Print this Article


නිමා නොවූ මරණයෙන් නිදහස් වන්නේ කෙසේ ද?

නිමා නොවූ මරණයෙන් නිදහස් වන්නේ කෙසේ ද?

මරණයට පත්වන පුද්ගලයා එම මොහොතේ ලබන මරණ බියද, මරණින් මතු දුගතියක ඉපදුන හොත් ලබන කෙළවරක් නොපෙනෙන දුකද බොහෝය. ජීවත්ව සිටින සහෘදයන් ලබන කායික සහ මානසික දුක්ඛ දෝමනස්ස අපමණය. එබැවින් මරණය දුකක් නිමාවක් නොමැති දුකකි. මේ නිමා නොමැති මරණය මරන්නේ කෙසේද? මරණය නැතිකිරීමට නම් උපත නැති කළ යුතුය. උපතක් ලබන්නේ නම් මරණය නියතමය.

මරණය නම් එක් භවයකට ඇතුළත් ජීවිතේන්ද්‍රිය සිඳීයාමයි. එය හඳුන්වනු ලැබුවේ ජීවිතේන්‍ද්‍රියොපච්ඡේද මරණය නමිනි. කායස්සභෙදා පරම්මරණා කය බිඳීමෙන් මරණය සිදුවීම යනුවෙන් සූත්‍ර දේශනාවල සඳහන් කළේත් මෙයයි. මෙයට අමතරව සමුච්ඡේද මරණය, ක්‍ෂණික මරණය, සම්මුති මරණය යනුවෙන් තවත් අකාර තුනක් පවතී. සමුච්ඡේද මරණ නම් රහතුන් වහන්සේගේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන් සිදුවන මරණයයි. එනම් සසර දුකින් අත්මිදීමයි. ක්‍ෂණික මරණ නම් සියලු සංස්කාරයන්ගේ ක්‍ෂණභංගුරත්වයයි. එනම් මොහොතක් පාසා සිදුවන වෙනස් වීමයි. සම්මුති මරණ නම් ලෝකයේ ව්‍යවහාරික වශයෙන් පවත්නාවූ යම් වස්තුවකගේ හෝ චිත්ත චෛතසිකයක සිදුවන අභාවයයි. එම ත්‍රිවිධ මරණ මෙහි අදහස් නොකරන අතර ඉහත දැක්වුණු ජීවිතින්ද්‍රියොපච්ඡේද මරණයම සිහිපත් කරන බව වටහාගත යුතුය.

අශ්‍රැතවත් පෘථග්ජනයෙකුගේ මරණය යනු කර්මානුරූපව සසරෙහි තවත් උපතකට ආරම්භයකි. අශ්‍රැතවත් පෘථග්ජනයෙකුගේ එම උපත සිදුවනුයේ සතර අපායෙන් තැනෙක නොවේමැයි පැවසිය නොහැකිය. මේ නිසා බොහෝ සත්වයන්ගේ උපත් සතර අපායෙන් තැනෙක විය හැකිය. පස් පව්, දස අකුසල් සිදුකරන සත්වයෝ ගෙනැවිත් බහා තැබූ ආකාරයෙන් ම මරණින් මතු සතර අපායෙන් තැනක උපදිති. (අංගුත්තර නිකාය) මෙවැනි දුගතියක හෙවත් නිරයක උපත ලැබීමෙන් විඳින්නට සිදුවන දුක් අපමණය. එමෙන්ම ,පින් සිදුකිරීමෙන් හෝ කුසල් රැස් කිරීමෙන් සුගතිගාමී වුවද, මිනිස් ලෝකයේ උපත ලැබුවද සදාකාලික දුකෙන් නිදහස් නොවුයේ වෙයි. මිනිස් ලොව උපදනා වූයේද විඳීමට සිදුවන දුක් පිළිබඳ විස්තරය චතුරාර්ය සත්‍ය දේශනාවේද පටිච්චසමුප්පාද දේශනාවන්හිඳ මැනවින් සඳහන් වෙයි. එමෙන්ම, සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයෙහි දැක්වෙන ආකාරයට සසර ගමනේදි මිනිස් ලොව ඉපදුනේ නමුදු විඳි දුක් අපමණය. මහණෙනි නුඹලා විසින් දිගුකලක්ම දුක් විඳින ලදී. තියුණු ලෙස දුක්විඳින ලදී. ව්‍යසනයන්ට හසුව දුක් විඳින ලදී.සොහොන හෝ පොළොව වඩන ලදී. මෙම කෙටි විස්තරයෙන් නමුදු පැහැදිලි කරන ලද්දේ උපතෙහි හෙවත් සසර පැවැත්මෙහි ඇති භයානකකමය.

උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා
මරණත්ථාය ඕකාසං වධකෝ විය ඊසති
උපත හා සමගම මරණය පැමිණ ඇත්තේය
වධකයෙක් මෙන් එය මරන්නට ඉඩ සොයන්නේමය

සාමාන්‍ය ලෝකයාට මනුෂ්‍යයෙක් වී ඉපදීම පී‍්‍රතියකි. එනමුත් පටිච්ච සමුප්පාද ධර්මයට අනුව පැහැදිලි කරන්නේ ඉපදීම සමඟම මහා දුක් රැසක්ම උරුම වන බවය. “ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්ධස්ස සමුදයෝ හෝති” මෙම උපත සහ මරණය අතර මුහුණ පාන්නට සිදුවන එම කායිකවූත් මානසිකවූත් අපමණ වූ නිමක් නැති, දුකම උරුමකරගත් සිදුවීම් රැස නුවණැති මනුෂ්‍යයන්ට ඉතාමත් පහසුවෙන් තේරුම් ගත හැකිවනු ඇත. නුවණ මඳ අයෙකුට වුවද මරණයෙහි හෝ පි‍්‍රය විප්‍රයෝගයෙහි ඇති වේදනාව සහ උපායාසය අවබෝධ වනු ඇත. උපත එකතුවීමක් ලෙසත් මරණය හෝ විපත සියලුම දෙයම නැතිවීමක් ලෙසත් අවබෝධ වනු ඇත.

ජීවිතය පුරා ඇතිකරගත් සියලු සබඳතා අවසන් වනු ඇත. මරණයට පත්වන පුද්ගලයා කර්මානුරූපව ආදීනවය හෝ විපාකය ලබනු ඇත. මරණයට පත් වූ පුද්ගලයාගේ මෙලොව ජීවත්ව සිටින සහෘදයන් අපමණය. පි‍්‍රය විප්‍රයෝග දුක්ඛයන්ට භාජනය වනු ඇත. මව , පියා, ස්වාමියා, බිරිඳ ,දුව,පුතා, සොහොයුරු සොහොයුරියන් ලෙස ලබන එම වේදනාව අපමණය. භාග්‍යවතුන් වහන්සේ අස්සු සූත්‍ර දේශනාවේදි පැහැදිලි කරනු ලැබුවේ මව , පියා, දුව, පුතා සොහොයුරා, සොහොයුරිය වෙන්වෙන විටද ඥාති ව්‍යසනයේදී භෝග ව්‍යසනයේදී ලෙඩදුක් නිසාද වැගුරු කඳුළු සිව් මහ සාගරයේ ජල කඳට වඩා වැඩි බවයි. මරණයට පත්වන පුද්ගලයා එම මොහොතේ ලබන මරණ බියද, මරණින් මතු දුගතියක ඉපදුන හොත් ලබන කෙළවරක් නොපෙනෙන දුකද බොහෝය. ජීවත්ව සිටින සහෘදයන් ලබන කායික සහ මානසික දුක්ඛ දෝමනස්ස අපමණය. එබැවින් මරණය දුකක් නිමාවක් නොමැති දුකකි.

මේ නිමා නොමැති මරණය මරන්නේ කෙසේද?

