UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආනාපානසති භාවනාව පුරුදු කරමු
 

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කර, ‘මහණෙනි, යම් කිසිවකු විසින් ආනාපාන සති භාවනාව වඩයි නම් හෙතෙම ශාන්ත පැවැත්මක් ඇති අයකු බවට පත්වෙයි. සැපසේ වාසය කරන අයකු බවට පත්වෙයි යහපත් පුද්ගලයන් ඇසුරු කරන අයකු බවට පත්වෙයි. එසේම ඔහුගේ යම් යම් අකුසල කර්ම විපාක නැතිවීමටද හේතු වෙයි යනාදී වශයෙන් ආනාපාන සති භාවනාවෙහි වැදගත්කම පෙන්වා දුන්හ.

සිදුහත් කුමරු ඉපැදී මාස පහක් ගත විය. එදින කිඹුල්වත් පුර වාර්ෂිකව පවත්වනු ලබන වප් මඟුල් උත්සවය විය. විශාල ජනතාවක් සහභාගි වෙමින් උත්සවාකාරයෙන් පවත්වනු ලබන මෙම උත්සවයට තම සිඟිති පුතනුවන් ද රැගෙන යාමට සුද්ධෝදන පිය මහ රජතුමා තීරණය කළේය. කෙත මධ්‍යයේ සුවිසල් දඹ වෘක්ෂයකි. එම රුක් සෙවණෙහි කුමරු වෙනුවෙන්ම සකස් කරන ලද ආසනයකි. එහි ආරක්ෂාකාරිව කුමරු නිදි කරවූ රජතුමා පිරිවර සමග කුඹුරට බැස සී සාන්නට පටන් ගත්තේය.

ආසනයෙහි සිටි කුමරු වට පිට බැලුවේය. අසල කිසිවකුත් පෙනෙන්නට නැත. බිලිඳු දරුවකු වුවද බුද්ධියෙන් මුහුකුරා ගොස් සිටි කුමරුගේ සිත භාවනාවට යොමු විය. පළක් බැඳගත් කුමරු හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම ගැන සිත යොමු කළේ ය. එනම් ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහි සිත පිහිටුවා ගත්තේය. නොබෝ වේලාවකින් කුමරුගේ සිතෙහි කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච ,කුක්කුච්ච, විචිකිච්චා යන පංච නීවරණ ඉවත් විය. ඒ අනුව විතක්කය, විචාරය, පී‍්‍රතිය, සුඛය, ඒකාග්ගතාවය සහිත ප්‍රථම ධ්‍යානය පහළ විය. මෙසේ භාවනානුයෝගීව සිටි කුමරු දුටු කිරි මව්වරු මෙම ආශ්චර්යය පිය මහ රජතුමාට සැළ කළහ. වහා එතැනට පැමිණි පිය මහ රජතුමා තමන්ට ඇති වූ සතුට දරා ගත නොහැකිවැ දෙවැනි වතාවටද තම පුත් කුමරු වැන්දේය.

පසු කාලයෙහි සතර පෙර නිමිති දැක, ගිහිගෙයි කලකිරී, සියල් රජ සිරි අත් හැර ගිහි ගෙයින් නික්මුනු සිදුහත් කුමරු තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවැ, සත්‍ය අවබෝධ කැර ගනු වස්, විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කළේය. ගුරුවරුන් වෙත ගොස් සත්‍යය සොයා ගැනීමට වෙහෙසුනි. විවිධ වෘත සමාදන් වුණි. සිරුරට දැඩි දුක් දුනි. එහෙත් එකදු ක්‍රියාවකින් හෝ පලක් නොවුන බැවින් තමන් කුඩා කල සිට පුරුදු පුහුණුකැර තිබූ ආනාපාන සති භාවනාව වැඩීමට පටන් ගත්තේය. එදා වෙසක් පුර පසළොස්වක දින බුද්ධගයාවෙහි බෝ මැඩ අබියස දී සියලු කෙලෙසුන් නසා උතුම් බුද්ධත්වයට පත්වී වදාළහ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කර, ‘මහණෙනි, යම් කිසිවකු විසින් ආනාපාන සති භාවනාව වඩයි නම් හෙතෙම ශාන්ත පැවැත්මක් ඇති අයකු බවට පත්වෙයි. සැපසේ වාසය කරන අයකු බවට පත්වෙයි යහපත් පුද්ගලයන් ඇසුරු කරන අයකු බවට පත්වෙයි. එසේම ඔහුගේ යම් යම් අකුසල කර්ම විපාක නැතිවීමටද හේතුවෙයි යනාදී වශයෙන් ආනාපාන සති භාවනාවෙහි වැදගත්කම පෙන්වා දුන්හ.

