Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 34

කිසිවෙක් නොදැක්ක විශේෂත්වයක්

සඳුන් අරටුවක් මෙන් උත්තමයන් ගිය මඟ සිල් සුවඳ, උඩු සුළඟේ ද යටි සුළඟේ ද රැඳී පවතී. මද පවනේ ද රැඳී පවතී. සුළි සුළඟකින් වත් චණ්ඩ මාරුතයකින් වත් ඈතට ගසාගෙන ගොස් වියැකී නොයයි. සෑම දිසාවෙහිම පැතිරෙයි. අධ්‍යාත්මයෙන් සුපොහොසත් ශ්‍රේෂ්ඨ පුරුෂයන් සංසාර මඟ අඳුරට එරෙහිව නැගී සිටිනාවීදි පහන් වැනි වෙයි. ඒ එළි දැල්වෙන්නේ කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරව යනෙන මාර්ගය ද එකළු කිරීම සඳහා ය. හුදෙක් මඟ හසර පෙන්වීමට ආලෝකය අවශ්‍ය නිසාය. නමුත් අන්ධ විශ්වාසයන්ගෙන් ආත්මය පුරවාගත් මිනිස්සු ආලෝකය නොදකිති.

කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ගේ දින පොතේ සටහන් තබා ඇති 1986 – 04- 13 වැනි දිනයද එවැනිම වූ විශේෂ දිනයකි.

ඒ දිනයේ දී රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් පැවසූ තවත් විශේෂ ප්‍රකාශයක් එහි මෙසේ සටහන් කර තිබෙයි. “ ධම්මානන්ද මේ කාලේ ලෝකයේ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි මම. ඒ බව ලෝකය දන්නේ නැතිවාට” ලෝකයේ සිටි, සිටින විශේෂ පුද්ගලයන් පිළිබඳව අප අසා ඇත. විශ්මිත දේ කරන පුදුම සහගත ගති පැවැතුම් ඇති බොහෝ අය එම ගණයට අයත් වෙති.

ඒ අතර ඇතැම් රාජ්‍ය නායකයන්, දාර්ශනිකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, කම්කරුවන්, ධනකුවේරයන් වාගේම සොරුන්, ත්‍රස්තවාදීන් වැනි වුන්ද ඇතැම්විට ලෝක ප්‍රසිද්ධ වන්නේ ඔවුන් කරන ක්‍රියාකාරකම් නිසාය. ඇතැමෙක් කරන ඉතා යහපත් මෙන්ම සමහරුන්ගේ අධම ක්‍රියා විසින් ඔවුන් විශේෂ පුද්ගලයන් බවට පත්කරවනු ලබති. ඇතැම්විට හිස් මිනිසුන් එක් රැයෙන් දෙකෙන් යෝධ ප්‍රතිරූප බවට පත් කරවන්නේ මිනිසුන් මුළා කරවන ඇස්බැන්දුම්, විජ්ජා මවන සන්නිවේදන ලෝකය විසිනි.

ඒ කවරාකාරයකින් සිදු වුවද විශේෂිත පුද්ගලයකු විශිෂ්ටත්වයට පමුණුවන්නේ මානව ප්‍රජාව, පරිසරය ලෝකය වෙනුවෙන් ඔහු කරන ඵලදායී යහපත් ක්‍රියාවන් හේතුවෙනි.

ඈත දුර විහාරස්ථානයක, එක්තරා කුඩා කුටියක පුංචි සයනයක සැතපී වයෝවෘද්ධ වියේ කෙසඟ සිරුරකින් හෙබි, භෞතික පක්‍ෂයෙන් කිසිවකුත් පෙන්වීමට නොහැකි, ඉතා සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කළ, එක්තරා යතිවරයාණන් වහන්සේ නමක් එක් දිනක පවසන්නේ ලෝකය දන්නේ නැතිවාට උන්වහන්සේ ලෝකයේ සිටින විශේෂ පුද්ගලයකු බවය. කෙනකු භෞතික පක්‍ෂයෙන් බලයෙන් ජවයෙන්, ජනපි‍්‍රයත්වයෙන් විශේෂත්වයට පත් වුවද යමකු අධ්‍යාත්මයෙන් සුපොහොසත් වන්නේ නම් විශේෂත්වයේ සැබෑ විශිෂ්ටත්වය එයයි.

ලෝකය පවතින්නේ දුකේ පදනම මතනම් ඒ දුක දිනා ගැනීමට සමත් පුද්ගලයා, ලෝකයම දිනූ ජයග්‍රාහකයෙක් බවට පත්වීම නිසා ඔහු විශිෂ්ටයෙක් වෙයි.

ප්‍රධාන වශයෙන් සැබෑ බෞද්ධයන් වන අප අපේක්‍ෂා කරන්නේ සංසාර විමුක්තිය නම්, ඒ විමුක්ති මාර්ගය පෙන්වා දුන් මහා විමුක්ති දායකයන් වූයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. දුක දිනා ගනිමින් සදාතනික සැප ඇති නිවන් කෙම්බිම වෙත යන මඟ පෙන්වා දුන් නිසාම බුදුපියාණන් වහන්සේ මෙලොව පහළ වූ සුවිශිෂ්ටම උත්තමයා ය.

බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් මඟ දිගේ ගමන් කරනා උතුම් බුදු පුතුන් ධර්ම ප්‍රතිපත්ති මත පිහිටා තම ජීවිතයද සකසා ගනිමින් අප සැමටද සැබෑ මාර්ගෝපදේශකයන් වෙමින් පෙන්වා දෙන පරමාදර්ශයන් නිසාම එවන් සංඝ පීතෘවරුන් තුළින් විද්‍යාමාන වන්නේ විශිෂ්ට ගුණයන් ය.

බලය ධනය ජනපි‍්‍රයත්වය, අබිමානය වෙනුවෙන් යම් විශේෂ ක්‍රියා කාරකමක් කරන පුද්ගලයා බලාපොරොත්තු වන්නේ ජනප්‍රසාදය දිනා ගැනීමටය. එසේත් නැතිනම් තමා වටා එක්රොක් වන අනුගාමිකයන් පිරිසක් ගොඩනඟා ගැනීමය. එහෙමත් නොවන්නේ නම් මේ සමාජ තලයෙන් උඩට ඉස්මතුවී කැපී පෙනීමෙන් විවිධ වරප්‍රසාදයන් ලබා ගැනීමය.

බැඳීම් වරපට ලිහා දමමින් කාම භව ආශාවන්ගෙන් වියුක්තවන අධ්‍යාත්මය පිවිතුරු කරගත් සිතකට ලෝකය සන්තර්පණය කිරීමට අවශ්‍ය නැත. තම ආත්මීය රැස් කදම්බය දකින්නට එන්නයැයි ආරාධනා කරමින් බැනර්, කුඩ, කොඩි, සේසත්, එසවීමට ද අවශ්‍ය නොවෙයි. ඒ නිසාම එවන් මිනිසුන් ගැන ලෝකයට දැන ගැනීමට හැකියාවක් නැත. එහෙත් එවන් ප්‍රසන්න ප්‍රතිරූප මවන පුරෝගාමී චරිත පිළිබඳව අපව දැනකියා ගැනීමට ලැබීමෙන් සිදුවන්නේ යහපත්කම ය. එය අවශ්‍ය වන්නේ පෙරහර පවත්වමින් පැමිණ විශේෂ සත්වයකු දෙස බලනවා වැනිව බලා ආශීර්වාද ලබා ගත් පමණින් හෝ තම පව්මල සෝදා හැරීමට හැකියැයි සිතන මිනිසුන් සඳහා නොවෙයි.

එවන් උත්තමයන් ගිය මඟේ යාමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට මෙන්ම එවන් මිනිසුන්ගේ චරිතාපදානයන් මඟින් ගම්‍ය වන යහපත් ලක්‍ෂණයන් තම ආත්මය තුළද ලියා තබාගනිමින් ප්‍රතිපත්ති ගරුක වීම සඳහා ය. එවන් මිනිසුන්ගෙන් ගතහැකි ආදර්ශයන් තම දිවිමඟට ආලෝකයක් කර ගැනීම උදෙසාය.

සඳුන් අරටුවක් මෙන් උත්තමයන් ගිය මඟ සිල් සුවඳ, උඩු සුළඟේ ද යටි සුළඟේ ද රැඳී පවතී. මද පවනේ ද රැඳී පවතී. සුළි සුළඟකින් වත් චණ්ඩ මාරුතයකින් වත් ඈතට ගසාගෙන ගොස් වියැකී නොයයි. සෑම දිසාවෙහිම පැතිරෙයි. අධ්‍යාත්මයෙන් සුපොහොසත් ශ්‍රේෂ්ඨ පුරුෂයන් සංසාර මඟ අඳුරට එරෙහිව නැගී සිටිනාවීදි පහන් වැනි වෙයි. ඒ එළි දැල්වෙන්නේ කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරව යනෙන මාර්ගය ද එකළු කිරීම සඳහා ය. හුදෙක් මඟ හසර පෙන්වීමට ආලෝකය අවශ්‍ය නිසාය. නමුත් අන්ධ විශ්වාසයන්ගෙන් ආත්මය පුරවාගත් මිනිස්සු ආලෝකය නොදකිති.

ආලෝකය දකින්නට නම් ගැලී වෙලී සිටින මෝහාන්ධකාරයෙන් මිදී බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කළ යුතු වෙයි. ඒ උතුම් බුදුදහමේ හරය සාමාන්‍ය මිනිසාට ද පැහැදිලි ලෙස තේරුම් බේරුම් කර ගැනීමට පහසුවන ලෙස සරල සුගම භාෂා ආකෘතියකින් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ලියා ඵල කෙරෙන පොත් පෙළ හස්ත සාර වස්තුවක් වැනි වෙයි.

