Print this Article


තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 14 යහපත් විවාහ දිවියකට මෙත්ත සූත්‍රයෙන් උපදෙස්

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 14

යහපත් විවාහ දිවියකට මෙත්ත සූත්‍රයෙන් උපදෙස්

මෙයින් ඉදිරිපත් කරන්නේ ගිහි පැවිදි සියලු ජීවිතයන්ට වටිනාම දර්ශනයකි. විශේෂයෙන් අභ්‍යන්තර බාහිර යන දෙඅංශයෙන්ම දියුණුව ඇති කරගැනීමට අවැසි උපදෙස් මාලාවක් මෙහි ඇතුළත්ය

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ ධනංජය සිටුතුමා පතිකුලයට යන සිය දියණියට එනම් විශාඛාවට ලබාදුන් උපදේශයන් විමසා බැලීමයි.මෙවර අපගේ අවධානය යොමුවන්නේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ ඇතුළත් මෙත්ත සූත්‍රයේ සඳහන් උපදේශයන් සාර්ථක දිවියකට උපකාරි වන අයුරු විමසා බැලීමයි.

මෙම මෙත්ත සූත්‍රය බොහෝ දෙනෙක් දන්නා එමෙන්ම නිතර භාවිතවන ලොකු කුඩා බොහෝ පිරිසකට කට පාඩම් ඇති සූත්‍ර ධර්මයකි. මෙය අප අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ‘කරණීය මෙත්ත සූත්‍රය ‘ යන නමිනි. මෙහි නම මෙත්ත යන්නයි.මෙත්ත යන්නෙන් අදහස් කරන්නේ මෛත්‍රියයි. කරණීය යන්නෙන් කළ යුතුය යන්න අදහස් කර ඇත. මෙම පද දෙක එකට ගත් කළ මෛත්‍රිය කළ යුතු අයුරු යනුවෙන් අදහස ගත හැකිය. මෙයින් ඉදිරිපත් කරන්නේ ගිහි පැවිදි සියලු ජීවිතයන්ට වටිනාම දර්ශනයකි. විශේෂයෙන් අභ්‍යන්තර බාහිර යන දෙඅංශයෙන්ම දියුණුව ඇති කරගැනීමට අවැසි උපදෙස් මාලාවක් මෙහි ඇතුළත්ය. එමෙන්ම මෙත් සිත පැතිර වීමේදී ලොකු කුඩා පෙනෙන නොපෙනෙන , උපන් නූපන් ආදි සියලු සත්වයන්ට මෛත්‍රි කළ යුතු අයුරු මෙයින් විස්තර කොට ඇත. ගාථා දහයකින් සමන්විත මෙත්ත සූත්‍රයෙහි පළමු ගාථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කරන කාරණාවන් 14 විවාහ දිවියක සාර්ථකත්වයට අතිශයින්ම අදාළ කරගත හැකිය. එම කාරණාවන් මෙතැන් සිට විමසා බලමු.

සක්කෝ - හැකියාව ඇත්තෙක් වීම

සමාජයේ ජීවත්වන ඕනෑම කෙනෙකුට තමා කරන කටයුත්ත වෘත්තිය පිළිබඳ එය කිරීමට අවශ්‍ය හැකියාව තිබිය යුතුය.ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකුට නම් එම කටයුතු පිළිබඳ ඕනෑකම හැඟීම, හැකියාව තිබිය යුතුය.යම් වෘත්තියක නියැළෙන්නෙකුට වුවද ඒ පිළිබඳ අවශ්‍යතාව ,ඕනෑකම මෙන්ම හැකියාවද අත්‍යවශ්‍යම වේ. එම වෘත්තීන් දියුණු කරගත හැක්කේ හැකියාව තිබුණොත් පමණි. එසේ නොවුණ කල එයින් පිරිහීමට පත්වේ. විවාහයට පත්වන අඹු සැමි දෙදෙනාටම එම විවාහ ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යෑමට අවශ්‍යතාවය හැකියාව තිබිය යුතුය. විශේෂයෙන්ම දෙදෙනාම ධනාත්මකව සිතා මට පුළුවනි. යන සිතිවිල්ල ඇතිව කටයුතු කළ යුතුය. සමහර විට දෙදෙනාට ඔවුනොවුන් වෙනුවෙන් විවිධ කැපකිරීම සිදු කිරීමට වේ. එවැනි අවස්ථාවක දී ඒ සඳහා ඉවසීමෙන් මෙන්ම හැකියාවෙන් යුක්තව කටයුතු කළ යුතුය. විශේෂයෙන් අඹු සැමි දෙදෙනාම තම තමන්ගේ වගකීම් පිළිබඳ ඕනෑකමන් අවශ්‍යතාවයෙන් හැකියාවෙන් කටයුතු කළ යුතුය.

