Print this Article


සීල විසුද්ධිය 3 කොටස සීලය පිරිසුදු වීමට අවශ්‍ය ගුණධර්ම

සීල විසුද්ධිය 3 කොටස

සීලය පිරිසුදු වීමට අවශ්‍ය ගුණධර්ම

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ඉගෙන ගන්න පුද්ගලයා ඒ අග්‍ර වූ සැප අත්කර ගන්නට භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ නිවන් මඟ ගැන ඒ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන ධර්මයන් ගැන හොඳ පැහැදීමක් තිබෙන්නට ඕන. ඒ වගේම නිවන් මෙ¼ග් අනුපිළිවෙල ගැන කියාදුන් ධර්මයන් ගැන අපට හොඳ වැටහීමක් තියෙන්නටත් ඕන. නිවන් මඟ හොඳින් තෝරාගෙන, පුරුදුකර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්මය හොඳට ඉගෙන ගන්නට මේ කාලයේ අපට අවස්ථාව උදාවී තිබෙනවා.

යම් කෙනෙක් නිවන්මඟ ගැන හොඳින් ඉගෙන ගත්විට ඔහුට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. නිවන් මඟ ගැන හොඳින් දන්න පුද්ගලයා සතුටු සිතින් වාසය කරන කෙනෙක්. ඔහුට කණගාටුවක් ඇතිවන්නේ නැහැ. නිතරම නිර්භයභාවය ඇතිවෙනවා. නිර්භයභාවයෙන් යුක්ත කෙනා සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න පුද්ගලයා තුළ සැහැල්ලුව, සුව පහසුව තිබෙනවා. ඔහු ඒ මාර්ගය හොඳින් පුරුදු කර ගන්නවා. සුව පහසුවක් නැත්නම් ඔහුට ධර්මය පුරුදු කරන්නට බැහැ.

ඒ වගේම නිවන්මඟ නො දන්න පුද්ගලයාට කණගාටු නොවී ඉන්නටත් බැහැ. මඟ නො දන්න කෙනාට කණගාටුව, පසුතැවිල්ල, බය තමා ඇතිවන්නේ. හොඳින් නිවන් මඟ ගැන වැටහීමක් නැත්නම් ඒ වැටහීමක් නැති පුද්ගලයා නිවන් මඟ කියා මොනව හරි දෙයක් කරනවා. නමුත් සුව පහසුවක් නැති නිසා ඒ කරන හැම දෙයකින්ම පීඩාවක් තමා ඇති වන්නේ. සුව පහසුවක් නැහැ. හොඳින් නිවන්මග ගැන දන්න පුද්ගලයාට සතුට තිබෙනවා. සතුටෙන් ඉන්න කෙනා සුව පහසුවෙන් වාසය කරන්නේ. සුවපහසුවෙන් වාසය කරන විට සුව පහසුවෙන්ම තමා ඒ මාර්ගය පුරුදු කරන්නේ. එවිට ඔහු අපහසුවට පත්වෙන්නේ නැහැ. ඒ නිසා නිවන් මඟ ගැන හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගත්විට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන කෙනෙකු බවට පත්වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරනවානම් ඔහුට පිරිනිවන්පාන්නට පුුළුවන්. පිරිනිවන් පාන්ට පුළුවන්නම් සියලු දුකෙන් නිදහස් වීමේ භාග්‍යය උදාවෙලා සියලු දුක් අවසන් වෙලා යනවා.

සියලු දුකින් නිදහස් වීමකින් තොරව ජරා මරණ කියන මූලික අර්බුදයට පිළියම් නැහැ. එහෙනම් අප ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට කටයුතු කරන්නට කැමැතිනම් ජරා මරණ කියන දුකෙන් නිදහස් වෙන්නට කැමැති වෙන්ට ඕන. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නට කැමැති කෙනා ඒ නිවන් මඟ ගැන හොඳ වැටහීමක් ඇතිකර ගන්නටත් ඕන. එසේ නිවන් මඟ ගැන වැටහීමක් ඇති කරගත් පුද්ගලයා ඒ නිවන් මඟ ආරම්භයේ සිට පුරුදු කරනවා.

