Print this Article


මිහිඳු මාහිමියන්ගෙන් අපට උරුමවූ බෞද්ධ අධ්‍යාපන දායාදය

මිහිඳු මාහිමියන්ගෙන් අපට උරුමවූ බෞද්ධ අධ්‍යාපන දායාදය

මෙහි පළමු කොටස පොසොන් පුර පසළොස්වක පත්‍රයේ පළවිය

මෙම පැරණි බෞද්ධ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ගුරුවරයා කියන කරුණු අසාගෙන ශිෂ්‍යයා විසින් ධාරණය කිරීමේ ක්‍රමය නොව ශිෂ්‍යයා විසින් ඒ ඒ කරුණු පිළිබඳ ගුරුවරයා සමඟ සාකච්ඡා කොට නිවැරදි අදහසකට පැමිණීමත් ශිෂ්‍යයාගේ විමසුම් සහිත චින්තනයට අවකාශ සලසා දීමකුත් පැවති බව පෙනෙනවා. සමහර අවස්ථාවලදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පෙන්වා දුන් ඇතැම් මතවාද මඟින් ගුරුවරයා පවා තම වැරදි මතය තේරුම්ගෙන ශිෂ්‍ය භික්ෂුව පෙන්වා දුන් නිවැරදි මතය පිළිගත් අවස්ථා ද තිබුණා. මේ නිසා අධ්‍යාපන ක්‍රම ලෙස දේශනය, සාකච්ඡාව, සංවාද යන ක්‍රම වැදගත් වූ බව පෙනී යනවා.

දිනචරියාව කියා මෙහිදී පෙන්වා දෙන්නේ අද අප භාවිතා කරන පරිදි කාලසටහන අර්ථයට ආසන්න වන අදහසක්. මෙයින් අදහස් කරන්නේ එක වරුවකට හෝ පැය 6කට පමණ සීමා වන අද පිරිවෙන්වල හා පාසල්වල දක්නට ලැබෙන කාලසටහනට වඩා පුළුල් වූ කාලසටහනක්. එසේත් නැතිනම් දිනචරියාවක්. මේ ක්‍රමයට අනුව දවස පුරා ම නැතිනම් දිවි ඇති තෙක් ම බෞද්ධ භික්ෂූන් වහන්සේගේ පමණක් නොව පොදුවේ බෞද්ධ ජනයාගේ චර්යාව සකස්විය යුතු වෙනවා. ඒ අනුව කාලය වෙන් කර ඒ ඒ කටයුතු සඳහා බෙදා වෙන් කිරීමේ ක්‍රියා සිදු කරන්නේ වර්තමානයේ භාවිත කරන සීනුව හෙවත් ඝණ්ඨාව හෙවත් ගෙඩිය නාද කිරීමෙන්. මේ අනුව භික්ෂූන් වහන්සේ සයනගතව සිටින කාලය ද ඇතුළුව සිය රැය පහන් කළ අලුයම් කාලයේ සිට ම උන්වහන්සේලාගේ උතුම් හැසිරීමට(බ්‍රහ්මචරියාවට) අදාළ වන පරිදි එසේත් නැතිනම් ඊට බාධාවක් සිදු නොවන පරිදි රාත්‍රී සැතපෙන කාලය දක්වා මුළු දවස ම ගත කිරීම අදහස් කෙරෙනවා. වරින් වර නියමිත වේලාවට මෙම ගෙඩිය නාද කිරීම භාරව කිසියම් භික්ෂුවක් ක්‍රියා කරනවා. එම නාද කිරීමට අනුව අවදිවීම, මුව පිරිසුදු කිරීම, මලුපෙත්මං ඇමදීම, බණභාවනාවන්හි යෙදීම, ජලස්නානය, පිණ්ඩපාතයට වැඩීම, දන් වැළඳීම ආදි සෑම ක්‍රියාකාරකමක් ම අධ්‍යාපනික සාධකයක් ඇති වන ලෙස මෙම මිහිඳු මාහිමියන් පෙන්වා දුන් බෞද්ධ අධ්‍යාපන ක්‍රියාවලිය මඟින් සංවිධානය වී තිබුණා. අවසාන වශයෙන් කිව යුතු කරුණක් තිබෙනවා. එය නම් මිහිඳු මාහිමියන් විසින් මෙරටට බෞද්ධාගම හඳුන්වා දීමෙන් පසු ඊට අනුව පෙළගැසුණු සමස්ත බෞද්ධ අධ්‍යාපන ක්‍රියාවලිය ම ඉලක්ක කර ගත්තේ අද මෙන් ශිෂ්‍යත්ව විභාගය හෝ උසස් පෙළ විභාගය හෝ ප්‍රවීණ විභාග කඩඉම් වැනි කඩඉම් සමත් වීම ඉලක්ක කර ගත් ලෞකික අරමුණකට නොව චිත්තේකාග්‍රතාව මත සිහිය මනා කොට පිහිටුවා ගැනීමේ අවසාන අරමුණ වූ ආශ්‍රව ධර්මයන් ක්ෂය කොට ලබන නිවන යන මේ උත්තරීතර මානසික තත්ත්වය උදා කර ගැනීමට යි.