UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා පුදබිමේ නව සංවර්ධනයට ජනාධිපතිතුමා සුවිශාල මෙහෙවරක් ඉටු කරනවා

මිහින්තලා පුදබිමේ නව සංවර්ධනයට ජනාධිපතිතුමා සුවිශාල මෙහෙවරක් ඉටු කරනවා

අම්බස්ථලය නමින් හැඳින්වූ මෙම ඓතිහාසික ස්ථානය අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිදුවූ ඓතිහාසික පුදබිම මිහින්තලාව නමින් එදා සිට හැඳින්වූ බව ප්‍රකට කරුණකි.

මෙරට බෞද්ධ ශිෂ්ටාචාරයෙහි මූලස්ථානය මිහින්තලාවයි. එය සදේවක ලෝකයාගේ අප්‍රමාණ වන්දනාවට ලක්වූ ඓතිහාසික සිද්ධස්ථානයකි.

සංස්කෘතිය, ආගමදහම, අක්ෂර, මූර්ති, කැටයම් ආදී කලා ශිල්පයන්හිද ආරම්භක ස්ථානය මිහින්තලාවයි.

බුදුපියාණන් වහන්සේලා සතර නමකගේ පහස ලද මිහින්තලාව අතිපූජනීය ශ්‍රේෂ්ඨ පින්බිමකි.

දේවානම්පියතිස්ස, උත්තිය, භාතිකාභය, වසභ කනිට්ඨ තිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස, සිරිමෙවන්, ධාතුසේන, පළමුවන අග්බෝ, දෙවන අග්බෝ ආදී රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් ඒ ඒ යුගයන්හිදී මිහින්තලා පුදබිමෙහි කරවන ලද වෙහෙර විහාර, පොකුණු, පවුරු, පිරිවෙන් රෝහල් ආදී විවිධ වූ පූජනීය වස්තුන්ගෙන් මිහින්තලය සමන්විත වේ.

එදා මහරහතන් වහන්සේලා දොළොස් දහසක් වැඩ සිටි විහාර, පිරිවෙන්, දාන ශාලා, අට සැටක් ලෙන් මිහින්තලාවේ පැවැති බව ප්‍රකට කරුණකි.

පංචශීල ප්‍රතිපදාව, පැවිද්ද, උපසම්පදාව වස්වැසීම ආරම්භ වූයේ මිහින්තලය මුල්කරගෙනය. මිහින්තලා කඳු මුදුනේ වාරිමාර්ග පද්ධතිය හා සම්බන්ධ ප්‍රධාන ජලාශ්‍රය නාග පොකුණයි. එවන් ඓතිහාසික පූජනීය උරුමයක් පවතින මිහින්තලාව කේන්ද්‍රස්ථානය කර ගනිමින් අපේ රටට උරුම වූයේ මහා ප්‍රෞඪ ඉතිහාසයකි.

මේ ආදී වශයෙන් බලන කල මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිදුවී පුරා වසර 2321 ක් සපිරුන ද ලංකාවාසී බෞද්ධ ජනතාව මෙන්ම ලෝකවාසී ජනතාවගේ ද නෙත් සිත් පුබුදු කරවන, පහන් කරවන මිහින්තලාව සහ පොසොන් පොහොය යනු දෙකක් නොව එකක් වන තරමටම බැඳී පවතී. පොසොන් පොහොයේ උදාවත් සමඟ බෞද්ධ ජනතාවගේ මනසට නැගෙන්නේ, හැඟෙන්නේ මිහින්තලා පුදබිමය. ඒ නිසාම වසරේ පොසොන් පොහොය මුල්කරගෙන සැදැහැවතුන් ලක්‍ෂ විස්සකටත් අධික පිරිසක් මේ දිනවල මිහින්තලාවට පැමිණෙතැයි අපේක්‍ෂා කැරේ.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වෙනුවෙන් කළගුණ සැලකීම යුතුකම සහ වගකීමද වේ.

කළගුණ සැලකීමේ උදාර චාරිත්‍රය ලොවටම ආදර්ශයෙන් පෙන්වා වදාළේ ගෞතම බුදුපියාණන් වහන්සේය. තමන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වීමට සෙවන සැලසූ සිත් පිත් නොවූ බෝධීන් වහන්සේ වෙත සතියක් පුරා අනිමිස ලෝචන පූජාව පවත්වමින් උන්වහන්සේ එම උදාර චාරිත්‍රය ලෝවැසියනට ආදර්ශයෙන් පෙන්නුම් කර වදාළහ.