මරණය නැතිකිරීමට නම් උපත නැති කළ යුතුය. උපතක් ලබන්නේ නම් මරණය නියතමය. “මරණපරියෝසානේ මේ ජීවිතං” යනුවෙන් පැහැදිලි කරන්නේ ජීවිතයේ කෙළවර නම් මරණයම බවය. එසේ නම් මරණය නැති කිරීමට හේතුවන උපත නැති කරන්නේ කෙසේදැයි විමසා බලමු. භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද සූත්‍ර දේශනාවේදී මෙසේ වදාරති.

“අවිද්‍යාව මුළුමනින්ම බැහැර කිරීමෙන් සංස්කාර නැතිවෙයි. සංස්කාර නැතිකිරීමෙන් විඥානය නැවත්වෙයි. විඥානයේ නැවැත්මෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැවැත්මෙන් ෂඩ් ආයතන නැතිවෙයි. ෂඩ් ආයතනයන්හි නැවැත්මෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැවැත්මෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැවැත්මෙන් තෘෂ්ණාව නැතිවෙයිි. තෘෂ්ණාව නැවැත්මෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැවැත්මෙන් භවය නැතිවෙයි. භවය නැවැත්මෙන් ජාතිය නැතිවෙයි. ජාතිය නැවැත්මෙන් ජරා, මරණ,සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස , උපායාසයෝ නැතිවෙති. මෙසේ මුළුමනින්ම දුක් රැසේ නිරෝධය වෙයි.”

ඉහත දැක්වු පටිච්චි සමුප්පාද ධර්මයට අනුව මරණය ඇතුළු කොට සියලු දුක් නැසීම පිණිස විශුද්ධි මාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍යය. එම මාර්ගය ඉතාමත් කෙටියෙන් මෙහි සඳහන් කරමි.අංගුත්තර නිකායේ අවිද්‍යා සූත්‍රයට අනුව අපට මරණය නැති කිරීමෙන් ලබන විද්‍යා විමුක්තිය පිණිස මෙසේ ආධ්‍යාත්මික සහ බාහිර පරිසරය සකස් කරගත හැකිය. සැපිරිය යුතු කරුණු වන්නේ සත්පුරුෂ සංසේවනය, ධර්ම ශ්‍රවණය, ශ්‍රද්ධාව,යෝනිසෝමනසිකාරය, සතිසම්පජ්ඤ්ඤය, ඉන්ද්‍රිය සංවරය , ත්‍රිවිධ සුචරිතය, සතර සතිපට්ඨාන සහ සප්ත බොජ්ධ්‍යංග ධර්මයන්ය.

මෙසේ දැක්වූ මෙම මාර්ගයම පිළිවෙත් මාර්ගයක් ලෙස මෙසේ ඉදිරිපත් කළ හැකිය. ආනාපාන සතිය (ආශ්වාස ප්‍රශ්වාස දෙක්හි මනාව සිහිය පිහිටුවීම) දියුණු කරමින් සමාධිය වඩන තැනැත්තා හෝ තැනැත්තිය රාග, දෝස,මෝහ ආදී කෙලෙස් තවන වීර්ය ඇතිවද සම්‍යක් ප්‍රඥාවෙන් යුතුවද, මනා සිහිනුවණ, ඇතිවද, පඤ්ච ස්කන්ධ (රූප,වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ලෝකයෙහි දැඩි ලෝභයන්ද සහ දෝමනස්සයන්ද දුරුකොට වාසය කරන්නේ වෙයි. එනම් ඇස ආදි ඉන්ද්‍රියයන්ගෙන් රූපාදී අරමුණු කිසිවක් මගේය, මම වෙමි, ස්ථිර ආත්මයක්ය, (එතං මම, එසො හමස්මි. එසෝ මේ අත්තා) යනුවෙන් උපාදානය නොකර ගනී. පරමාර්ථය (පඤ්ච උපාදාන ස්කන්ධයෙහි යථා ස්වභාවය වූ උප්පාද, ඨිති, භංග) නුවණින් දකින්නට පුරුදු වෙයි. සම්මුති ලෝකයෙහි කය පැවැත්වුවද පරමාර්ථය වෙසෙසින් දැන විරාගය, නිරෝධය සහ පටිනිස්සග්ගය (සංස්කාර ධර්ම නැවත මතුනොවන ලෙස දුරුකිරීම, ප්‍රහාණය) පුහුණුවෙයි.

