Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 30 මහා නා හිමියන්ගේ පොත් පෙළ විශ්වවිද්‍යාලයක් වගෙයි

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 30

මහා නා හිමියන්ගේ පොත් පෙළ විශ්වවිද්‍යාලයක් වගෙයි

චන්දවිමල මහා නා හිමියන් වහන්සේ ලියා පළ කළ ධර්ම පුස්තක පෙළ වෙනුවෙන් උන්වහන්සේ පෞද්ගලිකව කිසිදු ලාභාපේක්‍ෂාවක් බලාපොරොත්තු නොවුණේ භෞතික ධනය පිළිබඳව තැකීමක් නොකළ මහා නා හිමියන්ගේ ආධ්‍යාත්මය පොහොසත් වූ නිසාය. ධම්මානන්ද හිමියෝ චන්දවිමල ගුරු හිමියන් පිළිබඳ තම මතකය අවදි කිරීමේදි මෙසේද පවසති. ‘මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ධර්මය ගැන විශිෂ්ට දැනුමක් ඇති වීමට භාෂා ශාස්ත්‍රය පිළිබඳව තිබූ ගැඹුරු දැනීමත් හේතු වුණා. සිංහල, පාලි, බුරුම යන භාෂාවන් පිළිබඳ උන්වහන්සේ තුළ පැවතියේ පළල් දැනුමකි. සංස්කෘත භාෂාව පිළිබඳවත් උන්වහන්සේට තිබුණේ පුළුල් අවබෝධයකි. නා හිමියන් ඒ ගැන මා සමඟ (ධම්මානන්ද හිමි සමඟ) වරක් පැවසුවේ “අප නොයෙක් විෂයන් පිළිබඳ පොත් කියවා ඒවා ගැනත් දැනීමක් ඇති කරගෙන තියෙනවා. නක්ෂත්‍රය, වෙදකම ගැනත් මට දැනීමක් තියෙනවා. ‘ ඒ වුවත් මා ඒවා කරන්න යන්නේ නෑ ‘

‘අපේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තුළ තිබූ විශේෂ ගුණයකි, සියල්ලන්ටම එකසේ සැලකීම, දුප්පතාටත් පොහොසතාටත්, පාලකයාටත්, සැලකුවේ එකම ආකාරයට ය. ඒ ඒ පුද්ගලයාගේ තරාතිරමට ගැළපෙන පරිදි කතා කළා මිස කිසිම අවස්ථාවක විශේෂ සැළකිල්ලක් දැක්වූයේ නෑ. යමකුට යමක් කියන්න තියෙනවා නම් ඒ අවස්ථාවේදීම නිර්භීතව ඉදිරියේදීම කියනවා. අනුන්ගේ නැති ගුණ කියමින් වර්ණනා කරන්නේ නැහැ. අනුනගේ අගුණ සොයා ඒ අය වෙන් කිරීමක්ද කරන්නේ නෑ. උන්වහන්සේ යමකු තුළ තිබෙන එකම ගුණය වුණද එය අගය කොට සලකා ක්‍රියා කරනවා.”

රේරුකානේ මහා නා හිමියන් ලියූ දහම්පොත් පෙළ ඇගැයීමේ උත්සව සභාවකදි අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන් පැවසුවේ ‘රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත් ටික පමණක් හොඳින් කියෙව්වොත් ඒ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක් , ධර්මඥයෙක් වෙනවා ‘ යන්නය.

දිනක් ධම්මානන්ද හිමියන් සමඟ රේරුකානේ මහා නා හිමියෝ මහා පිරිවෙනක දානයකට වැඩියහ. එහිදී මහා නා හිමියන්ට වඩා වැඩිමහල් උගත් කීර්තිමත් මහ තෙරුන් වහන්සේ නමක්ද දානයට ආරාධනා ලැබ එතනට වැඩම වන ලදහ. එතනදී උන්වහන්සේ පැවසුවේ අප මහා නා හිමියන්ගේ පොත් පෙළ විශ්වවිද්‍යාලයක් වගේ බවය. ඕනෑම දහම් කරුණකට ඉතා නිවැරදි විසඳුම් මෙම පොත් වලින් ලබා ගත හැකි බව ය. එය ධම්මානන්ද හිමියන්ට මතක තවත් සිද්ධියකි.

වරක් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා අත්දැකපු සිදුවීමක් ධම්මානන්ද හිමියන්ට මෙනෙහි වෙයි.

මහාචාර්යවරයා යක්කඩුවේ නායක හාමුදුරුවන් බැහැදැකීමට ගොස් මෙසේ පැවසීය. ‘නායක හාමුදුරුවනේ බුද්ධාගම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට නම් අප කියවිය යුතු පොත් මොනවාද?” යන්නය.