එසේනම් ඒ නිවන් මඟ පටන් ගන්නේ සීලය පිරිසුදු කර ගැනීමෙන්. ඒ සඳහා මහත් සේ වෑයම් කරන්නට ඕන. නිවන් මගේ ආරම්භය පිරිසුදු කර ගත් පුද්ගයාට යම් කලක ඒ නිවන් මඟ අවසන් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ධර්මයේ තිබෙන සුවිශේෂීත්වය තමා ඒ නිවන් මගේ ආරම්භයට පැමිණි තැනැත්තා ඒ මඟ අවසානය කරා යනවාම යි. එය මේ ධර්මයේ තිබෙන අතිශය සුවිශේෂි බවක්. යම් ප්‍රමාදයන් තිබෙන්නට පුළුවන්. ඒ ප්‍රමාදයක් උපරිම වශයෙන් තිබුණොත් භව හතක් දක්වා පමණයි. ඒ නිසා මේ ධර්මය තුළ තිබෙන මේ විශේෂ ස්වභාවය මේ විශේෂ ආරක්ෂාව අතිශයින්ම විශ්මිත වූ ආරක්ෂාවක් අපට තිබෙනවා. ඒ නිසා වෑයම් කරන්නට නිවන් මගේ ආරම්භයට හෝ එන්න. නිවන් මගේ ආරම්භයට පැමිණිම තමා අමාරු දේ. ඒ අමාරුම දේ කළ පුද්ගලයා ඒ නිවන් මඟ අවසන් කරනවා කියන දේ සිදු වෙනවා.

කුමක්ද ඒ ආරම්භය? ඒ සීලය පිරිසුදු කර ගැනීම යි. ඒක අතිශයින්ම අමාරුයි. ඉතාම අමාරුයි. ඒ සඳහා විශාල කැප කිරීමක් කරන්නට සිදු වෙනවා. විශාල කැප කිරීමක් නො කර සීලය පිරිසුදු කරන්නට බැහැ. විශාල වශයෙන් ගුණධර්ම හදා ගන්නට තිබෙනවා. ගුණ ධර්ම හදාගන්නේ නැතිව සීලය පිරිසුදු කරන්නට බැහැ. ගුණධර්ම හදා ගැනීමෙන්ම යි ගුණ ධර්ම පුරුදුකර ගැනීමෙන්ම යි ගුණ ධර්ම පරිපූර්ණ කර ගැනීමෙන්ම යි සීලය පිරිසුදු වෙන්නේ. ඒ නිසා ඒ නිවන් මගේ ආරම්භය වන සීලය පිරිසුදු කර ගැනීම කියන ඒ අතිශයින් අමාරු කටයුත්ත කරන්නට අප කවුරුත් කැමැති වෙන්නට ඕන. ඒ සඳහා අප විසින් පුරුදුකර ගතයුතු ගුණ ධර්මයන් අප විසින් ඉගෙන ගන්නට ඕන. ඒ ගුණ ධර්ම ඉගෙන ගෙන ඒවා මහත් වූ පැහැදීමෙන් ගෞරවයෙන් ආසාවෙන් පුරුදු කර ගන්නට කවුරුත් කැමැති වෙන්න ඕන. ඒ ගුණ ධර්ම ටික ටික අපේ ජීවිතේට පුරුදු කර ගත්තොත් අප තුළ සීලය දියුණු වෙනවා. සීලය පිරිසුදු දෙයක් බවට පත්වෙනවා. සීලය පරිපූර්ණ බවට පත්වෙනවා.