උජූච සූජු ච – අවංකවීම හා මැනවින් අවංකවීම

මෙහි දී උජූ ච යන්නෙන් අවංකවීම ද, සූජූ චද යන්නෙන් මැනවින් අවංක වීම ද යනුවෙන් වචන දෙකක් දක්වා ඇත. ඇත්තෙන්ම අවංකවීම යනු තමාගේ යහපත් ප්‍රතිපත්තීන් කිසිම බලපෑමක් නිසා යටත් නොකොට ඍජුව පවත්වාගෙන යාමයි. සමහර අය තමා අවංක අයෙකු ලෙස අනුන්ට පෙන්වුව ද තමාට අවංක නොවෙති. විශේෂයෙන්ම මැනවින් අවංකවීම යනුවෙන් අදහස් කරන්නේ තමා අනුන්ට මෙන්ම තමන්ටද අවංකව කටයුතු කිරීමයි. මිනිසුන් ඇදවෙන හෙවත් වංක වන අවස්ථා හතරක් ධර්මයේ සඳහන් වෙයි. එනම් 01. හිතවත්කම නිසා ඇදවීම. 02. ද්වේෂය නිසා ඇදවීම, 03. බිය නිසා ඇදවීම 04. මෝඩකම නිසා ඇදවීම යනුවෙනි. විශේෂයෙන්ම විවාහ ජීවිතයේ දී අඹු සැමි දෙදෙනාම මේ කිසිදු කරුණක් නිසා තමාගේ ප්‍රතිපත්තීන් කඩ නොකළ යුතුය. එකිනෙකාට අවංක විය යුතුය. උපරිම විශ්වාසයෙන් කටයුතු කළ යුතුය. ස්වාමියා නම් තම බිරිඳට මෙන්ම තමාටද අවංක විය යුතුය. බිරිඳ තම ස්වාමියාට මෙන්ම තමාට ද අවංක විය යුතුය. ක්‍රියාවෙන්, වචනයෙන්, සිතිවිල්ලෙන් ඇද නැතිව කටයුතු කිරීම මෙයින් අදහස් කරති.

සුවචෝ - කීකරු වීම

සුවච ගුණය, දිවියක් සාර්ථක කර ගැනීමට තිබිය යුතුම ගුණාංගයකි. අපට වඩා ගුණයෙන් උසස් අයට ගරුකළ යුතුය. යටහත් පැවැතුම් දැක්විය යුතුය. කීකරු විය යුතුය. (කීකරු යන්නෙහි කියන දේ කරන කියන අදහස ද ඇත) එය හැදිච්චකමයි. විශේෂයෙන් යම් අයෙක් අපේ ජීවිතයන් සාර්ථක කර ගැනීමට යම් උපදේශයක් දුන් විට එය බොහොම ගෞරවයෙන් හා ඕනෑකමින් පිළිගත යුතුය. මහරහතන් වහන්සේලා ද සාමණේර භික්ෂුවක් වුවද තමන් වහන්සේලාගේ යම් අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය බොහොම ඕනෑකමින් ගෞරවාන්විතව පිළිගත් බව අපේ බෞද්ධ කථා ප්‍රවෘත්තීන්ගේ සඳහන්ව ඇත. බොහෝ දෙනෙක් තමාගේ අඩුපාඩු පෙන්වා දෙනවාට කැමැති නැත. එය මෝඩකමේ ලක්‍ෂණයකි. ධර්මයේ අපේ වරද පෙන්වා දෙන පුද්ගලයා හඳුන්වා ඇත්තේ නිදානයක් පෙන්වා දෙන කෙනෙකුට සමාන කොටය. නිධිනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං එබැවින් විවාහ දිනයේදීද අඹු සැමි දෙදෙනාම ඔවුනොවුන්ට සුවචව කටයුතු කළයුතුය. තමාට යහපත් උපදෙස් දෙන වැඩිහිටි, දෙමාපිය , කල්‍යාණ මිත්‍ර සියලු දෙනාට සුවචව කටයුතු කළ යුතුය.

