Print this Article


අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අභිනව මහානායක ධුරයෙන් පිදුම් ලබන බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි

අක්ත පත්‍ර ප්‍රදානෝත්සවයමැයි මස 04 වන දා පස්වරු 2.30 ට මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී

බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අභිනව මහානායක ධුරයට ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමිපාණන් වහන්සේ පත්ව සිටිති.

ඒ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධූරීණඅතිපූජ්‍ය දෛවී භාෂා විශාරද අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ශ්‍රී ඤාණිස්සර මහ නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් 2014 මැයි මස 04 වෙනි ඉරු දින පස්වරු 2.30 ට මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පැවැත්වේ

සඟ සසුන බබුළුවන මහ නා හිමි

1958 අපේ‍්‍රල් මස 20 වෙනිදා ජන්මලාභය ලැබූ තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමිපාණන් වහන්සේ තවමත් 56 වෙනි වියෙහි පසු වෙන වත්මන් සඟ සසුන බබුළුවන ඕෂධි තාරකාවකි. මාතර පඹුරන ප්‍රදේශයේ සිට සිය රැකියා කටයුතු සඳහා තිරිකුණාමලය ප්‍රදේශයට පදිංචියට ගිය ලංකා ගීගනගේ ඩයස් මහතා සහ මාතර තලල්ල ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබූ එන්.එච්.ඩබ්. ඇලන්සිනා මහත්මිය මහානා හිමිපාණන් වහන්සේගේ දෙමාපියන් වහන්සේලාය. පුරාකෘත පුණ්‍ය බල මහිමයක් සමගින් මෙලොව ජන්මලාභය ලැබූ අප මහා නා හිමිපාණන් වහන්සේ පුතුන් නව දෙනෙකු සහ දියණිවරුන් තිදෙනෙකු සිටින පවුලේ පස් වෙනියා විය.

මාතර රස්සන්දෙණිය ශ්‍රී පුෂ්පාරාමාධිපතිව වැඩ සිටි තලල්ලේ සීලරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් වයස අවුරුදු දහයේ දී මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට පැමිණීමේ භාග්‍ය උදා කරගත් නමින් ආනන්ද නම් වූ මේ කුඩා දරුවා එතැන් පටන් තම සසුන් ගමන් මග ආරම්භ කළේ අති උදාර සංඝ පීතෘන් වහන්සේලා දෙනමකගේ මග පෙන්වීම යටතේය.

උගත මනා බණ දහම් හැදෑරීමෙන් පසුව එකොළොස් වෙනි වියෙහි දී 1969 ඔක්තෝබර් මස 25 වෙනිදා අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා අතිගරු අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් පැවිදි බිමට පත්විය. මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයෙහි ප්‍රාචීන භාෂා අධ්‍යයනයෙහි සහ වෙනත් විෂය ධාරාවන්හි ව්‍යාවෘත වූ කුඩා ආනන්ද සාමණේරයන් වහන්සේ තම දිවි මගෙහි විසි වස් සපුරද්දී 1978 නොවැම්බර් මස 25 වෙනිදා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ බද්ධ සීමා මාලකයේදී උපසපන් බිමට පත් ව බුදු සස්නෙහි තමාට හිමි තැන ස්ථාවර කර ගත්හ. උපසම්පදා වීමේදී ආනන්ද ස්වාමීන් වහන්සේට කර්මවාගාචාර්යවරුන් ලෙසින් කටයුතු කළෝ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක ධූරය හෙබැවූ අතිපූජ්‍ය වැලිගම ශ්‍රී ඤාණරතන මහානා හිමිපාණන් වහන්සේ සහ අපවත් වී වදාළ වජිරාරාමාධිකාරි පියදස්සින් හිමිපාණන් වහන්සේය. ගුරු දෙව් අම්පිටියේ ශ්‍රී‍්‍ර රාහුල නායක මාහිමිපාණන් වහන්සේ ද ඒ උතුම් සංඝ පීතෘවරයන් වහන්සේලාට අයත් වූහ. 1979 වසරේදී රාජකීය පණ්ඩිත උපාධිය දිනාගත් තරුණ ආනන්ද ස්වාමීන් වහන්සේ මහරගම ධර්මායතනයේ නිස්සරණාධ්‍යාස ඇදුරිඳුව අකලංක සේවාවක් සිදු කළහ.අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද අප මහානායක මාහිමිපාණන් වහන්සේ හෙළබස් ඉසුරු කුමරතුඟු මුනිදස් මහ පඩිවරයාණන්ට දක්වනුයේ අනුපම වූ ලබැඳියාවකි. එය තරුණ කල පටන් උන් වහන්සේ තුළ තිබුණූ බැඳීමක් බැවින් තරුණ අවධියේ සිටම හෙළ හවුලට බැඳී විවිධ ශාස්ත්‍රීය කාර්යයන්හි තත්පර ව කටයුතු කළහ.කාව්‍ය කරණයෙහි ද සුවිශිෂ්ට ලෙසින් දස්කම් දක්වන අප ආනන්ද හිමිපාණන් වහන්සේ 1990 වසරේදි බෞද්ධ අධ්‍යයන විෂය ධාරාවන් තුළින් ශාස්ත්‍රපති උපාධිය ද දිනා ගත්හ.

