Print this Article


පූජාච පූජනීයානං

අරඹේගම විමලධජ නාහිමි

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනූපමේය මෙහෙවරක නිරතවන උඩරට අමරපුර මහා නිකායේ සම්මානනීය සංඝනායක හාරිස්පත්තුවේ අංගොඩ ශ්‍රී බෝධිරාජාරාමාධිපති යටිනුවර සංඝනායක අරඹේගම විමලධජ නාහිමියන්ගේ හැත්තෑවන ජන්ම දිනය අපේ‍්‍රල් 12 වෙනි දිනට යෙදී ඇත.

ඓතිහාසික යටිනුවර පුරවරයේ අරඹේගම නම් වන සුන්දර ගම්මානයේ ජේම්ස් පොල්ගොල්ල හා ආර්.ආර්.ජේ. යසවතී දම්පතීන්ට දාව පින්බර පුත් රුවනක් ලෙසින් 1944 අප්‍රේල් 12 වෙනි දින මෙලොව එළිය දුටුවේ ය.

මව්පිය සෙනෙහස මැද කුඩා කල හැදී වැඩුණු ආනන්ද කුමරුවා 1956 ජූලි 06 දින පැවිදි දිවියට එක්වූයේ අරඹේගම විමලධජ හිමියන් නමිනි. සසුනඹර එකලු කළ මහා සංඝපීතෘවරයකු වන එළමල්පොත ශ්‍රී සේලුත්තාරාමාධිපති හීනෑගම ශාසන ධජ හිමියන්ගේ ආචාර්යත්වයෙන් මෙන්ම මඟ පෙන්වීමෙන් පැවිදි දිවියට පිවිසි නාහිමියෝ සුපේශල ශික්‍ෂාකාමී සංඝසෝභන ගුණයෙන් පිරිපුන් උතුම් වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

මල්වතු මහා විහාරයීය සංඝරාජ පිරිවනට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකට තිබිය යුතු සන්සුන් ගති පැවතුම්වලින් පිරිපුන්ව පැවිදි දිවිය ගත කිරීම දශක හයකට ආසන්න මෙම කාලය පුරාවට නොකැලැල්ව ආරක්‍ෂා කැර ගනිමින් සිටීම සියලු ජනී ජනයාගේ ගෞරවයට පාත්‍රවන්නකි.

1965 ජූලි 01 දින විදුරුපොළ සුමංගලාරාමයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූ විමලධජනාහිමියන් ගතවූ වකවානුව පුරාවට ඉමහත් ලෝක ශාසනික මෙහෙවරක නිරත විය. හාරිස්පත්තුව පමණක් නොව කන්ද උඩරට බොහෝ ප්‍රදේශයන්හි ඇවිදයමින් ධර්ම ප්‍රචාරණයන්හි නිරත වූ නාහිමියන් ප්‍රදේශය පුරාම වැඩම නොකළ ගම්මානයක් නොමැති තරම්ය. උන්වහන්සේ විසින් ඉටුකරන උතුම් ශාසනික මෙහෙවර අගයමින් උඩරට අමරපුර මහා නිකාය මඟින් විශේෂිත වූ කම්මවාගාචාර්ය ධුරයක් ද නාහිමියන්ට පිරිනමා ඇත.

අංගොඩ ශ්‍රී බෝධිරාජාරාම මූල මහා විහාරස්ථානය ගොඩනැංවීම උදෙසා අපරිමිත මෙහෙවරක නිරත වූ නාහිමියන්ගේ අවවාද හා උපදෙස් මත හාරිස්පත්තුව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී අංගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරවාසී සූරියගොඩ සීලවිමල හිමියන් විසින් අංගොඩ ශ්‍රී සෝභිත දහම් පාසල ද ආරම්භ කරනු ලැබ මේ වන විට ප්‍රදේශයේ දීප්තිමත් දහම් අධ්‍යයන කේන්ද්‍රස්ථානයක් ලෙසින් පවත්වාගෙන යනු ලබයි. උඩරට අමරපුර මහා නිකායේ සම්මාන සංඝනායක ධුරයෙන්ද පිදුම් ලැබූ අරඹේගම විමලධජ හිමියන් “ 2012 වසරේදී” විචිත්‍රභාණක පටිපත්ති පෝතක සිරි ධම්ම රතන විමලසාර සාසනධජ වංසාවතංස ගෞරව නාමය සහිත යටිනුවර සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීය.