මුදු –රළු පැවැත්මෙන් තොරවීම

මුදු යන ගුණයෙන් අදහස් කරන්නේ රළු නොවී, ගොරෝසු නොවි මෘදු මොළොක්ව කටයුතු කිරීමයි. මෙය කයින් මෘදුවීම හා වචනයෙන් මෘදුවීම වශයෙන් දෙයාකාරයකට විස්තර කළ හැකිය. කයෙන් කරන ක්‍රියාවන්ගේ සංවරකම, පිළිවෙළ සැඩ ඵරුෂ බවක් නැති බව කයෙන් මෘදු වීමයි. වචනයෙන් මෘදුවීම යනු අප ප්‍රකාශ කරන වචනයන්හි රළුබවක්,ගොරෝසු බවත් අන් අයට අපි‍්‍රය බවත් නැති කණට මිහිරි අර්ථවත් වචන ප්‍රකාශ කිරීමයි. විශේෂයෙන් විවාහ ජීවිතයේදී දෙදෙනාම මෘදු මොළොක් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. කයින් වචනයෙන් යන දෙකින්ම මෘදු විය යුතුය. අන්‍යයන්ට ද මෘදු පැවැත්මෙන් කටයුතු කළ යුතුය. සැමියා බිරිඳටත්, බිරිඳ සැමියාටත් මෘදු මොළොක් වචනයෙන් ආමන්ත්‍රණය කළ යුතුය. පැවැත්ම ද එසේම විය යුතුය. ස්වාමියා යම් දුරට සැඩපරුෂ නම් බිරිඳ මෘදුව ඔහු කෙරෙහි පිළිපැදිය යුතුය. එවිට ඔහුද මෘදු අයෙක් බවට පත් කරගත හැකිය.

අනතිමානි-ආඩම්බර අයෙකු නොවිය යුතුය

අනතිමානි යන්න බොහෝ දෙනෙක් නිර්වචනය කරන්නේ නිහතමානි යනුවෙනි. ‘හත’ යනු නැති කිරීමයි. එයට ‘නි’ යන උපසර්ගය එකතු වූ පසු සම්පූර්ණයෙන්ම නැතිකළ යන අර්ථය එයි. එබැවින් නිහතමානි යන්නෙන් අදහස් වන්නේ සම්පූර්ණයෙන්ම මානය හෙවත් මැනීම දුරුකළ යන අදහසයි. මෙයින් අදහස් කරන්නේ රහතුන් වහන්සේලාය. උන්වහන්සේලා මානය සම්පූර්ණයෙන් නැති කොට ඇති බැවින් නිහතමානි පිරිසයි. එහෙත් අනතිමානි යන පාලි වචනයෙන් අදහස් කරන්නේ රහතන් වහන්සේලා නොව මානය අඩුකිරීමට උත්සාහ කරන පිරිසයි. එබැවින් අනතිමානි යන්නට නිහතමානි යන තේරුම දිය නොහැක.එහෙත් බොහෝ දෙනෙක් අඩු ආඩම්බර කමක් නැති අය හැඳින්වීමට භාවිත කරන්නේ නිහතමානි යන්නයි. එබැවින් එම යෙදුම සදොස් වූවකි. එය අනතිමානි යන චවනයෙන්ම භාවිතා කිරීම නිදොස් වූවකි.