බොහෝ කලක පටන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වෙනුවෙන් පෙරහර පවත්වමින් ආලෝක පූජා පවත්වමින් වෙනත් වූ විවිධ පින්කම් පවත්වමින් පොසොන් පොහොය අනුස්මරණය කිරීම සිදුවේ. සාමාන්‍යයෙන් වසරකට වරක් එසේ සිදු කිරීම පෙර සම්ප්‍රදායක් ලෙස පැවැත්වේ. ගිරිභණ්ඩ පූජාවද පැවැත්වු මහදැලියා මහානාග රජතුමා විසින් මහාසෑය සුවිශාලව, හා අලංකාරකරවා දන්සැල් ආදියද පවත්වා යොදුන බැගින් පාවාඩ ද එලා වැව් අමුණු වල පහන් දල්වා මහාසෑය දෙසට ආලෝක පූජා පැවැත්වූ බවද කියැවේ.

ගෙවීගිය තිස් වසරක් පුරාද රට තුළ යුද්ධයක් පැවතිණි. එමෙන්ම විවිධ දෝෂ නිසා මිහින්තලා පුදබිමේ ස්ථිර සංවර්ධනයක් නොවූ බව රහසක් නොවේ.

ගත වූ දෙවසරක් ඇතුළත මිහින්තලා පුදබිම සිත නිවන පින් බිමක් බවට පත් කිරීමට අවස්ථාව උදා වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැති තුමාගේ උදාර අනුග්‍රහය නිසයි.

මිහින්තලා පුදබිමේ මේ වන විට උදාවී ඇති සංවර්ධනය සියැසින් දැක බලා ගැනීමට මිහින්තලා පුදබිම වන්දනාව සඳහා පැමිණෙන ලෙස මෙරට ජනතාවට ඇරැයුම් කරමු. මිහින්තලා පුදබිමේ වර්තමාන දියුණුව කලකට පෙර සිට අපේක්‍ෂා කළ ප්‍රාර්ථනා කළ සිහිනයක් සැබෑවීමකි. මල්ඵල ගැනීමකි. කෙසේ වුවද එය අප පුද්ගලිකව ලද ජයග්‍රහණයක් නොව අප රටත්, ජනතාවත් ලද වාසනාවක් ලෙස සලකමු.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මිහින්තලා පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙහි පවතින අඩුපාඩු රැසක් හඳුනාගෙන දැයට කිරුළ වැඩ සටහනට සමගාමීව මිහින්තලේ පූජා භූමියත්, මිහින්තලේ නගරයත් සංරක්‍ෂණය හා සංවර්ධනය කිරීමට මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු යෙදූහ.

එහිදී නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්‍ෂක බලකායේ ශ්‍රමදායකත්වයෙන් මිහින්තලා පුදබිමේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්‍ෂා කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් පුදබිමේ අලංකාරය ඇතුළු සියලු සංවර්ධන කටයුතු ආරම්භ කැරිණි. එසේ සිදුවෙමින් පවතින සංවර්ධනය හේතුවෙන් පූජනීය වූත් අලංකාරවූත් මිහින්තලා පුදබිම පිළිබඳ අපේ රටේ බෞද්ධ ජනතාවගේ මෙන්ම ලෝකවාසීන්ගේද අවධානය යොමු වී තිබෙන අයුරු මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගෙන් පෙනී යන්නකි.

ආරක්‍ෂක ලේකම්තුමාගේ කාරුණික මැදිහත්වීමෙන් ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්‍ෂක බලකායේ හා පොලිසියේ ශ්‍රමදායකත්වයෙන් පුරාවිද්‍යාදෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් සුවිශාල සංවර්ධන කටයුතු රාශියක් සිදු වූ බව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රුපියල් කෝටි ගණනක් වටිනා සුවිශාල මෙහෙවරක් මිහින්තලයට සිදුකර ඇත.

මිහින්තලයට පැමිණෙන මාර්ග සියල්ල සංවර්ධනය කර කාපට් කර තිබේ. පුදබිම ශුද්ධ පවිත්‍ර කරමින් අලංකාර කිරීම් නව රථගාල්, කැසිකිළි, වැසිකිළි, පොදු පහසුකම් ආදී සියල්ල පහසුකම් ලබාදීමෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මෑත යුගයේ මිහින්තලා පුදබිමට සිදු කර ඇති සේවයට රටවැසි ජනතාවගේ නොමද ගෞරවය, ආශීර්වාදය එතුමාට නිරතුරුව හිමිවිය යුතුයි.