මෙහිදී අකුශල කර්ම විපාක නැති වන්නේ කෙසේද යනු ගැටලුවක් විය හැකිය. මිනිසුනට පෙර කරන ලද කර්ම මෙන්ම මේ ආත්ම භාවයේ කරන කර්ම වලටද විපාක විඳීමට සිදු වෙයි.බොහෝ විට මේ ආත්මයේ කරන යහපත් ක්‍රියාවන් නිසා පෙර ආත්ම වල කරන ලද කර්ම වල විපාක අහෝසි විය හැකිය. මේ ආත්මයේ කරනු ලබන ඇතැම් වැරදි ක්‍රියාවන් නිසා විඳීමට සිදුවන අයහපත් ප්‍රතිඵලයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙයි. ඒ අනුව විවිධ ආබාධ දුරු කැර ගැනීමේ හැකියාව ආනාපාන සති භාවනාව මගින් ඇති කැර ගත හැකිය.ආනාපාන සති භාවනාවට යොමු වූ පුද්ගලයා දුසිරිත්වලින් වැළකී කටයුතු කරන බැවින් ඒවා නිසා හට ගන්නා රෝගාබාධ වළක්වා ගත හැකිය.

ජීවිතය පවත්වාගෙන යාම සඳහා හුස්ම ගැනීම කළ යුතුය. බොහෝ විට අප සිතන්නෙ අපගේ දිවි පැවැත්මට අවශ්‍ය වන්නේ ආහාර පාන පමණක්ය යනුවෙනි. ඒවා ලබා ගැනීමට යම් වෙහෙසක් දැරිය යුතුවෙමු. එහෙත් හුස්ම ගැනීම කිසිදු වියදමක් නොකොට නොමිලයේම කළ හැකිය. හුස්ම ගැනීම අපේ ආර්ථිකයට කිසියම් බලපෑමක් නොකරයි.

එබැවින් ඒ පිළිබඳ අවධානය නොකරන බව සිතිය හැකිය.අපි නිදා සිටින විටත් අවදියෙන් සිටින විටත්, හුස්ම ගනිමින්, හෙලමි න් සිටින්නෙමු. හුස්ම නොගෙන සිටියහොත් ටික වේලාවකින් මරණයට පත් වෙයි.ආහාරපාන නොගෙන දින කිහිපයක් වුවද සිටිය හැකිය. එහෙත් හුස්ම නොගෙන සිටිය හොත් විනාඩි කිහිපයක් තුළදී මරණයට පත් විය හැකිය.මෙය අත්හදා බැලීමට උත්සාහ නොකළ යුතුය. ආනාපානය හෙවත් හුස්ම ඉහළට ගැනීමත් පහළට හෙළීමත් පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම ඉතා වැදගත් වෙයි. එය පුරදු කිරීම ගැන මනා වැටහීමක් ලබා ගත යුතුය. එමගින් ලැබෙන ප්‍රතිඵල සත්‍යය වශයෙන්ම විශ්මයජනකය. අපි දිනකට දෙතුන් වරක් ආහාර අනුභව කරන්නෙමු. එනමුත් අපි නිරතුරුව වාතය අනුභව කරමින් සිටින්නෙමු. හුස්ම ගැනීමෙන් සහ පහත හෙළීමෙන් සිදු වන්නේ එම කාර්යයි. ඔබේ පුහුණු වැඩි වැඩියෙන් කිරීම මගින් ලැබිය හැකි ප්‍රතිඵලය වැඩි බවත්, හුස්ම තව තවත් සියුම් වන බවත් ඔබට වැටහෙනු ඇත. ඇතැම් විට හුස්ම වැටීම නැවතුන බවත් හැ‍ෙගනු ඇත. සැබවින්ම මෙහිදී සිදු වන්නේ සමෙහි රෝමකූප තුළින් හුස්ම ගමන් කිරීමය. ඔබ ඒ බව දැනගෙන සිටීම ප්‍රමාණවත්ය.