1986 දිනක දී රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් තමා ලෝකයේ සිටින විශේෂ පුද්ගලයකු බව පැවසූ අතර ඊට තවත් වසර 6කට පසුව 1992 වසරේ එක්තරා දිනයකදී උන්වහන්සේ පැවසුයේ තමාට දුක්ඛ සත්‍ය අවබෝධ වූ බවය. මෙම ප්‍රකාශයන් දෙකෙහි සහ සම්බන්ධතාවයක් දැකිය හැකි වෙයි.

එසේනම් චන්දවිමල මහා නාහිමියන් දුක්ඛ දෝමනස්සයන් සහිත සංසාර දුර්ග මාර්ගයේ නිසි අවබෝධයෙන් ගමන් කරමින් එවන් තත්ත්වයක් ඇතිවීමට හේතු දැන මේ භව මගේදීම දුක නිවාරණය කර ගත්තාද? කෙසේ වුවත් මහා නාහිමියන්ගේ ප්‍රකාශ තුළින් මෙන්ම ප්‍රායෝගික ජීවිතය පිළිබඳ විමසීමේ දී පැහැදිලි වන්නේ උන්වහන්සේ සුවිශේෂී සංඝ පීතෘ වරයාණන් වහන්සේ නමක් බව ය. රේරුකානේ මහා නා හිමියෝ තවත් දිනකදී ධම්මානන්ද හිමියන් සමඟ මෙසේ ප්‍රකාශ කරති. “ධම්මානන්ද අපේ එකම බලාපොරොත්තුව උත්සාහය මේ පඤ්චස්කන්ධය මේ භවයේදීම කොහොම හරි කෙළවර කර ගැනීමයි.”

මහා නා හිමියන්ගේ වයස අවු. 88 පමණ කාලයේ දී පවසන්නේ ඒ වන විටත් උන්වහන්සේට ලේඛන කාර්ය කළ හැකි බවය. එහෙත් එය කරගෙන යන භාවනාවට බාධාවක් වන නිසා පොත් ලිවීමට කාලය කැප නොකරන බවය. 1983.11.07 දිනයේ දී මහා නා හිමියෝ මෙලෙසද පවසති.

‘දිගු කලක් ජීවත් වීමේ එක හොඳක් තියෙනවා. දිගු කල් ජීවත් වන නිසා ධර්මයේ නොදන්න ගැටලු සහගත දේ තව තවත් අවබෝධ වෙනවා. ඔය පොත් ලියන කාලයේ තිබූ ධර්ම ඥානයට වඩා දැන් අපේ ධර්ම ඥානය බොහොම දියුණුයි. දැන් ඔය පොත් ලියනවානම් ඔය කරුණු ඔයිට වඩා සවිස්තරව අමුතු ක්‍රමයට ලියන්න පුළුවන්.’

බහුතර බෞද්ධ ජන සමාජය තුළ මෙන්ම බහුශ්‍රැත ප්‍රමාණික වියතුන්ගේ ද නොමද පැසසුමට බඳුන් වූ රේරුකානේ මහා නා හිමියන්ගේ ධර්ම පුස්තක පෙළහි ඇති වටිනාකම පිළිබඳව පුන පුනා ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවෙයි. ඒවා බොදු ජන සමාජය වෙත ප්‍රදානය කළ සේවයේ වටිනාකම තක්සේරු කළ නොහැකි තරම්ය.

එවන් පොත් පෙළක් ලියා පළකළ මේ යුගයේ පහළ වූ මහා පඬිරුවනක් වූ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බහුශ්‍රැත සංඝරත්නයක් වූ මහා නා හිමියන් දැනුම අවබෝධය සොයා යන දීර්ඝ චාරිකාවේදී තමා සියල්ල අවබෝධ කරගත් මහා උගතෙක් බුද්ධිමතෙක් යැයි සිතා අනුන්ගේ ප්‍රශස්ති ගරු බුහුමන් ලබමින් අසාමාන්‍ය ප්‍රතිරූප මවමින් කාලය, අවබෝධය එතැනින් නතර කර තැබීමට නො පෙළඹෙති. මුඛයෙන් පිටවන වදනක් වදනක් පාස අහුලා ගනිමින් ‘සාධු ! සාධු !! යැයි හඬ නඟන දහස් ගණන් අනුගාමිකයන්ගෙන් පන්සල් වත්ත පිරීතිරී යනු දකින ලාමක සිතක් උන්වහන්සේ තුළ නොවුණු බව හැඟෙයි. අන්ධ විශ්වාසයන්ගෙන් අසරණ වූ මිනිසුන් දකින්නට මහා නාහිමියන් උත්සාහ නොකළ බව පෙනෙයි.

වසර සියයක ආයු කාලය තුළ අවසාන මොහොත දක්වාම උන්වහන්සේගේ ජීවන පැවැත්ම ඉතා සරළ විය. අල්පේච්ඡ විය. සැහැල්ලු විය.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 33 නො ලියවුණු පොතේ පිටු පන් දහසකි