තරුණ කාලයේ පටන්ම තම ගුරු දෙව් උතුම් මහානායක මාහිමිපාණන් වහන්සේගේ සමීප ඇසුර ලබමින් ජාතික චින්තනයෙන් ඔද වැඩුණු, ස්වභාෂානුරාගයෙන් පණ ගැන්වුණු, ස්වදේශ වාත්සල්‍යයෙන් ඔපවත් වුණු අපේ මාහිමිපාණන් වහන්සේ බුද්ධ ශාසනික හා බෞද්ධ කටයුතු අධීක්ෂණ හා කාර්ය සාධක මණ්ඩලයේ ලේකම් වශයෙන් ද හෙළ හවුලේ මැදි මඩුල්ලේ සාමාජිකයෙකු ලෙසින් ද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සංක්ෂිප්ත ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසින්ද වෙනත් විවිධ සමිති සමාගම් වල නිලතල හොබවමින් ද සිදු කරන ලද සේවාව ඉතා විශාලය.

2003 දී අමරපුර ශ්‍රී‍්‍ර ධර්මරක්ෂිත මහා නිකායේ අනුනායක ධූරය ආනන්ද මහා ස්වාමීන් වහන්සේට පවරන්නට ධර්මරක්ෂිත නිකායේ පාලක සංඝ සභාව ගත් තීරණය කෙතරම් නිවැරදි දැයි මේ වන විට උන් වහන්සේ විසින් සිදු කර ඇති සේවාව දෙස බලන කල පැහැදිලි වේ. පසුගිය දා අපවත් වී වදාළ අතිපූජ්‍ය වැලිගම ශ්‍රී ඤාණරතන මහානා හිමිපාණන් වහන්සේගෙන් පුරප්පාඩු වූ මහානායක ධුරයට අපේ අනුනායක මාහිමිපාණන් පත් වූයේ සිය ජේෂ්ඨ පැවිදි සහෝදර ඇමෙරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිකාරි,උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නායක මාහිමිපාණන් වහන්සේ ඇමෙරිකාවේ සිට පාලක සංඝ සභාවට දන්වා එවන ලද යෝජනාවක් සංඝ සභාව මගින් ඒකමතිකව ස්ථිර කර ගැනීමෙන් පසුවය.

අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ මෙකල සඟ සසුනෙහි වැඩ සිටින අනතිමානී ගුණයන්ගෙන් උපලක්‍ෂිත මහ යතිවරු අතර මුල් තැනක වැඩ සිටිති. කුඩා දරුවෙකු සේ අවිහිංසක ගති පළ කරති. තමා වෙතට පැමිණෙන තැනැත්තාට කුඩා වූ දෙයකින් හෝ සංග්‍රහ කිරීමට සෑම විටෙකම උත්සාහ දරති. ලොකු කුඩා බාල මහළු සැම දෙනාටම ද,උගත් නූගත්, දුප්පත් පොහොසත් සෑම දෙනාට ම ද එක සිතින් සළකති. තම දෙමාපියන්ට මහත් සෙනෙහසින් සළකන අතර ම දෙමාපියන් බඳු දායක කාරකාදීන්ට දයාබර පුතණු කෙනෙකුන් ලෙසින් කරුණාව දක්වති. පැවිදි ගිහි සොයුරන්ට ශාසන දයාවෙන් මග පෙන්වති. කුඩා කල පටන් ලැබූ අවවාද නිතර සිහි කරති. ගුරු දෙවියන්ට දෙවියන්ට සෙයින්ම ගරු කරති. සළකති.

ධර්ම ශාස්ත්‍රීය වශයෙන් අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ සුවිශාල සේවාවක් සිදු කරමින් පවතින අතර මේ වන විටත් විවිධ මාතෘකා ඔසසේ ලියා පළ කරන ලද ලොකු කුඩා ධර්ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයකි. මහානායක මාහිමිපාණන් වහන්සේ සමරු ගී රචනයෙහිලා දක්වන්නේ නිසග කුසලතාවකි. පණ්ඩිත් අමරදේවයන් ගායනා කරනු ලබන විදුරු නැණ මාහිමි සමරු ගීය, ගුරු දෙව් මහනාහිමි සමරු ගීය. කුමරුතුඟු මුනිදස් සමරු ගීය ආදි සමරු ගීත විශාල ප්‍රමාණයක්ද පොදු තේමා යටතේ ගැනිය හැක. යුනෙස්කෝ ගීතය. පෝෂණ ගීතය, අන්තර් ජාතික වැඩිහිටි දින ගීතය ආදි ගීත ද වෙනත් ජාතිකාභිමානී ගීත සමුදායක් ද අපේ මහානා හිමිපාණන් වහන්සේගේ පරිකල්පනාවන් ලෙසින් ජනගතව ඇත.

අපවත් වී වදාළ, ගුරුදේවෝත්තම මහානායක මාහිමිපාණන් වහන්සේ ගත් මගම ගෙන නිවැරදි වූ ජාතික,ආගමික, ශාසනික හා දේශපාලනික දැක්මකින් යුතුව කටයුතු කරන අප අභිනව මහානායක මාහිමිපාණන් වහන්සේ තුන් නිකායෙහිම සංඝ නේතෘන් වහන්සේලාගේ සිත් දිනා ගෙන,උන්වහන්සේලා ඒකරාශි කරගෙන සියලු ශාසනික, ජාතික කටයුතුවලදි කටයුතු කරන්නේ සංඝ සාමාගි‍්‍රය අතිශයින්ම අගය කරන බැවිනි.

අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහා නා මාහිමිපාණන් වහන්සේ ආරම්භ කළ බම්බලපිටියේ සිරි වජිරාරාමයේ අධිපතිත්වයට අප අභිනව මහානායක මාහිමිපාණන් වහන්සේට හිමිවීම සිරි වජිරාරාමයේ වත්මන් සීඝ්‍ර සංවර්ධනයට ප්‍රධාන ම හේතුව විය. නැවත වජිරාරාම සම්ප්‍රදාය ලොවට දායාද කරන්නට වජිරාරාම පින්බිමෙන් බිහි වූ තුන් වෙනි මහානායක මාහිමිපාණන් වහන්සේ වන අපගේ අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනා හිමිපාණන් වහන්සේට හැකි වෙනවා නොඅනුමානය.


බලවත් පී‍්‍රතියට හේතුවක්

බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත ‘ශ්‍රී ප්‍රඥාසිංහ ධර්මකීර්ති ශ්‍රී’ යන ගෞරව නාම සම්මුතිය ද සහිතව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශවයේ මහානායක ධුරය පිරිනැමීම නිමිති කරගෙන ආශිර්වාදාත්මක සුභාසිංශනයක් ලබාදීමට අවස්ථාව ලැබීම අපගේ බලවත් පී‍්‍රතියට හේතුවකි.

