Print this Article


සීල විසුද්ධිය 5 කොටස ලෝකයේ පරමගාම්භීර දෙය ස්වාක්ඛාත ධර්මය යි

සීල විසුද්ධිය 5 කොටස

ලෝකයේ පරමගාම්භීර දෙය ස්වාක්ඛාත ධර්මය යි

අප මේ ධර්මය ස්වාක්ඛාතයි කියා කල්පනා නො කරන නිසා ‘මම මේ ධර්මය දන්නවා’ කියන අදහසින් තමා වාසය කරන්නේ. මේ ධර්මය ඉගෙන ගතයුතු ක්‍රමයට ඉගෙන ගත්තා නම් අප පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කරනවා. අප ධර්මය ඉගෙන ගන්නවිට ‘දන්නවා’ කියන අදහස අතහැරලා ‘ඉගෙන ගන්නවා’ කියන අදහසට එන්නට ඕන. ඊට පස්සේ ඒ ධර්මයේ ගුණ තේරුම් ගැනීම පිණිස ධර්මය ඉගෙන ගන්නට ඕන. මේ ධර්මය ‘ස්වාක්ඛාතයි’ කියන අදහසින් තමා අප ඉගෙන ගන්නට ඕන. ඒ විදිහට මේ ධර්මය ඉගෙන ගන්න විට මේ ධර්මයේ ස්වාක්ඛාත ගුණය ම යි ඔහුට පේන්නේ. ධර්මය කියවන විටත් ධර්මයේ ස්වාක්ඛාත ගුණයම යි තේරෙන්නේ.

එසේනම් අප හරි විදිහට සීලය ගැන ඉගෙන ගනිද්දීත් අප තුළ හටගත යුත්තේ පී‍්‍රති ප්‍රමෝදයම යි. පී‍්‍රති ප්‍රමෝදය හටගන්නේ කෙසේ ඉගෙන ගත්තාම ද? මේ ධර්මය ස්වාක්ඛාතයි කියන අදහස තුළ ඉඳගෙන ඉගෙන ගත්තොත්. එහෙම ඉගෙන ගන්න විට ඔහුට පේන්නේ ධර්මයේ ස්වාක්ඛාත ගුණයම යි. ඒ ආකාරයට ඒ ධර්මය ස්වාක්ඛාත යි කියා ඉගෙන ගත්තොත් අප සීලයට බය වෙනවා ද? නැහැ. ඔහු තුළ පී‍්‍රති ප්‍රමෝදය හට ගන්නවා. ඒක ධර්මතාවයක්. එවිට ඔහුට ධර්මය ස්වාක්ඛාතයි කියා තේරෙන්නට තේරෙන්නට ඔහු ඒ ස්වාක්ඛාත ධර්මය සන්දිට්ඨිකයි කියා පිළිගන්නවා. ඊට පස්සේ පිළිගන්නේ ඒ ධර්මයේ තිබෙන අකාලික බව.

මේ ආකාරයට ධර්මය පිළිබඳව අවබෝධයෙන් යුතුව යම් කෙනෙක් සීලය පුරුදු කළොත් ඔහුට නොයෙකුත් ආකාරයට සැක සංකා ඇතිවන්නේ නැහැ. මේ සීලය කියා කියන්නේ සැප ඇති කරන එකක්. සීලයට ආපු පුද්ගලයා කනස්සල්ලෙන් වාසය කරන්නේ නැහැ. සීලය කියන්නේ සැප ලබාදෙන එකක් . සීලයට පිළිපන් වහාම ඔහුට සැප උපදිනවා. බලන්න එහෙනම් මොකද සීලයට ආවාම අපට ආඩම්බරකම හරි නොයෙකුත් ආකාරයේ සැකසංකා හරි එන්නේ? ඒ අප ඉගෙන ගත්ත රටාව වැරැදි නිසයි.

අප සිතමු කෙනෙක් පි‍්‍රයමනාප, ප්‍රණීත මිහිරි ඉතාම පෝෂ්‍යදායි ආහාරයක් ගන්නවා. බහුල වශයෙන් ගන්නවා. නමුත් ඒක කන්න කන්න ඔහු කෘෂ වෙලා යනවා. ඇටකටු ටික බේරෙනවා. නහරවැල් ඉලිප්පිලා දුර්වර්ණ වෙනවා. කෙසඟවෙලා ක්ලාන්තේ දාලා දුර්වල වෙලා ඇඳට වැටෙනවා. ඊට පස්සේ ඔහු කියනවා මේ ආහාර වැඩක් නෑනේ කියලා. ඒක හරිද? නැහැ. ඇයි? ඒක පෝෂ්‍යදායි ආහාරයක්. එසේනම් මොකක්ද දෝසේ? ගත්ත ආහාරයේ ද? නැහැ. ඔහුගේ ජීර්ණ පද්ධතියේ දෝෂයක්. ඒක දිරවාගෙන නැහැ. කාපු ක්‍රමේ වරදකුත් නොමෙයි. කාපු ක්‍රමේ හරි. දිරවා ගත්ත විදිහයි වැරැදි.

