Print this Article


සීල විසුද්ධිය 2 කොටස

ලෝකයේ ඇති සියලුම සංකත ධර්මයන්ගෙන් අග්‍ර වන්නේ නිවන් මඟයි

අප තේරුම් ගන්ට ඕන අපට තිබෙන මූලික ගැටළුව, අර්බුදය කුමක්ද යන කාරණය. එය තේරුම් නො ගත්තොත් අප කරන කියන කිසිදේකින් සිතේ සංසිඳීමක් උපදවන්නට බැහැ. කුමක්ද අපට තිබෙන මූලික ගැටලුව. ‘ඉපදුන සත්ත්වයා ජරාවට පත්වීම කියන කාරණය අපට තිබෙන මූලික ප්‍රශ්නයක්. ඒ වගේ ම ලෙඩවීම , මරණයට පත්වීම අපට තිබෙන මූලික ප්‍රශ්නයක්. මේ තමයි අපට තිබෙන මූලික අර්බුද වන්නේ.

ඒ අර්බුදයට විසඳුම් ලැබුණොත් අපේ අනෙකුත් සියලුම ප්‍රශ්න විසඳිලා ඉවරයි නේද? ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම යන මේවා අපට අතිශයින් ම දුක් සහිතයි. දුක උපදවන දේවල්, මේවාගෙන් අප නිදහස් වුණොත් අනික් හැම ප්‍රශ්නයකින්ම අප නිදහස් වෙනවා. එනිසා අපේ මූලික අර්බුදයට විසඳුම් සොයාගන්නට අප කැමැත්තක් ඇති කරන්නට ඕන. ඉපදුණු සත්ත්වයා ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම කියන මේ මූලික ප්‍රශ්නය විසඳිල සියලු දුකින් නිදහස් වෙන්නෙ නිවන අවබෝධ කිරීමෙන්. ඒ නිසා යම් කෙනෙක් දුකෙන් නිදහස් වෙන්ට කැමැති නම්, දුකට අකැමැති නම් ඔහු නිවන අවබෝධ කරගන්නට කැමැති වෙන්නට ඕන. නිවන අවබෝධ කරගන්නට කැමැති පුද්ගලයා ඒ නිවන් මඟ හොඳින් පුරුදු කරන්නට ඕනෑ. නිවන් මඟ හොඳින් පුරුදු නො කර නිවන අවබෝධ කරන්ට පුලුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔහුට දුකෙන් නිදහස් වීමක් නැහැ. ඒනිසා නිවන් මඟ ගැන හොඳින් පුරුදු කර ගන්නට අප කැමැති වෙන්න ඕන. ඒ සඳහා හොඳින් වෑයම් කරන්නට ඕන.

නිවන් මඟ හොඳින් පුරුදු කර ගන්නට නම් මොකක්ද අපට තිබිය යුතු සුදුසුකම. ඒ නිවන් මඟ ගැන මනා වැටහීමක් හොඳ දැනුමක් තිබිය යුතුයි. ඒ නිවන් මඟ ගැන හොඳ වැටහීමක් නැත්නම් එය හොඳින් පුරුදු කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිවන් මඟ පිළිසිඳ හොඳ වැටහීමක් ඇතිකර ගන්නට අප කල්පනා කළ යුතුයි. ඒ සඳහා මනා වෑයමක් ලොකු මහන්සියක්, කැපකිරීමක් අප ඇති කරගන්නට ඕනෑ. නිවන් මඟ ගැන හොඳ වැටහීමක් නො තිබුණාත් අපට අත්වන ලොකු ම අවාසිය නිවන් මඟේ මුලාවට පත්වීම. ඒ දේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදීත් බොහෝ අයට සිදුවුණා. එසේනම් අද කාලයේ ඒ පිළිබඳව කවර කථාද?

භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය කාලයේදීත් නිවන් මඟ ගැන හොඳ වැටහීමක් නැති අය මුලා වුණා. රැවටුණා. නිවන අවබෝධ නො කරම අවබෝධය ඇති වුණා කියලා රැවටුණා. එසේනම් අප අද කාලේ ඉතාම පරිස්සම් විය යුතුයි නේද? නිවන් මඟ හොඳින් ඉගෙන නො ගෙන කලබලේට ධර්මය පුරුදු කරන්නට දරන වෑයම නිසා මුලාවීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි නිසා මුලා වූ අයට ඒ මුලාවෙන් නිදහස් වෙන්ට නිවරැදි මඟ ඉගෙන ගෙන පුරුදු කරන්ට අවස්ථාවක් තිබුණා. නමුත් ඇතැම් අයට ඒ අවස්ථාවන් මඟහැරිලා ගියා. මොකද ඒ මුලාවට පත්වුණු සමහර අය ඒ මුලාවෙන් ගැලවෙන්නේ නැතිව ඒ මුලාව තුළම වාසය කළා. ඒ නිසා ඒ අයට ලොකු විනාශයක් තමයි අත්වුණේ.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා බොහෝ කලක් ගතවෙලා තිබෙන අද වගේ් කාලයක අප හොඳින් නිවන්මඟ ඉගෙන නො ගත්තොත් ඒ නිවන් මඟ හොඳින් පුරුදු කරන්නට තිබෙන අවස්ථාව අපට මඟ හැරෙනවා. ඒ වගේ්ම අප නිවන් මඟ පිණිස ගන්න උත්සාහය තුළ මුලාවෙන්ට ඉඩකඩක් තිබෙනවා. ඒ වගේ මුළාවීමට පත්වුණොත් එය මහා අභාග්‍යයක්.

එක කාලයකදී සැවැත්නුවර වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් එක ප්‍රදේශයකට ගිහින් බණ භාවනා පුරුදු කළා. ඒ අය ඒ සඳහා ගොඩාක් උත්සාහ කළා. ටික කලක් යනකොට ඒ අය සිතුවා ‘දැන් අප නිවන්මඟ සම්පූර්ණ කළා, අරහත්වයට පත්වුණා කියලා. ඊට පස්සේ ඒ පිරිස කල්පනා කළා ‘දැන් අප ශාස්තෘන් වහන්සේ බැහැ දැකල මේ බව ප්‍රකාශ කරන්නට ඕන’ කියා මේ අය ශාස්තෘන් වහන්සේ මුණ ගැහෙන්ට පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේ දුර ඉදලම මේ සිද්ධිය දැක්කා. මේ භික්ෂුන් වහන්සේලා පන්සිය නම අරහත් වූ බවට රැවටිලා මුලාවට පත්වෙලා දැන් ජේතවනාරාමයට පැමිණෙන බව භාග්‍යවතුන් වහන්සේ දැක්කා. ඒ පිරිස ජේතවනාරාමයට ඇතුලුවෙන්නට කලින්ම ආනන්ද ස්වාමින් වහන්සේට කියා සිටියා ‘පින්වත් ආනන්ද අර භික්ෂුන් වහන්සේලා පන්සීය නම ජේතවනයට වඩිමින් ඉන්නවා. ඒ පන්සිය නමට කියන්න ජේතවනාරාමයට එන්ට කලින් අමුසොහොනට ගිහිල්ලා ආවොත් හොඳයි’ කියා භාග්‍යවතුන් වහන්සේ අවවාද කළා කියා ඒ ස්වාමින් වහන්සේලාට කියන්න කිව්වා.

ඊට පස්සේ ඒ අය විහාරයට එන්ට කලින්ම ආනන්ද ස්වාමින් වහන්සේ ඒ පිරිස හමුවෙන්ට වැඩියා. ආනන්ද ස්වාමින් වහන්සේ ගොස් අර පන්සීය නමට ප්‍රකාශ කළා. ‘පින්වත් ආයුෂ්මත්වරුනි, ඔබ මේ විහාරයට එන්ට කලින් අමු සොහොනට ගිහිල්ල ආවොත් හොඳයි කියල භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේලාට අවවාද කළා’ කියලා කිව්වා. ඉතින් උන්වහන්සේලාගේ් ගුණවත් බව තමයි ඒ අවවාදය ගැන දෙවතාවක් කල්පනා කළේ නැහැ. ඒක තමයි කෙනෙකුගේ් තියෙන ගුණවත් බව. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය ගැන දෙවතාවක් කල්පනා කළේ නැහැ. උන්වහන්සේලා එහෙම්ම පිටත් වුණා. ‘ඇයි එහෙම කිව්වේ’ කියල ඇහුවෙත් නැහැ. දැක්ක නේද ගුණවත් බව කියන එක. තේරුම් ගන්න. එහෙමම හැරිලා අමු සොහොනට වැඩියා.

