Print this Article


දරුවාට හික්මීම ඇති කිරීමට නම් . . .

දරුවාට හික්මීම ඇති කිරීමට නම් . . .

දරුවන් සිටිනා දෙමව්පියන් කුමන ප්‍රතිපදාවක පිහිටා සිටිය යුතුª ද යන්න විශ්ලේෂණය කළ යුතුය

. විශේෂයෙන්ම ලොව්තුරා අමා මෑණී බුදුපියාණන් වහන්සේ දෙමව්පියන් හඳුන්වනු ලැබුවේ පළවෙනි ගුරුවරු හෙවත්’ ’පුබිබා චරිය’ යනුවෙනි. පූර්වාචාර්යවරුන් වන දෙමව්පියන්ගේ පළමුවන වගකීම විය යුත්තේ

අත්ථාන මේව පඨමං
පතිරූපේ නිවේසයේ’

යනුවෙනි. ප්‍රථමයෙන්ම තමන් හික්මිය යුතුයි. තමන් නිවැරැදි විය යුතුයි. තමන් යහපත් සද්පුරුෂයකු විය යුතුය. තමන් සද්පුරුෂයකු වූවෝතින් තමන් නිවැරැදි කෙනකු වූවෝතින් තමන් අවබෝධයෙන් යුක්ත කෙනකු වුවහොත්, පූර්වාචාරියවරුන් වන දෙමව්පියන්ට දරුවන් හික්මවීමේ කාර්යය වඩාත් පහසුවෙන් කිරීමේ අවස්ථාව ලැබේ. ගෞතම බුදුපියාණන් වහන්සේ ගුරුවරයකු ලෙස, දැඩි ලෙස ආදර්ශ සම්පන්නව කටයුතු කිරීම තමන්ගේ ජීවිතයේ ප්‍රතිපත්තියක් බවට පත්කර ගත්හ. ඒ නිසා සම්මා සම්බුද්ධත්වයෙන් පළමුවන විසි වස පුරාම කිසිදු විනය නීතියක් පනවන්නේ නැතිව, අනුශාසනාවෙන් පමණක් භික්ෂූන් වහන්සේ, ශ්‍රාවකයන් වහන්සේ හික්මවා ගැනීමට බුදුපියාණන් වහන්සේට අවස්ථාව ලැබුණි. බුදුරජාණන් වහන්සේ ගුරුවරයකු ලෙස ඉතාමත් ආදර්ශ සම්පන්නව, නිවැරැදිව, තමන් හික්මීමෙන්, සිහියෙන් කටයුතු කිරීම නිසා ශිෂ්‍ය ප්‍රජාව වඩාත් යහපත් ලෙස හික්මවා ගන්නට හැකියාව ලැබුණ බව ඉන් පැහැදිලි වේ. විශේෂයෙන්ම අප අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වන්නේ, දරුවන්ට උගන්වනවාය යන සංකල්පයේ පිහිටනවා වෙනුවට, දෙමව්පියන් පිහිටා සිටිය යුත්තේ දරුවන් හික්මවනවා යන සිතිවිල්ල තුළයි. ‘හික්මවනවා’ යන්නට ‘සික්ඛති’ යන වචනය බුදුසමය භාවිත කරනු ලබයි. හික්මීම ලබා දීමට බුදුසමය ක්‍රම තුනක් යෝජනා කරනු ලබයි.

