුමය, සිහල රජ පෙළපත, බෞද්ධ හැදියාව ආගමික භක්තිය හුදී ජනයා අතර පිංකෙතක් ලෙස දිදුලමින් අනුරාධපුර පුණ්‍ය භූමිය සුන්දර වූ ලංකාද්වීපයට සෞභාග්‍ය කැඳවමින් හා ගෞරවය කැඳවමින් සියවස් 13 ක පමණ කාලයක් මුළුල්ලේ තවමත් ජීවමානව බබළයි.

මෙසේ මහා කලා කෙතකට උරුමකම් කියන්නා වූ ඓතිහාසික අනුරාධපුර පුණ්‍යභූමිය මීට වසර 2500 කට ඈත අතීතයේ සිද්ධාර්ථ බෝධිසත්වයන්ට බුදුවීමට පිටදුන් බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කර ඇත්තේ හුදී බෞද්ධයන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය ඔපවත් කරමිනි.

වර්තමාන සමාජය “බෝ” යනුවෙන් හඳුන්වන මෙම පෞරාණික වෘක්‍ෂයේ මුලින් භාවිතාකළ නාමය වන්නේ “අශ්වත්ථ” යන්නයි. “බෝ” හෙවත් “බෝධි” වෙනුවෙන් මෙම වෘක්‍ෂය හඳුන්වනු ලබන්නේ සිදුහත් තවුසානන් හට බුද්ධත්වය හෙවත් බෝධිය අවබෝධ කර ගැනීමට සෙවණදී උපකාර කළ හෙයින් “බෝධි” යන ගෞරවාන්විත නාමයෙන් හඳුන්වනු ලබයි. බුදුන්වහන්සේගේ ශරීර ස්පර්ශය ලද පාරිශුද්ධ දඹදිව ජය ශ්‍රී මහා බෝ සමිඳු වර්තමානයේ එහි නැත. එහෙත් අනුරාධපුර පුණ්‍ය භූමියේ වැඩ වෙසෙන්නේ අප ලොව්තුරු සම්මා සම්බුදු අමාමෑණින් වහන්සේගේ නේත්‍ර කැල්ම එනම් අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබුවා වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛා බෝසමිඳු වහන්සේය.

බෝධිය අවබෝධකරගත් ඒ අසිරිමත් මොහොත සියසින් දුටු වර්තමාන ලෝකයේ ඇති ජීවමාන එකම වස්තුව ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියේ වැඩවෙසෙන ශ්‍රී මහා බෝධින් වහන්සේ පමණි.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවන ලද්දේ ක්‍රි.පූ. 236 දී ධර්මාශෝක රජතුමාගේ දියණිය වූත් ලංකා දීපයට බුදුදහම උතුම් පියුමක් සේ රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වූත් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසිනි. එකල ශ්‍රී ලංකාද්වීපයේ රජකළ දේවානම්පියතිස්ස රජු කරවටක් මහා සමුදුරු පත්ලෙහි ගිලී දෙනෝ දහසකගේ සාධුනාදය මැද ජයසිරිමා බෝ සමිඳුන් සියතින්ම ඉතා භක්තියෙන් පිළිගත් බව වංශකතා වල පැවසේ. මහ සෙනගගේ නැටුම්, ගැයුම්, වැයුම්, සාධු කාර මැද දඹකොළ පටුනේ සිට අනුරාධපුර මහමෙවුනා උයනට බෝධින් වහන්සේ වැඩමවූ පෙරහරට දින 7 ක් ගතවූ බවද කියවේ.

ක්‍රි.ව. 236 වැන්නේ උදුවප් මස පුරතුදුස්වක දින නැගෙනහිරින් මල්වතුඔයින්ද , බටහිරින් තිසා වැවෙන්ද උතුරින් ථූපාරාම පුද බිමෙන්ද, දකුණින් වෙස්සගිරි භූමියෙන් ද මායිම් වූ මහමෙව්නා උයනේදී සවස උදාවූ රෙහෙණ නැකතින් මිහිඳු හිමියන්ගේ සුරතින් ජය ශ්‍රී මහා බෝසමිඳු රෝපණය කරන ලදී. මේ මොහොතෙ නොසිතූ ලෙස මහා වර්ෂාවක් ඇද හැළුණු බවත් ගලා ආ මීදුම් පටලින් බෝධින්වහන්සේ නොපෙනී ගොස් මීදුම් පටල පහවයත්ම බෝධින්වහන්සේ වෙතින් සවණක් ඝන බුදුරැස් විහිදෙන්නට වූ බව වංශකතා වල සඳහන් කරුණකි.

