Print this Article


බුදුරජාණන් වහන්සේ ලොව උපදින සත්ත්වයන් අතර අසහාය එකම පුද්ගලයාණෝ වෙති

බුදුරජාණන් වහන්සේ ලොව උපදින සත්ත්වයන් අතර අසහාය එකම පුද්ගලයාණෝ වෙති

මෙහි පළමුකොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

බුදු රජාණන් වහන්සේට ස්වකීය සිත පිළිබඳ පරම ඊශ්වරත්වය (සිතේ අධි පතිත්වය, සිතට වහල් නොවී සිත තමාගේ වහලෙක් කරගෙන පවත්වා ගැනීම එනම් පිළිකුල් උපදවන අරමුණෙහි පිළිකුල් නූපදවීමේ ශක්තිය ආදියයි) තිබීම, හෙවත් ශාසනික වශයෙන් හෝ බාහිර වශයෙන් හෝ සිතේ ඊශ්වර භාවය තබා ගැනීම භගවා යන්නේ එක් තේරුමකි. ධර්මය නම් ලොවුතුරා දහම් දැරීමයි. යසස් නම් තමා තුළ තිබෙන ගුණ හේතුවෙන් තුන් ලොව පතල ඉතා පිරිසුදු කීර්තියයි.

ශි‍්‍රය නම් බුදුන්ගේ රූපකාය දැකීමෙහි තත්පර වූවන්ගේ මන නුවන් පිනවීමට හේතුවන සියලු අඟ පසඟින් පරිපූර්ණ වීමයි. නාමය නම් තමන් සිතූ පැතූ සියල්ල සමෘද්ධ වන නාමයයි. ප්‍රයත්න නම් සමස්ත ලෝකවාසීන්ගේ ගෞරවයට භාජන වන සම්‍යයක් ව්‍යායාමය නමැති උත්සාහයයි. මෙකී ගුණ හය බුදු රජාණන් වහන්සේ තුළ තිබෙන නිසා භගවා යන ගුණයෙන් යුත්ත වූහ.

මෙතෙක් සඳහන් කළ අරහාදී බුදු ගුණයන්හි අන්තර්ගත බුදු ගුණවලින් එක් එක් ගුණයක් පමණි මා මෙයින් දැක්වූයේ. එයට හේතුව අරහාදි බුදු ගුණවල එක් එක් පදයක අර්ථ කීපය බැගින් ඇතුළත් වී තිබීමයි. ඒ බව බොහෝ දෙනා දනිති. එක එක බුදු ගුණයට අයත් පරියාය ගුණ මෙහි ඇතුළත් නොකොට එක ගුණයක් පමණක් මා දැක්වූයේ ලිපිය කෙටි කර ගැනීම සඳහා යි. ඒ නිසා අරහාදි බුදු ගුණ නවයෙහි ඇතුළත් සෙසුගුණත් දැන ගැනීම ට අවශ්‍ය නම් විසුද්ධි මාර්ගයේ අනුස්සති නිර්දේශය (ජානුස්ති නිර්දේශය) කියවන්න. ත්‍රිපිටක පොත්වලත් අට්ඨ කථාවල ඛොහෝ බුදු ගුණ දක්නට ඇතත් ඒවා පෙළ බස නොදත් අයට තේරුම් ගැනීම අපහසුය.

