Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය.....35 සංසාරයේ කෙළවර...

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය.....35

සංසාරයේ කෙළවර...

මෙවන් කියුම් විමසන විට හැඟී යන්නේ පාණ්ඩිත්වයෙන් උඩඟු නොවූ සැහැල්ලු සිතක පැවැති නිහතමානීත්වය වේ.

වයෝවෘද්ධ වියේදී වුවද අවධි වූ නිරවුල් සිතින් මහා ගැඹුරු දහම් සාගරයේ කිමිදෙමින් විමසමින් තම ප්‍රඥා ලෝකයෙන් එහි පතුල දැකීමේ නිරන්තර ව්‍යායාමයක මහා නාහිමියන් නියැළුණු බවකි. එහිදී එදා මනැස තුළ තිබූ අවබෝධයේ තරම මෙන්ම පසු කාලීනව ලැබූ සුපොහොසත් අධ්‍යාත්මයක පුළුල් බවේ වෙනස උන්වහන්සේට දැනෙන්නට ඇත.

වසර සියයක් ආයු වැළඳූ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ පශ්චිම යාමයේ උන්වහන්සේගේ සිරුර දුර්වල වුවද, දෑසම නො පෙනී පැවතියද, සිත සවිමත් විය. අවසාන නිමේෂය දක්වා මහා අධ්‍යාත්මික ව්‍යායාමයක මනැස ක්‍රියාත්මකව පැවතුණු බව පෙනෙයි.

මේ වන විට පොත් ලිවීම නවතා භාවනාව වෙනුවෙන්ම සිත යොමු කිරීම නිසා ඒ සමාධිගත වන සිතට දැනෙන ප්‍රඥාවබෝධය විසින් මහා නා හිමියන් පෙරදී ලියු පොත් තව තවත් පුළුල් ආකාරයට ලියන්නට දැන් හැකියාව ඇති බව උන්වහන්සේ අවබෝධ කරගෙන සිටියහ. එය දුර්වල කයක් තුළ පැවැති මනැසේ සවිමත් බවට හොඳ උදාහරණයකි. මහා නා හිමියන් ලියූ පොත් පෙළ පිළිබඳව අද ද කිසිදු පාඨකයෙක් ප්‍රශ්න නොකරති.

එහෙත් ලියූ කර්තෘවරයාම තමාගේම පොත් ගැන ස්වයං විග්‍රහයක යෙදෙයි. සෑහීමකට පත් නොවන බවක් හඟවයි.

චන්දවිමල මහා නා හිමියන්ගේ ධර්ම පුස්තක පෙළ ඉතා ප්‍රශස්ථ මට්ටමක පවතියි. ඒ ගැන අද ද කොහෙත්ම විවේචනයක් නොමැත. එහි අඩංගු ධර්ම කරුණු වල කිසිදු වැරැද්දක් විකෘතියක් නොමැති බව පැහැදිලිය.

පොත් පිළිබඳව පවසන ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ උන්වහන්සේ මේ වකවානුවේදී ඒවා ලියුවේ නම් එම ධර්ම කරුණුම තවත් පුළුල්ව පැහැදිලිව විග්‍රහ කිරීමට හැකියාව ලැබෙන බවය.

මෙවන් කියුම් විමසන විට හැඟී යන්නේ පාණ්ඩිත්වයෙන් උඩඟු නොවූ සැහැල්ලු සිතක පැවැති නිහතමානීත්වය වේ.

වයෝවෘද්ධ වියේදී වුවද අවධි වූ නිරවුල් සිතින් මහා ගැඹුරු දහම් සාගරයේ කිමිදෙමින් විමසමින් තම ප්‍රඥා ලෝකයෙන් එහි පතුල දැකීමේ නිරන්තර ව්‍යායාමයක මහා නාහිමියන් නියැළුණු බවකි. එහිදී එදා මනැස තුළ තිබූ අවබෝධයේ තරම මෙන්ම පසු කාලීනව ලැබූ සුපොහොසත් අධ්‍යාත්මයක පුළුල් බවේ වෙනස උන්වහන්සේට දැනෙන්නට ඇත.මේ දැනුම් පරාශය පිළිබඳව ප්‍රශ්න නැගුවේ බාහිර කිසිවකුත් නොව තම හෘද සාක්‍ෂියම ය.