සියල්ලන් බලා සිටියදී බෝධි ශාඛාවෙන් ඵලයක් හටගත් බවත් මිහිඳු මහරහතන් වහන්සේ එය රෝපණය කිරීමට දෙවනපෑතිස් නිරිඳුන් වෙත ලබාදෙන ලදී. අෂ්ඨඵල බෝධින් වහන්සේලා ලෙසින් නම් දරා ශ්‍රී ලංකාද්වීපයේ සෙවණ සලසාලමින් හුදී ජනයාට තවමත් සෙතසලසනු ලබයි.

මිහිඳු හිමියන් විසින් රැගෙන ආ නිර්මල බුදුසසුන ශ්‍රී ලංකාද්වීපයේ මුල් බැස ගත්තේ ශ්‍රී මහා බෝ සමිදු රෝපණය කිරීමෙනි. යක්‍ෂ, නාග, ගස්,ගල් අදහමින් වාසය කළ හුදී ජනයාට වැඳුම් පිදුම් කිරීමට රෝපණය කරන ලද ශ්‍රී මහා බෝ සමිදු ලොව අන් කවර ජාතියකටත් නොදෙවෙනි විශිෂ්ට සභ්‍යත්වයක් සිංහල ජාතියට උරුම කර දෙමින් තවමත් විරාජමානව බබළයි.

ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියේ පූජනීයත්වය ඔප්නංවනා සංධිස්ථානයක් ලෙස රුවන්වැලි සෑ රදුන් හැඳින්විය හැක. රුවන්වැලි යන්නෙහි අර්ථය මැණික් වැල යන්නයි. අනුරාධපුරයට සිව් මාර්ගයෙන්ම ප්‍රවිශ්ඨ වන්නවුන්හට සැතපුම් ගණනක් දුර සුදෝ සුදු පැහැයෙන් පද්මයක් විලස දිදුලනා විසල් චෛත්‍යයක් රන් කොතක් දිස්වේ. එය වූ කලී ස්වර්ණමාලී නම් රූමත් දෙවගනක් විමානය කොට සිටි භූමියක තැනුම් ලද දර්ශනීය චෛත්‍ය රාජයන් වන ස්වර්ණමාලි සෑරදුන්ය. බුබ්බාලාකාරව සාදා ඇති මෙම මහා ස්වර්ණමාලි සෑ රදුන් ජය ශ්‍රී මහා බෝ සමිඳු පෙනෙන දුර මහමෙව්නා උයනෙහි ශ්‍රේෂ්ඨතම නරපතියකු ලෙස සැලකෙන දුටුගැමුණු මහ රජතුමා විසින් නිර්මාණය කරන ලද්දකි.

තිලෝගුරු බුදුපියාණන්ගේ සර්වඥ ධාතුන් වහන්සේ ලා විශාල ප්‍රමාණයක් රුවන්වැලි මහා සැයේ නිධන්කොට පවතී. ථූපවංශය වැනි වංශ කතාවලට අනුව බුදුරදුන්ගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑ ගර්භයේ තවමත් සුරක්‍ෂිතව නිදන්කොට පවතී. එම නිසා එකල මහා ථූප යන නමින්ද හඳුන්වන්නේ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේය.