ඒ වගේ තමා අප මේ ධර්මය ඉගෙන ගන්නට ඕන විදිහට ඉගෙන ගන්නේ නැහැ. ‘මම දන්නවා’ කියන පිළිවෙල වැඩෙන විදිහට ඉගෙන ගන්නේ. එසේ නොවේවා කියන හැඟීම නිසයි අප මේ පිළිලේ කඩා ගන්නට කරුණු කියන්නේ. පිළිලයක් කඩනකොට පොඩි කැලලයක් තියෙයි. නමුත් ඒක හරියනවා ගහේ දළුදාලා ආපුවහම. අප පිළිලේ ආපු ගහක පිළිලේ කඩනවා, අතු කඩනවා. එවිට ගහ කේඩෑරී වෙලා වගේ් තමා පේන්නේ. නමුත් පොහොර දාලා ආපුවහම ගඟේ් කොල, දළු දාලා ආපුවාම ලස්සනයි. ඒ වගේම ‘මම දන්නවා’ කියන අදහස අයින්කල විට පොඩ්ඩක් අපහසුවක් තියෙයි. නමුත් හරියට පෝෂණය ආපුහම බැබළිලා එනවා. මොකක්ද ඒ බැබළිල්ල? පී‍්‍රති ප්‍රමෝදයෙන් ඒ අය වාසය කරනවා. සිනහමුසු මුහුණින් යුතුව ඒ අය වාසය කරනවා. හැකිළුණ මූණ, මැලවූ මූණ නැතිවෙලා යනවා. ඒ නිසයි අර කොසොල් රජතුමා කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කරන අය. ඒ අය දකින කොට ම හිතෙනවා මේ අයනම් මේ ධර්මයෙන් යමක් ලබාගත්ත අය’ කියා හිතෙනවා.

ඉගෙන ගන්නවා කියන අදහස ගෞරවාන්විත අදහසක්. උගන්වන එකත් ගෞරවයක් තියෙන එකක්. ඒක ගෞරවාන්විත කටයුත්තක්. නමුත් ඒක හැමෝටම කරන්නට බැරි එකක්. ඒ නිසා හැමෝම ඒක පටන් ගත්තාම ඒකේ ගෞරවය කෙලෙසිලා යනවා. උගැන්වීම කළ යුත්තේ සීමිත කෙනෙක්, දෙන්නෙක් හෝ පිරිසක්. එවිට එහි ගෞරවාන්විත බව රැඳෙනවා. ඒක හැමෝම කරන්නට ගියාම හැමෝම කරන්නට කියලා කියන්නේ නො කළ යුතු අය කරන්නට ගියාම ඒ අදහස පවත්වන්නට ගියාම ගෞරවාන්විත බව නැතිවෙලා යනවා. හීන දෙයක් බවට පත්වෙනවා. නමුත් ‘ඉගෙන ගන්නවා’ කියන අදහස ගෞරවාන්විත යි. ඒ නිසා අප අර හීන අදහස අතහැරලා ‘ඉගෙන ගන්නවා’ කියන අදහස ඇතිකර ගත්තොත් අපට පුළුවන් භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරන්නට. ඔහු ඒ ඇසුරු කිරීම පිණිස ධර්මය ස්වාක්ඛාතයි කියන අදහස ඇතිව ධර්මය ඉගෙන ගන්නවා. ඒ ආකාරයට ඔහු ධර්මය ඉගෙන ගන්න, ඉගෙන ගන්න මේ ධර්මය ස්වාක්ඛාතයි කියන අදහස ඒ තුළ දියුණුවෙලා යනවා. එවිට ඔහු ධර්මය ඉගෙන ගන්නේ් අඬ අඬාද? හූල්ල හූල්ලා ද? මූණ පාත්කරගෙන. එහෙම ද? ධර්මය ඉගෙන ගන්නේ? නැහැ. එතකොට ඔහු හරි පී‍්‍රති ප්‍රමෝදයෙන් ධර්මය ඉගෙනගන්නේ. ඇයි? ස්වාක්ඛාත දෙයක් ඉගෙන ගන්නා නිසා. මේ ලෝකයේ් පරම ගම්භීර දේ ඉගෙන ගන්න නිසා.

