Print this Article


ගිලානෝපස්ථානය

ගිලානෝපස්ථානය

යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් එය බුදුන්ට උපස්ථාන කළා හා සමානය කායික වශයෙන් රෝගාතුරවලට විවිධ වෛද්‍යවරු සිටියද මානසික රෝගාබාධ සඳහා ලොව බිහිවූ එකම වෛද්‍යවරයා වන්නේ බුදු හිමිය.

ගිලනුන්ට උපස්ථාන කිරීම බුදු දහමේ ඉගැන්වෙන ඉතා උතුම් ක්‍රියාවක් බව විවිධ සූත්‍ර හා කතා වස්තුවලින් පැහැදිලි වේ. එහි ඇති වටිනාකම දේශනා කළේ ලොව යථා තතු අවබෝධ කරගත්, ගිලානෝපස්ථානය ආදර්ශයෙන්ම ලොවට පෙන්නුම් කළ ශාස්තෘවරයෙකි. සමාජ සංස්ථාවෙහි කායික සුවසෙත උදෙසාත්, මානසික සහනය උදෙසාත් ගිලානෝපස්ථානය සෘජුවම බලපානු ඇත. මෙම සමාජයේ පුද්ගලයා විවිධ ලෙඩරෝගවලට භාජනය වීම ස්වාභාවික දෙයකි. විවිධ හේතූන් මත රෝගාතුර වූවද, වැදගත් වන්නේ එම රෝගයට භාජනය වූවන්ට ලැබෙන පිටුවහලයි. ඕනෑම තරාතිරමකකෙනකු වූවද රෝගාතුර වූ කල්හි ඔහු අසරණ වීම, තනිවීම සාමාන්‍ය දෙයකි. නමුදු ඒ වටා පිරිසක් ඔහු ආරක්ෂා කරගැනීම සඳහා, උදව් කිරීම සඳහා සිටීනම් ඔහුට තමා තනි වුණා, අසරණ වුණා.කියා නොසිතෙනු ඇත.

ගිලනුන්ට උපස්ථාන කිරීම උතුම් සද් ක්‍රියාවකි. මහා වග්ග පාලියෙහි බුදු රදුන් දේශනා කළේයෝ භික්කවේ මං උපටඨහෙය්‍ය සො ගිලානං උපටඨහෙය්‍යවශයෙනි. එනම් යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් එය බුදුන්ට උපස්ථාන කළා හා සමානය යනුවෙනි. බුදුන් කල එක් භික්ෂුවක් පිහිටක් නොමැතිව උදරාබාධයකින් පෙළෙමින් සිටි අවස්ථාවක බුදු හිමි ආනන්ද හිමිත් සම¼ග එම භික්ෂුව නාවා, අවශ්‍ය උපස්ථානය සිදු කරන ලදී. එහිදී සියලු භික්ෂුන්ට ගිලානෝපස්ථානයෙහි ඇති වටිනාකම පහදා දුන්සේක.

බුදු රදුන් වරක් මහා කාශ්‍යප, මුගලන් මහ රහතුන් වහන්සේලා ලෙඩ වී සිටි මොහොතක බොජ්ක්‍ඞංග සූත්‍ර ධර්ම දේශනා කරවාගෙන සුවය ලැබූ ආකාරයත් ගිරිමානන්ද හිමි ලෙඩ වූ අවස්ථාවක ආනන්ද හිමි ලවා බොජ්ඞංග සූත්‍ර ධර්ම දේශනා කරවාගෙන සුවය ලැබූ ආකාරයත්, ගිරිමානන්ද හිමි ලෙඩ වූ අවස්ථාවක ආනන්ද හිමි ලවා දශ සංඥාවන් දේශනාකොට සුවය ලබාදුන් ආකාරයත් ඉතා ප්‍රකට සිද්ධීන් ලෙස පෙන්වා දීමට පුළුවන. මේ කාරණය හේතුවෙන් බුදු හිමි ආරෝග්‍යා මිචෙඡ පරමංච ලාභං, ආරෝග්‍ය පරමා ලාභාආදී වශයෙන් නිරෝගීකම උතුම්ම ලාභය යනුවෙන් ද දේශනා කළහ. විනය මහා වග්ගයෙහි භෙසජ්ජක්ඛන්ධකයෙහි ඉහත කරුණු අඩංගු වන අතර ඒ ඒ රෝගවලට බෙහෙත් සාදා ගත යුතු ආකාරයන් පිළිබඳවද විස්තර වේ. රෝගියා හා උපස්ථායකයා අතර ද අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් පැවතිය යුතු ආකාරය දේශනා කළහ. ඒ අනුව එම දෙපිරිසම විසින් කරුණු කීපයක් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද වැඩිදුරටත් දේශනා කළහ. එම කරුණු අතරින්

උපස්ථායක තුළ තිබිය යුතු ගුණාංග වන්නේ,

1. දක්ෂ උපස්ථායකයා ගිලනාට බෙහෙත් පිළියෙළ කර දෙයි
2. හිත අහිත ආහාරපාන දැන, හිත භොජුන් සපයයි. අහිතකර බොජුන් ඉවත් කරයි.
3. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොව මෙත් කුළුණෙන් උවටැන් කරයි
4. මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේ දී පිළිකුල් නූපදවයි.
5. වරින් වර ගිලනාගේ හිත සැනසෙන පරිදි උපදෙස් දෙයි.

