Print this Article


සම්බුදු සසුන බැබළ වූ අස්ගිරි මහා නාහිමි

සම්බුදු සසුන බැබළ වූ අස්ගිරි මහා නාහිමි

ධර්ම විනයානුකූලව භික්‍ෂූන්ට ශාසනික තනතුරු ලබාදීම ඇරඹුණේ බුදුරජුන් ජීවමාන කාලයේදීම ය. ලක්දිව අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය තුළ ද ශාසනික තනතුරු පැවතුණි. පොළොන්නරු යුගයෙන් පසු බුදුසසුන හා භික්‍ෂු සමාජය සුරැකීම සඳහා වරින්වර ශාසනික කතිකාවත් සකස් කෙරුණ අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන මාහිමි, මහාසාමි, ගණනායක, සංඝරාජ, මහනායක යනුවෙන් භික්‍ෂු නායකත්වයක්ද බිහිවිය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු රාජ්‍ය වර්ෂ 1753 දී වැලිවිට ශ්‍රී සරණංකර මාහිමියන්ට ශාසනික නායකත්වය පවරමින් සංඝරාජ තනතුර පිරිනැමුවේය. අස්ගිරි හා මල්වතු මහා විහාර පාර්ශ්වයන් සඳහා උප සඟරජවරුන් ලෙස මහානායක තනතුරු පත්කිරීම ද ඒ සමඟ ම සිදුවුණි. සංඝරාජ තනතුර අහෝසි වීමෙන් පසු එම පදවියේ අනුප්‍රාප්තික බලය පැවරුණේ උභය මහා විහාරීය මහනාහිමිවරුන්ට ය. ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ ආගමික කටයුතු පවත්වාගෙන යාම, බුදුසසුනේ පැවැත්මට කටයුතු කිරීම හා රාජ්‍ය පාලකයන්ට යහ පාලනයට උපදෙස් දීම මහනාහිමිවරුන්ගේ ප්‍රධාන වගකීම් ය.

සත්සිය වසරකට වඩා පැරැණි මහනුවර අස්ගිරි මහ වෙහෙර සඟ පරපුරේ 19වන මහානායක තනතුර හෙබවූයේ අතිපුජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද මාහිමියන් විසිනි. උන්වහන්සේ උපත ලැබුවේ 1914 වසරේ මහනුවර පූජාපිටියේ පලිපාන ගමෙහිදීය. ඒ පිළිබඳ ජන්ම ශත සංවත්සරය යෙදී ඇත්තේ මෙම වසරටයි. අතිපූජ්‍ය මුල්ලේගම ශ්‍රී ගුණරතන මහානාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස දහතුන් හැවිරිදි වයසේ දී පැවිදි වූ උන්වහන්සේ 1975 වසරේ දී අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවියට පත්වූහ. පලිපාන ශ්‍රී චන්දානන්ද මාහිමියෝ 1999 නොවැම්බර් 08 දින අපවත්වූහ. උන්වහන්සේගේ ශ්‍රී නාමය අස්ගිරි මහා විහාර වංශයේ සටහන් වන්නේ තමන් වහන්සේ වෙත පැවරුණ ජාතික හා ශාසනික වගකීම් නොපිරිහෙලා සපුරන ලද උතුම් සඟ පියතුමකු වශයෙනි.

බුදුසිරිපා පහස ලද මහියංගණයේ දාගැබ හා විහාරය පිළිසකර කොට එම ප්‍රදේශය මනහර පුදබිමක් බවට පත්කිරීමේ කාර්යය අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද මහනාහිමියන් ඉටුකළේ උන්වහන්සේගේ තරුණ වියේදීය. මහියංගණය තම පරපුරේ ඓතිහාසික නිජබිම වූ බැවින් ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක අගමැතිවරු මහියංගණ විහාර සංවර්ධනයට පෞද්ගලිකව ම සහයෝගය දුන්හ. ඒ හේතුවෙන් අතිපූජ්‍ය මහානාහිමියන් හා ඔවුන් අතර සමීප ආශ්‍රයක් ඇතිවුණත්, එය පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා නොව පොදු යහපත සඳහා යොදාගන්නට උන්වහන්සේ නිතරම ක්‍රියා කළහ. ඒ නිසාම සිංහල ජාතියේ හා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා දේශපාලන ක්‍ෂේත්‍රයට බලපෑම් කළහැකි උදාර පෞරුෂයක් ක්‍රමානුකූලව උන්වහන්සේ තුළ ගොඩනැඟුනි.

