Print this Article


වෙසක් පිළිබඳ යථා අවබෝධය ලබමු

වෙසක් පිළිබඳ යථා අවබෝධය ලබමු

බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් කරනු ලබන උත්තම පූජාවක් ලෙස වෙසක් උත්සවය සලකනු ලැබේ. එහෙත් වර්තමානයේ ඇතැම් දෙනා මේ මහත් වූ බුද්ධ පූජාව වැරැදි ආකාරයෙන් සිදු කරනු ලබන බව පෙනෙන අතරම එම නිසාම කුසල් කිරීම කෙසේ වෙතත් ඔවුන්ගෙන් සමාජ පරිහානි ගති ලක්ෂණ මතුවෙමින් තිබෙන බවක් පෙනේ.පසුගිය වෙසක් සතිය තුළදීද එවන් ඇතැම් තත්ත්වයන් දක්නට ලැබුණි. 2015 වෙසක් සැමරුමට පෙර හෝ වෙසක් පිළිබඳ යථා අවබෝධය අප විසින් ලබා තිබීම වැදගත් බව අප තේරුම් ගත යුතුය.වෙසඟේ සිදුවන මේ නුසුදුසු ක්‍රියාවන්ට හේතුව කුමක්ද?

මීට ප්‍රධානම හේතුව වෙසඟේ නිසි අර්ථය නොදැනීමයි. ඒ පිළිබඳව ඔවුන් තුළ හැඟීමක් නොතිබීමයි. වෙසක් සැමරුම පිණිස සිංහල බෞද්ධයන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම දින දෙකක විශේෂ නිවාඩු දින දෙකක් හිමිවේ. මේ දින දෙකෙහි සැබෑ අරුත නොදන්නා තත්ත්වයට අපගේ සිංහල බොදු ජනතාවද පත්ව තිබීම සැබැවින්ම කනගාටුදායකය. මේ නිසා මේ සම්බන්ධයෙන් රටේම අවධානය යොමුවීම මහත් සේ අගය කළ යුතුය.

වෙසක් පුර පසළොස්වක දිනය සැබැවින්ම බුදුරජාණන් වහන්සේ උදෙසා පමණක් නොව තමන්ගේ තුන් දොර සංවර්ධනය කර ගැනීම පිණිස යොදා ගත යුතුය. එහෙත් ඇතැම් විට සිදුවන්නේ තුන්දොර සංවර කර ගැනීම නොව ඇස් කන් පිනවීම නැත්නම් කාමාශාවන් වර්ධනය කර ගැනීමයි.මෙය වෙසඟේ අප විසින් සිදු කළ යුතුද? යන්න මැනවින් සිතා බැලිය යුතුය.

විශේෂයෙන් වෙසක් පුර පසළොස්වක් පුර පොහෝ දිනය අනිවාර්යයෙන්ම ප්‍රතිපත්ති පූජාවට නැත්නම් සිත, කය සංවර කරගෙන සීල භාවනාවන්හි යෙදවිය යුතුය.පුර පසළොස්වක දින විශාල පිරිසක් සිල් සමාදන් වීම කැපී පෙනෙන සිදුවීමක් වන අතර මේ වන විට විශේෂයෙන් සම්බුද්ධත්ව ජයන්තියෙන් පසු ඇතිව තිබෙන ප්‍රබෝධය නිසා එසේ වෙසක් පුන් පොහෝ දිනය සිල් සමාදන් වන පිරිස විශාල ලෙසින් වැඩි වී තිබේ. එය බෞද්ධයන් ලෙසින් අපට සතුටු විය හැකි කරුණකි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන බුද්ධ පූජාමය මෙම පින්කමේදි පළමු දිනය අනිවාර්යයයෙන්ම ප්‍රතිපත්ති පූජාවට වෙන් කර දෙවැනි දින සිට තොරණ මෙන්ම දන්සල් බැති ගී මෙන්ම අනෙකුත් ජනතා සහභාගිත්ව වැඩ සටහන් ඇතුළු විවිධ දේ පැවැත්වීම සුදුසු වනු ඇත.

වෙසක් පුන්පොහෝ දින ඇතැම් විට දන්සල් තොරණ මෙන්ම බැති ගී සංදර්ශන ආදිය ඉදිරිපත් කිරීම නිසා විහාරස්ථානයන්ට පැමිණ ධර්ම දේශනා ශ්‍රවණය කළ පිරිස් මෙන්ම එදින පස්වරුවේ විහාරස්ථානයට පැමිණ වැඳ පුදා ගන්නා ලද උවැසි උවැසියන්ද විහාරස්ථානයෙන් ඈත් වී යාමට ඉඩ ඇත.

එය අනාගත පරපුරටද ලබා දෙන වැරැදි ආදර්ශයක් විය හැකිය. සැම වෙසක් පොහෝ දිනකම පළමු දින කිසිදු දන්සල් තොරණ භක්ති ගී මෙන්ම ආමිෂ පූජාවට යොමුවන කිසිවක් නොපැවැත්විය යුතුය.

