Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 37

රමණීය විහාරී මහරහතන් වහන්සේ

සිත යනු මේ ලෝකයේ ජය ගැනීමට දුෂ්කරම වූ දෙයයි. මුළුමණින්ම කෙලෙසුන්ගෙන් කිලිටි වී සසරට බර වූ මේ සිත පිරිසුදු කිරීම ඉතා අසීරු ය. මේ ලෝකයේ යම් බිහිසුණු, ජය ගැනීමට දුෂ්කර යුද්ධ ඇද්ද, එබඳු යුද්ධ දාහකින් ලබන ජයටත් වඩා කෙලෙසුන් සමඟ යුධ වැදී ජය ලැබීම උතුම් වේ. ඒ කෙලෙස් යුද්ධයට අතගැසීම පවා ශ්‍රේෂ්ඨ පුරුෂයන් විසින් ම පමණක් කරන දෙයකි. ඒ අයුරින් ඒ කෙලෙස් සංග්‍රාමයෙන් ජයගත් රහතන් වහන්සේලා කෙතරම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයන් ද?

අද අප සිත පහදවා ගන්නේ කෙලෙස් සංග්‍රාමයෙන් ජයගත් ‘රමණීය විහාරී’ නම් උතුම් මහරහතන් වහන්සේගේ ජීවිතය පිළිබඳව යි.

මේ මහා භද්‍ර කල්පය පහළවීමට කල්ප අනූඑකක පෙර සොඳුරු යුගයක් ලෝකයට උදාවුණා. එකල තුන්ලෝකාග්‍ර වූ විපස්සී සම්බුදුරජාණන් වහන්සේ ලොව වැඩ සිටියා. උන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් පා ගමනින්ම ගම් නියම්ගම් පුරා චාරිකාවේ වැඩම කොට වදාළා. එක් තරුණයෙක් කටයුත්තක් පිණිස නගරයට යන අතරේ ඒ මාර්ගයේ සටහන්ව තිබූ පා සටහන් දැක විශ්මයට පත්වුණා. ඒ පා සටහන් ඉතාමත්ම පැහැදිලිව මාර්ගයේ පිහිටා තිබුණා. දිඟු ඇඟිලි සහිත චක්‍ර ලකුණු දහසකින් විචිත්‍ර වූ ඒ පා සටහන් කාගේදැයි ඔහු දැන සිටියේ නැහැ.

මේ තරුණයා පා සටහන් ඔස්සේ ඒ පාදයන්හි අයිතිය ඇති උතුමාණන් සොයා නික්මුණා. බොහෝ දුරක් පා සටහන් අනුව ගමන් කොට සොඳුරු රුක් සෙවනක් සමීපයේ ඔහු මෙතෙක් නොදුටු විරූ මනුෂ්‍ය රත්නයක් මුණ ගැසුණා. ඒ කෙස් අක්බඹරු වන් තද නිල් පැහැතියි. නෙතු සඟල අභිනීලය. පුළුල් වූ නළල් තලයෙකි. වමඳ සිනවහකින් යුතු දිව්‍යමය මුහුණකි. ඉතාමත් සෘජු වූ ගම්භීර බඹයක් පමණ උස් වූ සිරුරකි. බිමට යොමු වූ නෙත් ඇති ඒ උත්තමයාණන් වහන්සේ සක්මන් කරමින් වැඩ සිටී. මේ තරුණයාගේ සියොළඟම පී‍්‍රති සැපයක් පැතිරී ගියා. ඒ අසල මලින් බර වූ තෝරණ්ඩ ගසක් (එකල තිබූ එක්තරා මල් ගසකි) දැක ඔහු තෝරණ්ඩ මල් කිණිති රාශියක් කඩා විපස්සී බුදුරජාණන් වහන්සේට ඇඳිඟිලි බැඳ පූජා කොට වන්දනා කළා.

ඒ උතුම් පුෂ්ප පූජාව මරණින් මතු මේ තරුණයාගේ ජීවිතයට බොහෝ සැප උදාකර දුන්නා. ඔහු දෙව්ලොව උපත ලැබුවා. මීට කල්ප පනස් එකකට පෙර ‘වීතමල’ නම් වූ සක්විති රජු ලෙස ඉපදීමත් ඒ පිනම හේතු වුණා. කාලය ගෙවී ගොස් මේ මහා භද්‍ර කල්පය උදාවුණා. අපගේ ගෘස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ හෙතෙමේ රජගහනුවර මහා ධන සම්පත් ඇති සිටු කුලයක උපත ලැබුවා. යොවුන් වියට පැමිණි මේ සිටු කුමාරයා යෞවන මදයෙන් මත් වී ධනය වියදම් කරමින් වෙසඟනන් කරා යමින් කාමුක ජීවිතයක් ගත කළා.