1969 වර්ෂයෙහි අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා අතිගරු අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී ප්‍රවෘජ්‍යා භූමියට පත්ව, 1978 වර්ෂයෙහි අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලබා සම්භාවනීය ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ නිසි මඟ පෙන්වීම යටතේ උගතමනා බණ දහම් උගෙන, තම පැවිදි දිවිය සකසා ගත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ රාජකීය පණ්ඩිත උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් ලැබ සිය අධ්‍යාපන අභිලාෂයන් සාර්ථකව ජය ගත්හ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කළ ආනන්ද ස්ථවිරයන් වහන්සේ, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව තත් නිකායයේ අනුනායක ධුරයටත්, බම්බලපිටියේ වජිරාරාමාධිපති ධුරයටත් පත්වූහ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත පාර්ශවයේ මහානායක ධුරිණව ක්‍රියා කළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය වැලිගම සිරි ඤාණරතන මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක පදවියට ආනන්ද ස්ථවිරයන් වහන්සේ පත්කර ගැනීමට ක්‍රියාකාරී වීම අතිශයින්ම කාලෝචිත පියවරකි.

සම්බුදු සසුනටත් දෙස බස රැසටත් මහ මෙහෙයක් සිදු කරන තිරිකුණාමලයේ ආනන්ද අභිනව මහානායක ස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණින්, ශ්‍රී දළදා සමිඳු පිහිටින් කායික මානසික සුවතාවයත්, චිර ජීවනයත් ලැබේවා’යි ආශිංසනය කරම්හ.


සතුට දනවන කරුණක්

කොළඹ, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිකුණාමලේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ, සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවට අයත් අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ මහානායක පදවියට පත්වූ බව අපටද දැන ගන්නට ලැබුණු අතර එය මෙරටෙහි ගිහිපැවිදි උභය පක්‍ෂයේ සියලු දෙනාටම සතුට දණවන කරුණක් වන බවද සඳහන් කළ යුතුව පවතී.

මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපතිව වැඩසිටි අතිගරු මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ එහි වත්මන් විහාරාධිපති අම්පිටියේ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය නමක් ලෙස ප්‍රවෘජ්‍යා භූමියට පත් වූ මෙම ආනන්ද ස්ථවිරයන් වහන්සේ තම ගුරුවරුන් ඇසුරෙන් ලබාගත් ශික්‍ෂණයත් ප්‍රාචීන භාෂා අධ්‍යයනය තුළින් ලද පාණ්ඩිත්‍යයත් නිසා මෙන්ම කෘතහස්ත භාවයත් ධර්මානුකූලවූ සෞන්දර්යාත්මක සංකල්පනා ප්‍රායෝගිකත්වයට පත් කිරීමට ඇති හැකියාවත් නිසාම ගිහි පැවිදි බොහෝ දෙනාගේ අතිශය ප්‍රසාදයට ද පත්ව සිටිති.

මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආධිත්‍යයට පත් වූ මෙම ස්ථවිරයන් වහන්සේ මැදිවියේදීම තත් පාර්ශ්වයේ අනුනායක පදවියටද පත්වූ බවද ප්‍රකට කරුණකි.

පරෝපදාව රහිත ආදර්ශමත් භික්‍ෂු ජීවිතයක් ගත කරන ත්‍රිකුණාමලයේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ රටේ ජාතික, ආගමික, සාමාජික ප්‍රශ්න වලදී තම වගකීම මැනවින් තේරුම් ගෙන එහිලා ව්‍යවෘත වන අයුරු බෙහෙවින් අගය කළ යුතු වේ.