එවිට නායක හාමුදුරුවන් පැවසුවේ “මහත්තයෝ පොත් නම් ඕනෑ තරම් තියෙනවා. ඒත් කියන්නත් බයයි. සමහර පොත් කියෙව්වහම මිත්‍යා දෘෂ්ටිය ඇතිවෙනවා. ඒ නිසා ඔබතුමා රේරුකානේ මහා නා හිමියන් ලියූ පොත් ටික කියවන්න. එතකොට බුදු දහම නිවැරදිව දැන ගන්න පුළුවන් කියාය. ඒ සමඟම මේ මහාචාර්යවරයා ගියේ මහාචාර්ය වල්පොල රාහුල හිමියන් හමුවීමට ය. උන්වහන්සේගෙන් විමසූ කල රාහුල හිමියන් දුන්නේද ඉහත උත්තරයට සමාන පිළිතුරකි.

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ අඩු පාඩුව පැවති විහාරාරාංගයන් බොහෝ ඉදි වුණේ රේරුකානේ මහා නා හිමියන් ලියූ පොත් කියවූ සදැහැති පාඨකයන් කළ පරිත්‍යාග වලින් බව ධම්මා නන්ද හිමියෝ පවසති.

රේරුකානේ මහා නා හිමියන් තම භික්‍ෂු ජීවිත කාලයේදීම පොත් 28 ක් පමණ ලියා පළකළා පමණක් නොව ඒවා නැවත නැවත මුද්‍රණය වෙමින් පවතියි. මහා නා හිමියන් එමගින් ලැබුණු ලාභය තම පෞද්ගලික සුඛ විහරණය සඳහා ලබා ගත්තේ නම් ඉතා ධනවත් හිමි නමක් වශයෙන් භික්‍ෂු දිවි මඟ භෞතික ධනයෙන් සුපොහොසත් කර ගැනීමට ඉතාමත් පහසුවෙන් පුළුවන්කම තිබුණි. එහෙත් මහා නා හිමියන් කිසිඳු විටක කිසිඳු මුදලක් තම පෞද්ගලක සුඛ විහරණය උදෙසා පරිහරණය කළේ නැත. මහා නා හිමියන්ට කෘත ගුණ සැලකූ බොහෝ පරිත්‍යාගශීලින් එම නිසා පෙළඹුණේ. විනයාලංකාරාමයේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ පමණක් කිරීමට එම පරිත්‍යාගයෙන් සිදු කිරීමය.

අවසන් මොහොත දක්වාම මහා නා හිමියන් වැඩ සිටියේ ආවාසයේ කොණක තිබූ පුංචි ඇඳක් මතය.පොත් ලීවේ හොඳින් ස්වභාවික වාතාශ්‍රය ලැබෙන එළිමහන් තැනක පුංචි ලෑලි කෑල්ලක් පුටුපත්ත උඩ තබාගෙනය. වැළඳුවේ කුරුල්ලෙක් කන තරමට ඉතා අල්ප ප්‍රමාණයකි. රුචිකත්වයක් දැක්වූයේ ඉතා සරල ආහාර වේලකටය. කුදු මහත් කාටත් එකසේ සැලකුවද දුප්පත් දායකයකුගේ දානය වඩාත් අගය කළ අතර ඒ වෙනුවෙන් සැතපුම් ගණනාවක් වුව දෙපයින්ම වැඩි සේක.

නම කියූ ඇසූ පමණින් මුළු රටම හඳුනන මහාචාර්ය පදවි පවා දෙපාළඟට ගෙනවිත් පූජා කළ නිකායේ මහානායක පදවියෙන්ද පවා පිදුම් ලැබූ, භික්‍ෂු සමාජයේ මහා සංඝ පීතෘවරයකු වශයෙන් ගරු බහුමානයට පාත්‍ර වූ ඉතා කීර්තිමත් නාමයක් රැන්දූ අප මහා නා හිමියන් වහන්සේ වයෝවෘද්ධ කාලයේදී උන්වහන්සේගේ කන් ඇසීම බොහෝ සේ දුර්වල වීය.

රේරුකානේ මහා නා හිමියන් කිසි දවසක කිසිම අවස්ථාවක මොනයම් කරුණක සඳහාවත් කිසිවකුගෙන් තමාගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් කිසිවක් ඉල්ලා නැත. උන්වහන්සේ ලැබෙන හැම විටම දන් දුන්හ. ධම්මානන්ද හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති. ‘අනුන්ගෙ යමක් ඉල්ලීම අතිශයින්ම පිළිකුල් කළ අප මහා නා හිමිපාණන් වහන්සේ දීමට අතිශයින්ම පි‍්‍රය වූ සේක “ “මම පැවිදි කළ මගේ ගුරුවරයාගෙන් වත් මා මොකුත් ඉල්ලාගෙන නැති බව” මහා නා හිමියෝ පැවසූ සේක.