අපි උපන්දා සිට ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමු. එහෙත් ඒ ගැන අපේ අවධානය ප්‍රමාණවත් පරිදි යොමු වේද? බොහෝ විට ලැබෙන පිළිතුර නැත යන්නයි. කිසියම් විටෙක හුස්ම ගැනීමේදී යම් අපහසුතාවයක් ඇති වුව හොත් අපි බෙහෙවින් කලබලයට පත් වන්නෙමු. වෛද්‍යවරුන් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නෙමු. ඇත්ත වශයෙන්ම එය එසේ විය යුතුය. මක් නිසාද යත්? අපට හුස්ම නොගෙන ජීවත් විය නොහැකි බැවිනි.අප අපේ ආහාර රටාව පිළිබඳ සැළකිලිමත් වන්නෙමු. එය ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට ඉවහල් වෙයි. එමෙන්ම අපගේ හුස්ම ගැනීමේ රටාව තුළින් ද නීරෝගි භාවය රැක ගැනීමේ හැකියාව ලැබෙයි. එමගින් ශාරීරික නිරෝගිතාවය මෙන්ම, මානසික නිරෝගිතාවය රැක ගැනීමට හැකියාව ලැබෙයි.

ඔබ ආනාපාන සති භාවනාව පුරුදු කරන්නට අදහස් කරන්නෙහි නම්, ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගත යුතුය. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා සුදුසු ස්ථාන තුනක් තිබෙන බව පෙන්වා වදාළහ. ‘අරඤ්ඤගතෝවා රුක්ඛමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා..’ආදි වශයෙන් දේශනා කළ පරිදි, ආරණ්‍යයකට යායුතුය. එනම් ගමෙන් බැහැර, මිනිසුන් නොමැති විවේකයට සුදුසු ස්ථානයකි. වෘක්ෂමූල නම් එබඳුම විවේක සහිත වෘක්ෂ මූලයකි. ශූන්‍යාගාර නම් ,පබ්බත, නන්දරී, ගිරි ගුහා, සුසාන , වනපත්ත, අබ්භෝකාශ ,පලාලපුඤ්ජ කියන සත්ආකාර සේනාසනයන්ය. ඒ ඒ ඍතු අනුවද සුදුසු ස්ථාන තෝරාගැනීම සුදුසුය. ගී‍්‍රස්ම ඍතුවෙහි වන සේනාසනයද හේමන්තයෙහි රුක් මූලයද, වැසි සමයෙහි ශූන්‍යාගාර ද සුදුසු ස්ථානයන් වෙයි.

තම තමන්ගේ ශාරීරික ආබාධ තත්වයන් අනුවද සුදුසු ස්ථාන තෝරාගත හැකිය. ඒ අනුව සෙම් අධික පුද්ගලයාට වන සෙනසුනද, පිත් අධික පුද්ගලයාට රුක් මූලයද, වාතාබාධිතයාට ශූන්‍යාගාර ද වඩාත් සුදුසු ස්ථානයෝ වෙති. යෝගීන් කෙරෙහි එසේ වුවද තමන් සිටින කුමන ස්ථානයක වුවද අනාපාන සතිය වැඩිය හැකි වෙයි. අවශ්‍යතාවය ඇත්නම් ඇඳෙහි පුටවෙහි හිඳ වුවද පිළිවන. අප ජීවත් වන මෙම සමාජයේ චරිත වශයෙන් සය ආකාර පුද්ගලයෝ සිටිති. එනම්, රාග, චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, විතර්ක චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, වශයෙනි. මෙම චරිත අතුරෙන් ‘මොහ ‘චරිතයාට වන සේනාසනයද, ‘ද්වේෂ’ චරිතයාට වෘක්ෂ මූලයද, ‘රාග චරිතයාට ශූන්‍යාගාරය ද යහපත් වෙයි. මෙසේ භාවනා කිරීමේදී විශේෂයෙන් ස්ථාන තෝරා ගැනීමේදී තමන්ගේ චරිතය,ඍතුව වැනි කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම මගින් ඉක්මන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