පසුගිය සියවසේ අවසාන දශක කීපය තුළ, ශ්‍රී ලංකා රාජ්‍යය හා සම්බුද්ධ ශාසනය පිළිබඳ මහ සඟරුවන සතු සාම්ප්‍රදායික බලය මුළුමනින් ම ගොනු වී තිබුණේ පලීපාන චන්දානන්ද මහනාහිමියන් වටා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ජාතික හා ආගමික ප්‍රශ්නයක් මතු වූ විට අස්ගිරියේ මහානායක හාමුදුරුවන් මේ ගැන කියන්නේ කුමක්දැයි? දැනගන්නට රටවැසියෝ පුරුදු වී සිටියහ. සෙසු නිකායික මහනාහිමිවරුන් ද සියලු ජාතික ප්‍රශ්නවල දී උන්වහන්සේ පෙරමුණේ තබාගත්තේ ඉමහත් විශ්වාසයකිනි. එයට හේතුව විවිධ ගැටලු නිරාකරණය කිරීම සඳහා පලිපාන මහනාහිමියන් තුළ පැවැති හසළ දැනුම හා අර්බුදවලට නොසැලී, සෘජුව මුහුණදීමේ උදාර ගුණයයි. එය විදේශිකයන් පවා පිළිගත් කරුණකි.

1985 වර්ෂයේ Far eastern Economic Review  ජාත්‍යන්තර සඟරාවේ කලාපයක රොඩ්නි ටාස්කර් නමැති වාර්තාකරු මෙසේ සටහන් කොට ඇත.

“අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය පලිපානේ චන්දානන්ද හිමියන් බෞද්ධයන් කෙරෙහි මහත් බලපෑමක් කරන බවට කිසිදු සැකයක් නොමැත. ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් නිවහල් ප්‍රකාශ කරන පුද්ගලයා මුන්වහන්සේයි.”

කවර තරාතිරමේ කෙනකු වුව ද, සිදුකරන වරද වරදක් වශයෙන් දැකීමටත්, ඒ ගැන තම අදහස් එඩිතරව ප්‍රකාශ කිරීමටත් උන්වහන්සේ මැළි නොවූහ. 1977 වසරේ රජය බලයට පත්වීම සඳහා උන්වහන්සේ ආශිර්වාද කළහ. එහෙත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුරවැසි අයිතිය අහිමිකිරීම බලවත් අපරාධයක් හා පළිගැනීමක් බව උන්වහන්සේ පැවසූහ. 1987 ඉන්දුලංකා ගිවිසුමට එරෙහිව ගිහි පැවිදි පිරිස පෙළ ගැස්වූයේ අස්ගිරි මහානාහිමියන් ය. එහෙත් භික්‍ෂුන්ට සවන් නොදී ගත් හිතුවක්කාර තීරණවල ප්‍රතිඵලය වුණේ දහස් ගණනක් සිංහල තරුණයන් හා දේපළ අහිමිවීමයි.

1990 ලන්ඩනයේ දී සිදු කෙරුණු ඉතා බරපතළ සැත්කම් කීපයක් සාර්ථක වූ නිසා තවත් වසර ගණනාවක් අපේ මහනාහිමියන්ගේ සේවය ලබාගන්නට ජාතියට වාසනාව ලැබුණි. එම සැත්කම සිදුවුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ විශේෂ උපකාරයෙනි. මහනාහිමියෝ ඒ ගැන නිතර කෘතඥතා පූර්වකව සිහිපත් කළහ. නමුත් දළදා ප්‍රදර්ශනයක් පැවැති අවස්ථාවක ජනාධිපතිවරයා උන්වහන්සේගේ කනට කොඳුරා දළදාව තමන්ගේ සුරතට ලබාදෙන ලෙස ඉල්ලුවේය. දළදාව මොහොතකට හෝ අන්සතු කිරීම චාරිත්‍ර විරෝධී නිසා උන්වහන්සේ නිහඬව සිටියහ. ජනාධිපති තනතුරට හෝ හිතවත්කමට හෝ යටත්ව උන්වහන්සේ ක්‍රියා නොකළහ. කොටි ත්‍රස්තවාදීන් වැනසූ දළදා මාලිගාව නැවත ගොඩනඟන අවස්ථාවේ එක්තරා මුස්ලිම් ඇමැතිවරයෙක් ඒ සඳහා ආධාර මුදලක් දීමට සැරසුණි. අපි අපේ බෞද්ධයන්ගේ මුදල්වලින් එය සාදා ගන්නම්. අන්තිමේට ඔබතුමන්ලා කියයි මාලිගාව හැදුවෙත් අපේ සල්ලිවලින් කියලා. එසේ කියමින් උන්වහන්සේ එම මුදල් ප්‍රතික්ක්‍ෂේප කළහ.

