Print this Article


බුදුරදුන්ගේ පුරිසදම්ම සාරථි ගුණය

බුදුරදුන්ගේ පුරිසදම්ම සාරථි ගුණය

සිංහල සාහිත්‍ය යනු බෞද්ධ සාහිත්‍යයයි. අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, දඹදෙණිය, ගම්පොළ, සීතාවක ,කෝට්ටේ යන යුග පසුකරමින් යන ගමන් මාර්ගය තුළ සිංහල සාහිත්‍යයේ වස්තු විෂය බවට පත් වූයේ බෞද්ධ සාහිත්‍යයයි.

ගුරුළුගෝමීන් අමාවතුර රචනා කිරීම සඳහා ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථි ගුණය පමණක් යොදා ගනු ලැබිණි. විද්‍යාචක්‍රවර්ති බුදුගුණ නවයම රැගෙන බුත්සරණ රචනා කරන ලදී. “ඈත දූලින් වැසීගිය ඇත්රජු මෑත සවනක් ඝන බුදුරැසින් සැදී ගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යමක වැනි ඇස් ඇති ඇත්රජාණෝය. මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබු එබු පයෙන් මහපොළොව පළා පියාන්නාක් මෙන් දුවන ඇත් රජුය .මෑත තැබු තැබූ පයෙන් මිහිකත සනහා සනහාලන බුදුරජාණෝය. මෙසේ ඒ ඇතු ලංවත්ම, ලංවත්ම, සැදැහැත්තෝ ලෙහි අත්ගසන්නට වන්හ”

මේ ඇතා රා කළ දාසයක් බී පවුරු පදනම් බිඳගෙන දූවිලි අවුස්සගෙන හොඬවැල ඔසවාගෙන වෛරය, ක්‍රෝධය සියල්ලම මනසේ දරාගෙන බුදුපියාණන් වහන්සේ ඉදිරියට පැමිණෙයි.

මෙම නාලාගිරි ඇතා මුල්කොට ගෙන මේ ලෝකය තුළ පවතින වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, නපුරුකම ශ්‍රාවක මනසෙහි පියවරෙන් පියවර ගොඩ නැංවෙයි. බුදුපියාණන් වහන්සේ මුල්කොටගෙන, මේ ලෝකයේ තිබෙන්නා වූ උත්තරීතර මානව, දයාව, කරුණාව ,මෛත්‍රිය අනුකම්පාව යන සකලවිධ මානව ගුණධර්ම ගොඩ නඟන ලදී. අවසානයේදී නාලාගිරි ඇතා බුදුපියාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණු බවට සඳහන් වේ. මෙම සිදුවීමත් සමඟ මේ ලෝකයේ පවතින විශ්ව සාධාරණ ධර්මතාවය දෘශ්‍යමාන වේ. මේ ලෝකයේ තිබෙන්නා වූ ගින්දර හරිම සැරයි. ඒ වගේම ඉතාමත් බිහිසුණුයි. කෙතරම් සැර වුවද, බිහිසුණු වුවද, සීතල ජලයට පරාදයි. සීතල ජලයත් සමග සටන් කර ජයගැනීමට ගින්දරට හැකියාවක් නැත. මෙම සනාථනික ධර්මතාවය මුල්කොටගෙන වෛරයෙන්, ක්‍රෝධයෙන්, පළිගැනීමෙන් දැල්වෙන මනසක් තුළ ඇවිළෙන ගින්දර කරුණාවෙන්, මෛත්‍රියෙන් දයාවෙන් තෙත්වුණ සිතට නිවාදමන්නට පුළුවන් වේ. එය නිවාදමන්ට හැකි බව මෙම අවස්ථා නිරූපණ කුසලතාවයෙන් පෙන්නුම් කරන විද්‍යාචක්‍රවර්ති අපට ආරාධනා කරනුයේ මිනිසුන්ගේ සිත් තුළ තිබෙන වෛරය, කරුණා මෛත්‍රි ජලයෙන් තෙමා දමන්නට ඉඩ දිය යුතු බවය. ඒ තුළිනුයි මේ ලෝකය සුවපත් වන්නේ. මිනිසුන්ගේ සිත් තුළ පහළ වන අසිරිමත් මනෝභාවයන් වන කරුණා, මෛත්‍රිය, දයාව, අනුකම්පාවට, මේ ලෝකයේ මිනිසුන් පමණක් නොවෙයි සතා සිවුපාවා පවා අවනතය. මේ ලෝකයේ සිටින විශාලම සතා වන ඇතා වුවත්, මිනිසුන්ගේ කරුණාවට, දයාවට, අනුකම්පාවට අවනත වේ. ඒ තරම් බල මහිමයක් මානව සිතක උපදින මෛත්‍රියට, කරුණාවට තිබේ.අමා මෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ තුළ තිබුණ ඒ උත්තරීතර ගුණය රැගෙන මෙම සමාජයම සුවපත් කළ හැකි හොඳ බණ කතාවක් මෙම නාලාගිරි දමනය මුල්කොට ගෙන අපට ප්‍රකාශ කරනු ලැබේ. මේ ලෝකයේ ඕනෑම බිහිසුණු චරිතයක් තුළ සද්පුරුෂයකු සැඟවී ජීවත් වන බවට බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනු ලැබුහ.