මහා නා හිමියන් වහන්සේගෙන් කන් ඇසීම දුර්වල වූ විට උන්වහන්සේට ඒ සඳහා අවශ්‍ය උපකරණයක් ගැනීමට රුපියල් 2000 /- ක පමණ මුදලක් අවශ්‍ය විය. එහෙත් එවැනි අත්‍යවශ්‍යතාවයක් වෙනුවෙන් ඉතිරි කරගත් මුදලක් මහා නා හිමියන් සන්තකයේ නොවූ බව ධම්මානන්ද හිමියන් සමඟ කළ කතා බහෙන් තේරුම් ගැනීමට පුළුවන.

“ධම්මානන්ද දැන් අපේ කන් ඇසීම හුඟක් අඩුයි. කන් ඇසීම වැඩි කරන උපකරණයක් ගත්තොත් හොඳයි නේද? “ යි දවසක් මහා නා හිමියන් අපට පැවසීය. එදිනට පසුවදා උන්වහන්සේ ගේ සුව දුක් බැලීමට හිටපු අග්‍ර විනිශ්චයකාරවරයෙක් වූ පාරින්ද රණසිංහ මහතා පැමිණියේ ය. මහා නා හිමියන්ගේ සුව දුක් විචාරමින් සිට ආපසු යන්නට සූදානම් වූ එතුමා නායක හාමුදුරුවන්ට අවශ්‍ය දෙයක් අරගෙන දෙන්න කියා රු. 2000 /- ක් අප අත තැබීය. ඒ මුදලින් කන් ඇසීමට අවශ්‍ය උපකරණය ගැනීමට හැකි විය.

මහා නා හිමියන්ගේ ලැබීම් වාසනා ගුණය පිළිබඳව සාක්‍ෂියක් වශයෙන් අපි වෙනත් තැනකදී මේ පිළිබඳව සඳහන් කළෙමු.

නමුත් නැවත එය මෙතැනට ආදේශ කළේ උන්වහන්සේ තමාගේ සෞඛ්‍ය වෙනුවෙන් වත් කිසිදු මුදලක් ඉතිරි කරගෙන නොතිබුණු බව පෙන්වීම සඳහාය. එයින් හැඟී යන්නේ උන්වහන්සේ භෞතික වශයෙන් කිසිදු ධනයක් ඉතිරි කර නොගත් දිළින්දකු බවය.

දුප්පතා සහ පොහොසතා අතර වෙනස පිළිබඳ දාර්ශනික අදහස ද මීට ප්‍රථමයෙන් ඔබ හමුවට ඉදිරිපත් කළෙමු. එක් දිනක උන්වහන්සේ එම ප්‍රකාශය කළේද ධම්මානන්ද හිමියන් සමඟය. එය පුනරුත්පදයක් ලෙසින් නැවතත් මෙනෙහි කිරීම මෙම අවස්ථාවට වඩාත් උචිත යැයි සිතෙයි. එය නැවත නැවත මෙනෙහි කිරීම අපගේ ජීවිත වලටද ඉතා වැඩදායක යැයි සිතෙයි. එය එසේ වන්නේ එදාටත් වඩා අප මේ තරගකාරි ධාවන පථයේ අසීමිත වේගයකින් දුවමින් අවසන ඉතිරි කර ගන්නේ දුක වේදනාව පමණක් බැවිනි.

ධම්මානන්ද හිමියන් ලියූ සටහනක ඇති ආකාරයටම නැවත එම ප්‍රකාශ කිරීමට අවසර පතමු.

“ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි. ලොකුම දුප්පතාත් මමයි” යනුවෙන් තවත් දිනක උන්වහන්සේ අමුතු විදියේ ප්‍රකාශයක් කළ සේක. “දුප්පත්කම කියන්නේ සෑහීමකට පත් නොවීමය. තවත් ආකාරයකින් කියනවා නම් සෙවීම ඇති නොවීමය. ලද දෙයින් සතුටු වී සෙවීම ඇති වී සිටින නිසා ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි කියා මං සිතනවා. අපි හිඟන්නෙක් ගැන සිතලා බලමු. ඒ හිඟන්නාට තියෙන පොල්කටුව හැරමිටිය වුණත්, මගේ හැරමිටිය, මගේ පොල් කටුව, කියා ඔහු විසින් සිතින් අල්ලා ගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ හිඟන්නා යමක් ඇති කෙනෙක් නේද? මට අයිතිව තිබෙන මේ කිසිවක් මම හිතෙන් අල්ලාගෙන නැති නිසා කිසිවක් නැති කෙනෙක් හා සමානය. ඒ නිසා ලෝකයේ සිටින දුප්පතාත් මමයි කියා මා සිතනවා “ යැයි උන්වහන්සේ තමන් වහන්සේ ගැන කළ ඒ ප්‍රකාශය තේරුම් කර දුන් සේක. ධර්මානුකූල මේ උදාර චින්තාව කොතරම් අගනේද? මෙයින් උන්වහන්සේගේ මානසික දියුණුව මනාකොට පිළිබිඹු නොවන්නේ දැයි ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කර සිටිති.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 29 මහා නා හිමි රැස් කළ මහා ධනස්කන්දය