පුරා දශක හයකට ආසන්න කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උතුම් වූ ලෝක ශාසනික මෙහෙවරක නිරතවන අප නාහිමියන් සංඝ සමාජයට ආදර්ශමත් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

උන්වහන්සේ ඉටු කරන උතුම් වූ ශාසනික මෙහෙවර තවත් චිරාත්කාලයක් ඉටු කිරීමට දීර්ඝායු ලැබේවා.


මක්කානිගොඩ අස්සජි නාහිමි

(මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසලේ හිටපු විදුහල්පති ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජි නාහිමිපාණෝ මේ වෙසක් මස උදාවත් සමඟ සිය ප්‍රවෘජ්ජා දිවියෙහි පනස් එක් වෙනි වසට පිය නගති. මේ ලිපිය ඒ නිමිත්තෙනි)

දසවන වියෙහිදී පැවිදි දිවියට පත්ව, සැට වන විය දක්වා පනස් වසරක් පුරා අඛණ්ඩව පැවිදි පිළිවෙත් සුරැකිමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ රැදෙමින් හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ විහාරාධිකාරිව වැඩ වෙසෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසලෙහි හිටපු විද්‍යාලාධිපති ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජි හිමිපාණෝ සසුනඹර පෑයූ පුරසඳක් සේ බැබලෙමින්, ඉතා කැපවීමෙන් යුක්තව අධ්‍යාපන, සමාජීය, ශාසනික, හා ආගමික කටයුතු වල යෙදෙමින් වැඩ වෙසෙති.

මීට හැට වසරකට පෙර ඒ. පී. ජේමිස් අප්පුහාමි හා ලෙකුගමගේ ඇලිස්නෝනා යන උපාසක, උපාසිකා යුවළට දාව මක්කානිගොඩ ග්‍රාමයේ දී ජන්ම ලාභය ලැබූ උන්වහන්සේගේ ගිහි නාමය ඒ. පී. සුබසිංහ විය. හාපිටිගම මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ අස්සජි හිමියෝ 1964 අප්‍රේල් මස 22 දින කල්එළිය හාපිටිගම ශ්‍රී ජයසුමනාරාම මූල මහා පිරිවෙන් විහාරස්ථානයේ දී හාපිටිගම ශ්‍රී ජයසුමනාරාම පරිවේණාධිපති පණ්ඩිත මක්කානිගොඩ ඤාණකිත්ති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සසුන් ගත වූහ.

පැවිදි වීමෙන් පසු කලුතර තෙඹුවන ග්‍රන්ථාකර පිරිවෙනින් අධ්‍යාපනය ලත් අස්සජි සාමණේර හිමිපාණෝ ඉන් පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ මාහිමිපාණන් යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයීය මහ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූහ. මේ යුගය උන්වහන්සේගේ ප්‍රවෘජ්ජා දිවියෙහි දීප්තිමත්ම කාලය වීය. ඊට මූලිකම හේතුව වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මාතලේ ශාසන තිලක මාහිමිපාණන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල මාහිමිපාණන් ඇසුරෙහි මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමයෙහි නේවාසිකව සිට සසුන් පිළිවෙත් හා අධ්‍යයන කටයුතු කරගෙන යෑමට හැකිවීමය.