අමු සොහොනට වැඩියට පස්සේ සමහර අය දැක්ක අලුතින්ම එදා ම අමු සොහොනට ගෙනාපු මලකුණු. ඒවා නරක්වෙලා තිබුණේ නැහැ. ඒ රූපය දුර්වර්ණ වෙලා නැති ශරීර. නිල්වෙලා කළුවෙලා තිබුණේ නැහැ. ඒ හමේ පැහැය තිබුණා. එතකොට ඒ ශරීර අවයව දැක්කම සමහර අයට රාගය ඉපදුණා. ඊළඟට සමහර අය දැක්කා ඉදිමිලා, කලුවෙලා, කුණුවෙලා , ඕජස් ගලන සත්තු කාලා පිළිකුළ උපද්දවන දුර්ගන්ධය හමන මළකුණු. ඒ වගේ මළකුණු දැක්කම ඒ අය තුළ පිළිකුළ උපන්නා. අප්‍රසන්න බව උපන්නා. එතකොට සමහර අයට මළකුණු දැකල රාගය ඉපදුණා. සමහර අයට මළකුණු දැකල පිළිකුළ ඉපදුනා. අප්පිරියාව ඉපදුණා. ඒ විදියට ඒ හිතේ් ස්වභාවය වෙනස්වීමත් එක්ක ඒ අයට සිහිය පිහිටියා. ඒ අය තේරුම්ගත්තා අපට රාගය ඉපදුණා. ඒ වගේම අපි‍්‍රය ගතිය ඉපදුණා. එහෙනම් අප තුළ කෙලෙස් දුරුවලා නැහැ කියලා තේරුණා. සිහිය ඉපදුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් ඒ ස්වාමින් වහන්සේලා වැඩ සිටි ස්ථානයට වැඩම කර ධර්මය කියා දුන්නා. ඒ පන්සිය නමම අරහත්වයට පත්වුණා.

බලන්න බුදුරජාණන් වහන්සේ සියැසින් දකින්ට පුලුවන් යුගයක නිවන් මඟ ඉතාම පිරිසුදුව නිතර අහන්නට පුලුවන් යුගයක අරහත්වයට පත්වුණා කියලා මුලාවට පත්වීම කොතරම් තිබුණ ද? මුලින් ඒ පන්සිය නම ම නිවන අවබෝධ කළා යැයි රැවටුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ නො හිටින්න, ඒ පන්සිය නමට නිවන අවබෝධ කරන්නට තිබෙන අවස්ථාව අහිමි වෙන්නට තිබුණ නේද? ඒ අය සමහර විට මාන්නයෙන් මත්වෙලා ලාභ සත්කාරවලට අහුවෙන්නට තිබුණ නම් බොහෝ අකුසල් කර ගන්ට ඉඩකඩ තිබුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිය නිසා උන්වහන්සේලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ් මහා කරුණාවට හිමිකරුවො බවට පත්වුණා. සසර දුකෙන් නිදහස් වෙන්නට ඒ අයට පුළුවන් වුණා.

එතකොට අප කල්පනා කළයුතු දේ තමා ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා මේ සා දීර්ඝ කාලයක් ගතවුණ යුගයක මිනිසුන්ගේ ප්‍රඥාව හීනවෙලා යන යුගයක, අපට යමක් තෝරාබේරා ගන්න පුළුවන් හැකියාව දුර්වල වෙලා යන යුගයක නිවන් මඟ හොඳින් ඉගෙන නො ගත්තොත් අප මුලාවෙන ඉඩ කඩද වැඩි. මුලාවෙන් නිදහස් වෙන ඉඩකඩද වැඩි? මුලාවෙන ඉඩකඩ වැඩියි. අපට ලැබුණු ලාභය හිමිවෙන ඉඩ කඩද වැඩි ලාභය අහිමිවෙන ඉඩකඩකද වැඩි? ලැබුණු ලාභය අහිමිවෙන ඉඩ කඩ වැඩියි. ඒ නිසා තමාට හිතසුව පිණිස කටයුතු කරන අය විදියට ලෝකයාට හිතසුව පිණිස කටයුතු කරන අය විදිහට නිවන් මඟ ගැන හොඳට ඉගෙන ගන්න. නිවන් මඟ ගැන හොඳට ඉගෙන ගන්න කෙනා මේ ජීවිතයේදීම හෝ මතු ජීවිතයකදී හෝ ඒ නිවන් මඟ පරිපූර්ණ කර ගනීවි.

ඉතින් අප සියලු දෙනාටම ආශිර්වාද කරනවා නිවන අවබෝධ කර ගැනීම පිණිස මනා කැමැත්තක් ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් ම ඒ නිවන් මඟ හොඳින් ඉගෙන ගෙන සිතේ් යම් මුලාවක් ඇද්ද ඉන් නිදහස් වෙලා උතුම් නිවන් මඟ අවබෝධ කරන්නට වාසනාව උදාවේවා ! කියා .