ගිලංනා තුළ තිබිය යුතු ගුණාංග

1. කැප වූ ආහාර පාන
2. කැප වූ ආහාර පානාදියෙහි පමණ දනියි
3. නියමිත වේලාවට බෙහෙත් පාවිච්චි කරයි.
4. උපස්ථායකයාට තමාගේ අසනීප තොරතුරු නොසගවා දක්වයි.
5. ධෛර්ය උපදවා රෝගය ඉවසයි.

දෙපිරිස තුළම මේ කරුණු හරිහැටි ඉටුවිය යුතු අතර, එතුළින් රෝගියාගේ කායික සුවයත් මානසික සහනයත් උපස්ථායකයාගේ ආත්ම තෘප්තියත් ඉහළ මට්ටමකින් වැඩි දියුණු කරගත හැකිය. බුදු හිමිගේ මෙම උතුම් ආදර්ශමත් ක්‍රියාවලිය එතැන් පටන් ඉතා උතුම් ගෞරවාන්විත සේවාවක් බවට පත්විය. එය මිහිඳු හිමිගේ මෙරට ධර්ම චාරිකාවත් සමග තවත් වැඩි දියුණු විය.

අපේ රටේ ඉතිහාසය ගත් කල්හි ඒ බව මනාව ඔප්පු වනු ඇත. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වෙදකම දැන ඉගෙන ගෙන මහජනයාට බෙහෙත් හේත් සිදු කළහ. පන්සල වෛද්‍ය මධ්‍යස්ථානයක් විය. වංශ කතා හා ශිලා ලිපි පරීක්ෂා කර බැලීම තුළින් ඒ බව මනාව ප්‍රත්‍යක්ෂ වේ. භික්ෂු ආභාෂය ලද රාජ රාජ මහා මාත්‍යාදීන් ද සතා සිවුපාවුන්ට පවා වෙදකම් කළ ආකාරය පැහැදිලි වේ. ඒ අතර බුද්ධදාස රජතුමා ඉතා වැදගත් වේ. එම රජතුමා සෑම ගම් දහයකටම වෛද්‍යවරයකු පත් කිරීමත්, ආරෝග්‍යාශාලා ඉදි කිරීමත් සිදු කළහ. සතා සිවුපාවුන්ට පවා වෛද්‍ය පහසුකම් ලබාදුන්හ.

ඊට අමතරව, V කාශ්‍යප, I උපතිස් ස, IV කාශ්‍යප, IVමහින්ද වැනි රජවරුද ගිලානෝපස්ථානයට අවශ්‍ය වපසරිය ගොඩ නැගූ රජවරුන්ය. බෙහෙත් ඔරුව, කැඳ ඔරුව ආදී ලෙඩුන් සුවපත් කරන අංගෝපාංගද බිහි වුණේ බුදුහිමි කියාදුන් එම උතුම් උදාර ගිලානෝපස්ථානය නම් උතුම් ක්‍රියා ධර්මය තුළිනි. ඒ සියලු දේ තුළින්ම බුදුන්ට උපස්ථාන කළා හා සමාන පුණ්‍ය ශක්තියක් අත්පත් වනු ඇත.

කායික වශයෙන් රෝගාතුරවලට විවිධ වෛද්‍යවරු සිටියද මානසික රෝගාබාධ සඳහා ලොව බිහිවූ එකම වෛද්‍යවරයා වන්නේ බුදු හිමිය. මිලින්ද පඤ්හය තුළ ධම්මෞෂධ සමං නත්ථි – එතං පිවථ භික්‍ඛවො” ආදි වශයෙන් ධර්මය ඖෂධයක් කොට පානය කරන ලෙස අනුදැන වදාළේ එබැවිනි. එය ලෝවැඩ සගරාව තුළ බුදු හිමිට වන්දනා කරන පළමු කවිය තුළින් ද පැහැදිලි වේ. සත්හට වන බව දුකට වෙදාණන් එනම්, භවයෙන් භවයට උපදමින් ලෙඩවෙමින්, මැරෙමින් දුක් විඳීන සත්ත්වයා හට එම දුක නැති කරනු වස් කෙලෙස් රෝග සුව කරන දහම් ඔසු සොයාගෙන තමන් වහන්සේ අත්දුටු ඒ දහම් ඔහු ලෝකයාට ප්‍රකාශ කළ බැවිනි.

මේ ආදී වශයෙන් එදිනෙදා වන කායික රෝගාබාධ උදෙසා ගිලානෝපස්ථානය කළ යුතු අතර, ඊටත් වඩා සත්ත්වයා සසරට ඇදගෙන යන මානසික රෝග සුවපත් කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. එයට හේතුව සත්ත්වයා සියලු දුක් විඳීනු ලබන්නේ ඉපදෙන බැවිනි. සියලු කෙලෙස් දුරලානිබ්බානං පරමං සුඛං කී ආකාරයට නිවන උතුම්ම සැපත බව හඳුනාගෙන ඒ සඳහා ධර්මය බෙහෙතක්කොට සලකා එය පානයකොට සසර දුකින් නිදහස් වීමට ද උත්සාහවන්ත විය යුතුය.