1974 ජුලි මස කළුතර කලුගඟේ උදකුක්ඛෙප සීමා මාලකයේදී උපසම්පදා වෙහි පිහිටීම සිදුවූයේ කීර්තිමත් යතිවරයාණන් වහන්සේ නමක වූ හාපිටිගම සිරිනන්ද නාහිමියන් ගේ ආචාර්යත්වයෙනි. 1979 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලත් උන්වහන්සේ 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියද දිනා ගත්හ. 1993 දී බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලැබූහ. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ධ් හා ධ්ධ් ශ්‍රේණි විභාග සමත් වූ උන්වහන්සේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයෙහි ධ්ධ්ධ් පන්තියටද උසස් වීම් ලැබූහ.

2001 බස්නාහිර පළාත් ගුරු උපහාර උළෙලේ දී ජනාධිපතිනිය අතින් විද්‍යානිකේත කීර්ති ගෞරව නාම සම්මානය සමගින් රන් පදක්කම් ලැබීම හා 2012 වසරේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු ප්‍රතිහා උපහාර උළෙලේ දී ජනාධිපතිතුමා වෙතින් සම්මාන ලැබීමද උන්වහන්සේ ලත් භාග්‍යයකි.

උප ගුරුවරයෙකු ලෙස 1979 කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ගල්ගමුව මයිලෑව මහ විද්‍යාලයට සබඳ වූ උන්වහන්සේ සිය අධ්‍යයන චාරිකාව තුළ 1984 වසර ආරම්භයේ සිට කෙටි කලක් ගම් / පෑලියගොඩ විජය විද්‍යාලයෙහිද, සේවය කොට එම වසරේ මධ්‍ය භාගයේ සිට 1998 වසරේ අවසාන භාගය දක්වා කොළඹ මෝදර ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයෙහි විද්‍යාලාධිපති ධුරය දරමින් විශිෂ්ඨ සේවාවක නිරත වූහ. ඒ වනවිට බොහෝ සේ පරිපාලන කටයුතු බිඳ වැටී තිබුණ මිනු / පස්යාල මහා විද්‍යාලයෙහි නව පරිපාලන ව්‍යුහයක් ඇතිකිරීමේ අභියෝගයද සමගින් 1999 වර්ෂයේ ජනවාරි පළමුවන දින උන්වහන්සේ එහි විද්‍යාලාධිපති ධුරයට පත්කරනු ලැබූහ.

දස වසරකට ආසන්න කාලයක් එහි විදුහල්පති ධුරය දැරූ අස්සජි නාහිමිපාණෝ අනතුරුව සිය උපන් ප්‍රදේශයට වඩාත්මැ සමීප මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය ජාතික පාසලේ අධිපතිත්වයට 2008 වසරේ ජුලි මස 21 වන දින සිට පත්වූහ. ගුවන් විදුලි හා රූපවාහිනී දේශනා තුළින් ගම්‍යවන ඒ සරල භාෂාමය හා ආර්ථමය ලක්ෂණයන් ශ්‍රාවක සිත් වඩාත්මැ ඇඳ බැඳ තබා ගැනීමට උන්වහන්සේ සතුව ඇති සහජමය හැකියාවන් ඉතාමත්ම ප්‍රශංසනීය වේ.

ජාතික පුවත්-පත් හා වෙනත් වාර සගරා යනාදියට ලිපි ලේ්ඛන සැපයීමේ දී උන්වහන්සේ භාවිත කරන ශෛලමය වඩාත්මැ සංවේදී වේ. ඊට හේතුවද වදන් භාවිතයේ දී දක්වන සරල බවත්, බොහෝ විට කෙටි වැකි භාෂා ව්‍යකරණ යනාදිය නිවැරදිව භාවිත කිරීමත් තුළ ගම්‍ය වන පාරදෘශ්‍ය භාවයයි. කාලයක් බුදුසරණ පුවත්පත හා බද්්ධව, අස්සජි හිමි ලියූ ලිපි සරණිය එකළ වඩාත්ම ශ්‍රාවක ප්‍රසාදයට ලක්වූවේ ද මා ඉහත සඳහන් කළ කාරණා නිසාවෙන් මය. බුදුසරණ පුවත්පත හා බද්ධව ලේක්හවුස් ආයතනය ප්‍රසිද්ධියට පත්කළ කීර්තිමත් යතිවරයින් වහන්සේලාගේ ධර්ම දේශනා ඇතුළත් කාසි කිහිපයකටම උන්වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත්ව තිබීමද විශේෂත්වයකි.

