Print this Article


දේශීය සංස්කෘතියේ ගමන් මඟ වෙනස් කළ අනුබුදු මිහිඳු මාහිමි

මෙහි පළමු කොටස පොසොන් පුර පසළොස්වක පත්‍රයේ පළවිය

භික්‍ෂුණී ශාසනය තුළ පැවිදි වීමට පමණක් නොව අධ්‍යයන හා අධ්‍යාපන කටයුතු තුළින් ද ඉදිරියට ඒමට මං හෙළි වූයේ මෙම සංස්කෘතික පසුබිම තුළය. විහාරමහාදේවිය සෝමාදේවිය වැනි ජාතියේ වීරෝදාර කාන්තාවන් මේ දෙරණ තුළ බිහිවූයේ මිහිඳු සංස්කෘතියෙන් ඇති කරගත් ශක්තිමත් පදනම නිසා බව කිව හැකි ය.

වැවත් දාගැබත්, ගමත් පන්සලත් පදනම් කරගත් නව සංස්කෘතියකට පදනම සකස් වූයේ මහින්දාගමනයෙන් පසුවය. වැවෙන් ලත් ජලයෙන් ආර්ථිකය සරු කරගත් කෘෂිකාර්මික සමාජය පන්සලේ ආභාසයෙන් ආධ්‍යාත්මික සංවර්ධනයට මඟ හෙළි කරගත්හ. භික්‍ෂුව සමාජයේ ගුරුවරයා මෙන්ම උපදේශකත්වයට ද පත්වීම දේශීය සමාජය ධාර්මික අරමුණු කරා ගෙනයාමේ ව්‍යායාමයට මහත් ආශිර්වාදයක් විය. පාලක පන්තියේ සිට රටවැසියා දක්වා වූ පැතුරුණු සමාජයකට අනුශාසක වූ භික්‍ෂුවගේ ක්‍රියාකාරීත්වය සැමට සාධාරණ හා ආදර්ශමත් විය. පාලක පාලිත දෙපක්‍ෂය අතර සම්බන්ධතාව තහවුරු කරලීමේ සම්බන්ධිකාරකත්වයට භික්‍ෂුව පත්වීම මත ආගම ධර්මය පදනම් කරගත් පාලන තන්ත්‍රයක් ඇතිකරගැනීමට මං හෙළිකර ගැනීමටත් දැහැමි පාලන රටාවක් වෙත පාලක පක්‍ෂය යොමු කරලීමටත් අවස්ථාවක් ලැබුණි.

අධ්‍යාපනය හා ආධ්‍යාත්මය

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා රැසක් සනිටුහන් වූයේ මහින්දාගමනයෙන් පසුව බව සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂි තුළින් සනාථ වේ. පන්සල අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූ අතර භික්‍ෂුව ජාතියේ ගුරුවරයා විය. ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට අයත් කළ හැකි බ්‍රාහ්මි අක්ෂර කීපයක් දැනට අනුරාධපුර ගෙඩිගේ ගේ කළ කැණීම් මඟින් මතු කරගෙන ඇතත් දීප ව්‍යාප්ත වූ අක්ෂර රටාවක් ගැන තොරතුරු ලැබෙනුයේ ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසින් පසුව බව අභිලේඛන සාක්‍ෂි තුළින් පෙනී යන කරුණකි. දීපව්‍යාප්ත අක්‍ෂර රටාවක් මෙන්ම භාෂාවක් හඳුන්වාදීමේ ගෞරවය මිහිඳු හිමියන් ප්‍රමුඛ භික්‍ෂුනට හා භික්‍ෂුණීනට හිමිවන බව පැහැදිලිය. එකීය වර්ණමාලාවක් සහිත භාෂාවක් ජනතාව අතර ව්‍යාප්ත කරලීමට භික්‍ෂූන් මූලිකත්වය ගැනීම ජාතින් වශයෙන් හා පළාත් වශයෙන් බෙදී සිටි පිරිස් එක්සත් සංස්කෘතික රාමුවක් වෙත යොමු කරලීමට මහත් අනුබලයක් විය. එලෙසින් ගොඩනැඟුණ එක්සත් සංස්කෘතික පසුබිම හා මානසික ස්ථාවරත්වය දේශීය අනන්‍යතාවය පෝෂණය කරලීමට මහත් දායකත්වයක් ලබා දුන් බව පැහැදිලි කරුණකි.