මේ ලෝකයේ උප්පත්තිය ලබන අප හැමෝම පෙර ආත්මභවවල බොහෝ සෙයින් පින් කළ උදවිය. මෙම උත්තරීතර මිනිසත් භවය ලැබුණේම පෙර ආත්මවල කළ පිනට ලැබෙන ලාභයක් ලෙසයි. ඒ නිසා මව්කුසකින් මෙලොව එළිය දකින පුංචි දරුවකුගේ මනස තුළ කරුණාව, මෛත්‍රිය දයාව යන උත්තරීතර ගුණධර්ම පුරවගත්ත මනසක් අපට උරුම වේ. ඒ උරුමය ලැබෙන්නේම පෙර ආත්මවල කරන ලද පිනට ලැබෙන ලාභයක් ලෙසය. කරුණාව, මෛත්‍රිය, දයාව යන උත්තරීතර ගුණධර්ම උරුම කොටගෙනම උප්පත්තිය ලබන අහිංසක මිනිසුන්ව යටපත් කර කර්කශ සමාජය විසින් ඒ මත බිහිසුණු මිනිසුන් නිර්මාණය කරනු ලබනවා. බුදුපියාණන් වහන්සේගේ එකම අරමුණ වූයේත්, එකම කාර්යභාර්යය වූයේත් එම මානව ගුණධර්ම පිරුණු අහිංසක මනිසුන් නැවත ජීවත් කරවීමයි.

