Print this Article


කසීභාරද්වාජ සූත්‍රය

කසීභාරද්වාජ සූත්‍රය

ශ්‍රද්ධාව වපුරන බීජයයි. තපස වැස්සයි. ප්‍රඥාව විය ගහ සහ නඟුලයි. පව් කිරීමට ඇති ලජ්ජාව නගුලිසයි. සිහිය හෙවත් සතිය නගුල් තලය සහ කෙවිටයි. තවදුරටත් බමුණා අමතන බුදුරදුන් තම කෘෂිකර්මාන්තය පිළිබඳ මෙසේ දේශනා කළහ. රකින ලද කාය හා වාග් සුචරිතයත් පමණ දැන ආහාර ගැනීමත් මාගේ ගොයමෙහි වල්පැල ගැලවීමයි. ගවයන් මුදා හැරීම කෙලෙස් අවසන් කොට අර්හත් මාර්ගයේ ගමන් කිරීමය. එම සී සෑමේ අග්‍රඵලය සසර දුකින් මිදී ලබන අමා නිවන් සුවයයි.

පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත ආශිර්වාදාත්මක සූත්‍ර අතර ‘කසීභාරද්වාජ’සූත්‍රය ප්‍රමුඛ දේශනාවකි. ප්‍රධාන සූත්‍ර හතට අන්තර්ගත මෙය සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් දේශනාවකි. එමෙන්ම බුදුරදුන්ගේ සන්නිවේදන කෞශල්‍ය දැක්වීමට කදිම නිදසුනකි. ස්වභාව ධර්මය භාවිතකොට ධර්ම කාරණා පැහැදිළි කරන ලද ප්‍රධානතම සූත්‍ර දේශනාවකි. උපමා උපමේය භාවිතය මනාව පිළිබිඹු වන දේශනාවක් ලෙස පැවසීම අති ශෝක්තියක් නොවේ. “ඒකනාල’ නම් බමුණු ගමේදී ‘භාරද්වාජ’ බමුණා අමතා කෙතක් පාදකකොට ගනිමින් මෙය දේශනා කළහ.

පිඬු පිණිස චාරිකාවෙන් වඩින බුදුරදුන් භාරද්වාජ බමුණා සීසාන ස්ථානයට වැඩියහ. දන්වැළදීමේ අවශ්‍යතාව සඳහා උන්වහන්සේ වැඩි බව සිතා දීම වැලැක්වීම පිණිස බුදුරදුන්ට මෙවැනි යෝජනාවක් කිරීමට බමුණා කටයුතු කළේය.

‘අහං ඛෝ සමණ කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච භුඤ්ප්මි ශ්‍රමණයන් වහන්ස, මම සීසා වපුරා අනුභව කරමි. නුඹද එසේ කරන්න. එයට පිළිතුරු ලෙස බුදුරදුන්ද දේශනා කළේ මමද නිකන්ම අනුභව නොකරන බවත් නුඹ සේම සීසා වපුරා අනුභව කරන බවයි, ‘අහම්පි ඛෝ බ්‍රාහ්මණ කසාමිච වපාමිච කසිÀවාච වපිත්වාච භුඤ්ජාමීති” මෙම දෙබස පදනම්කොට ගනිමින් ගැඹුරු දර්ශනයක් සහ ප්‍රතිපදාවක් භාරද්වාජ අරමුණ කොටගනිමින් ගොවි බිමක් සහ කෘෂි උපකරණ මෙන්ම ගොවියාගේ් කාර්ය භාරය තුළින් පැහැදිලි කළහ.

ගොවිතැනකදි තිබිය යුතු අංග පිළිබඳ කසීභාරද්වාජ ඉතා හොඳින් දනී. එහෙයින් ඉහත ප්‍රකාශය නිසා පුදුමයට පත් ඔහු බුදුරදුන්ගෙන් විමසනුයේ ඔබ වහන්සේ ගොවියෙක් යැයි කියන මුත් සීසා වැපිරීමට අවශ්‍ය කිසිදු උපකරණයක් නැත්තේය. එහෙයින් ඔබ සීසෑමට ගනු ලබන කෘෂිඋපකරණ මොනවාදැයි මට පැහැදිළි කර දෙන්න යනුවෙන් භාරද්වාජ කියා සිටියේය. දන්නා දෙයින් නොදන්නා දේ කියාදීමේ ගුණය ප්‍රකට කරමින් තමන් වහන්සේගේ උපකරණ පිළිබදව ගොවියා අමතා බුදුරදුන් මෙසේ දේශනා කළහ.