අවුරුදු දිනයේදි බැංකු සේවකයන්ට තම දරු පවුල් සමඟ එක්ව අලුත් අවුරුදු නැකත ගත කිරීමට නොහැකි වීම සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධව ජනාධිපතිතුමා ගේ අවධානයට පවා එය යොමු කළාක් මෙන් වෙසක් පුර පසළොස්වක දිනයේ දී කිසිදු ආමිෂ පූජාවක් නොපවත්වා එම කටයුතු දෙවැනි දින සිට ඉදිරියට සිදු කිරීමට කටයුතු කළ යුතු බව මහානායක හිමිවරුන්ටද දන්වා ජනාධිපතිතුමා ගේ අවධානය යොමු කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රතිපත්ති පූජාව පසෙක තබා ඇතැම් දෙනා වෙසක් පොහෝ දින සිදු කරනු ලබන මේ ආමිෂ පූජාවන් එක් අතකින් බෞද්ධයන් ලෙස අපට මදිකමක් ගෙනදෙන අවස්ථාද ඇති බව කිව යුතුය.

පසුගිය වසරේ කොළඹ ප්‍රදේශයේ පැවැති මඤ්ඤොක්කා දන්සලක පෝලිමේ සිටි අය අතර සිල් රෙද්ද පොරවා ගත් වයෝවෘද්ධ උපාසක අම්මා කෙනෙකි.ඇය සිල් පවාරණය කර පැමිණෙන්නට ඇත. ඇතැම් විට ඇය මඤ්ඤොක්කා ගෙන යන්නේ ගෙදර සිටින තම දුවට පුතාට හෝ මුනුපුරාට හෝ මිණිපිරියට වන්නට ඇත. නමුත් ඇය සිල් ඇඳුම පිටින් පෝලිමේ සිටින දර්ශනය බෞද්ධ අප කාහටත් නිගරුවකි. තවත් සමහරුන් වෙසක් බලන්නට යන්නේද විහාරස්ථානයේ සිල් ගත්තම අම්මා නැත්නම් තාත්තා සමඟිනි. ඇය එන්නේ සිල් ඇඳුමිනි. සිල් ඇඳුම යනු සීල සමාදානයට ම පමණක් යොමු වූවක් බව අප දැන ගත යුතුය.එය විහාරස්ථානයට ගෙදර සිට පැමිණීමේදී හා විහාරස්ථානයේ සිට ගෙදරට යාම දක්වා පමණක් මහ මඟ ඇඳ ගෙන ගියද එම ඇඳුම පිටින් උස් අසුනක අසුන් ගැනීම පවා බෞද්ධයන් නොකරනු ලබන බව අප දැනගත යුතුය.වෙනත් පොහෝ දිනවල එම ඇඳුම පිටින් බාහිර ගමන් නොයන අය වෙසක් දිනයේදි එසේ බාහිර ගමන් යාම වෙසක් දිනට කරනු ලබන ගරු කිරීමක්ද යන්න සිතා බැලීම අපහසු නැත.

මේ සියල්ල සිදුවන්නේ වෙසක් දිනය සැණකෙළියක් ලෙසින් අප සිතා ගැනීම නිසාය. වෙසක් දිනයේ තම සැබෑ මුහුණ සඟවා වෙස් මුහුණක් දමා ගැනීමේ අරුතක් තිබේද? අසවලා එය කළේය යන්න අපට නිදහසට කරුණක්ද යන්න අප සිතා බැලිය යුතුය.මේ වන විට වෙසක් දිනයේදි ඔලුබක්කන් නැටීම නීතියෙන්ම තහනම් කර ඇත.

වෙසක් පුන් පොහෝ දින පස්වරු 5 න් පසුව ස්වාමින් වහන්සේ ධර්ම දේශනා බාර ගැනීමට පවා මැලිකමක් දක්වති. ඊට හේතුව මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වීමයි.වෙසක් පුන්පොහෝ දින දන්සල් පවත්වනවා නම් එය විහාරස්ථානයක පමණක් පැවැත්විය යුතුය. එසේම මාර්ගය අවහිර වන කිසිදු ආකාරයක ආමිෂ පූජාමය කටයුතු නැවැත්වීම මගින් වෙසඟේ අසිරිය අනාගත පරපුරට නිසි ලෙසින් ලබා දීමට හැකි වනු ඇත.

එසේ නොමැතිව ඔලුබක්කන් නැටීමට නීතිය හරස් වන තෙක් සිටියා. සේම වෙසක් පුන් පොහෝ දින තොරණ දන්සැල් නොපවත්වන්නැයි නීතියක් පැමිණෙන තෙක් බලා නොසිට එය වළක්වා ගැනීමට අදම කටයුතු කළ යුතුය. එසේ වුවහොත් ඊළඟ වෙසඟේ අපට අර්ථවත් වෙසක් දිනයක් සැමරිය හැකි වනු ඇත.