වැසි වසින වෙලාවක දහපහළොස් දෙනෙකුටවත් නොතෙමී ඉන්නට ස්ථානයක් නොතිබූ වෙලාවක අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ අවධානය ඒ සඳහා යොමු කර නව දෙමහල් ධර්ම මන්දිරයක් ඉදි කිරීමටද මුල්ගල තබා ආරම්භ කරන ලදී. එම මහා ධර්ම මන්දිරයේ අඩි 165 ක් දිග අඩි 65 ක් පළල වේ. එවන් ධර්ම මන්දිරයක් ඉදිකිරීමෙන් අව්වට වැස්සට නොතෙමී වන්දනාකරුවන්ට නවාතැන් පහසුකම් සලසා ගැනීමට බණ භාවනා කරමින් ආගමික වතාවත්වල නිරතවීමට අවශ්‍ය පහසුකම් ඒ මඟින් සලසා ගත හැකි වේ.

වසර ගණනාවක සිට අපේක්‍ෂා කළ මිහින්තලා පුදබිමේ සංවර්ධනය ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සිදුවීම රටේත් ජනතාවගේත් සම්බුද්ධ ශාසනයේත් වාසනාවක් ලෙස සළකමු. මිහින්තලා පුදබිමට හෙළ රජ දවසෙන් පසු සියලු පහසුකම් ලබාදීමට කටයුතු කළ රාජ්‍ය නාකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තෙරුවන් වෙත දක්වන දැඩි ගෞරවය, ශ්‍රද්ධාව මෙන්ම ප්‍රායෝගිකවම බෞද්ධ කටයුතුවල, පින්කම්වල නිරත වෙමින් ප්‍රායෝගික රාජ්‍ය නායකයකු ලෙස රටටත් ලොවටත් පෙන්නුම් කර තිබේ.

එතුමා මෙරට රාජ්‍ය නායකත්වයට පත්වීමට පෙර පවා ඉතා යහපත් බෞද්ධයකු ලෙස මහා සංඝරත්නය සම¼ඟ සමීප ඇසුරක් පවත්වමින් ජනතාවටත් රටටත් ආදරය කරමින් කටයුතු කළ බව ප්‍රකට කරුණක්.

තුනුරුවන් මුල් කරගෙන තුනුරුවනෙහි ආශීර්වාදය ලබා ගනිමින් හැම කටයුත්තක්ම සිදු කරන අතර තිස් වසරක් පුරා පැවැති යුද්ධය එතුමාගේ දූරදර්ශී නායකත්වයෙන් ජයග්‍රහණය කළ අයුරෙන්ම රට ගොඩනඟන රට සංවර්ධනය කරන කාර්යයද එතුමා ඉතා අවංකව සිදු කරමින් රටටත් ජනතාවටත් සුවිශාල ජයග්‍රහණ හිමිකරදෙන බවට අපි විශ්වාස කරමු.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 52 වන වරටත් මිහින්තලා ආලෝක පූජාව සිදු කිරීම අගයන අතර ඊට ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දැක්වීමද පැසසිය යුතු ය.

ආරක්‍ෂක අමාත්‍යාංශය, අබාන්ස් ආයතනය මැලිබන් ආයතනය අනුරාධපුර මහ දිසාපති තුමා සහ පොසොන් උත්සව කමිටුව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව, පොලීසිය, ජලාපවාහන මණ්ඩලය ආදී රාජ්‍ය හා පෞද්ගලික ආයතනත් විවිධ ස්වේච්ඡා සංවිධානත් ඒකරාශි වී මෙම පුණ්‍ය කටයුත්තට උදව් කිරීම පුණ්‍යානුමෝදනය කරමින් අගය කරමි.

එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යතුමා, එස්.එම්. රංජිත් සමරකෝන් ප්‍රධාන ඇමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් දක්වන සහාය ද කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුයි. පසුගිය වසරේ දී මෙන්ම මෙවර පොසොන් උත්සව සමයේදීත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මිහින්තලයේ දී පැවැත්වෙන ආගමික උත්සව කටයුතු සඳහා සහභාගී වනු ලැබේ.

මිහිඳු පෙරහර ජූනි 11 වන දා වීථි සංචාරය කරන අතර මිහින්තලා පුදබිමේ කැණීම්වලින් සොයාගත් බුදුරජාණන් වහන්සේගේ සහ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය ද සිදු කෙරේ.

මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සුදුවතින් සැරසී ශ්‍රද්ධා ගෞරවයෙන් පැමිණෙන ලෙස දන්වනු ලැබේ.රජයේ සහායෙන් නව සංවර්ධන කටයුතු සිදුවන අයුරු දුටු පරිත්‍යාගශීලීහු ද ඊට සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති බවද සඳහන් කරන අතර ලෝවැසි බෞද්ධ ජනතාවට එම සද්කාර්යවලට දායකවීමට ද කාරුණිකව ඇරැයුම් කරමු.