රුවන්වැලි මහා සෑරදුන් ඉදිකිරීමෙහි ලා විශ්මය ජනක ඓතිහාසික කතා ප්‍රවෘත්ති ජන ශ්‍රැතියේ පවතී. දැනට රුවන්වැලි මහා සෑය සාදා ඇති භූමියට සමන්මල් මිටක් පූජාකළ මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජුගේ මුණුබුරෙකු, දුටුගැමුණු නමින් අනාගතයේ මෙතැන චෛත්‍යයක් ඉදිකරන බව වදාළ බව ඉතිහාසයේ සඳහන් වේ. දෙවන පෑතිස් නිරිඳු ඒ බව සඳහන් කොට සෙල්ලිපියක් තැනවූ අතර පසුකාලීනව රජවී තුන්හෙළයම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එම ස්ථානයේ චෛත්‍යය ගොඩනැගීමට ඇරඹූ නමුදු එම ස්ථානයේ රන්තෙළඹු ගසක් විය. චෛත්‍යය ඉදිකිරීමට මෙම තෙළෙඹු ගස කැපිය යුතු විය. එහෙත් මේ වනස්පතියේ විමානය සාදා විසූ ස්වර්ණමාලි නම් අතිශ්‍ය රූමත් දෙව්දුවක ඊට විරුද්ධ වූවාය. දුටුගැමුණු රජතුමා ඇයට දිගින් දිගටම කරුණු පැහැදිලි කර දුන්නායින් පසුව රන්තෙළඹු ගසින් බැසීමට ඇය එකඟ වූයේ තමාගේ ස්වර්ණමාලී නාමය චෛත්‍යය රාජයානන්ට තබන ලෙසට රජතුමාගේ පොරොන්දුව මතයි. ස්වර්ණමාලි මහා චෛත්‍යය සෑදීමේදී දේව සමූහයා දුටුගැමුණු රජුට උපකාර කළ ආකාරය පිළිබඳ පැරණි ජනප්‍රවාද කතා රාශියකි. රුවන්වැලි මහා සෑයේ වැඩ අවසන් කිරීමට ප්‍රථම දුටුගැමුණු රජු ගිලන්ව මරණයට පත් විය. ඉන් පසු රජ පැමිණි සද්ධාතිස්ස රජතුමා චෛත්‍යයේ වැඩ අවසන් කරන ලදී. එකල මෙහි තිබී ඇත්තේ කොතක් නොව යූපයක් සහ ඡත්‍රයකි. කොත් කැරැල්ල මෙන්ම වර්තමානයේ සතර දිශාවේ දැකගත හැකි සතර වාහල්කඩ පසුව චෛත්‍යයකට එක් වූ අංග වේ.

මේ මහා භද්‍ර කල්පය අවසානයේ ලොව්තුරා තිලෝගුරු අමාමෑණියන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා චෛත්‍යයට එකතුව ඉන් බුදුසිරුර නිර්මිතව ධර්මය දේශනාකර පසුව අන්තර්ධාන වන බව හුදී බෞද්ධයන්ගේ විශ්වාසයකි. රුවන්වැලි මහා සෑය ලෝකයේ සියලු දාගැබ් අතර පූජනීයත්වයෙන් අගතැන්පත් මහා දාගැබකි. නිර්මාණ තාක්‍ෂණය අතින් එය සිංහල වාස්තු විද්‍යාවේ මහිමය ලොවට කියාපාන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය වටිනාකම තවත් ඔපවත් කරමින් තවමත් විරාජමානව බබලයි.

බැලූ බැල්මට ජීවමාන රූපයක් විලස දිස්වන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියේ වැඩවෙසෙන සමාධි බුදුපිළිම වහන්සේ ශ්‍රී ලාංකික බෞද්ධයනට මිණිපහනක් බදුය. අභයගිරි චෛත්‍ය ඉදිරියේ දකුණට යන විට ඉතා රමණීය සමාධි බුදුපිළිම වහන්සේ දැකගත හැකිය.බුදුපියාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ හිඳින ආකාරය පිළිබිඹු වන පරිදි කළු ගලකට ජීවය ලබාදෙමින් සිහල කලාකරුවා අතින් නිර්මිත මෙම ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව දකින කෙතරම් රළු පුද්ගලයකුගේ හදවත වුවද බුද්ධ ප්‍රතිමාවේ මෛත්‍රිය දනවන විලාශ දුටු විට මොළොක් වනු නොඅනුමානය.

ගලින් සෑදූ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙස විමසිල්ලෙන් බැලූ විට සිහින් මදහසක් වත මත සටහන් වන අතර වම් අත පැත්තෙන් නිරූපණය වන්නේ මද ශෝකී ස්වරූපයකි. සසර දුකත්, දුකට හේතුවත්, දුක නැතිකිරීමේ නිරාමිස පී‍්‍රතියත්, අනුරාධපුර සමාධි බුදු පිළිම වහන්සේ ගේ මුහුණේ ඉරියව්වෙන් ප්‍රකට වේ. මෙම වටිනා ශ්‍රේෂ්ට කලා නිර්මාණය අනුරාධපුරයේ මුල් භාගයේ නිර්මාණ කර ඇති බව විද්වතුන් පෙන්වා දෙන අතර ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියේ ප්‍රෞඪත්වය විදහා පාන්නකි.