භාවනා කිරීමට සූදානම් වන ඔබ, ඔබගේ අභ්‍යන්තර මෙන්මැ බාහිර පවිත්‍රතාවය ගැනද උනන්දුවීම වැදගත් වෙයි. පළමුකොටම පිරිසුදු ශීලයක පිහිටිය යුතුය. අවට පරිසරය,ඇඳුම් පැලඳුම් පිරිසුදු විය යුතුය. ආහාර ගැනීමාදිය නිමා කළ යුතුය. සිත සන්සුන් කැර ගත යුතුය. හිතෙහි නරක සිතිවිලි යටපත් කැර ගත යුතුය. කරුණා, මෛත්‍රි සිතිවිලි ඇති කැර ගත යුතුය.මෙමගින් සිතට ගතට සැහැල්ලුවක් දැනෙනු ඇත. සුවසේ අසුන් ගත යුතුය. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං....ආදි වශයෙන් වදාළ පරිදි, කොඳු ඇට පෙළ එකිනෙක ගැටී සිටින ලෙස උඩු කය ඍජුවැ තබාගෙන,දෙකලව එකිනෙක බැඳෙනසේ බද්ධ ආසනයෙන් හිඳගැනීම සුදුසුය. වාඩිවී සිටින ඉරියව්ව ආනාපාන සති භාවනාවට ඉතාම සුදුසුය. පිරිමි පක්ෂයට බද්ධ පර්යංකයත්,(එරමිනිය ගොතා) කාන්තාවන් සඳහා අර්ධ පර්යංකයත් සුදුසු වේ. හේත්තු නොවී, කොන්ද ඍජුවැ තබාගෙන, හිසද කෙලින් තබාගෙන, දෙනෙත් පියාගෙන භාවනා කිරීම වඩාත් සුදුසු වෙයි.

ආනාපාන සති භාවනා ක්‍රමය ඉතා දීර්ඝවැ පැහැදිලි කළ යුතු භාවනාවකි. එසේ වුවද ඔබගේ පහසුව සඳහා ඉතා සරලව දැක්වීමට අදහස් කරමි. ඉහත දක්වන ලද අයුරින් පහසුවෙන් වාඩිවී,ආශ්වාස, ප්‍රශ්වාස වායුව හැපෙන ස්ථාන සිහියෙහි තබා ගන්න. ආශ්වාස කරන කාලය කෙටි විය හැකිය. ඒවා කෙටි අශ්වාස වශයෙන් සළකන්න.කෙටි ආශ්වාස ප්‍රශ්වාස යම් ප්‍රමාණයක් ගත් විට තරමක දිගු ආශ්වාස ප්‍රශ්වාස ගැනීමට සිදුවේවි, ඔබ කළ යුතු වන්නේ, කෙටි ඒවා කෙටි වශයෙනුත්, දිගු ඒවා දිගු වශයෙනුත් දැන ගැනීම යි. ආශ්වාස ප්‍රශ්වාස වායුව ගැටෙන ස්ථාන හොඳින් සිහියෙහි තබාගෙන, ඒවායෙහි කෙටි බව සහ දිගු බව නිවැරදි අයුරෙන් සිහි කළ යුතුවෙයි.

‘දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසාමිති, පජානාති, දිග හුස්මක් ගත් විට දිග හුස්මක් ගනිමි’යි දැනගන්න.

දිග හුස්මක් හෙලන විට දිග හුස්මක් හෙලමි’යි දැනගන්න

කෙටි හුස්මක් හෙලන විට කෙටි හුස්මක් හෙලමියි. දැන ගන්න. මෙසේ සියලු අවස්ථා වලම හුස්ම ගන්න, හුස්ම හෙලන අරමුණෙහිම ඔබේ සිත, සිහිය පවත්වා ගන්න. ගණිතමය ක්‍රමයක් අනුවැ ඔබට මෙය ඉතා සරලවැ ප්‍රගුණ කැර ගැනීමට හැකියාව ඇත. හුස්ම ගැනීමත්, හෙලීමත් එකම කාල පරාසයකට අනුවැ සිදු නොවේ.

ඉහළට ගත් හුස්ම පහළට හෙලීමට ගතවන කාලයට වැඩි කාලයක් නැවත හුස්ම ගැනීමට වැය වෙයි. ගණන් කිරීම ආරම්භයේදි හුස්මක් ගන්නා විට එකයි කියන්න. හුස්ම පහත හෙලන විට දෙකයි කියන්න. යළි හුස්ම ගන්නා විට තුනයි යනුවෙනුත් පහත හෙලන විට හතරයි යනුවෙනුත් ගණන් කරන්න.මෙසේ දහය දක්වා හුස්ම ගනිමින්, පහත හෙළමින් සිතින් ගණනය කරන්න.