මා මුලදී කී පරිදි බුදුවරයන් වහන්සේ නමකගේ ගුණ අනන්තයි. බුදු ගුණ බුදුවරයන් වහන්සේ නමක් විසින් කල්පයක් පුරා අන්කිසි වැඩක නිරත නොවී කීවත් තවත් ඉතිරිවේ නම් බුදුගුණ කොපමණද යන්න ඔබට හිතාගත හැකිය. යහගුණ පුඤ්ජයක් වන බුදුකෙනකුගේ පහළ වීමක් සිදුවන්නේ කාලාන්තරයකිනි. “කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ.” යි ලෝ වැඩ සඟරා කතු තුමා සිංහලෙන් කීයේ ඒ බවයි. හැම බෝසත්වරයකුම බුදු බව පතන ආත්මය්දීම බුදුවරයකු දැකීමෙන් නිවන් අවබෝධ කර ගැනීමට පින් මෝරා තිබිය දී එම අතපත් නිවන් සුවය අතහැර බුදුබව පතා පෙරුම් පිරීමට ගොරබිරමපරතෙරක් නොපෙනෙන සසර සයුරට පනින්නේ දුක්විඳින සෙසු අපමණ සත්ත්වයන් කෙරෙහි පතල මහා කරුණායෙනි. තමා අතපත් නිවන් සැපත ඉවත දමා උන්වහන්සේ අනුන් වෙනුවෙන් අප වෙනුවෙන් සසරට වැද අපමණ දුක් ගැහැට විඳිති. එසේ දිගු කලකින් පහළ වන බුදුවරයන් වහන්සේ නමක් හමු වන්නටත් ඔබ මම කොපමණ පින් කළ යුතු දැයි හිතන්න. ඒ සසර දුක අවසන් කිරීමේ භාරධුර කාර්යය සඵල කර ගැනීම සඳහා යි ඔබට අපට අද මනුෂ්‍ය ආත්මයක් ලැබී තිබෙන්නේ. බුද්ධිමත්ව සිතා ඔබ ලත් මේ මනුෂ්‍ය ආත්මය උපයෝගී කරගෙන සසරින් එතෙර වීමට මේ අත්බවේදී පින් දහම් කරමින් උත්සාහ නොකළොත් ඔබට මට තවත් බුදු කෙනකුන් හමුවන කාලය තව කල්ප ගණනකට දික්වනු නියතය. එහෙයින් පින්වත “සුඛො බුද්ධානං උප්පාදො” යන බුදු වදන සිහි කොට මේ උතුම් වෙසක් පොහෝ දිනයත් සුළඟට ගසා ගෙන යන්නට ඉඩ නොතබා අද අදම හොඳ බෞද්ධයකු වන්න, හොඳ මනුෂ්‍යකු වන්න, හොඳ පියකු වන්න,හොඳ මවක වන්න, හොඳ පැවිද්දකු වන්න අධිෂ්ඨාන කරගෙන ගුණදහම් පුරන්න.

කිච්ඡො මනුස්ස පටිලාහො
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවනං
කිච්ඡො බුද්ධානං උප්පාදො

මිනිසත් බවත් ලැබීම දුර්ලභය, මිනිසකු වශයෙන් ජීවත් වීම දුෂ්කරය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය, බුදුකෙනෙකුගේ පහළ වීම දුර්ලභය යන පාළි ගාථාව ඇසුරෙන් මනුෂ්‍යත්වයක් ලැබීම, මනුෂ්‍යයකු වශයෙන් ජීවිතය පවත්වා ගෙනයාම සදහම් ඇසීමට ලැබීම සහ බුදුවරයකුගේ ලොව පහළ වීම යන කරුණු හතර අතිශයින් දුර්ලභ බව මෙයින් කියයි. මේ කරුණු හතරින් ම සම්පූර්ණ සමයක්ය ඔබ අප ඉපද සිටින්නේ. එය පවිටු මිනිසකු වශයෙන් කටයුතු කොට විනාශය කර ගන්නේ නම් ඔබ මොනතරම් අනුවණයකු ද යන්න සිතා ක්‍රියා කරන්න. දිනක් ආනන්ද හාමුදුරුවන් බුදුන් ගෙන් විමසුව ස්වාමිනි, ස්වාමියාගේ සිත් දන්න උසස් ගති, පැවැතුම් ඇති ආජානීය අශ්වයන්, ඇතුන් ආදී සත්ත්වයන් ලොව සිටිනව. ස්වාමිනී, මනුෂ්‍යයන් අතරත් එබඳු ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් උපදිනවද? කියලා ඒ අවස්ථාවෙ බුදුහු මෙසේ වදාළහ.

දුල්ලභො පුරිසජඤ්ඤොන
සොසබ්බත්ථ ජායති
යත්ථ සො ජායතී ධීරො
තං තුලං සුඛමෙධති

ආනන්ද, ශ්‍රේෂ්ඨ(ආජානීය) මනුෂ්‍යකු පහළ වීම දුර්ලභ යි. එ බඳු පුද්ගලයෙක් හැම තැනම පහළ නොවෙයි. යම් කිසි තැනෙක එ බඳු ඥානවන්ත මනුෂ්‍යයෙක් පහළ මේ නම් ඔහු උපන් සමාජය (කුලය) සුවපත් වේ යයි වදාළේ බුදුන් වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලොව පහළ වන්නේ ඉතාම කලාතුරකින් නිසයි. එබඳු උත්මයකු පහළ වුණාම මුළු තුන්ලොව ම සත්ත්වයන් දෙලොව සැප මණක් නොව නිවන් සැප ද ලබන බව වදාළහ. බුදු දහම පවතින එබඳු යුගයකයි ඔබ අප ඉපිද සිටින්නෙ යන්න අමතක නොකොට කටයුතු කරන්න. බුදු රජාණන් වහන්සේ අද ජීවමානව නැතත් උන්වහන්සේ වෙනුවට අපට වඳින්න පුදන්න උන්වහන්සේම ඉතිරි කළ ශාරීරික,පාරිභෝගික, උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍ය තිබේ. උන්වහ්නසේ දෙසූ නිර්වාණ ගාමී ප්‍රතිපදාව ධර්මය තිබේ. උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සිටිති. එසේ නම් අදත් උත්සාහ කළොත් නිවන් අවබෝධ කරගන්න නොහැකියයි කිය නොහේ.