මීළඟ අවස්ථාවෙහි චතුරාර්්‍ය සත්‍ය ධර්ම අවබෝධයට පුහුණු වෙයි, දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම්වූ චතුරාර්්‍ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතුවන , පිරිසුදු වීම් හතෙකි. මෙම විශුද්ධි හත එකිනෙකට සම්බන්ධව හේතු ඵල වශයෙන් ලැබෙන ධර්මතාවයකි.

සීල විශුද්ධිය
චිත්ත විශුද්ධිය
ද ිට්ඨි විශුද්ධිය
කංඛාවිහරණ විශුද්ධිය
මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය
පටිපදා ඤාණදස්සන විශුද්ධිය
ඤාණ දස්සන විශුද්ධිය යනුවෙන් විශුද්ධි හතෙකි.

මේවා පිළිබඳ ඉතාමත් කෙටි විස්තරයක් මෙහි දක්වනු ලැබේ. සීල විශුද්ධිය නම් කයින්ද වචනයෙන්ද සිදුවන වැරැදිවලින් සහ වැරැදි දිවි පැවැත්මෙන් බැහැරවීමෙන් ඇතිවන පිරිසුදු බවයි.

ඇලීම්, බැඳීම් සහ ගැටීම්වලට සිත හසුවන්නට ඉඩ නොදී සිත පවත්වා ගැනීම චිත්ත විශුද්ධියයි. මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් සිත පිරිසුදුව පවත්වා ගැනීම දිට්ඨි විශුද්ධි නම් වෙයි. තමන්ගේත් අන්‍යයන්ගේත් සංසාර ගමන පිළිබඳ සැක ඉවත්වීමෙන් ඇතිවන පිරිසුදු බව සංඛාවිතරණ විශුද්ධියයි. මෙනෙහි කිරීමෙන් කිසිවක සිත ඇළෙන්නට ඉඩ නොදී සිත පිරිසුදුව පවත්වා ගැනීම මග්ගා මග්ග ඤාණදස්සන විශුද්ධියයි. ප්‍රතිපදා මාර්ග වළක්වන කෙලෙස් බැහැර කිරීමෙන් ලබන පිරිසුදු බව පටිපදාඤාචදස්සන විශුද්ධියයි. සත්වෙනි විශුද්ධිය වූ ඤාණදස්සන විශුද්ධිය නම් ලෝකෝත්තර මාර්ගයට බාධක කෙලෙස් මුළුමනින්ම උපුටා දැමීමෙන් ලබන උතුම් වූ පාරිශුද්ධියයි.