අතිගරු වැලිගම ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම මහානායක තනතුරට තත් නිකායික මහා සංඝයා වහන්සේ විසින් ත්‍රිකුණාමලයේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ පත්කර ගැනීම, තත්පාර්ශ්වීය අභිවර්ධනයට මෙන්ම පොදුවේ ශාසනයේ අභ්‍යුදයටද හේතුවනු ඇත. අභිනව පදවියේ කටයුතු චිරාත් කාලයක් සිදු කරගෙන යාමට රත්නත්‍රයේ ආශිර්වාදයත් ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයත් ඉත සිතින් ප්‍රාර්ථනා කරන අතරම අපගේ සුභාශිර්වාදයද පළ කරම්හ.


ශික්ෂාකාමී මහතෙර නමක්

“භික්ඛු භික්ඛවේ ව්‍යත්තෝ විනීතෝ, විසාරදෝ බහුස්සුතො ධම්මධරො ධම්මානුධම්මපටිපන්නෝ සංඝ සොභෙති”

“මහණෙනි, ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුව සංඝයා (ශාසනය) බබුළුවයි.”

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායෙහි මහානායක පදවියට රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද ස්ථවිරපාදයන් වහන්සේ පත්වීම පිළිබඳව ශුභාශිංශසනය කිරීමට අවස්ථාවක් ලැබීම ගැන බලවත් ලෙස ප්‍රමෝදයට පත්වීමි. තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්ථවිරයන් වහන්සේ, භික්ෂූන් වහන්සේ නමකට යෝග්‍ය සියලු ගුණාංගයන් ගෙන් ප්‍රාමාණික පරිදි ඔපවත් වූ තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් බව නො පැකිලව කිව හැකිය.

ශ්‍රමණා කල්ප මැනවින් ප්‍රගුණ කරමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේට ආදර්ශවත් ලෙස පැවිදි ජීවිතයක් ගත කරන සුපේශල ශික්ෂාකාමි මහතෙර නමකි.

අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහනාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයාණන් කෙනෙකුන් වූ තිරිකුණාමලේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ බෞද්ධ මහජනතාවගේ ද සම්භාවනාවට පාත්‍ර වූ යතිවරයෙකි. බුද්ධශාසන අමාත්‍යංශයේ සංක්ෂිප්ත ත්‍රිපිටක පරිවර්තනය කිරීමේ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ධර්ම කරුණු ගෙන හැර දැක්වීමෙහි සමත් මනා පරිචයක් උන්වහන්සේ සතුව ඇත.හෙළබස මනාව හැසිරවීමෙහි සමත් ප්‍රවීණ ලේඛකයකු ලෙසත්, ප්‍රතිභාපූර්ණ කවියකු ලෙසත් උන්වහන්සේ සම්භාවිතය.

අභිනව මහානායක පදවිප්‍රාප්ත අපගේ ද ශිෂ්‍ය නමක වන තිරිකුණාමලේ ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේට දිගාසිරි ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


ඉමහත් සේවාවක් සිදු කරති

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහස්ථවිරපාදයන් වහන්සේ ඉතා වැදගත් ගුරු පරපුරකින් පැවත එන මහතෙර නමකි. අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා අතිගරු අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන උන්වහන්සේගේ ඇදුරුපාණන් වහන්සේලා වෙතින් පැවිදිව, ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත්වූ විභාගයන්ගෙන් වර්ග පටිපාටියෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධියත් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති උන්වහන්සේ අතිපූජ්‍ය මඩිහේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් අනතුරුව අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත පාර්ශ්වයේ අනුනායක ධුරයට පත්වූයේ නිතරගයෙනි .

පුරා දස වසරක් එම ධුරය හෙබවූ ආනන්ද මහ ස්ථවිරයන් වහන්සේ අතිගරු වැලිගම ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් හිස් වූ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත පාර්ශ්වයේ මහානායක පදවියට ද නිතරඟයෙන්ම තේරී පත්වූහ.