දිනක් වෙසඟනන් සමඟ සතුටු වී ආපසු එමින් සිටි ඔහුට නගරය මධ්‍යයට රැගෙන විත් රාජපුරුෂයන් විසින් නොයෙකුත් වධ බන්ධනයන්ට පමුණුවන පුරුෂයෙකු දැන ගන්නට ලැබුණා. කරුණු විමසූ මේ කුමාරයාට දැනගන්නට ලැබුණේ එම දඬුවමට පත් පුරුෂයා ස්ත්‍රීන් කෙරෙහි ලොල් වී පර අඹුවන් කරා ගොස් හසුවීමෙන් මෙසේ වධයට ලක්ව ඇති බවයි. එය ඇසූ විගසම කුමරා හට තමා තැනම ලජ්ජාවක් ඇතිවුණා. ‘අහෝ මාත් ස්ත්‍රීන්ට ලෝල් කරමින් වෛශ්‍යාවන් ඇසුරු කරන්නෙක් නොව. මාද මෙවැනි වධයට සුදුසු වූ, පහත් ගති ඇත්තෙක් නේද?’ යැයි සිතා සංවේගයට පත්වුණා.

සසරේ සිදුකළ මහත් පින් ඇති ඔහුගේ සිත මේ කරුණින්ම ගෘහවාසය කෙරෙහි කළකිරුණි. තම මාපියන්ගේ අවසර ලත් ඔහු හෙතෙම බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් බුදු සසුනේ උතුම් වූ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. පැවිදිබවට පත් වුවද සිටු ජීවිතයක් ගතකළ මේ හිමියන්ට තමන් වහන්සේ වැඩසිටි කුටිය නිතරම අමදිමින්, මිදුල සකස් කරමින් වුවමනාවටත් වඩා කුටි සෙනසුන් විසිතුරු කරමින් වාසය කළා. එනිසාම ‘රමණීය විහාරි’ ස්වාමින්වහන්සේ ලෙස ප්‍රකට වුණා.

පැවිදි වුවද තමන් ගිහිකළ ඇසුරු කළ වෛශ්‍යාවන්ගේ රූපයත්, මායාවන් ආදිය නිතර නිතර මේ හිමියන්ට සිහිපත් වුණා. දිනක් මේ රාග සිතුවිලි උත්සන්න වී දැන දැනම උපසම්පදා භික්ෂුවකට සිදු නොවිය යුතු බරපතල සීල ජේදයක් සිදුවුණා. ඇවතට පත් වුණා. මෙසේ කළ මාහට නින්දා වේවා! මට නම් මේ පැවිද් දුෂ්කර දෙයක්. මා යළිත් ගිහි වන්නෙමි’ යි සිතා සේනාසනය අස්කොට ගිහි වීම පිණිස රජගහනුවර තම ගිහිකළ නිවස වෙත යාමට පිටත් වුණා. විශාල කලකිරීමකින් සිත පිරී තිබුණා. මහමග දිගේද හඬ හඬාමයි උන්වහන්සේ ගමන් කළේ. එක්තරා විශාල රුක් සෙවනක් දැක විවේකීව මඳක් වාඩි වී සිිටියා. ඒ ඉදිරියේ කුඩා මඩ වලක් තිබුණා. ඒ මොහොතේ මේ මාර්ගය දිගේ ගැල්කරුවන් පිරිසක් ගමන් ගත්තා. ඒ ගැල්කරුවන්ගේ එක් කරත්තයක් අර මඩවලේ එරුණා. ඉතාමත් වෙහෙස වී සිටි කරත්තයේ බැඳ සිටි ගොනා ගැල ඇද ගැනීමට නොහැකිව එතැනම ඇදගෙන වැටුණා. එවිට ඒ ගැල්කරුවෝ ගොනාව ගැලෙන් මුදවා තණකොළ කෑමට සැලැස්සුවා. වතුර බීමට සැලැස්සුවා. සුළුවෙලාවක් තණ නිල්ලේ හාන්සි වී ගොනා විවේක ගත්තා. යළිත් ගැල්කරුවන් එරුණු කරත්තය ගොනාගේ ගැට ගැසුවා. තණ කා වතුර බී ශක්තිමත්ව සිටි ඒ බලවත් ගොනා එක පියවර තැබීමකින්ම එරුණු කරත්තය ගොඩට ගත්තා.

