Print this Article


සම්මා සම්බුදු පදවිය

සම්මා සම්බුදු පදවිය

බුද්ධත්වය ලබාගැනීම යනු බෝධිසත්වයන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය හෙවත් අවබෝධය ලබා ගැනීමය. එනම් ලෝකය පිළිබඳ තත්‍ය වූද සත්‍ය වූදේ පිරිසිඳ දැන ගැනීමයි. බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන කාලය අනුව බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාව තුනක් ඇත. එනම් සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරන පඤ්ඤාධික බුද්ධ,අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන සද්ධාධික බුද්ධ හා දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන විරියාධික බුද්ධ යනුවෙනි. .

බුද්ධ යන නාමය ඇසූ කල්හි අප කාටත් ඇතිවන්නේ අප්‍රමාණ සතුටකි. මිනිසෙකුට තම ජීවිතයේ දී ලැබිය හැකි අග්‍රගණ්‍ය,උසස්ම ඵලය වන්නේ බුද්ධත්වයයි. එය අවබෝධයේ උසස් ම තත්ත්වයයි.වරක් ද්‍රෝණ බමුණා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බුද්ධත්වයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේම පැහැදිලි කර ඇත.

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවේතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ

ද්‍රෝණ සූත්‍රයේ සඳහන් මෙම ගාථාවට අනුව බුදු බව යනු දැනගත යුතු සියලු දේ දත්, වැඩිය යුතු සියලු දේ වර්ධනය කර ගත්, ප්‍රහීණ කළ යුතු සියලු දේ ප්‍රහීණ කළ උතුම් තත්ත්වයකි. මෙකී උතුම් තත්ත්වය මව්පිය උරුමයෙන් හෝ ඤාතිකම නිසා ලැබෙන්නක් නොවේ. මේ වනාහි උත්සාහයේ කූටප්‍රාප්තියයි. බුදු බව ලබා ගැනීම සඳහා අපේ බෝධිසත්ත්වයන්ට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරීමට සිදුවිය. දස පාරමී, දස උප පාරමී, දස පරමත්ත, පාරමි ආදි පාරමිතාවන්ද ඇතුළුව සියලු බුද්ධ කාරක ධර්මයන් මේ සඳහා සම්පූර්ණ කළ යුතුය.

බුදුරජාණන් වහන්සේට උපක ආජීවක හමු වූ අවස්ථාවේදී උන්වහන්සේ ඔහුට පැහැදිලි කළේ තමාට ගුරුවරයෙකු නොමැති බවත් තමන් හා සමාන කිසිවෙකු දෙවියන් සහිත ලෝකයෙහි නොමැති බවත්ය. එසේම බුද්ධත්වය ලබා බරණැස ඉසිපතනයට වැඩි අවස්ථාවේදී පස්වග මහණුන් උන්වහන්සේට ‘ආවුසො.’ වාදයෙන් ඇමතූ කළ පැහැදිලි කළේ තමන් හා සමාන කිසිවෙකු තුන් ලෝකයෙහි නොමැති නිසා එසේ ඇමතීම සුදුසු නොවන බවයි. මෙකී කරුණු වලින් පැහැදිලි වන්නේ බුද්ධත්වයේ උත්තරීතර බවයි.

බුද්ධත්වය ලබාගැනීම යනු බෝධිසත්වයන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය හෙවත් අවබෝධය ලබා ගැනීමය. එනම් ලෝකය පිළිබඳ තත්‍ය වූද සත්‍ය වූදේ පිරිසිඳ දැන ගැනීමයි. බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන කාලය අනුව බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාව තුනක් ඇත. එනම් සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරන පඤ්ඤාධික බුද්ධ, අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන සද්ධාධික බුද්ධ හා දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන විරියාධික බුද්ධ යනුවෙනි. මේ අනුව අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙකි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුවරයෙක් වන අතර මතු බුදුවන මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුවරයෙකි. නමුත් මෙම ස්වභාව තුනට අයත් බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥතා ර්ණයෙහි කිසිදු වෙනසක් නැත. බුදුවීම පිණිස උත්සාහ කරන බෝසත්වරු කල්ප කාලාන්තරයක් පෙරුම් පුරනුයේ නියත විවරණ ලබන තැන් සිටය. නියත විවරණ ලබන භවයේදි බෝසත්වරු කරුණු 08 කින් සම්පූර්ණ විය යුතුය.

*. මිනිස් ජීවිතයක් ලබා සිටීම
*. පිරිමි භවයක උපත ලබා සිටීම
*. හේතු වාසනා ඇත්තෙකු වීම
* ශාස්තෘන් වහන්සේ දැකීම
*. පැවිදි වී සිටීම
* ගුණ සම්පත්තියෙන් යුක්ත වීම
* අධිකාරය
* ඡන්දය

බුදුරජාණන් වහන්සේ නමක් සතු සර්වඥතා ඥානය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වේ. ‘ගම්භිරො දුද්දසො දරනුබෝධෝ අතක්කාවචරො පණ්ඩිතවේදනියො....’යනුවෙන් දක්වා ඇත්තේ ගැඹුරු, අවබෝධයට අපහසු, තර්කයට ගොදුරු නොවූ පණ්ඩිතයන් විසින් ම අවබෝධ කර ගත යුතු වූ ඥානයක් බුදුරජාණන් වහන්සේ නමක් සතුව පවතින බවයි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සත්සතියෙන් සිව්වැනි සතියේදී තමන් විසින් අවබෝධ කරගත් ධර්මය නැවත මෙනෙහි කළ අතර උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ෂඩ්වර්ණ රශ්මිය ද විහිදිණි. මෙකී රශ්මි කදම්බයෙන් ද අර්ථවත් වන්නේ බුද්ධත්වයේ උත්තරීතර බවයි. එනම් නිල් පැහැයෙන් විශ්ව කරුණාවද කහ පැහැයෙන් ආධ්‍යාත්මික ශක්තිය ද රතු වර්ණයෙන් ප්‍රශංසාවද සුදු පැහැයෙන් පාරිශුද්ධත්වයද, තැඹිලි පැහැයෙන් ප්‍රඥාවද පිළිබිඹු වේ. මේ අනුව බුද්ධත්වය යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සිදු කළ පර්යේෂණයක අග්‍රගණ්‍ය ප්‍රතිඵලයකි.