Print this Article


ලෞකික ලෝකෝත්තර උභයාර්ථය

ලෞකික ලෝකෝත්තර උභයාර්ථය

මෙහි පළමු කොටස පොසොන් පුර පසළොස්වක පත්‍රයේ පළවිය

සිංහල බෞද්ධ සංස්කෘතියෙහි කැපී පෙනෙන, අවිහිංසාව, සමානාත්මතාව, කරුණාව, මෛත්‍රිය ආදී උතුම් මානුෂික ගුණාංග අපට ලැබුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රායෝගිකවම ජනතාව පිළිපන් බැවිනි. යහපත් දැකීම, යහපත් සංකල්පය, යහපත් වචනය, යහපත් වැඩ, යහපත් දිවි පෙවෙත, යහපත් වෑයම, යහපත් සිහිය හා යහපත් සමාධිය ඊට අයත් වේ.

මෙම අංග අටම, එකක් අනෙකක් හා බැඳෙමින් පුද්ගල වර්ධනය කෙරේ බලපාන බව සැලකිය යුතුය. එසේ වුවද අපගේ මුඛ්‍ය පරමාර්ථය සාධනය කරනු වස්, සම්මා ආජීව හෙවත් යහපත් දිවිපෙවෙත පමණක් උදාහරණ කොට දැක්වීමට කැමැත්තෙමු. මාරක ආයුධ වෙළඳාම, මත්පැන් වෙළඳාම, විෂ වෙළඳාම, මස් පිණිස සතුන් විකිණීම හා මස් වෙළඳාම, කූඨ ව්‍යාපාර ආදී අනුන්ගේ විපතට හේතුවන්නාවූ රැකියාවල නොයෙදීම, අනුන්ට හිංසාවක් නොවන, ධර්මානුකූල නොකිළිටි රැකියාවල යෙදීම සම්මා ආජීවයෙහි අදහස බව පෙනේ. මෙය කොපමණ දුරට ශ්‍රී ලාංකික ජනතාවගේ ඇටමිදුළු තුළටම කිඳා බැස ඇති ද යන්නට ඉතිහාසය සාක්‍ෂිදරයි. බටහිර ජාතීන්ට යටත් වීමෙන් පසු මත්පැන් වෙළඳාම ඇතුළු බොහෝ අයහපත් දේ අපට හුරු පුරුදු කරනතුරු මෙරට ජනතාව සම්මා ආජීවය ප්‍රායෝගිකව සිය ජීවිතවලට බද්ධ කරගෙන ජීවත් විය.

ශ්‍රී ලාංකිකයාගේ ප්‍රධාන රැකියාව බවට කෘෂිකර්මාන්තය පත් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අපටම අනන්‍ය වූ වාපී කර්මාන්තයේ විශ්මිත දියුණුවක් ඇති වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෑත කාලීන විද්වතුන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සෑම වර්ග කිලෝමීටර් එකහමාරකටම වැවක් බැගින් පිහිටා ඇති බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ඇති කුඩා වැව් ප්‍රමාණය 2800 ඉක්මවයි. වැවක ප්‍රධාන කාර්යය, කෘෂිකර්මාන්තය පිණිස ජලය ලබා ගැනීමය. එය එසේ නම්, මේ සා මහත් වූ වැව් ගහණයක් දිවයින පුරා තිබීමෙන් ශ්‍රී ලාංකිකයා මේ යහපත් දිවි පෙවෙතට කෙතරම් බැඳී සිටියේ ද යන්න පැහැදිලි වේ.

කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා ඒ හා බැඳුණු අනෙකුත් විවිධ කර්මාන්ත රාශියක් ද ඊට සමාන්තරව දියුණු විය යුතු ය. ඒ සඳහා අවශ්‍ය විවිධ ආයුධ, භාජන ආදිය නිෂ්පාදනය කරගත යුතු වන්නාක් මෙනි. මේ ආකාරයට ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව වන ආහාරයෙන් රට ස්වයංපෝෂණය වීමත් සමඟම, ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් වූ බව නොකිවමනාය. එය එසේ වීමට බලපෑ තවත් ඉතා වැදගත් සාධකයක් මිහිඳු මහ රහතන් වහන්සේ අපට තිළිණ කළහ. ‘අල්පේච්ඡතාව‘ යනු එකී වැදගත් ගුණාංගයකි. අල්පේච්ඡ යන වදනෙහි අර්ථය සීමිත වූ බලාපොරොත්තු හෙවත් අපේක්‍ෂා යන්නයි. එය කිසිසේත්ම බලාපොරොත්තු රහිත බවක් ලෙස වරදවා ගත යුතු නොවේ. කවර පුද්ගලයෙකුට හෝ ජීවත්වීම පිණිස බලාපොරොත්තු අවශ්‍ය කෙරේ. ගැටලුව වන්නේ පුද්ගලයා ජීවත්වීමට අවශ්‍ය පමණ බලාපොරොත්තුවලින් සෑහීම නොවේ. තෘෂ්ණාව නිසා අසීමිත බලාපොරොත්තුවලින් ජීවිතය පුරවා ගැනීමයි. එවිට බලාපොරොත්තු කඩවීමේ ප්‍රවණතාව ඉහළ යන අතර, පුද්ගලයා ඒවා ඉටුකර ගැනීම පිණිස තමාට ගතහැකි හැම උත්සාහයක්ම ගනී. එය යහපත්ද අයහපත් ද යන්න යථාර්ථවත් ලෙස දැක ගැනීමට නොහැකිව ඔහු අන්ධ වෙයි. එවිට ඔහු ක්‍රමයෙන් ඇදී යන්නේ සුගතියට නොව දුගතියට වේ. එය මෙලොව පරලොව දුකට හේතු වේ.

එහෙත් අල්පේච්ඡතාව ජීවිතයට හුරු කරගත් විට, ඔහු සරල පුද්ගලයෙක් බවට පත්වේ. ජීවිතයේ අවශ්‍යතා ඉතා සරල වෙයි. නිතරම තෘප්තියෙන් පිරි ජීවිතයක් ගත කිරීම එහි ප්‍රතිඵලය වෙයි. සංතුෂ්ටිමත් පුද්ගලයා එහි අවසාන උතුම් ඵලයයි. මහින්දාගමනයෙන් පසු මෙරට ඇති වූ ජනසමාජයෙහි සංවර්ධනය විමසා බලන්නෙකුට, සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ප්‍රභාමත්ව බබළන මෙම සංතුෂ්ටිමත් පුද්ගලයා දැක ගත හැකි වේ.

වර්තමානයේ පවා අපි මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් සිහිපත් කරන අපේ අතීත සංස්කෘතික උරුමයන් මෙහි අගනා දායාද බව කිව යුතු ය. මහා වාපී සභ්‍යත්වයක සිට දාගැබ්, ප්‍රතිමා, කැටයම්, මූර්ති, සාහිත්‍යය, චිත්‍ර ආදී නිර්මාණ ඊට අයත් වේ.

මේ අනුව මහින්දාගමනයෙන් අපට ලැබුණු බුදුදහමෙන් ශ්‍රී ලාංකිකයා ලද, මිනිසා උත්තරීතර බව කියවෙන ‘ස්වච්ඡන්දතාව‘ යහපත් ආජීවය මෙන්ම අල්පේච්ඡතාව, අපේ සංස්කෘතිය මුළුමණින්ම වෙනස් කළ බව හඳුනා ගත හැකි ය. එමඟින් ශ්‍රී ලාංකික ජන ජීවිතයෙහි ඉතා අර්ථවත් ආධ්‍යාත්මික මෙන්ම භෞතික පෙරළියක් සිදු වී තිබේ. ශ්‍රී ලාංකික ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අනුරාධපුර යුගය මෙන්ම අද පවා නොනැසී පවතින කරුණාව, මෛත්‍රිය, අවිහිංසාව, ත්‍යාගශීලී ගුණය ආදී ගුණාංග විමසන විට ඒ බව පැහැදිලි වේ.