බාහු සච්චංච සිප්පංච යන්න බහුශ්‍රැතභාවය ඇති කිරීම පළමු යෝජනාවයි. එනම්, ධර්මය ඇතුළු කොට විෂයානුබද්ධ දැනුම දරුවන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා පාසල, දහම් පාසල හා එයට අමතරව වෙනත් පුද්ගලික ගුරුවරුන් දෙමව්පියන්ට උපකාර කරගත හැකිය. සෑම දරුවකුටම ඉගෙන ගැනීමේ අයිතියක් ඇති බවට සෑම දෙමව්පියකුම අවධාරණයෙන් යුතුව අවබෝධ කරගත යුතුය. එම අයිතිය දරුවන්ට පිරිනැමීම දෙමව්පියන්ගේ යුතුකමකි. එනිසාම පාසල තුළින් විධිමත් විෂයානුබද්ධ අධ්‍යාපනය ලබන්නත්, දහම් පාසල තුළින් දහම් අධ්‍යාපනය ලබන්නත් දරුවන්ට පරම අයිතියක් පවතී. කිසි ලෙසකින්වත් එම අයිතිය දෙමව්පියන් උල්ලංඝනය නොකළ යුතුය. දරුවන් නිතිපතා පාසලට යැවීම, ඉරු දින දහම් පාසලට යැවීමත් දෙමව්පියන් විසින් දරුවන් වෙනුවෙන් කළ යුතු වගකීමකි.

දැනුමෙන් පමණක් දරුවකු හික්ම විය හැකිය යන්න බුදුසමය පිළි නොගනී. ළමයෙකු වර්ධනය වීගෙන එන විට එම ළමයා තුළ යම් යම් චිත්ත වේග හටගනු ලබයි. එම චිත්ත වේග පාලනය කරගැනීම සඳහා ඔහු තුළ යම් යම් කුසලතා ඇති කළ යුතුය. ගැහැනු දරුවකුගේ දෑත දෙපය ක්‍රියාවට නංවමින් පුහුණු කළ යුතු කුසලතා ඇති කිරීම, ඒ දරුවාගේ චිත්ත වේග කළමනාකරණයටත්, චෛතසිකවල පාලනයටත්, ඇයගේ අනාගත වෘත්තීයමය ජීවිතයටත් එය උපකාරවත් වේ. ගැහැනු දරුවකුට ගැළපෙන කුසලතා වන චිත්‍ර ඇදීම, සංගීතය, නර්තනය, මැහීම, ගෙතීම වැනි කුසලතා ලබාදීම දෙමව්පියන්ගේ වගකීමකි. පිරිමි දරුවකුගේ චිත්ත වේග ගැහැනු දරුවකුට වඩා වෙනස්ය. එම පිරිමි දරුවාගේ චිත්ත වේග නිවැරැදිව හඳුනා ගනිමින් ඔහුගේ චිත්ත වේග පාලනයට උපකාරවත් වන යම් යම් ශිල්පවල ඔහු යෙදවීම දෙමව්පියන්ගේ යුතුකමකි. ඇතැම් දෙමාපියන් කල්පනා කරන්නේ ක්‍රීඩාවෙන්, සෞන්දරයෙන් ළමයා සම්පූර්ණයෙන්ම ඉවත් කර දැනුම ලබාදෙන විද්‍යාස්ථානවල හෝ ගෙදරදී ගුරුවරුන් අභියස පමණක් දරුවන් රැඳවීමෙන් ඔවුන්ගේ සිතිවිලි පාලනය කළ හැකි බවයි. එය ඉතාම වැරැදි අදහසකි. දරුවකුගේ චෛතසිකය පාලනය කිරීම සඳහා සංගීතය, ගීතය, චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වෙනත් සෞන්දර්යාත්මක අංශයෙන් යම් යම් උපකාර කළ යුතුයි. දරුවන්ට ගැළපෙන දේ නොගැළපෙන දේ තෝරා බේරා දීම දෙමව්පියන්ගේ යුතුකමකි. බුද්ධාගම ඉගැන්වීමෙන් පමණක්ම දරුවකුගේ සිතිවිලි පාලනය කළ හැකි යැයි අප නොසිතිය යුතුය. ආගමෙන්, දහමෙන් ලැබෙන උපකාරයෙන් සිතිවිලිවල යම් කොටසක් පාලනය කළ හැකි වුවත්, සංගීතය, ගීතය, චිත්‍ර ඇඳීම, ක්‍රීඩාවක නියැලීමෙන් ද යම් ප්‍රමාණයක සිතිවිලි පාලනය කළ හැකිය. දෙමව්පියන් මේ පිළිබඳව සැලකිලිමත්ව අවබෝධයෙන් යුතුව දරුවන් හික්ම විය යුතුය.