තවද අග්ගප්පසාද සූත්‍රයෙහි දැක්වෙනව . මහණෙනි, අපා දෙපා සිවුපා, බහුපා ව හෝ රූපී, අරූපී, සඤ්ඤී,අසඤ්ඤී, නෙවසඤ්ඤි නාසඤ්ඤි වූ හෝ යම් පමණ සත්ත්ව කෙනෙක් ලොව සිටියද (තථාගතො තෙසං අග්ගමක්ඛායති) ඔවුන් අතර තථාගතයන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ යි. එහෙයින් මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුනේ නම් ඔවුහු අග්‍රස්ථානයෙහි(අග්‍රම පුද්ගලයා කෙරෙහි) පැහැදුනෝ වෙති. අග්‍ර වූ ධර්මය කෙරෙහි පැහැදුනෝ වෙති. එසේ අග්‍ර ස්ථානයෙහි පැහැදුන හට අග්‍ර ව විපාක (ප්‍රතිඵල - ආනිසංස) ලැබෙයි යනු මේ පාඨයෙහි තේරුමයි.

මේ අනුව බුදුන්, දහම්, සංඝයා හා නිවන් මඟ ආදී සියල්ල තිබෙන බුද්ධෝත්පාද අවධියක් වශයෙනුයි අදත් අප පිළිගන්නේ. බුදුන් ජීවමානව නැතත් බුදුන් වෙනුවට පුදන්නට බුදුන් විසින්ම අනුදැන වදාළ ධාතු,පෙති පිළිම, බෝධිය යන ත්‍රිවිධ චෛත්‍ය තිබේ. ධර්මය කියාදීමට සමත් බුද්ධ ශ්‍රාවකයෝ සිටිති. උත්තර මනුෂ්‍ය ධර්ම ඇතත් ඒ තත්ත්වයට පත්වූවෝ නම් සිටිත් ද? එහෙත් එම ධර්මය හරිහැටි පිළිපැදීමෙන් සන්දෘෂ්ටික විපාක ලැබිය හැකිය. එහෙයින් බුද්ධොත්පාද සමයක වාසනාවන්ත මනුෂ්‍යකු වශයෙන් උපන් ඔබ ශීල, සමාධි,ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂා මාර්ගයෙහි ගමන් කරන්නට මන්දගාමි වූයේ නම් මේ වෙසක් පුර පෝය දිනයෙහි වත් ඒ සඳහා ආරම්භයක් ඇතිකර ගැනීම අතිශයින් යෝග්‍යය. බුදුන් වහන්සේ පිළිබඳ වර්ෂ 2558 වන තෙමගුල සමරන අද දවස ඔබ මේ අධිෂ්ඨාන ය ඇති කර ගැනීමට ධෛර්යවත් වුවොත් බුදුන් වහන්සේම ඉහත සඳහන් පාළිපාඨයෙන් පෙන්නා දුන් පරිදි ලොව පහළ වූ අග්‍රම දුර්ලභම පුද්ගලයා වන තථාගතයන් වහන්සේ ගේ සැබෑ අනුගාමිකයකු වීමට පියවර තබන්න. එය ඔබේ සසර ගමන කෙටි කර ගැනීමට ඉවහල් වේ. ලෝ වැඩ සඟරා කතුවර වීදාගම මා හිමියන්ගේ මේ පදය ද අද වැනි දවසක සිහිකිරීම අතිශයින් යෝග්‍ය නිසා අවසාන වශයෙන් එය ද මෙහි ඇතුළත් කිරීමට අදහස් කෙළෙමි.

කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකෙකිනි මිනිසත් බව ලැබගන්නේ
මෙ දෙ කිනි මෙ සසර දුක් දුරලන්නේ
සුදනෙනි, කිම වීරිය නොකරන්නේ

“ධම්ම චාරි සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්භී ච”

“ධර්මයෙහි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකේහි ම සුව සේ නිදයි.”