සද්ධා බීජං තපෝ වුට්ඨී
පඤ්ඤ මේ යුගනංගලං
හිරි ඊසා මනෝ යොත්තං
සති මේ ඵාලපාචනං

ශ්‍රද්ධාව වපුරන බීජයයි. තපස වැස්සයි. ප්‍රඥාව විය ගහ සහ නඟුලයි. පව් කිරීමට ඇති ලජ්ජාව නගුලිසයි. සිහිය හෙවත් සතිය නගුල් තලය සහ කෙවිටයි. තවදුරටත් බමුණා අමතන බුදුරදුන් තම කෘෂිකර්මාන්තය පිළිබඳ මෙසේ දේශනා කළහ. රකින ලද කාය හා වාග් සුචරිතයත් පමණ දැන ආහාර ගැනීමත් මාගේ ගොයමෙහි වල්පැල ගැලවීමයි. ගවයන් මුදා හැරීම කෙලෙස් අවසන් කොට අර්හත් මාර්ගයේ ගමන් කිරීමය. එම සී සෑමේ අග්‍රඵලය සසර දුකින් මිදී ලබන අමා නිවන් සුවයයි.

ආර්ය මාර්ගයේ ගමන් කිරීම වනාහි සාර්ථක ගොවියෙකුගේ කාර්යන්වලට මෙසේ සමාන කිරීම අතිශයින්ම ප්‍රායෝගිකය.ආර්ය මාර්ගයට ඇතුළු වීමේදි ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය එය ධර්මයෙහි විස්තර වන්නේ “සද්ධානුසාරි “ වශයෙනි. ඉන් අනතුරුව “ධම්මානුසාරි” වීම පහසුවේ’ ශීලය හෙවත් කායික වාචසික හික්මීම නිවනට අත්‍යවශ්‍ය අංගයෝය. තපස නිසා චිත්ත සංයමයත් සීලය නිසා තිදොර සංවරයත් තුළ විමුක්තිය ළගා කරගත හැකිය. ප්‍රඥාව අග්‍රඵලයයි. ඒ සඳහා සීලයෙහි පිහිටීම අත්‍යවශ්‍යය. (සිලේපතිට්ඨාය නරෝසපඤ්ඤෝ) තමන්ට මෙන්ම අන්‍යයන්ට හානි නොවන දේ සිදු කිරීම වැදගත් ය. එසේ වීම ‘පව්’ලෙස ධර්මය විස්තර කරයි. ඒ තුළ සංසාරික අඩුලුහුඬුකම් අපහසු කම් ජනිත වේ. එහෙයින් භව සමුදය නැතිවීමට එය හේතුවීම නිසා භව නිරෝධය තව තවත් දුරස් වී යා හැකිය. එහෙයින් පව් කිරීමට බියක් හා ලජ්ජාවක් අවශ්‍යය. නගුලිස මොට වීමෙන් සීසෑම් කාර්ය ඉටු නොවන්නා සේ හිරි ඔත්තප්ප නොමැතිවීම නිවන් මගට බාධා ජනකය. විදර්ශනා වඩමින් ත්‍රිලක්‍ෂණ ධර්මතාවය මෙනෙහි වීමෙන් අග්‍රඵලය ප්‍රඥාව ඇතිවීම බෞද්ධයාගේ අරමුණයි. ඒ සඳහා යෝනිසෝමනසිකාරය හෙවත් සම්මාසතිය තිබිය යුතුය. සිත ද සමාධිගත නොවී ප්‍රඥාව ලැබිය නොහැකිය. නිවන් මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිශික්‍ෂාව ට බෙදීමේදි පිළිවෙළින් ශීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවටත් අනුපිළිවෙලින් යා යුතු ප්‍රතිපදාවකි.