මේ සා පරම ගම්භීර දෙයක් ලෝකයේ තවත් තිබෙනවා ද? නැහැ. දැන් ඔහු ඒ ධර්මය ඉගෙන ගන්නවා. ඔහු කනස්සල්ලෙන් තැවිතැවී ගිනි ගොඩක ඉන්නවා වාගේද ඉන්නේ? නැහැ. ඔහු සුව පහසුවෙන් ඉන්නවා. ඒ වගේ පිරිසක් මල් වත්තක, මල් යායක් වගේ ලස්සනට සුන්දරව වාසය කරනවා. ඇයි එහෙම සුන්දරව වාසය කරන්නේ? ඒ අය ස්වාක්ඛාත වූ ධර්මයක් දැන් ඉගෙන ගන්නවා. ඒ ධර්මය ඉගෙන ගන්නවිට ධර්මය ස්වාක්ඛාත බව තේරෙනවා. එසේ තේරෙන නිසා පිළිගන්නවා මේ ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිඵස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි කියලා. මේ සියල්ලම ගුණ ඒ අය පිළිගන්නවා.

යම් කෙනෙක් ඒ ආකාරයට ධර්මය පිළිගන්න විට ඔහු ධර්මය තමන්ට ගලපලා බලන්නට කැමැති වෙනවා. එසේ පිළි නො ගන්න පුද්ගලයා ධර්මය අනුන්ට ගලපලා බලනවා. එහෙම නැත්නම් මේක කරන්න බැහැ කියා හිතනවා. ඇයි? සන්දිට්ඨිකයි කියන ගුණය ඔහුට පිළිගන්න බැහැ. ඇයි ඒ? ඒ ධර්මය ස්වාක්ඛාතයි කියන එක වැටහෙන්නේ නැහැ. ඔහු ලෝකයට කියනවා. කිව්වට වැටහෙන්නේ නැහැ. නො වැටහෙන නිසා මේක බැහැ, මේක හරියන්නේ නැහැ කියනවා. එසේ ඒ ස්වාක්ඛාතයි කියා තේරෙන කෙනා පිළිගන්නේ මොකක්ද? සන්දිට්ඨිකයි කියන එක. ඊට පස්සේ ඔහු අකාලිකයි කියා පිළිගන්නවා.

ඔහු පින් කරලා සතුටු වෙනවා. වන්දනාමාන කරනවා. පින්කරන විට පිනේ විපාක ගැන ඔහු දන්නවනේ අකාලිකයි කියා. උදේට වන්දනා කරනවා. හවසටත් වන්දනා කරනවා. මෛත්‍රී වඩනවා. වත්පිළිවෙත් කරනවා. මේ ඔක්කොම ඔහු කරන්නට පටන් ගන්නවා. ඇයි කරන්නට පටන් ගන්නේ? ධර්මය ස්වාක්ඛතයි කියා දන්න නිසා. එසේ ඒ ස්වාක්ඛාත ධර්මය සන්දිට්ඨිකයි කියා පිළිගන්නවා. සන්දිට්ඨික ධර්මය පුරුදු කරන්නට පටන් ගන්නවා. මොකක්ද? ධර්මය අකාලිකයි කියා ඔහු දන්න නිසා. ඊළඟට ඔහු දන්නවා පිළිගන්නවා ඒ ධර්මය තමා තුළින් බැලිය යුතුයි කියා. දැන් එයා පින්දහම් කරනවා. වත් පිළිවෙත් කරනවා. වන්දනා මාන කරනවා. ඊළඟට ඔහු ආර්ය සත්‍යය ජීවිතයට ගලපා බලන්නට පටන් ගන්නවා. ඇයි ඒ? මේ ධර්මය ‘ඒහිපස්සිකයි’ ,’ඕපනයිකයි’ කියා පිළිගන්නවා. ඒ නිසා ‘ඇවිත් බලන්න’ කිව්ව කාරණාය කරන්නට පටන් ගන්නවා.