නිර්මාණ තාක්‍ෂණය අතින් ඓතිහාසික අනුරාධපුර භූමියේ වාස්තු විද්‍යාව මහිමය ලොවට කියාපාන තවත් වැදගත් පෞරාණික වස්තුවක් ලෙස ථූපාරාමය චෛත්‍ය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාදීපයේ මිහිඳු මහරහතන් වහන්සේගේ මග පෙන්වීම යටතේ ධාන්‍යාකාර හෙවත් වී ගොඩක හැඩයට ඉදිකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍යය ලෙස ඉතිහාසගත වන්නේ දෙවනපෑතිස් නිරිදුන් විසින් ඉදිකළ ථූපාරාම චෛත්‍යයයි. ස්වර්ණමාලී මහා චෛත්‍යයට උතුරු දිගින් ප්‍රධාන මාර්ගය අසල උස්වේදිකා වක් මත ඉදි කෙරුණු අලංකාර ටැම් රැසකින් වටවී ඇති මෙම රමණීය දාගැබ වර්තමානයේ ඝණ්ඨාකාර හැඩයගෙන තිබේ. ථූපාරාම මහා සෑරදුන්ගේ සෑ ගර්භයේ නිධන් කොට ඇත්තේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ බව සඳහන් වේ. ‘සුමණ’ නම් සාමණේරයන් වහන්සේ තව්තිසාවට වැඩම කර සක් දෙවිදුන් ලවා සිළුමිණ සෑයෙන් අකු ධාතුන් රැගෙන සෘද්ධි බලයෙන් යළි මෙහි වැඩි බව ජනප්‍රවාදේ පවතින කතා ප්‍රවෘත්තියකි. යථෝතිස්ස රජු මෙහි අලංකාරයට සංඝාරාමයක කරවූ අතර ලජ්ජිතිස්ස රජු චෛත්‍ය රාජයාණන්ගේ ආරක්‍ෂාව සඳහා අගනා වටදාගෙයක් කරවන ලදී. චෛත්‍ය රාජයාණන්ගේ නිරිත දිගින් ගල්කුළුණු තවමත් විද්‍යාමාන වේ. එම ගොඩනැගිලි අසලම අලංකාර සෙල් මුවා බේත් ඔරුවක්ද දැකගත හැකිය.

ජය ශ්‍රී මහා බෝරදුන්ගේ දකුණු පසින් පිහිටා ඇති දැවැන්ත ගල් කණු සමූහය ලෝවාමහා ප්‍රාසාදයයි. මහමෙවුනා උයනෙහි මහා සංඝයා හට පොහොය ගෙය වශයෙන් තැනවූ මෙය තඹ මිශ්‍ර ලෝහ උළු සෙවිලි කළ හෙයින් ලෝහ මහා ප්‍රාසාදය යන නම ලබාදී තිබෙන බව ප්‍රකට කරුණකි. දුටුගැමුණු රජතුමා රහතන්වහන්සේලාගේ උපදෙස් මත දෙව්ලොව “ භරණී” දෙව් දුවගේ ප්‍රාසාදයේ සැලැස්මට මෙම විශිෂ්ට ප්‍රාසාදය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වී ඇත. වංශකතා තොරතුරු අනුව රිදී තහඩුවලින් වෙන් කරන ලද කාමර 900 කින් යුක්ත වූ මෙම දැවැන්ත ප්‍රාසාදය පහනක් පෙරලීමෙන් හටගත් ගින්නෙන් ගිනිගත් බව සඳහන් වේ.

කෙසේ වෙතත් සද්ධාතිස්ස රජතුමා මෙම නවමහල් ප්‍රාසාදය සත්මාල් කොට ප්‍රතිසංස්කරණය කරන ලදී. පසුව වරින්වර විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම ඓතිහාසික උරුමය අද වන විට ඉතිරිව ඇත්තේ ගල්කණු 1600 පමණක් වුවද ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියේ වටිනාකම විදහාපාමින් තවමත් විරාජමානව පවතී.