රමණීය විහාරි ස්වාමින් වහන්සේ රුක් සෙවනේ ඉඳගෙනම කල්පනා කළා ‘ඒ වෘෂභයා වැටුණා. නමුත් විවේක අරගෙන වෙහෙසට පිළියම් යොදා යළිත් ඒ බර ඇද්දා. මමත් වරක් වැටුණා. නමුත් ආයෙමත් වතාවක් නො වැටෙන විදියට මම මේ සිතට පිළියම් කළ යුතුයි. උන්වහන්සේ නැවතත් විහාරයට ගමන් කළා. උපාලි මහරහතන් වහන්සේ මුණ ගැසී සිදුවූ ඇවත පවසා ඊට සුදුසු පිළියම් කොට යළි පිරිසුදු සීලයේ හිටියා. ඒ ඇරඹූ වීරියෙන් උන්වහන්සේ විදර්ශනා වඩා නොබෝ කලකින්ම උතුම් වූ මහරහතන් වහන්සේ නමක් බවට පත්වී වදාළා. තමන් වහන්සේ තුළ රාග පීඩා දුරුවීමෙන් ඇති වූ සැපය විඳිමින් උන් වහන්සේ අන් භික්ෂූන්හටද වීරිය උපදවීම පිණිස මේ උතුම් වූ ගාථා රත්නය ප්‍රකාශ කොට වදාළා.

යථාපි භද්දෝ ආජඤ්ඤෝ
චලිත්වා පතිනිටියති
ඒවං දස්සන සම්පන්නං
සම්මා සම්බුද්ධ සාවතන්ති

ශ්‍රේෂ්ඨ වෘෂභයා සුන්දරයි. පය පැකලී වැටෙන්නට පෙර වහා නැඟිටියි. ඒ විදිහට ම මාත් බුදු සමිඳාණන්ගේ දර්ශන සම්පන්න වූ ශ්‍රාවකයෙක් වුණා.

කෙලෙස් යුද්ධය ජය ගැනීමට ඇති ආයුධය ප්‍රඥාව යි. ඒ ප්‍රඥාව උපදවා දෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය විසිනු යි. සැබැවින්ම ආයු මද, ආරෝග්‍ය මද, යොබ්බන මද ආදී මදයන් දුරු කරවාලන කෙලෙස් පිපාසාව සංසිඳුවාලන, තෘෂ්ණාව මුලින්ම උපුටා දමන සසර දුක් නැති කරවන, ඒ රහතුන් බිහිකරන උතුම් වූ ශ්‍රී සද්ධර්මය, මේ ලෝකයේ ඇති අනේක ප්‍රකාර මතවාදයන් අතරේ කොයිතරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් ද?

ඒ ශ්‍රේෂ්ඨත්වය කරා රැගෙන යන ධර්මය ලෝකයට විවර කළේ සම්මා සම්පුදුරජාණන් වහන්සේලා විසිනුයි. ඒ සම්බුදුරජාණන් වහන්සේලා මුළුමණින්ම දමනය වූ සේක. අන් අයටද දමනය පිණිස මඟ කියාදෙන සේක. මේ නො දැමුණු සිත දමනය කර ගැනීමට නම් හොඳින් ආරක්ෂා විධිවිධාන යෙදූ නගරයක් මෙන් මේ සිත රැකගත යුතු බවයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ නගරයක පවතින ඒසිතා ස්ථම්භය මෙන් පිහිටි නො සෙල්වෙන ශ්‍රද්ධාවක් උපදවාගෙන සිතේ රැකවරණය පිණිස පවට ලජ්ජාව නම් වූ දිය අගලත්, පවට භය නම් වූ ආරක්ෂක පථයත්, දහම් දැනුම නම් වූ ආයුධ ගබඩාවත්, සිව්රඟ සේනාවක් බඳු වූ නො පසුබසිනා වීර්යත්, දොරටු පාලකයෙකු බඳු මනා සිහිනුවණත්, කිසිදු සේනාවකට මැඬලීමට නොහැකි ප්‍රඥාව නම් වූ ප්‍රාකාරයත් ඇතිකරගෙන මේ සිත නම් වූ නගරය අකුසල් නම් වූ සතුරන්ගෙන් ආරක්ෂා කර ගත යුතුය.

අපටද ඒ නිවන් සැප ලෝ සතුනට දායාද කළ බුදුරජාණන් වහන්සේ ගැනත්, නිවනට මඟ පවසන ශ්‍රී සද්ධර්මය ගැනත්, නිවන් මඟ ගමන් කර ශ්‍රාවක සඟ රුවන ගැනත් සිත පහදවාගෙන පරම ශාන්තිය වූ නිවන් සැප ලැබීමේ වාසනාව උදාවේවා!

නයනා නිල්මිණි ලියනගේ


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 36 සීතවනීය මහරහතන් වහන්සේ