දැන් ඔහු ධර්මය ජීවිතයට ගලපා ගන්න නිසා ධර්මය වැටහෙන්න ගන්නවා.ධර්මය තුළිින්් භාග්‍යවතුන් වහන්සේ දකිනවා. භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ දුරුකළ නිසා ‘අරහං වන සේක’ ඒ වගේම මේ ධර්මය ස්වාක්ඛාතයි. මේ ධර්මය පුරුදු කරනවා නම් යම් කෙනෙක් ඔහු රාග, ද්වේෂ මෝහ දුරුකරන ප්‍රතිපදාවේ ඉන්නේ, ඒ උතුමන් සුපටිපන්නයි කියා පිළිගන්නවා. ඔහු තෙරුවන් කෙරෙහි පැහැදෙන නිසා භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරනවා. මෙසේ පුරුදු කරනවිට යම් කලෙක ඔහුගේ සිතේ ඇතිවන ප්‍රසාදය කාටවත් නැති කරන්නට බැහැ. අචලප්‍රසාදය කියන්නේ ඒකට යි. එවිට ධර්මය ඉගෙන ගැනීමේ දීත්, සීලය ඉගැනීමේදීත් කළයුතු රටාව මෙය යි. දැන් අප සීලය ගැන ඉගෙන ගන්නකොට අප ඉගෙන ගතයුත්තේ ‘ස්වාක්ඛාත වූ ධර්මය මම ඉගෙන ගන්නවා’ කියන හැඟීමෙන්.

ඒ ආකාරයට ධර්මය වගේම සීලය ගැනත් ඉගෙන ගත්තොත්, අපට ඒකෙන් රසයක්මයි එන්නේ. ඇයි? විස්මිත දෙයක් අප ඉගෙන ගන්නවා. කවදාවත් පෙර නො ඇසූ දෙයක් දැන් අප ඉගෙන ගන්නවා. යම් කෙනෙක් කවදාවත් කාපු නැති මිහිරි භෝජනයක් කනකොට ඔහු බයේ ගැහි ගැහිද ඒක කන්නේ. නැහැ පී‍්‍රතියෙන් ඉතාමත් සතුටින් පිනාගිය සිතින් යුක්තවයි ඒක කන්නේ. ඊට පස්සේ ඔහු අනෙක් පිරිසටත් කියනව මේ භෝජනය රසයි කන්න කියලා. එයා ඒකේ රස දැනගෙනයි කියන්නේ. එහෙමනම් අප මේ ස්වාක්ඛාත වු ධර්මය ඉගෙන ගනිද්දී අප තුළ සැකසංකා හට ගන්නවා නම්, හීන මානය හට ගන්නවානම්, මාන්නය, අධිමාන්නය මේ ආදි හිතේ දුක් ඇති කරවන්නා වූ දුක උපද්දවන දේවල්ම හට ගන්නවානම් ඒ ධර්මය ඉගෙන ගත්ත රටාවේ දෝෂයක් කියා අප තේරුම් ගන්නට ඕන.

ඒ නිසා ධර්මය ඉගෙන ගනිද්දී ‘මේ ධර්මය ස්වාක්ඛාතයි’ කියන පිළිගැනීමත් එක්ක තමා ඉගෙන ගන්නට ඕන. එවිට ඒ ස්වාක්ඛාත බව වැටහෙනවා. සීලය ගැන ඉගෙන ගන්න කොට අපට අවස්ථාවක් ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්න.’ මේ ධර්මය ස්වාක්ඛාත යි’ කියන පිළිගැනීමෙන් ඉගෙන ගත් කෙනාට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට ලැබෙනවාම යි. එවිට ඔහුට ඒ ඇසුර අවසන් කරන්නට පුළුවන් වෙනවා. පිරිනිවන් පෑමෙන් ඔහුට ඒ ඇසුර ආරම්භ කරන්නට ලැබෙනවා.

ඒ පරිපූර්ණ වශයෙන් සීලය පිරිසුදු කර ගැනීමට තමා කියන්නේ සීල විසුද්ධිය කියා. එවිට සීල විසුද්ධිය ඇතිකර ගැනීම පිණිස ධර්මය ඉගෙන ගන්න විට අප තුළ නොයෙකුත් පීඩා සංකා කනස්සල්ල හට ගන්නවා නම්, නිවරැදි ක්‍රමයට ඉගෙන ගන්න. මොකක්ද නිවැරැදිි ක්‍රමය? ‘මම ඉගෙන ගන්න කෙනෙක්’ කියන අවංකභාවයට පත්වෙන්න.

නයනා නිල්මිණි


සීල විසුද්ධිය 4 කොටස - ස්වාක්ඛාත ධර්මය මනාව ඉගෙනීම සීල විසුද්ධියේ ආරම්භය යි