අතිපූජ්‍ය මඩිහේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා අතිගරු අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා යටතේ ධර්ම විනය සහිතව අවශ්‍ය ශික්‍ෂණය ලබා භික්‍ෂූන් වහන්සේ නමකට අවශ්‍ය ගුණාංගයන්ගෙන් පිරිපුන් ආනන්ද මහ ස්ථවිරයන් වහන්සේ බම්බලපිටියේ සිරි වජිරාරාමයේ ආධිපත්‍යයත් හොබවමින්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ සංක්‍ෂිප්ත ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකත්වයත්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨ මණ්ඩලයේ සාමාජිකත්වයත්, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සාමාජිකත්වයත්, සදාචාර විරෝධි අන්‍යාගමික කරණය වැළැක්වීම පිළිබඳ යෝජනා කෙටුම් පතක් සැකසීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් පත් කළ උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වයත් ආදි නොයෙකුත් තනතුරු දරමින් රටට දැයට සමයට ඉමහත් සේවාවක් සිදු කරති.

එබඳු වූ ජාතික, ආගමික සහ සමාජසේවා කටයුතු රාශියක නිරත වන ආනන්ද මහනායක ස්ථවිරයන් වහන්සේට මේ උතුම් පදවියෙහි කටයුතු හොඳීන් සපුරාලීමට තෙරුවන් පිහිටත්, සියලු දෙව් රැකවරණයත්, ගිහි පැවිදි දෙපක්‍ෂයෙහිම පූර්ණ අනුග්‍රහයත් නොමදව ලැබ්වායි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් ආශිංශනය කරම්හ.


බලවත් සතුටට පත්වීමු

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායෙහි මහානායක පදවියට පත් වූ බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ගරු කටයුතු තිරිකුණාමලයේ ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේට අභිනව පදවිය ලැබීම නිමිත්තෙන් ශුභාශිංසනයක් නිකුත් කිරීමට ලැබීමත් අපගේ බලවත් ප්‍රසාදයට හේතු වන්නකි.

මෑත භාගයෙහි ලක් බුදු සසුන නගා සිටුවීමෙහිලා අපරිමිත වෙහෙසක් දැරූ අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කළ උදාර ශාසනික සේවා අතර රටට පිරිමහින බුද්ධිමත්, සිල්වත්, උගත් ශිෂ්‍ය පිරිසක් ඇති කිරීම ද වෙසෙසින් අගය කළ යුතු අතර අප රටේ පමණක් නොව දේශ දේශාන්තරවලත් කිතුගොස පතුරවමින් සිදු කරන ශාසනික හා සමාජ සේවා සැබවින්ම අගය කළ යුතු වේ.

එම ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා අතර තිරිකුණාමලයේ ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛස්ථානයක වැජඹෙති. ධර්ම ශාස්ත්‍රීය කටයුතු වල සමත්කම් දක්වන සිල්වත්, ගුණවත්, උගත්, සංඝශෝභන, තරුණ භික්‍ෂුවරයෙකු වශයෙන් අපත් හොඳින් දැන හඳුනාගත් තිරිකුණාමලයේ ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේට අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායෙහි මහානායක ධුරය ලැබීම පිළිබඳව ඇසූ අපි ද බලවත් සතුටට පත්වීමු. මෙම අභිනව මහානායක පදවි ප්‍රාප්ත ගරු කටයුතු තිරිකුණාමලයේ ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේට එකී පදවිය තුළින් සම්බුදු සසුනට, රටට, දැයට, විශිෂ්ට සේවාවක් සිදු කිරීමට ඇවැසි ශක්තිය බලය,දිරිය තෙරුවන් සරණින් සැලසේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.


