Print this Article


මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහනුවර මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය 2014 මැයි 14 වෙනි බුධ දින (වෙසක් පුර පසළොස්වක පෝදා) සිට ජූනි 12 වෙනි ගුරුදින (පොසොන් පුර පසළොස්වක පෝදා) දක්වා සිදුකෙරෙන බව මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම මහා විහාරාධිපති උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිතාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනම ශාසන ගෞරවයෙන් නිකුත්කර තිබෙන නිවේදනවලින් ප්‍රකාශ කර ඇත.

පෝය දිනවල උපසම්පදා විනයකර්ම කටයුතු උපසම්පදා පෙරහර සහිතවද, සෙසු දිනවල පෙරහර රහිතවද සිදු කෙරෙන බවත් ඒ අනුව මැයි 14, මැයි 21 මැයි 28, ජූනි 05, ජූනි 12 උපසම්පදා පෙරහර සහිතව උපසම්පදාවන්, මල්වතු අස්ගිරි මහා විහාරයන්හි ඓතිහාසික මංගල උපෝෂථාගාරයන්හි සිදු කෙරේ. වාහල නාගනාමයෙන් පෝය දිනවල උපසම්පදාව ලබන සාමණේර හිමිවරු ශ්‍රී දළදා මාලිගාවේ සිට පෙරහරෙන් උභය මහා විහාර වෙත වැඩමවාගෙන යනු ලබති. වාහල නාග නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබන සාමණේරයන් වහන්සේලාගේ, උපාධ්‍යායන් වහන්සේලා පදවිය අති ගෞරවාර්ය මහානායක මාහිමි දෙනම විසින් උසුලනු ලැබීම සම්ප්‍රදායයි. උපසම්පදා විනය කර්ම කටයුතුවල උපාධ්‍යායන් වහන්සේලා වශයෙන් අනුනාහිමිවරු ඇතුළු මහෝපාධ්‍යායන්වහන්සේලා ඒ ඒ දිනයන්හි පෙනී සිටිති. මල්වතු මහා විහාරපාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක මහියංගණ රාජමහා විහාරාධිපති ගලගම අත්ථදස්සි අනු නාහිමිපාණන්සේලා ප්‍රධාන මහෝපාධ්‍ය නාහිමිවරුන් ඒ අනුව සිදුකරන අතර උපසම්පදා කටයුතුවලදී මල් වතු මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී වල්ගොව්වාගොඩ, විමලබුද්ධි නාහිමි උප ලේඛකාධිකාරි, පහමුණේ ශ්‍රී සුමංගල යන හිමිවරුන්ගේ ද, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි නා හිමි නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරන්පනාවේ ආනන්ද හිමිවරුන්ගේද ලේඛකාධිකාරීත්වයෙන් උපසම්පදාවන් සිදුකෙරේ.

උපසම්පදාපේක්‍ෂකයින් පළාතේ නායක තෙරුන් වහන්සේගෙන්ද පිරිවෙනක ශිෂ්‍යයෙක් නම් පරිවේණාධිපතින් වහන්සේගෙන්ද ගුරුවරුන් විහාරස්ථානය සහ ඉගෙනීම පිළිබඳ සහතික ලියුම් හා උප්පැන්න සහතික ඇතිව පැවිදි කළ ගුරුවරුන් සමඟ පැමිණිය යුතු බවත් මෙම වසරේ දී උපසම්පදාවීමට බලාපොරොත්තුවන සාමණේර තැනගේ නමත්, උපන්දිනයත් සම්මත පරිදි වාචෝත් ගත කරන ලද සාමණේර බණ දහම් ආදිය පිළිබඳ විස්තරත්, ගුරුවරයාගේ හෝ ගුරුවරුන්ගේ නම් විහාරස්ථානයේ නම් ඇතුළත් ලිපිනයන්, දිස්ත්‍රික්කයන් පිළිබඳ විස්තර දන්වා එවන ලෙස මාහිමිපාණන්වහන්සේලා විසින් ඒ ඒ පාර්ශ්වයන්හි පළාත් සංඝනායක හිමිවරුන් සහ ප්‍රාදේශීය සියලු මහා සංඝයා වහන්සේලා වෙත දන්වා ඇත.

එම නිවේදනයන්හි මෙසේද දක්වා ඇත. මිථුන රවි 28 භාග වූ ජූලි මස 12 වෙනි ශනි දින ගිම්හාන සෘතුවෙහි 8 වෙනි පොහොය කොට ඊට පසු දින පෙරවස් එළඹීමද, කටක රවි 25 භාග වූ අගෝස්තු මස 10 වෙනි රවිදින වස්සාන සෘතුවෙහි 2 වෙනි පොහොය කොට ඊට පසු සඳුදින පසුවස් එළඹීමද, කන්‍යා රවි 22 භාගවූ ඔක්තෝබර් මස 08 වෙනි බුධ දින පෙරවස් පවාරණයද, තුලා රවි 20 භාගවූ නොවැම්බර් මස 06 වෙනි ගුරුදින පසුවස් පවාරණයද යෙදෙන බවද සඳහන් කර ඇත.