සිය සසුන් දිවියෙහි පනස් වස් සපිරීම කේන්ද්‍රීය කොට මක්කානිගොඩ ප්‍රදේශයේ උපුල් ජීවන්ත සෝමසිරි මහතාගේ නව නිවහනෙහි සර්ව රාත්‍රික පරිත්‍ර‍්‍රාණ පිරිත් දේශනයක් පවත්වා පසුදින මහා සංඝ රත්නය පනස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.


තල්පිටියේ චන්දරතන නා හිමි

වාද්දුව තල්පිටිය පුරාණ දළදාවත්ත මහා විහාරාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන හිමියන් වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ පානදුර තොටමුණ රයිගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක පදවිය සහිත කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාභිධාන යන ගෞරව නාමය ගරුතර සංඝ නායක කාරක මහා සංඝ සභා සම්මතයෙන් පිරිනමන ලදී.

එම පදවිය සඳහා අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය මැයි මස දෙවන දින පස්වරු 3.00 මහනුවර උපෝෂිත පුෂ්පාරාම මහා විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිත වූ අතර උන්වහන්සේ පිළිගැනීමේ උත්සව සභාවක් මැයි මස 04 වන දින පස්වරු 4.00 පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට විහාරස්ථ දායක සභාව ඇතුළු ප්‍රදේශවාසීන් සංවිධාන කර තිබිණි.

තල්පිටියේ චන්දරතන හිමියන් වාද්දුව තල්පිටිය ග්‍රාමවරයේ දී ජන්මලාභය ලැබූ අතර එහි 1962 පෙබරවාරි මස 04 වැනි දින, වාද්දුව, තල්පිටියේ නිවැසි අංගගේ පුණ්‍යසිරි සහ කන්දගේ ජේන්නෝනා මහෝපාසක යුවළගේ පුත්‍ර රත්නයක් ලෙස ජන්මලාභය ලද උන්වහන්සේ තල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික ගිහි අධ්‍යාපනය ලැබී ය.

15 වැනි වියේදී මහණකමට සිත ඇදී ගියේ එවකට තල්පිටිය දළදාවත්ත මහා විහාරාධිපතිව වැඩ විසූ, අපවත් වී වදාළ කලපුගම චන්ද්‍රජෝති නාහිමියන්ගේ සහ දළදාවත්ත මහා වෙහෙර අපවත් වී වදාළ විහාරාධිපති, තල්වත්තේ ඉන්ද්‍රජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද ශිෂ්‍ය රත්නයක් වශයෙනි. උන්වහන්සේ ශාසනික දායාදය ලබාගත්තේ 1977 මැයි මස 23 වැනි දින දී ය.

පැවිදි සිසුවකු ලෙස මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට ඇතුළත්ව, අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා හොරණ විද්‍යාරත්න මහ පිරිවෙනටත්, කොළඹ හුණුපිටියේ ගංගාරාම මහ පිරිවෙනටත් ඇතුළත් වූහ. එම පිරිවෙන්වලින් උසස් අධ්‍යාපනය නිම කළ තල්පිටියේ චන්දරතන හිමියෝ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් ලබා ගනිමින් සමාජ සේවය හා ශාසනික සේවය ඇරඹූහ.

1996 දී පිරිවෙන් ගුරුවරයෙකු ලෙස උතුරු කළුතර විද්‍යාසාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක් වූ උන්වහන්සේ ඉන් වසරකට පසුව එනම්, 1997 දී එහි පරිවේණාධිපති ධුරයට පත් විය. නිසි වයස් එළැඹීමෙන් පසු උන්වහන්සේ ස්‍යාමෝපාලි මහා නිකායේ, මල්වතු මහා විහාරයේ දී 1981 අගෝස්තු මස 05 වැනි දින උපසම්පදාව ලබා ගත්හ.