එනිසා නාලාගිරි දමනය පමණක් නොවෙයි. අංගුලිමාල දමනයත් එවැනිම චරිතයක්. අංගුලිමාල මුලින්ම අහිංසක විය. එම අහිංසක අංගුලිමාල කරනු ලැබුවේත් තක්සිලාවේ දිසාපාමොක් .මෙම දිසාපාමොක් ඇදුරු ලෝකයේ අහිංසකම චරිතයක් රැගෙන ඒ මත අංගුලිමාල නම් මිනීමරුවකු නිර්මාණය කරන විට බුදුපියාණන් වහන්සේ එම අංඟුලිමාල ඉවත්කර අහිංසකව නැවත මේ ලෝකය තුළ ජීවත්වීමේ වරම ලබා දුන්හ. එක ගුරුවරයෙකු අංඟුලිමාල චරිතයක් නිර්මාණය කරන විට තවත් ගුරුවරයකු එම අංඟුලිමාල ඉවත්කර රහතන් වහන්සේ නමක් නිර්මාණය කළහ. උත්තරීතර මානව ගුණධර්මයන්ගෙන් උත්පත්තිය ලැබූ ඒ උතුම් මිනිසුන් ජීවත් කරවීමට බුදුපියාණන් වහන්සේ අප්‍රමාණ වෙහෙසක් ගත්හ. අහිංසකට ඇඟිලි මාලයක් කපාගෙන එන ලෙස ගුරුතුමා අණ කරද්දී “අප අනුනට හිංසා කරන කුලයේ උපන්නෙමි යනුවෙන් අහිංසක ප්‍රකාශ කරනු ලබයි. අප අනුන්ට හිංසා පීඩා කරන කුලවල දරුවන් නොවෙන බවත් අප අහිංසක අම්මලගේ තාත්තලගේ දරුවකු බවත් ඔහු ප්‍රකාශ කරනු ලබයි. නමුත් ගුරු පූජාව පැහැර හැරීම බරපතළ වරදක් ලෙස ප්‍රකාශ කළ විට, එදා අහිංසක අංඟුලිමාල නම් මිනීමරුවකු බවට පත්විය. අංඟුලිමාල බුදුපියාණන් වහන්සේ හඹා එන විට, හතිදමමින් වෙහෙසට පත්ව සිටින අංඟුලිමාල බුදුපියාණන් වහන්සේ අමතා මහණ නවතින්න යැයි ප්‍රකාශ කළ අවස්ථාවේ අංඟුලිමාල මම නැවතුණා. ඔබත් නවතින්න යැයි වදාරා. බුදුපියාණන් වහන්සේ වඩිමින්ම නැවතුණා යැයි කළ ප්‍රකාශයෙන් කෝපයට පත් අංඟුලිමාල මහණ ඇයි ඔබ බොරු කියන්නේ යැයි ප්‍රකාශ කරනු ලැබුවා. මේ මොහොත වන විට වෙහෙසට පත්ව සිට අංඟුලිමාල තුළ ක්‍රෝධය වෛරය,පළිගැනීම, යටපත් වී බුද්ධිය අවදිවුනා. අංඟුලිමාල තුළ පැවති දැඩි කාය ශක්තිය දුර්වල වෙමින් ප්‍රඥාව මතු කරවන්න බුදුපියාණන් වහන්සේට අවශ්‍ය වුනා. එතනට පැමිණි අංඟුලිමාලට බුදුපියාණන් වහන්සේ වදාළේ අංඟුලිමාල මම නැවතුණා කියල කිව්වේ මේ සංසාර සාගරය හරීම දුක්සහගතයි. මේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු මේ අතිශය බිහිසුණු සංසාර සාගරයේ පීනල, පීනලා අද මම එතෙර වෙලා ඉන්නේ. මම අද ඒ ක්‍ෂේම භූමියේ නැවතී උත්තරීතර සුවය ලබමින් ඉන්නේ. ඔබ තාමත් මේ අති බිහිසුණු සංසාර සාගරයේ වරෙක පිහිනමින් වරෙක ගිලෙමින්, වරෙක මතුවෙමින් රැළි වලට හසුවෙමින් මහා චණ්ඩ මාරුතවලට මුහුණ දෙමින් තාම ඔබ ඒ තුළ ඇවිදිනවා.

අම්මා අද ආවා නම් ඔබ අම්මව මරන්න හිටියා. අම්මා මැරුවා නම් නැවත අවුරුදු කල්ප ගණනකට සසරෙන් එගොඩවීමට බැරි තරමට පාපකර්මයක් සිදු කරගන්නවා ඒ නිසයි මම ඔබ මුණගැසෙන්න වැඩියේ. එනිසා මේ සසරෙන් ගොඩවෙන්න ඔබට තාමත් වාසනාව තියෙනවා. ඒ මොහොත වන විට අංඟුලිමාල ළඟ තිබූ කඩුව, ඇඟිලිමාලය පැත්තකට විසිවෙනවා. බුදුපියාණන් වහන්සේ ළඟ දණින් වැටෙන අංඟුලිමාල ධර්මය කියාදෙන ලෙස බුදුපියාණන් වහන්සේට ආයාචනා කළා.