සීලය පරිපූර්ණ වෙනවා කියන්නේ පිරිහෙන්නේ නැති දෙයක් බවට පත්වීමයි. නැවත වතාවක් සිල් බිෙඳන්නේ නැති ස්වභාවයට දුස්සීල බවට පත් නො වන ස්වභාවයට පත් වීමයි. එවිට සීලය පිරිසුදු වෙලා ඉවරයි. නැවත වතාවක් ඔහු දුස්සීල් භාවයට පත් වෙන්නේ නැහැ. එය සිදුවෙන්නේ නැහැ. සිද්ධ කරන්නත් බැහැ. දුස්සීලභාවය නිරුද්ධ වෙලා ඉවරයි. ඒකයි සීල විසුද්ධිය කියා කියන්නේ. එවිට ඒ සීල විසුද්ධියට පැමිණීම පිණිස අප විසින් පුරුදුකර ගතයුතු බොහෝ ගුණධර්ම තිබෙනවා. ඒ ගුණධර්ම සියල්ලම පුරුදුකර ගන්නේ නැතුව සීලය පිරිසුදු කරන්නට බැහැ. ඒ ගුණධර්ම ගැන ඉගෙනගෙන ඒ ගුණධර්ම ජීවිතයට පුරුදුකර ගන්නට කවුරුත් කැමැති වෙන්නට ඕන.

ඒ සීලය පිරිසුදුකර ගැනීම පිණිස වුවමනා කරන ඒ ගුණධර්ම පුරුදුකර ගැනීමට වුවමනා කරන සුදුසුම පරිසරය ගොඩනැගෙන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ එකට වාසය කිරීමෙන්. යම් කෙනෙක් සීලය පිරිසුදු කර ගන්නට කැමැති නම්, ඒ සඳහා වුවමනා කරන ගුණධර්ම ගැන ඉගෙන ගෙන පුරුදු කරන්නට ඕන. ඒ ගුණධර්ම ගැන ඉගෙනගෙන පුරුදුකර ගන්ට කැමැති තැනැත්තා විසින් කළ යුතු දේ තමා කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කරන්නට කැමැතිවීම. හැබැයි මේ දේ අමාරු යි. අමාරුයි කියා කියන්නේ කැප කිරීමකින් කළ යුතු දේකට. කැප කරන්නට වීර්යයක් ඕන. කැප කිරීමක් කරන්නට බැරි කෙනාට විර්යයක් නැති කෙනාට ඒ කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කිරීම අමාරු දෙයක් විදිහට තමා පෙනෙන්නේ. නමුත් කැප කිරීමක් කරන්නට පුළුවන් පුද්ගලයාට වීර්යයක් තිබෙන පුද්ගලයාට කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කිරීම අතිශ්‍යයින් මිහිරි අත්දැකීමක්. සසර පුරාවට ලබන මිහිරිම අත්දැකීම බවට එය පත්වෙනවා.

ඒ විදිහට කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කිරීමෙන් ඔහුගේ ජීවිතේ යහපත් ව දියුණුවෙන්ට උපකාරවෙන ගුණධර්ම ගැන ඉගෙනගෙන ඒවා පුරුදු කරගන්නට ඔහුට පුළුවන්කම ලැබෙනවා. කාය දුෂ්චරිතය බැහැර වී, කාය සුචරිතය පුරුදු කරගන්නට, වචී දුෂ්චරිතය බැහැර වී, වචී සුචරිතය පුරුදු කරන්නට, මනෝ දුෂ්චරිතය බැහැර වී, මනෝ සුචරිතය පුරුදු කරන්නට. එවිට ඔහුගේ සීලය පිරිසුදු කරගන්නට පරිපූර්ණ කර ගන්නට පුළුවන්.

එනිසා ඒ දුර්ලභ වූ වාසනාව අත්කර ගන්නට කැමැති අය විදිහට කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කරන්නට සියලුදෙනාම කැමැති වෙන්න. එසේ කැමැති වීමෙන්ම ඔබලාට ඒ උතුම් ගුණධර්ම පුරුදු කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරන වාසනාවන්තයෝ වීමට පුළුවන්කම තිබෙනවා.