එදාට වඩා අද සමාජය සංකීර්ණය.විෂමය. මෙතරම් බණ කියන රටක මෙතරම් බණ අසන රටක විෂමචාරයන් වර්ධනය වන්නේ ඇයි දැයි අපි සැවොම සෙවිය යුතු වෙමු.

ප්‍රතිපත්ති ගරුක ආදර්ශවත් ජීවිත ගෙවන මිනිසුන් විරළ විය හැකිය. බොහෝ දෙනා උත්සාහ කරන්නේ කැටයම් මොස්තරය පෙන්වමින් කැපී පෙනීමට මහා චරිත මවමින් ජනපි‍්‍රය, නළු නිළියන් මෙන් රඟපෑමටය. පය ගැසු පොළොවෙන් උඩ සැරසූ වේදිකා මත විරාජමාන වීමට ය. බුදුන් වහන්සේ පවා ධර්ම දේශනා කළේ නිසි තැන නිසි වේලාව අවශ්‍යතාවය ප්‍රමුඛ කර ගනිමින් බව බුද්ධ චරිතය විමසන විට පෙනෙයි.

රේරුකානේ මහා නා හිමියන් බැහැ දකින්නට පැමිණෙන ඇතැම් අය ධර්මය පිළිබඳව කතා කිරීමට සූදානම් වුවද උන්වහන්සේ ධර්මය පිළිබඳව වචනයකුදු කතා නොකරති. මහා නා හිමියෝ එසේ හැසිරෙන්නේ කිසිදු අහිතකින් නොවෙති.

මේ අතර ඇතැමෙකු පැමිණෙන්නේ ඉතා ඕනෑකමින් ධර්මාවබෝධය ලබා ගැනීම සඳහාය. එවන් අය සමඟ ඕනෑම වේලාවක් ධර්මය පහදා දෙමින් කතා කිරීමට මහා නා හිමියන් පෙළඹෙන්නේ කැමැත්තෙනි.

ධර්මය වුවත් සෑම අවස්ථාවකම සෑම දෙනා සමඟම තැන නො තැන නො බලා කතා කිරීම ඇතැම් විට හිසරදයක් වීමටද ඉඩ ඇත. ඒ නිසාම මහා නා හිමියන් එවැනි දෙයකට කිසි විටෙකවත් සූදානම් වූයේ නැත.

එහෙත් යනෙන කා සමඟ වුවද උන්වහන්සේ කතා කරන්නේ ඉතාමත් සුහදවය. මහා නා හිමියන්ගේ නිබඳ සිනාමුසු ප්‍රසන්න මුහුණ අභ්‍යන්තරය විදාහරණය කළ කැඩපතක් වැනි විය.

ඒ සිනාමුසු ප්‍රසන්න මුහුණේ සිරියාව එදා වාගේම අදත් ධම්මානන්ද හිමියන්ගේ මතකයේ රැඳී පවතී.

“නායක හාමුදුරුවන්ව බලන්න එන හැම කෙනෙක්ම කියන දෙයක් තමයි මහානායක හිමියන් දෙස බලාගෙන ඉන්න ආශා හිතෙනවා කියලා. ඒ තරමටම ලස්සන සිනා මුසු පි‍්‍රයංකර මුහුණක් උන්වහන්සේට තියෙන්නේ “