‘විනයෝච සුසික්ඛිතෝ’ තුන්වන කාරණයයි. හැදිච්චකම, හික්මීම ඇති කිරීම සඳහා ගෙදර විනයානුකූ®ල වැඩ පිළිවෙලක් තබාගත යුතුයි. මවුපියන් පාන්දරින් අවදි වන්නේ නැත්නම් දරුවන් අවදි කරවීම දුෂ්කර වනු ඇත. මව්පියන් ගෙදර දොර පිරිසුදු කිරීමට උනන්දු වන්නේ නැත්නම් ඒ සඳහා දරුවන් පුහුණු කරවීම දුෂ්කරය. සෑම ගෙදරකම උදෑසන සිට සන්ධ්‍යා සමයේ නින්දට යනතුරු දෙමව්පියන් විධිමත් වේලාවකට, කාල සටහනකට අනුව වැඩ කරන්න ඇප කැප විය යුතුයි. නිකරුණේ රූපාවාහිනිය දෙස බලා සිටීම, ගුවන් විදුලියට ඇහුන්කන් දීම, ජංගම දුරකතනවල සංවාදවල නියැලෙමින් සම්ප්‍රප්ප්‍රලාප දොඩමින් ඉඳීම දෙමව්පියන් නොකළ යුතුයි. අපේ ගෙදර පිළිවෙල මෙය යැයි එවිට දරුවන්ට තේරුම් යනු ඇත. ඉතාමත් බුද්ධිමත්ව, ඉතාමත් ඥානාන්විතව, අපේ දෙමව්පියන් තමන් තුළ ආහාර ගැනීමේ පටන්, බුද්ධ වන්දනාව දක්වාත්, පාර තොටේ ගමන් කිරීමේදීත් සෑම අංශයකම විනයක්, ශීලයක්, හික්මීමක් පවත්වා ගත යුතුයි.

මේ ආකාරයට දැනුමෙන්, කුසලතාවලින්, විනයෙන් දරුවන් හික්ම විය යුතු බව ‘බාහු සචිචංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ’ යනුවෙන් බුදුපියාණන් වහන්සේ මංගල සූත්‍රයේදී වදාරපු ආකාරයට විධිමත් ක්‍රමයක් ඔස්සේ දරුවන් හික්මවීමට දෙමව්පියන් කටයුතු කළ යුතු වේ.

දරුවකුගේ විඤ්ඤාණය මේ භවයේ පමණක් සැකසුණු එකක් නොවන බව අවබෝධ කරගත යුතුය. දරුවෙකු යනු සංසාර ගමනක, චාරිකාවක නියැලෙන කෙනෙකි. ඔහු හෝ ඇය මේ භවයේදී ඔබගේ දුව හෝ පුතා ලෙස ආවත් ඔහුට හෝ ඇයට සංසාරයෙන් රැගෙන එන විඤ්ඤාණයක් පවතී. එම විඤ්ඤාණයේ යම් යම් කුසලතාවන් හැකියාවන්, දුර්වලතා වන් අකුසල් හෙවත් නොහැකියාවන් හඳුනාගෙන කුසලතා ඔප් නැංවීමටත්, දුර්වලතා මැඬ පැවැත්වීමටත් දෙමව්පියන් හික්මවීමේ ක්‍රියාවලියේදී වැඩි වැඩියෙන් උනන්දු විය යුතුයි. ළමයා සියුම්ව නිරීක්ෂණය කරනවා නම්, ඔහුගේ චරිතය තුළින් මේ කුසල් සහ අකුසල් කුඩා කාලය තුළ සිටම පෙනෙන්නට පටන් ගනී. ඒවා නිවැරැදිව හඳුනාගෙන, සලකුණු කර ගැනීමෙන් දරුවන් යහපත් කිරීම, නිවැරැදි කිරීම, ගුණාත්මක කිරීම දෙමව්පියන්ගේ වගකීමක් ලෙස සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.