Print this Article


බෝධි රෝපණ පින්කමක්

බෝධි රෝපණ පින්කමක්

විපස්සනා කම්මට්ඨානාචාර්ය එස්.එන්. ගොඑන්කාතුමා ලොව කීර්තිමත් විපස්සනා කම්මට්ඨානාචාර්යවරයෙකි. විපස්සනා භාවනාව පිළිබඳව ජාත්‍යන්තර සමුළුවලදී රූපවාහිනි හා ගුවන්විදුලි නාලිකාවලදී දේශන විශාල සංඛ්‍යාවක් පවත්වා ඇත.

බුරුමයේ මණ්ඩලේ නගරයෙහි උපත ලැබූ ගොඑන්කාතුමා 1924 ජනවාරි 30 දින ඉන්දීය ජාතික හින්දු භක්තික පවුලක උපත ලබන ලදී. වයස අවුරුදු 31 වන විට විශාල ධනවතෙක්ව සිටි එතුමාගේ පවුලේ දයාබර බිරිඳ හා පුතුන් සය දෙනෙකි. සුවපත් කළ නොහැකි යැයි වෛද්‍යවරු පවසා තිබුණු දරුණු හිසරදයකින් පෙළුණු එතුමා බුරුම ජාතික සයාජි ඌ බා කිං තුමාගේ දසදින විපස්සනා පුහුණුවකට සහභාගිවීමෙන් පසුව විපස්සනා භාවනාව සියලු දුකින් මිදීමට ඇති මාර්ගය බව වටහා ගත්තේ ය.

විපස්සනා කම්මට්ඨානාචාර්ය ගොඑන්කාතුමා විසින් ‘ගුරු පියා’ යනුවෙන් හඳුන්වන ලද තම ආදරණීය ගුරුපියාණන් වූ සයා ජි ඌ බා කිං තුමාට ගුරු පූජෝපහාරයක් ලෙස 2010 ජනවාරි 17 වන දින ඉන්දියාවේ මුම්බායිහි ගෝරායි මුහුදු වෙරළ අසල දැකුම්කලු විශ්ව විපස්සනා ස්ථූපය ගොඩනඟන ලදී. අඩි 325 ක් උස හා අඩි 280 ක් පළල වූ මෙම සුවිශේෂ ගොඩනැගිල්ල ඇතුළත 8000 ක පමණ පිරිසකට භාවනා කිරීමට ඉඩ සලසා ඇත. විශ්ව විපස්සනා ස්ථුපය උඩ කොටසෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිදන්කර ඇත. මෙහි පරිවාර චෛත්‍යයන් දෙකක් ද වේ.

මෙම බෝධීන් වහන්සේ ඉන්දියාවේ මුම්බායි නගරයේ විශ්ව විපස්සනා චෛත්‍යය වෙත මාර්තු මස 1 වන දින වැඩම වීමට නියමිතව තිබිණි. පසුදින බෝධි රෝපණය විශ්ව විපස්සනා චෛත්‍ය භූමි පරිශ්‍රයේ දී අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී ලාංකීය, ඉන්දීය සහ වෙනත් විදේශීය භාවනා යෝගීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.