රේරුකානේ මහා නා හිමියන් පිළිබඳ ධම්මානන්ද හිමියන්ගේ මතකයේ පවතින්නේ විශේෂතාවයන්ම ය. ‘තවත් විශේෂ කරුණක් තමයි මහා නා හිමියන්ගේ තිබෙන ප්‍රාර්ථනය. බොහෝ දෙනකු සිතන්නේ නායක හාමුදුරුවන් ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක් කියලා. නමුත් නායක හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව අරමුණ වී තිබෙන්නේ කොහොම නමුත් මේ ජීවිතයේදීම මේ පංචස්කන්ධය අවසන් කර දැමීමයි’ ‘උන්වහන්සේ උත්සාහ ගන්නේ ඒ සඳහායි. මහා නා හිමියන් ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරමින් වැඩිම කාලයක් ගත කරන්නේ ඒ වෙනුවෙන්’

මහා නා හිමියන් ඉතාම දුර්වල වෙලා, ලෙඩ වෙලා ඉන්න අවස්ථාවලදී උන් වහන්සේගේ සිත විමසා බැලීමට මාත් සෑම උත්සාහයක්ම ගත්තා. ඇහැ ඔපරේෂන් කරලා. ආහාර ගන්නත් බැරුව නායක හාමුදුරුවන් බරපතල අපහසුතාවයකට පත් වුණා. ඒ අපහසුව නිසා වෙන වෙන රෝගත් වැළඳුණා. හුඟක් අසාධ්‍ය වුණා. මං ඒ අවස්ථාවලදී අහනවා. “කොහොමද නායක හාමුදුරුවනේ” කියල එවිට උන්වහන්සේ ප්‍රකාශ කළේ “ධම්මානන්ද මා එබඳු අවස්ථාවලදී කරන්නේ නිවනට සිත යොමුකර ගැනීමයි ”

‘උප්පාදෝ භයං - අනුප්පාදෝ ඛේමං
උප්පාදෝ දුක්ඛං - අනුප්පාදෝ සුඛං

නිතර මහා නා හිමියන් පවසන්නේ ඔය වචන තමයි ‘ ‘ඉපදීම බයක් – නූපදීම තමයි ශාන්තිය ‘ භය නොමැති බව, එවැනි දුර්වල රෝගි අවස්ථාවලත් අන්න ඒ වගේ සිතිවිලි වලින් තමයි මහා නා හිමියන්ගේ සිත වෙලී පවතින්නේ. ඉතින් එවැනි අවස්ථාවලත් නිරෝධයට නිවනට සිත යොමු කර ගැනීම විශේෂ පුද්ගලයකුගේ ලක්‍ෂණයක් නේද? “ ‘නායක හාමුදුරුවෝ නිතර පවසන දෙයක් තමයි ‘මං මේ පින් දහම් කරන්නේ අනාගත ඵලයක් බලාපොරොත්තුවෙන් නො වන බව. මට එහෙම කිසිම ප්‍රාර්ථනාවක් නැහැ”

ධම්මානන්ද හිමියන් එය තවත් විග්‍රහ කරමින් මෙසේ පවසති.

‘එසේ කියන එකේ තේරුම පින් පව් වල විපාක පිළිබඳව නොවෙයි. නායක හිමියන්ගේ එකම අභිප්‍රාය මේ භවයේදීම සංසාරය කෙළවර කර ගැනීමයි. ඒ වගේ කෙනෙකුට යම් විශේෂ තත්වයක් නැ කියල කියන එකත් අපහසුයි’

‘එහෙත් එවැනි විශේෂත්වයක් ගැන නායක හාමුදුරුවන් මා සමග කියා නෑ. කියන්නෙත් නෑ. නමුත් මට උන්වහන්සේගේ – විශේෂත්වයක් පෙනෙනවා , දැනෙනවා ‘

‘දැන් අවුරුදු හතක් අටක් විතර කාලය මේ දුර්වල තත්ත්වයෙන් තමයි නායක හාමුදුරුවෝ ඉන්නේ. කායික දුර්වලත්වය නිසා මනසද ව්‍යාකූල වෙන එක ස්වභාවයක් වුවත්, උන්වහන්සේගේ මනස ඉතා නිරවුල් බවයි පෙනෙන්නේ

මතු සම්බන්ධයි


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 34 කිසිවෙක් නොදැක්ක විශේෂත්වයක්