අංඟුලිමාලගේ කය මුලින්ම දමනය කරමිනුයි. බුද්ධිය අවදි කළේ. අංඟුලිමාල බලවත් කාය බලයෙන් උද්දාමයට පත්වෙමින් මානයෙන් බලවත්ව සිටි නිසා ඔහුගේ බුද්ධිය අවදිකරන එක ලෙහෙසි නොවූහ. එනිසා බුදුපියාණන් වහන්සේ පළමුවෙන්ම අංඟුලිමාලගේ . කය සන්තර්පණය කරනු ලැබුවා. කායික බලයට වඩා වැඩි වෙනත් බලයක් මේ ලෝකය තුළ තිබෙන බවත් ඒ සියල්ලටම වඩා චිත්ත බලය වැඩි බව. අංඟුලිමාලට පසක් කර දුන්නා.

බුදුපියාණන් වහන්සේ පුරුෂයන් දමනය කිරීමේ ක්‍රමවේද අනුගමනය කළහ. ආලවක දමනයේදී බුදුපියාණන් වහන්සේ අවබෝධයෙන් සිටියේ ආලවක තුළ දැඩි කාය ශක්තියක් නොව වෛරය ,ක්‍රෝධය, පළිගැනීම, ඊර්ෂ්‍යාව, තුළින් ගිනිගෙන දැවෙන මනසක් තිබෙන බව,

“නික්කම සමනාති” එසේ අණදුන් ආලවකට කීකරු වූ බුදුපියාණන් වහන්සේ, සිනාමුසු මුහුණින් යුතුව ශාන්ත ගමනින් ජේතවනාරාමයට වැඩම කිරීම සඳහා එළියට වැඩියහ.එසේ වඩින බුදුපියාණන් වහන්සේට නැවතත් වහා විමානයට ඇතුල්වන ලෙසට ආලවක අණකරනු ලැබූහ. බුදුපියාණන් වහන්සේ කුඩා දරුවකු මෙන් සිනාමුසු මුහුණින් කරුණාව, මෛත්‍රිය, පෙරදැරිව නැවතත් ආලවකට කීකරුව ආලවකගේ විමානයට වැඩම කරනු ලැබූහ. නැවතත් බුදුපියාණන් වහන්සේ අසුනෙහි වාඩිවෙන්න සූදානම් වෙද්දීම “මහණ එළියට බහිනු” යන්න ආලවක අණ කරයි. මෙසේ තුන්වාරයක් බුදුපියාණන් වහන්සේ වෙහෙසට පත්කළ ආලවක අවසානයේදී ඔහු තුළ පැවති වෛරය, පළිගැනීම, වැනි කුරිරු සිතිවිලි බුදුපියාණන් වහන්සේගේ මහා කරුණාව, මෛත්‍රිය, ඉදිරියේදී ක්‍රමයෙන් පහව ගියේය. තුන් ලෝකයටම අග්‍ර වූ බුදුපියාණන් වහන්සේ මම කියන කියන ආකාරයට කීකරුව හැසිරෙනව යැයි මානසික වශයෙන් පැවතුණ වෛරයේ බලය ක්‍රමයෙන් නිවී යමින් පැවතුණි. ක්‍රෝධයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන්, ගිනිගෙන දැවෙන මනසට බණ දේශනා කළාට ඉන් පළක් නොවන බව වටහා ගත් බුදුපියාණන් වහන්සේ එම අකුසල මනෝභාවයන් ආලවකගේ මනසෙන් ඉවත් වන ආකාරයට කටයුතු කර පසුව ධර්මය දේශනා කරනු ලැබූහ. වෛරී සිතකට ධර්මය දේශනා කළාට පලක් නොවන බව දැනගත් බුදුපියාණන් වහන්සේ ආලවකගේ හැසිරීම ඉදිරියේ මහා කරුණාවෙන් , මහා ප්‍රඥාවෙන් කටයුතු කරනු ලැබූහ. මේ ලෝකයේ පහළ වු ශ්‍රේෂ්ඨතම මනෝවෛද්‍යවරයා වූයේ අප ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේයි. වෛරය ,ක්‍රෝධය,පළිගැනීම් ඉවත් කර දහම් බිජුඇට රෝපණය කළ හැකි සරුසාර කෙතක් බවට ඔවුන්ගේ මනස පත්කරනු ලැබුවා. මෛත්‍රියෙන්, කරුණාවෙන් මුළු සමාජයම සුවපත් කළ හැකි ය

හේමමාලා රන්දුනු