වාර්ෂික මිහින්තලා, ලේක්හවුස් ආලෝක පූජාව ජූනි 11, 12 සහ 13 දිනවලදී පැවැත් වේ.

- සීසර් සුදුසිංහ


මෙම උතුම් පින්කම සැබැවින් ම මිහිඳු පූජාවක්ම වේවා

අභිමානවත් සංස්කෘතියක්, ප්‍රෞඪ අධ්‍යාපන රටාවක්, වටිනා සාහිත්‍යයක්, ගෘහ නිර්මාණකරණයක් මෙන්ම සාරධර්මයන්ගෙන් පිරුණු ශිෂ්ටාචාරයක් සමගින් පරම පූජනීය වූ උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය ලක්වාසී දනන් වෙත සමීප කර වූ අසිරිමත් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩි මිහින්තලා පුද බිමේ පැවැත්වෙන “ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව” වෙනුවෙන් මෙලෙස ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම සම්බන්ධයෙන් මම අතිශයින් සතුටට පත්වෙමි.

අති උත්තම පින්බර වෙසක් පොහෝ දිනට පමණක් දෙවෙනි වන, මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය, බෙහෙවින් අරුත්බර වන්නා සේම, දිවයිනේ සතර දිග් භාගයේම වෙසෙන ජනයාගේ මනසට දහම් සිසිලසක් ගෙන දුන් පොහොයකි.

මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පූර්ණ අනුදැනුම මත, ධර්මාශෝක රජතුමන්ගේ බැතිබර දායකත්වයෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පෙරටු කරගත් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් උපසපන් රහතුන් වහන්සේලාත් සමගින් සුමණ සාමණේරයන් වහන්සේ ඇතුළු භණ්ඩුක උපාසකතුමන් ගෙන් සුසැදි මේ දූත පිරිස එදා මිස්සක පව්වේ සිට ලක් දෙරණ සිසාරා පතුරුවා ලූ ඒ දැහැමි ගමන් මඟ, වසර 2321 ගත වන මේ මොහොතේ දීත් අපගේ හදවත් වල සදා අනුස්මරණීය ව සනිටුහන්ව ඇත.

“ධම්මෝසධ සමං නත්ථි – ඒතං පිවථ භික්ඛවෝ” ධර්මය හා සමාන වෙනත් ඔසුවක් මිහිපිට තවත් නොමැත. එනිසාවෙන් ධර්මය නමැති ඔසුවම පානය කරන්න යනුවෙන් එදා ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් ධර්මානුකූල පරිසරයක අපගේ සිතිවිලි මෙන්ම ක්‍රියාවන් ද තබා ගැනීම අතිශයින්ම ප්‍රයෝජනවත් වන්නා සේම, හරවත් මතු පරපුරකට එයම නිවැරදි වූ පූර්වාදර්ශයක් ද වන්නේ ය.

මෙරට පත්තර මහගෙදර ලෙස නම් දරා ඇති ලේක්හවුසියෙන් පුරා පනස් දෙවසරක් තිස්සේ සිදු කරන උදාරතර මහඟු පින් කටයුත්තක් වශයෙන් “ලේක්හවුස් මිහින්තලා අලෝක පූජාව” හැඳින්විය හැකිය. එමෙන්ම, මෙරට බොදුනුවන්ගේ සිත් පහන් කරන්නට නිබඳවම අස්වැසිල්ලක් සපයන “බුදුසරණ” පුවත්පතට මේ පොසොන් පොහොය දිනයේදීම හතළිස් නව වසරක් සපිරීම ද විශේෂත්වයකි.

එනිසාවෙන්, දහම් කරුණු කාරණා බොදු ජනතාවට තවදුරටත් සමීප කරවමින්, උතුම් වූ ශික්‍ෂාකාමීත්වය බොදු බැතිමතුනට පසක් කරදීම උදෙසා බුදුසරණ පුවත්පතට හැකියාව ලැබේවා! යි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරන අතර, ලේක්හවුස් සභාපතිතුමන්ට, අධ්‍යක්‍ෂ මණ්ඩලයට, බුදුසරණ කර්තෘතුමන්ට මෙන්ම සමස්ත ලේක්හවුස් කාර්ය මණ්ඩලයට ද මිහින්තලා ආලෝක පූජාවේ සම අනුග්‍රාහකත්වය දරන ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලයට ද මෙම සද්කර්තව්‍ය සාක්‍ෂාත් කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! යි පතමි.

පහන් සිතින්, බැතිබරව සිදු කරන මෙම උතුම් පින්කම සැබැවින්ම මිහිඳු පූජාවක් ම වේවා!

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]