වර්තමාන විදුලිබල මධ්‍යස්ථානයටත් ලෝවාමහා ප්‍රාසාදයටත් අතර මැදිව තවමත් පවතින ඓතිහාසික නෂ්ඨාවශේෂ මාලක සීමාව ලෙස හඳුන්වනු ලබයි. මෙම මාලක සීමාව සන්නිපාත ශාලාව ලෙසද හඳුන්වන අතර සංඝයා වහන්සේලා පොහොය ගෙට යාමට පෙර රැස්වූ ශාලාව මෙම මාලක සීමාව ලෙස විද්වතුන්ගේ මතයයි. කෙසේ වෙතද අදවන විට හුදී ජනයාහට මාලක සීමාවේ දැකගත හැකිවනුයේ නටබුන් කොටස් පමණි.

ක්‍රි.ව. 4 වන සියවසේ පණ්ඩුකාභය රජතුමා විසින් නිර්මාණය කරවන ලද මෙම ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමිය එකළොස්වන සියවස පස්වන මිහිඳු රජුගේ අවසානය දක්වා පුරා වසර 1400 ක් තිස්සේ ශ්‍රී ලංකාද්වීපයේ අගනගරය ලෙස අඛණ්ඩව පැවතිණි.

මෙම පුරවරයෙහි ලෝවාමහාපාය , දළදා මාලිගාව, රත්නප්‍රසාදය, බටහිර ආරාම, මයුර පිරිවෙන ආදි විවිධ ගොඩනැගිලි, වලින්ද රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය, ථූපාරාමය වැනි චෛත්‍ය කර්මාන්තයෙන්ද නුවරවැව, තිසාවැව බසවක්කුලම වැනි වාරි තාක්‍ෂණයෙන්ද කුට්ටම් පොකුණ, ඇත් පොකුණ වැනි විශ්මිත ජල කර්මාන්තයෙන්ද සමාධි පිළිමය, පංකුළි පිළිමය වැනි ශ්‍රේෂ්ඨ බුදුපිළිම කලාවන්ද දුටුගැමුණු, විහාර මහා දේවිය වැනි නර විරුවන්ගේ සෙල් පිළිම සඳකඩ පහණ, දොරටපාල රූප, සංඛ, ඉසුරුමුණියේ පෙම් යුවළ ඇතුළු මුර්ති කලාවෙන්ද සෙල් කැටයම් වලින්ද ඉපැරණි උද්‍යාන වලින්ද සැදුම්ලත් ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමිය හුදී බෞද්ධ ජනයාගේ බොදු සිත් එකලුකරමින් දිණිසුරු විලස විරාජමානව බබළයි. බැලු බැලූ දසත නීල වර්ණ ගැවසීගත් මෙම ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භුමිය මෙන් ඓතිහාසික වූත්, ආගමික වූත්, කලාත්මක වූත් වටිනාකමකින් යුතු ස්මාරක රැසක් එක්තැන්කල පුරවරයක් මහී තලය තුළ තවත් ඇත්ද?

මේ ඓතිහාසික පුණ්‍ය භූමිය තුළ හැම මං පෙතක්ම සෑම වැලිකැටයක්ම මිහිඳු මාහිමිපාණන් ඇතුළු මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලබා තිබීම නොඅනුමානය.එනමුදු මෙම මංමාවත් ඔස්සේ පිය මනිනා අප ඒවා නොදැන සිටීම අභාග්‍යයකි. මෙතරම් වටිනාවූත් ඓතිහාසික වූත් ඓතිහාසික අනුරාධපුර පුණ්‍යභූමිය තුළ අතීතයේ ජීවත්වූ ඒ උදාර මිනිසාගේ අධිෂ්ඨාන ශක්තිය ,දෙයතේ හැකියාව වැහැරී ගිය දහදිය බිඳු රැදි මෙම ඓතිහාසික නිර්මාණ ඒ උතුම් මිනිසුන්ගේ මී මුණුපුරන් වන අප නේත්‍ර යුග්මය ලෙස මවක් තම පුතු රකින විලසින් බලා එහි ඓතිහාසික වැදගත්කම වටහා ගනිමින් අනාගත පරපුර උදෙසා දායාද කළ යුතු නොවේද? එසේනම් එකම පුතකු ඇති මවක තම පුතු සෙනෙහසින් රක්නා විලස ලක් මෑණියන්ගේ අනුරාධපුර පුණ්‍ය භූමිය නම් වූ පිංකෙත රැකගැනීමට අපි වගකීමෙන් අදිටන් කර ගනිමු.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]