අතිපූජ්‍ය චන්දානන්ද මහනාහිමිපාණන්ගේ ජීවිතය ඉතා සරල ය. අස්ගිරි විහාරයේ “මුල්ලේගම පන්සල” නමින් හැඳින්වෙන පැරණි ආවාසය උන්වහන්සේගේ නිවහනයි. තුනී ලෑලිවලින් වෙන්කළ කුඩා කාමරය උන්වහන්සේගේ කාර්යාලයයි. අලුයම 4.30 ට අවදිව සියතින්ම යතුරු ලියනයෙන් ලිපි ලේඛන සැකසීම මහනාහිමියන්ගේ දිනචරියාවේ කොටසකි. කිසිවකුට අභියෝග කළ නොහැකි උන්වහන්සේගේ අදීන, නිශ්චිත හා නිරවුල් අදහස් ඒ ලිපි ලේඛනවල ඇතුළත් වුණි. පොදු සමාජ කරුණු, සිදුවීම්, රජයේ අණපනත් ආදිය ගැන උන්වහන්සේට තිබුණේ හසළ දැනුමකි. දිනපතා පුවත්පත් හා ලැබෙන ලිපි කියවා වැදගත් ලිපි හා වාර්තා වෙන්කර උන්වහන්සේගේ අතින් ම ලිපිගොනු සැකසීම සිරිතකි. වගකීම් දරන භික්‍ෂූන් වශයෙන් රටේ ජාතික හා ආගමික තත්ත්වය පිළිබඳ නිතරම අවදියෙන් සිටිය යුතු බව උන්වහන්සේ අපට කියා දුන්හ. කුමන කාරණයක් ගැන වුවත්, පදනමක් ඇතිව කතා කරන්නට හා ලියන්නට උන්වහන්සේට හැකිවුණේ ජාතික හා ආගමික විෂය බද්ධ කාරණා පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වූ දැනුමක් තිබුණ බැවිනි. විවිධ ප්‍රශ්න ගැන කතා කරන්නට පැමිණෙන අයට උන්වහන්සේ කරුණු දැක්වූයේ විෂයයට අදාළ සියලු තොරතුරු, අන පනත් ආදිය ඉදිරිපත් කරමිනි. සංස්කෘතික ත්‍රිකෝණය මඟින් පොළොන්නරුවේ පුදබිමේ බද්ධ සීමාව මත ජල ටැංකි ඉදිකරමින්, බුදුපිළිම හා බිතුසිතුවම් වනසමින් සංස්කෘතිය සෝදාපාලු කරන විට මහනාහිමියෝ එහි වැඩම කොට ඒවා වැළැක්වූහ. බෞද්ධයන් බලහත්කාරයෙන් අන්‍යාගම්වලට හැරවීමට එරෙහිව දැවැන්ත මෙහෙයක් සිදුකරන ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානය බිහිවුණේ උන්වහන්සේගේ අනුශාසකත්වයෙනි. නායකත්වයක් ගොඩ නඟාගැනීම සඳහා භික්‍ෂූන් වශයෙන් අපට ආදර්ශයට ගතහැකි උදාර චරිත ලක්‍ෂණ රාශියක් අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහනාහිමියන් තුළ පැවතුණි.

පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ පර්යේෂණ ආයතනය මහ නාහිමිපාණන්ගේ ශාස්ත්‍රීය සේවයට සංකේතයකි. එය ඇරඹුවේ විශේෂයෙන් දසසිල් මෑණිවරුන්ට දහම් දැනුම ලබාදීම සඳහා ය. එම සේවාවේ ඉදිරි පියවරක් වශයෙන්, තම ගුරු පියාණන්ගේ ශ්‍රී නාමය අනුස්මරණය කරමින් ආචාර්ය ගොඩගම මංගල හිමියන් විසින් අරඹන ලද ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය රටට, දැයට හිතැති බොදු දරු පිරිසක් බිහිකරන කීර්තිමත් ආයතනයකි.

(අප්‍රේල් 24 දිනට යෙදුනු පලිපාන ශ්‍රී චන්දානන්ද මහනාහිමියන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙනි.)