එමෙන්ම සිංහල සාහිත්‍යයේ වර්ධනයේ මුල් අවස්ථාව ද මහින්දාගමනයත් සමඟ සනිටුහන් වේ. මිහිඳු හිමියන් දීප භාෂාවෙන් එනම් ලක්දිව භාෂාවෙන් දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිසට ප්‍රථමයෙන් ධර්ම දේශනා කොට ඇත. එමෙන්ම මාගධි භාෂාවෙන් පැවැති අටුවා හා ටිකා හෙළ භාෂාවට නැඟීම හා පවත්වාගෙන යාමේ සම්ප්‍රදායයේ ආරම්භය ද මහින්දාගමනය හා සම්බන්ධ වේ. එබැවින් සාහිත්‍යාංගයන්හි වර්ධනය, ඓතිහාසික පුවත් විහාරාරාම ආශි‍්‍රතයෙන් පවත්වාගෙන යාම නිදහස් අදහස් සාහිත්‍යාංග තුළින් ඉදිරිපත් කිරීම වැනි සාහිත්‍ය හා බැඳුණු කටයුතුවල ආරම්භය හා මාර්ගෝපදේශකත්වය මහින්දාගමනයත් සමඟ මෙරට ජනතාව වෙත ලැබුණු දායාදයන් සේ සැලකීම නිවැරැදිය.

නිර්මාණකරණයට දායකත්වයක්

මහින්දාගමනයෙන් පසු බෝධිය වැඩම කිරීමත් සමඟ ලංකාවට පැමිණි කුලීන හා කාර්මික පිරිස් නිසා කාර්මික, කෘෂිකාර්මික, වාස්තු විද්‍යාත්මක හා අනෙකුත් තාක්‍ෂණික පාර්ශ්වයන්හි ශීඝ්‍ර දියුණුවක් ඇතිවීම කෙරෙහි සෘජුව බලපෑ කරුණක් විය. මිහිඳු හිමියන් වැඩම කළ මුල් දිනවල උන්වහන්සේට වැඩ සිටීමට මැටිගසා ගින්නෙන් වේලා අසපුවක් තනා දෙන ලද්දේය යන වංසකතා පුවතින් එවකට මෙරට පැවැති ගෘහනිර්මාණකරණයේ ප්‍රාථමිකත්වය මනාව ඉස්මතු කෙරේ. මේ ආකාරයේ ගෘහ නිර්මාණකරණයක් පැවැති මෙරට මහා ප්‍රාසාදයන් ගොඩනැඟීම දක්වා දියුණු වාස්තු විද්‍යාත්මක පරිණත බවක් ඉතා කෙටි කලක් තුළ ඇතිකර ගන්නා ලද්දේ දේශීය හා ඉන්දීය ආභාසය තුළින් බව පැහැදිලිය. එමෙන්ම අහස උසට නැඟීයන මහාථූප මෙරට ඉදිකිරීමේ සම්ප්‍රදායක් ඇතිවූයේ මහින්දාගමනයෙන් පසුවය. බුදුරදුන්ගේ ධාතු නිධන් කොට චෛත්‍යයක් ඉදිකිරීම අවශ්‍ය බව මිහිඳු හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට ප්‍රකාශ කළ තැන ථූපයක් ඉදිකරන්නේ කෙසේද යන්න රජු පෙරළා මිහිඳු හිමියන් අතින් විචාරා ඇත. එහිදී වී ගොඩක ආකාරයට එය ඉදිකළ යුතු අයුරු උන්වහන්සේ විසින් රජුට පැහැදිලි කළෙන් එහි ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රථම ස්තූපය වූ ථූපාරාමය අනුරාධපුරයේ ඉදිවිය. එම පූර්වාදර්ශය පදනම් කොට ගනිමින් ශ්‍රී ලංකාවේ දකුණේ, නැඟෙනහිර උතුර හා අනෙකුත් ප්‍රදේශයන්හි මහාථූප ඉදිකළ අතර ශ්‍රී ලංකාවටම ආවේණික වූ මහාථූප සම්ප්‍රදායක් නිර්මාණය කර ගැනීමට ද හැකිවිය.