ඉහත සඳහන් කළ සංඛාවිතරණ විශුද්ධයෙන් සමාධිය වඩන්නාගේ විදර්ශනා නුවණ ඉතාමත් දියුණුවෙයි. පඤ්චස්කන්ධයන්ගේ අනිච්ච , දුක්ඛ අනාත්ම, ලක්‍ෂණ කාල වශයෙනුත්, උපචය (සත්ව ශරීරයේ උත්පාදනය) සන්තති (නැවත නැවත උත්පාදය) ජරතා (දිරීම අනිච්චතා (නිත්‍ය නොවන බව) වශයෙන්ද සම්මඝන ඤාණය දියුණු කරයි. සියලු සංස්කාරයන්ගේ හටගැනීම සහ නිරෝධය යන දෙක මනාව විදර්ශනා නුවණින් දැකීමෙන් උදයව්‍යය ඤාණය පහළ වෙයි. නීවරණවලින් සිත මුළුමනින්ම මිදී ඇත. විදර්ශනා ආලෝකය පහළ වෙයි. ඒ සමඟම පී‍්‍රතිය, පස්සද්ධිය , ශ්‍රද්ධාව ,වීර්ය, කායික සුවය, උපේක්‍ෂාව, නිකාන්තිය ආදි ධර්ම පහළ වෙන්නට ආරම්භ වෙයි. නිකාන්තිය නම් වු සසරෙහි පටන් බැඳී තිබුණු ඉතිරිව තිබෙන සියුම් තෘෂ්ණාව ද නුවණින් දැක එයින් පිරිසුදු වීමට අවස්ථාව සැළසීමයි.එය මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධියෙන් සිදුවෙයි. මීළඟට පටිපදා ඤාණදස්සන විශුද්ධියට පත්වීමේ අවසථාව සැළසෙයි. එනම් උදයව්‍යය ඤාණයේ පටන් අනුලෝම ඤාණය දක්වා ලැබෙන ඤාණයන් වඩා ගැනීමයි.

සියලු සංස්කාර ධර්මයන් අනිච්ච, දුක්ඛ, අනාත්ම වශයෙන් නිවන් අවබෝධය තෙක් විදර්ශනා නුවණින් දැකීම මේ ආකාරයෙනි.

01. සමාධිය වඩන්නා ස්කන්ධ ආදි කය අනිච්ච ආදි ලක්‍ෂණ ඔස්සේ මැනවින් අවබෝධ වන තෙක් මෙනෙහි කිරීම නිසා පහළ වන ඤාණය සම්මසන ඤාණයයි.

02.හට ගැනීම සහ නැතිවීම අවබෝධ කරගන්නා වු නුවණ උදයවය ඤාණයයි.

(03) හටගත් ධර්මයෝ නැති වී යාම හෙවත් භංග වී යාම නුවණින් දැකීමයි. හට ගැනීම පහසුවෙන් දැකිය හැකි වුවත් භංගය අප්‍රකටය. මේ නිසා විදර්ශනාවේ මනාව වැටහෙන්නට සම්මසන ඤාණයද උපයොගී කරගැනීමෙන් පහළ වන ඤාණය භංග ඤාණයයි.

04. සසරෙහි පවත්නා බියකරු බව වැටහෙයි. එනම් සංස්කාර ධර්ම දුක කරා කැඳවාගෙන යන අයුරු අවබෝධ කරගැනීමෙන් ඇතිවෙන ඤාණය භයතුපට්ඨාන ඤාණයයි.

05.සසරෙහි ඇති මෙම දුක් සහගත බව තේරුම්ගෙන වඩාත් සමාධිය වඩයි. කාම රූප නම් වූ සංස්කාර ධර්මයෝ ඉපදෙමින් බිඳී යන අයුරු අවබෝධ කරගන්නා විට එය සැපයක් නොවන බවත් දුක් පිණිසම හේතුවන බවත් විදර්ශනා නුවණින් දකී. එය සංස්කාර ධර්මයන්ගේ ආදීනවයන් ලෙස වැටහෙයි. මෙය ආදීනව ඤාණයයි.

06. මෙම සසරෙහි දුක් දෙන සංස්කාර ධර්මයන් දැකීමෙන් ඇතිවන කළකිරීම හෙවත් සංවේගය නිබ්බදා ඤාණය යි.

07.මෙම සංස්කාර ධර්මයන් කෙරේ කළකිරිම ඇති වූ විට එතැනින් නිදහස්වීමට ඇතිව පහළ වන ඤාණය මුඤ්චිතු කම්‍යතා ඤාණයයි.

08.සංස්කාර ධර්මයන්ගෙන් නිදහස්වීමට කැමැත්ත ඇතිවූ විට එම සංස්කාර ධර්මයන්ගේ ආදීනවයන් මහා දුකක් ලෙස දකිමින් මනාසේ පැතිර පවත්නා වූ විදර්ශනා ඤාණය ,පටිසංඛා ඤාණය යි.