වල්පැළෑටි උදුරමින් ගවයන් මුදාහරිමින් නිසිපරිදි වගාකිරීමෙන් භාරද්වාජ අස්වැන්න නෙලන්නේ යම් සේද, බුදුරදුන් කෙලෙස් සිඳීමින් අනුපිළිවෙල ශික්‍ෂණයෙන් යුතුව නිවන් නමැති ඵලය අස්වැන්න නෙළාගත්හ. එම මගෙහි වල්පැළ වූයේ දස සංයෝජන ධර්මයන්ය.බෞද්ධ විමුක්ති මාර්ගයේදී හළ යුතු වල්පැළෑටි වන්නේ මෙම අංග දහයයි.

1.සක්කාය දිට්ඨි
2.විචිකිච්ඡා
3. සීලබ්බතපරාමාස
4.කාමරාග
5.ව්‍යාපාද
6.රූපරාග
7.අරූපරාග
8.මාන
9.උද්ධච්ච
10. අවිජ්ජා

මෙම ගැඹුරු සංකල්පය ඉතා සරළව බුදුරදුන් භාරද්වාජ අමතා දේශනා කළහ. යථා ස්වභාවය අවබෝධ කරගත් භාරද්වාජ රන්තලියකට කිරිබත් බෙදා පූජා කළේය. එහෙත් බුදුරදුන් එය කාරුණිකව ප්‍රතික්‍ෂේප කළහ. එසේ වැළදීම උතුමන්ගේ පිරිසුදු දිවිපෙවතට හානියක් බව සඳහන් කළේය. මෙම ආහාරය වැළදීමට සුදුස්සෙකු මිහිපිට නොමැති බවත් එසේ වැළදීමෙන් එය දිරවිය නොහැකි බවත් දේශනා කර ප්‍රාණීන් නැති දියෙහි පා කිරීමට අවසර දුන්හ. ජලයට දමන ලද බත් චිටිචිටි හඬනගමින් දියෙහි පාවී ගියේය. මෙය දැකීමෙන් විස්මයටත්, පුදුමයටත් පත්වූ බමුණා ගෞරව සහිතව බුදුරදුන්ට වැඳ සියල්ල අවබෝධ කරගත් බැව් සඳහන් කළහ.

මෙහිදී බමුණා අමතා ආහාරයේ ස්වභාවය දිරවීම පිළිබඳ දේශනා කරනුයේ බුද්ධ විෂය පිළිබඳ යම් අවබෝධයක් ලබාදීම සඳහාය. එය බමුණාට මනාව පසක් වන්නේ දියට දමනලද කිරිබත චිටිචිටි නාදයෙන් යුතුව අසාමාන්‍යතාවක් පෙන්නූ අවස්ථාවේදීය. බුද්ධ විෂයේ අනන්තවත් බව ප්‍රකට කිරීම මෙහිදී දැකිය හැකි ප්‍රධාන තත්වයකි. ආධ්‍යාත්මික දියුණුව ලද උත්තමයන්ට සුවඳ වුවද ආග්‍රහණය කර ජීවත් විය හැකි අතර පෘථග්ජනයන්ට එය පහසු නොවේ. සියුම් ආහාර පෝෂණීය ගුණයෙන් අනූන වන්නේ ආධ්‍යාත්මික දියුණුවේ විපුලත්වය මතය එය තවදුරටත් සනාථ වන අවස්ථාවක් ලෙස කසීභාරද්වාජ සූත්‍රය හැඳින්වීම වඩා උචිතය.

බුද්ධ ඤාණයත් ආර්යඵලයේ වටිනාකමත් අවබෝධකරගන්නා බමුණා බුදුරදුන් පිළිබඳව ප්‍රසංසාත්මකව ඇගයීම් සිදු කළහ.

“මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය....”මංමුලාවෙකුට මගපෙන්වන්නාසේ යටිකුරු බඳුනක් උඩුකුරු කරන්නාසේ ...ආදි ඇගයුම් වදන් සූත්‍රයේ අන්තර්ගතව ඇත. ඉන් නොනැවතුන බමුණා දේශනාව අවසානයේ මහණ උපසම්ප්‍රදාව ලැබූහ. ටික කලකින්ම බුදුරදුන් සූත්‍රයේදී අනුදත් මඟ ප්‍රායෝගිකව ගමන්කර උතුම් අස්වැන්න වූ නිවන සාක්ෂාත් කරගත්හ.