මහානීය මෙහෙවරක් සිදුකරන්නට දිගාසිරි සැලසේවා

අමරපුර ශ්‍රී ධම්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලබන බම්බලපිටිය , සිරි වජිරාරාමාධිපති රාජකීය, පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට, මෙම සුමඟුල් අවස්ථාවේ ඒ සඳහා නිකුත් කරනු ලබන අභිනන්දන ආශිර්වාද කලාපයට සුබ පැතුම් පණිවුඩයක් එවීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

බෝධිසත්ත්ව ගුණෝපේත අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේගේ හා වත්මන් සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද සිරි වජිරඤාණ ධර්මායතන ව්‍යක්ත විනීතාදී සගුණයෙන් පිරිපුන් රට දැය සමයට වැඩ වඩමින් සම්බුද්ධ ශාසනය පෝෂණය කිරීමට සමත් භික්ෂූන් වහන්සේලා රටට දායාද කිරීමේ අරමුණින් පිහිට වූ අතර, මෙම සත් ව්‍යාපාරය දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ව්‍යාප්තව ඇති බව සතුටින් සඳහන් කරනු කැමැත්තෙමි.

බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයට අනුගතව උජුපටිපන්නාදී සංඝසෝභන ගුණයෙන් අප්පිච්ඡතා හා සන්තුට්ඨිතා ගුණයන්ගෙන් පෝෂිතව අනතිමානී ගුණයෙන් තම ශ්‍රමණ දිවිය සරුකර ගනිමින් ආදර්ශවත්ව තම ආචාර්යෝත්තමයන් වහන්සේ විසින් දියත් කරන ලද මිනිහා නො හදා රට හදන්නට බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු’ යන උදාර සංකල්පය උන්වහන්සේගේ අනුජාත ශිෂ්‍ය රත්නයක් ලෙසින් පොදුවේ සමස්ත සමාජයට නායකත්වය ලබා දෙමින් සජීවිකරණය කරනු දැක්ම ගිහි පැවිදි සැමගේ බලාපොරොත්තුවයි.

චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයටත්, ශ්‍රී ලංකාද්වීපයට හා සමස්ත ලෝකයාටත් මහානීය මෙහෙවරක් සිදු කරන්නට අතිපූජනීය අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බල මහිමයෙන් දිගාසිරි සැලසේවායි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


මහා නා හිමි රටට ආශිර්වාදයකි

ගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායෙහි මහානායක ධුරයෙන් පිදුම් ලැබීම අපගේ බලවත් චිත්ත සංතෘෂ්ඨියට හේතු වන්නේ, උන්වහන්සේ වජිරාරාම සම්ප්‍රදාය ද මැනවින් සුරකිමින් නිර්මල ථෙරවාදී බුදු සසුනෙහි තිර පැවැත්ම සාක්‍ෂාත් කරලීම සඳහා සිදු කරනු ලබන අනුපමේය සේවාව අපගේ නිරන්තර ඇගැයීමට ලක්වන බැවිනි.

ගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ දීර්ඝ කාලයක සිට ජාතික, ආගමික හා සාමාජීය වශයෙන් බොහෝ සේවාවන් ඉටුකර ඇත. උන්වහන්සේගේ ධර්මශාස්ත්‍රීය ඥානය අතිවිශිෂ්ටය. උන්වහන්සේ සමාජ ශාසනික වශයෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරති.

බුදු දහම පිළිබඳ යථාවාදීව සිතන සහ කාලානුරූපීව කටයුතු කරන වියත් විනයධර ධර්මධර භික්‍ෂූන් වහන්සේලා වඩ වඩාත් අවශ්‍ය වන යුගයක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවටම ආශිර්වාදයකි.

මහරගම සිරි වජිරඥාන ධර්මායතනයත්, බම්බලපිටියේ සිරි වජිරාරාම විහාරස්ථානයත් අපට ඉතා සුපුරුදු ආගමික ස්ථානයන්ය. එහි අධිපතිව වැඩ සිටි අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රටට, සමාජයට, ලොවට දුන් ආදර්ශය අති උදාරය. ඒ මගම යමින් ශාසනික හා සමාජීය වශයෙන් අමිල මෙහෙවරක් සිදු කරන අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිය සේවාවන් වඩාත් පුළුල්ව හා ශක්තිමත්ව ඉටු කරලීමට ආයුරාරෝග්‍ය හා වීර්ය සම්පත්තිය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.