විශේෂයෙන් විවාහ දිවියේ දී අඹු සැමි දෙදෙනාම අනතිමානි හෙවත් ආඩම්බර කමින් තොර වීමට උත්සාහ කළ යුතුය. බොහෝ අය රූපය නිසා, ධනය නිසා, කුලය නිසා බලය නිසා ආඩම්බර වෙති. එහෙත් එවැනි අයට සමාජය කැමැති නැත. සමාජය කැමැති වන්නේ ආඩම්බර කමින් තොර උතුම් ගුණ ධර්මවලින් යුතු අයටය. යහපත් ගුණ ධර්ම වලින් යුතු අනතිමානි අය ඵලබර රුකක අතු මෙන් බිමට නැමෙති. අන්‍යයන් සමග සුහදව ආචාරශීලිව කටයුතු කරති. එසේ නොවන අය සමාජයේ අප්‍රසාදයට ලක්වේ. එබැවින් සාමාන්‍ය ජීවිතයේ මෙන්ම විවාහ ජීවිතයේද අනතිමානීව කටයුතු කිරීම සාර්ථක යුග දිවියකට හේතුවේ.

සන්තුස්සකෝ – ලදදෙයින් සතුටුවීම

ලද දෙයින් සතුටු වීමේ ගුණයද සාර්ථක ජීවිතයකට අත්‍යවශ්‍යම ගුණාංගයකි. ආශාවන් පසුපස හඹායන කාමයෙන් පිරුණු ලෝකයේ ලදදෙයින් සතුටුවන පිරිස සොයාගත හැක්කේ අල්ප වශයෙන් කහවණු වැස්සක් වැස්ස ද එයින් තෘප්තියට පත්වන්නෙක් සෑහීමකට පත්වන්නෙක් නැත. ‘න කහාපාණ වස්සේන - තිතථි කාමේසු විජ්ජති යන සම්බුදු වදනින් පෙන්වා දී ඇත්තේ එයයි. එහෙත් අප තුළ වර්ධනය කරගත යුතුම ගුණාංගයකි. ලදදෙයින් සතුටුවීම, එසේ නොවුණහොත් මරණය තෙක්ම අපට ජීවත්වීමට සිදුවන්නේ අපේක්‍ෂාවන් ඉටුනොකරගත් අපේක්‍ෂාභංග පුද්ගලයන් ලෙසය. බොහෝ අයගේ අපේක්‍ෂාවන් මරණය තෙක්ම ඉටුකරගත නොහැක. ඊට හේතුව ඒ අය ලද දෙයින් සතුටු නොවී ආශාවන් පසුපස හඹාගිය පිරිසක් වීමය. මේ ලෝකයේ කිසිවක් අප සිතූ අයුරින්ම සිදු නොවේ. එබැවින් මේ ලැබුණු තරම මට ඇති “මාගෙ ශක්තියේ ප්‍රමාණයට මේ සෑහේය “ මාගේ සුදුසුකම් අනුව මට ලැබුණු තරම සෑහේ “ආදි වශයෙන් සිතා තෘප්තියකට පත්වීම, සෑහීමකට පත්වීම බුද්ධිමත් කමකි. එසේ නොවුන කළ මිය යෑමටද සිදුවන්නේ අපේක්‍ෂා භංග පුද්ගලයන් ලෙසය.

විශේෂයෙන් විවාහ ජීවිතයේ ලද දෙයින් සතුටු වීමේ ගුණය තිබිය යුතුම වේ. සමහර අවස්ථාවන්හි ස්වාමියා කෙතරම් හරි හම්බ කර දුන්නත් බිරිඳ ආශාකරන දේවල් කෙතරම් ගෙනත් දුන්නත් සෑහීමකට පත්නොවන බිරින්දෑවරු ඇත. එවැනි පවුල් අසාර්ථක වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ බිරිඳ කෙරෙහි ලද දෙයින් සතුටුවීම් ගුණය නැතිකමයි. සමහර බිරින්දෑවරුන් ස්වාමියා හරිහම්බ කරන සියල්ල තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා වියදම් කරයි. එයින් ධනය විනාශ වනවා. මෙන්ම විවාහ දිවියේ දියුණුවක් ද ඇති නොවේ. ස්වාමියාත් බිරිඳත් දෙදෙනාම ලද දෙයින් සතුටු වීමේ ගුණයෙන් යුතුව කටයුතු කරන්නේ නම් සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට මඟ පෑදෙනු ඇත.

මතු සම්බන්ධයි


තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 13 පතිකුලයට යන විශාඛාවට ධනංජය සිටුතුමා දුන් උපදෙස්