නාමරූප ධර්මයන් කෙරේ නිකාන්තිය (තෘෂ්ණාව) බැහැරව යයි. පි‍්‍රය,අපි‍්‍රය අරමුණු හටයගත්තද, උපේක්‍ෂාවම පවතී. ඉන්ද්‍රියයන්ට පැමිණෙන අරමුණු මැනවින් වැටහේ. සංස්කාර ධර්මයන් කෙරේ ඇලීමක් ,බැඳිමක්, ගැටීමක්, නොමැතිව පවත්නා ඤාණය සංඛා රුපෙක්ඛා ඤාණයයි.

ඉදිරියෙන් ලැබීමට සූදානම් වන මාර්ග ඤාණයාගේ පැවැත්මට සුදුසුවන ආකාරයෙන් බලවත්ව ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ත්‍රිලක්‍ෂණ ධර්මයන් මනාව, ප්‍රකටව මෙනෙහි වෙමින්, ලැබූ ඤාණයට සහ මතු ලැබිය යුතු මාර්ග ඤාණයන්ට අනුකූල වන හෙයින් මෙම චිත්ත ස්වභාවය අනුලෝම ඤාණය නම්වෙයි.

මේ මාර්ගය ඔස්සේ විදර්ශනාවෙහි ගමන් කරන අයට මාර්ග ඤාණය සම්පූර්ණ වීමට මාර්ග වීථිය උපදින්නට ආසන්නව පවතී. මෙහිදී පළමුව භවාංග චිත්තය සිඳී මනෝද්වාරජ්ජන චිත්තය පහළවෙයි. මීළඟට විදර්ශනා චිත්තයන් පහළ වී පරිකම්ම, උපචාර ,අනුලෝම නාමයෙන් හටගනී. මින්පසුව පහළ වන්නේ ගෝත්‍රභු චිත්තයයි. මෙය නිවනම අරමුණ කොට පෘථග්ජන , ආර්ය ගෝත්‍ර ඔස්සේ ඉදිරියට වැඩී යයි. මින් අනතුරුව මාර්ග චිත්තයයි. මෙම අවස්ථාවේදී නිර්වාණගාමී තැනැත්තා හෝ තැනැත්තිය විසින් දුක්ඛ සත්‍ය අවබෝධ කරමින් සමුදය සත්‍ය වටහා ගනිමින්, කෙලෙසුන් ප්‍රහාණය කිරීම නම් නිරෝධ සත්‍ය අවබෝධයෙන්ද මාර්ග සත්‍ය වැඩී පහළවෙයි. මාර්ග චිත්තය සමඟ ඵල සිත් පහළ වී භවාංගය නැති වීමෙන් ඒ මාර්ග චිත්ත විථිය කෙළවර වෙයි.මරණය නැතිකිරීම නම් වූ උතුම් නිවන් මඟට පත්වීමට ඇති මාර්ගය සහ එම උතුම් නිවන අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳව, ඉතාමත් කෙටි විස්තරයක් මෙහි අඩංගුව ඇත්තේය.

මෙම මාර්ගය පිළිබඳ තව බොහෝ ධර්ම කාරණා ඇත්තේය. කල්‍යාණ මිත්‍ර ආචාර්යවරයෙකුගේ ඇසුර ලබමින් මනා මඟ පෙන්වීමකින් යුතුව ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයෙන්ද ප්‍රත්‍යක්‍ෂයෙන් ද සම්පූර්ණ වෙමින් සමාධිය සපුරා ගන්නට උත්සාහ ගන්න. සද්ධා ,වීර්ය, සති, සමාධි, ප්‍රඥා නම් පඤ්ච බල සහ පඤ්ච ඉන්ද්‍රියන් බලවත් ලෙස වඩාගෙන මෙම නිර්වාණගාමී මාර්ගයට පිළිවෙතින් අවතීර්ණ වෙන්න.