එමෙන්ම බෞද්ධ දාර්ශනිකත්වය ථූපය තුළින් මෙන්ම අනෙකුත් වාස්තු විද්‍යාත්මක කැටයම් කරණයෙන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ශික්‍ෂණය හා මාර්ගෝපදේශකත්වය බුදුදහම තුළින් මෙරට වැසියනට ලබාදුන්නේ ය. ප්‍රතිමාව, මුරගල, කොරවක්ගල සඳකඩපහණ වැනි කලාංග දේශීය කලා ශිල්පියාගේ ආගමික ශික්‍ෂණය කෙතෙක් ද යන්න නිහඬව කියාපායි. විදේශීය ආභාසයන් ලැබුණ ද දේශීයත්වය වඩාත් ඉස්මතු කොට බෞද්ධ දර්ශනයේ ගැඹුරු තැන් සියුම් වින්දනයක් සමඟින් ජන හදවත්වලට සමීප කරලීමට දේශීය කලාකරුවාට මඟ පෙන්වන ලද්දේ මහින්දාගමනයෙන් ඇති කළ සංස්කෘතික පරිසරයයි. සිත් පිත් නැති ගලකට සිතින් මවාගත් අපමණ ගුණ ඇති බුදුරදුන්ගේ රුව ඇතුළු කරලීම තුළින් දේශීය කලාකරුවාගේ බුදු බැති බව කෙතෙක් ද යන්න මනාව ඉස්මතු කොට පෙන්වයි.

අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙන්ම දේශපාලන රටාවේ ද නවෝදයක් ඇතිවීම කෙරෙහි මහින්දාගමනය සෘජුව බලපෑ කරුණකි. අභිලේඛන සාක්‍ෂිවලට අනුව ක්‍රි.පූ. දෙවැනි සියවසට පූර්ව අවධියේ ප්‍රාදේශීයව ස්ථානගත වූ ප්‍රාදේශීය නායකත්වයක් යටතේ ස්වාධීනව කටයුතු කළ පාලන ඒකක තිහක් පමණ දැනට හඳුනාගෙන ඇත. යාපනය වැනි ප්‍රදේශවල අභිලේඛන සාක්‍ෂි නොමැතිවීම නිසා එම කලාපයන් පිළිබඳ නිශ්චිතව නිගමනයන් කිරීම අසීරු වුවද ලංකාවේ අනෙකුත් සෑම පළාතකම පාහේ මෙවැනි පාලන ඒකක පැවැති බවට අභිලේඛන සාක්‍ෂි ඇත. උතුරු මැද පළාතේ පෙරියපුළියන්කුළම, නැට්ටුකන්ද ඔච්චප්පුකල්ලු මිහින්තලේ, මුතුගල, දිඹුලාගල වැනි ස්ථානවල ඇති ක්‍රි.පූ. යුගයට අයත් ලෙන් ලිපි කීපයකින් එබඳු ප්‍රාදේශීය නායකයන් ගැන තොරතුරු ලැබේ. එමෙන්ම වයඹ පළාතේ රන්ගිරමඩ, නුවර කන්ද, පතහාමුල්ල හා තිත්තවෙලත්, බස්නාහිර පළාතේ කොරතොටත් දකුණු පළාතේ බෝවත්තේගල, සිතුල්පව්ව හා කොට්ටදැමුහෙළත් නැඟෙනහිර පළාතේ කුසලාන්කන්ද, මොට්ටයකල්ලු කොල්ලදෙණියත්, සබරගමුව පළාතේ කිරිමකුල්ගොල්ල, බලහුරුකන්ද, යාන්ලෙන ලෙනගලත් මධ්‍යම පළාතේ බඹරගල, ගෝනවත්ත, ඇඹුල්අඹේ පිදුරංගල යන ස්ථානවල ඇති අභිලේඛනවලින් ද ලංකාවේ ඒ ඒ පළාත්වල ස්ථානගතව පැවැති ප්‍රාදේශීය ස්වාධීන පාලක පිරිස් පිළිබඳ පැහැදිලි සාක්‍ෂි ඉස්මතු කර ගත හැකි වේ. ඒ අනුව පැහැදිලිව වංසකතා දක්වන ආකාරයට අනුරාධපුරය මුල් කරගත් එක් පාලන සංවිධානයක් මුල් අවධියේ සිටම පැවැතියේය යන්න සිතීම දුෂ්කරය. අභිලේඛන සාක්‍ෂි හා සාහිත්‍ය මුලාශ්‍ර එකිනෙක සංසන්දනාත්මකව අධ්‍යයනයෙන් මෙම අදහස තව දුරටත් තහවුරු වේ. මෙසේ විසූ ප්‍රාදේශීය පාලක පිරිස් අතරින් කාජරගාමය මුල් කරගෙන විසූ දසබාතික පාලක පිරිස් ප්‍රබලත්වයකින් යුතු බව ධාතුවංසය දක්වන පුවත්වලින් සනාථ වේ. ශ්‍රී ලංකාවේ එවකට විසූ ප්‍රබල දේශපාලන නායකයන් හා ලක්දිව බොහෝ ජනයන් බෝධි රෝපණ උත්සවය පිණිස අනුරාධපුරයට පැමිණි බව සාහිත්‍ය මූලාශ්‍රයෝ පෙන්වා දෙති. සංස්කෘතික ක්‍රියාදාමයක් අරබයා විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි පිරිස් එක් ස්ථානයකට එක අරමුණකින් එක් තැන්වීම එක්සත් ජාතියක් එක්සත් දේශයක් යන ආකල්පය ඉස්මතු වන පළමු අවස්ථාවක් එමඟින් නිරූපනය වන බවක් පෙනේ. මෙම පාලක පිරිස් බෞද්ධාගමට නැඹුරුවීම හා බෞද්ධ සංස්කෘතියකට අනුව සිය කලාපයන් තුළ කටයුතු කිරීමට පෙලඹීම සමාජය අතර පැවැති දේශපාලන බෙදීම් අවම කරලීමට හේතුවක් වූ අතර ආගමික පසුබිමක් යටතේ අනුරාධපුරය මුල් කරගත් එක්සත් දේශපාලන ව්‍යුහයක් වෙත ක්‍රි.පූ. දෙවන සියවස වන දුට්ඨගාමණිගේ නායකත්වය යටතේ පෙළ ගැසීමට අදාළ වින්තනය ගොඩනැඟීම කෙරෙහි ද ඇති සංස්කෘතික පදනම වැදගත් වූ බව කිව හැකිය. එමෙන්ම පාලකයන්ගේ ආචාර ධර්ම පද්ධතිය සැකසීමේදී දසරාජධර්මයට අදාළවන ලෙසින් පාලක චර්යා පද්ධතිය ගොඩනංවා ගැනීමට මිහිඳුමාහිමියන් වැඩ සිටි අවධියේ සිටම පාලකයන් උනන්දු කරවීම පසුකාලීන සදාචාරාත්මක දේශපාලන පසුබිමක් මෙරට නිර්මාණය වීම කෙරෙහි බලපෑ බව පැහැදිලිය.