හුස්ම ගැනීම පහත හෙලීම පිළිබඳ ඔබේ සිත පිහිටුවා ගෙන දිගින් දිගටම මෙම භාවනාව කිරීමේදි ඔබේ අවධානය යොමු කළ යුතු තවත් කරුණු ඇත. එනම්, ආශ්වාස , ප්‍රශ්වාස වායුව ගැටෙන්නේ කුමන ස්ථානයේද යන කරුණ ගැන දැන ගත යුතුයි. ඔබ පහතට හෙලන හුස්ම ඇතැම් විට නාසය අග හැපෙන බව දැනෙනු ඇත. ඇතැම් විට උඩුතොල මුදුනෙහි හැපෙන බව දැනෙනු ඇත. කුමන ස්ථානයක් ගැටෙන්නේද කියා තීරණය කළ යුතු වන්නේ ඔබ විසින්මය. ඉන් පසු හුස්ම ගන්නා විට එම ස්ථානයෙහි ගැටෙන විට එකයි. යනුවෙන් සිහියේ තබා ගන්න. හුස්ම පහළ හෙළන විට දෙකයි යනුවෙන් සිහි කරන්න. යළි යළිත් මෙම ක්‍රමය අනුගමනය කරන්න. කොපමණ කාලයක් මෙසේ ගණන් කරමින් භාවනා කළ යුතුද? යම් තාක් ගණන් නොකර ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහි සිහිය පිහිටයිද? එපමණ කාලයක් මෙම අභ්‍යාසය කළ පසු ඔබ භාවනා නොකළ කාල වකවානුවෙහි බලවත්ව පැවති ආශ්වාස, ප්‍රශ්වාස ක්‍රම ක්‍රමයෙන් ඉතා සියුම් තත්ත්වයට පත්වෙයි. ඔබ මෙතෙක් කාලයක් හොඳින් හුස්ම ගෙන තිබේද? ගැඹුරු භාවනාවට යොමු වීමට පෙර අත්හදා බැලීමක් වශයෙන් මෙය කරන්න. ඔබේ දෑත් ඉදිරියට යොමු කර ගෙන දෙතොල යාන්තමින් වසාගෙන හොඳින් හුස්ම ගන්න. පෙනහලු පිරෙනසේ හුස්ම ගන්න. මෙය ඉතා සෙමෙන් කළ යුතුය. ඉහළට ගොස් හුස්ම සෙමෙන් පහළට හෙලන්න. මෙය දිනකට තිස් වතාවක් පමණ කර අත්හදා බලන්න. ඔබේ ශරීරයට දැනෙන වෙනස නොබෝ කලකින් අත් විඳිය හැකි වනු ඇත.

මෙම ආනාපාන සති භාවනාව වඩන ඔබගේ සිත සන්සුන් බවට පත්වනු ඇත. සිත සන්සුන් වන නිසා, ඔබ ඉගෙන ගන්නා අයකු නම් එම කටයුතු වලට පහසුවක් වනු ඇත. ඔබේ ධාරණ ශක්තිය දියුණු වනු ඇත. ලෙඩ රෝග බොහොමයක් සමනය කැර ගත හැකි වනු ඇත. විශේෂයෙන් අධිරුධිර පීඩනය ,හෘදයාබාධ වළක්වා ගැනීමටත් , සුව කැර ගැනීමටත් මෙය උපකාර වෙයි. ජීවිතයෙහි එදිනෙදා කටයුතු පහසුවෙන් කැර ගැනීමට හැකියාව ලැබෙයි. එසේම මෙම භාවනාව වඩන පින්වතාට හෝ පින්වතියට අශ්වාස ප්‍රශ්වාස ගණන් කිරීමෙන්ද, ඒ අනුව සිහිය පවත්වා ගැනීමෙන්ද, අග මුල මැද වශයෙන් වායුව ගැටෙන ස්ථානයන්හි සිහිය පිහිටුවා ගැනීමෙන්ද හුස්ම ගැනීම හෙලීම පිළිබඳ මැනවින් සිහිය පිහිටුවා ගැනීමෙන්ද සිත් සන්සිඳවා ගත හැකි වනු ඇත. ක්ලේශයන් සමනය කැර ගත හැකි වනු ඇත. මෙසේ දීර්ඝ වශයෙන් ආනාපාන සති භාවනාව වඩන විට ඔබගේ නීවරණ යටපත් වන්නේය. කෙලෙස් සන්සිඳෙන්නේ ය. සිහිය පිහිටන්නේය. සිතඋපචාර සමාධියෙන් යුක්ත වන්නේය. එසේ හෙයින්

ආනාපාන සතීයස්ස – පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බා පරිච්චතා - යථා බුද්ධෙව දේසිතා

සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භාමුත්තොව චන්දිමා - යමකු විසින් බුදුරදුන් වදාළ ආනාපාන සතිය සම්පූර්ණයෙන් භාවිතා කරනු ලබන්නේද පිළිවෙලින් පුරුදු පුහුණු කරන්නේද හෙතෙම වළා ගැබෙන් මිඳුන පුන් සද මෙන්,ලෝකය ආලෝකමත් කරන්නේය (විසුද්ධිමාර්ගය)

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]