UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීල විසුද්ධිය 1 කොටස නිවන් මඟේ ආරම්භය පිරිසුදු සීලය යි

සීල විසුද්ධිය 1 කොටස

නිවන් මඟේ ආරම්භය පිරිසුදු සීලය යි

ඒ නිවන්මඟ කොතැනින්ද පටන් ගන්නේ? සීලය පිරිසුදු කර ගැනීමෙනුයි. ඒ නිසා අප ජරා මරණ දුකින් නිදහස් වෙන්නට කැමැතිනම් ඒ නිවන්මඟේ ආරම්භය හොඳින් පුරුදු කර ගැනීමට කැමැති වෙන්නට ඕන. ඒ සඳහා මහත්සේ වෑයම් කරන්නට ඕන. නිවන්මෙ‍ෙග් ආරම්භය පිරිසුදු කර ගත් තැනැත්තාට යම් කලක ඒ නිවන්මඟ අවසන් කර ගන්ට පුළුවන්කම තිබෙනවා. මේ ධර්මයේ තිබෙන සුවිශේෂත්වය තමා ඒ නිවන්මෙග් ආරම්භයට පැමිණි තැනැත්තා ඒ මග අවසානය කරා යනවාම යි. මෙය ධර්මයේ තිබෙන අතිශය සුවිශේෂි බවක්

අප කවුරුත් නිවන්මඟ ගැන හොඳින් ඉගෙන ගත්විට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිවන්මඟ ගැන හොඳින් දන්න තැනැත්තා සතුටු සිතින් වාසය කරන කෙනෙක්. ඔහු තුළ කණගාටුවක් නැහැ. නමුත් නිවන්මඟ නො දන්නා තැනැත්තාට කණගාටුව, පසුතැවිල්ල, බය තිබෙනවා. යම් කෙනෙක් මඟ දන්නවා නම්, මඟ ගැන පැහැදිලිකමක් තිබෙනවා නම් එ පමණකින්ම ඔහුට නිර්භය භාවය ඇතිවෙනවා. ඒ ආකාරයට නිර්භය භාවයෙන් යුක්තව සතුටින් වාසය කරන්න පුළුවන්. ඔහු තුළ සැහැල්ලුව තිබෙනවා. සුව පහසුව තිබෙනවා. ඒ නිසාම ඔහු තව තවත් ඒ මාර්ගය හොඳින් පුරුදු කර ගන්නවා.

යම් කෙනෙකුට නිවන් මඟ ගැන වැටහීමක් නැත්නම් ඔහු නිවන් මඟ කියා මොනව හරි කරනවා. ඒ නිසා ඔහුට සුව පහසුවක් ඇතිවන්නේ නැහැ. ඒ කරන හැම දේකින්ම පීඩාවක් පමණයි ඇතිවෙන්නේ. හොඳින් නිවන් මඟ ගැන දන්න තැනැත්තා තුළ සතුට තිබෙනවා. සතුටෙන් ඉන්න තැනැත්තා සුව පහසුවෙන් වාසය කරනවා. සුවපහසුවෙන් වාසය කරන තැනැත්තා සුව පහසුවෙන්ම තමා ඒ මාර්ගය පුරුදු කරන්නේ. එවිට ඔහු අපහසුවට පත්වෙන්නේ නැහැ. ඒ නිසා නිවන් මඟ ගැන හොඳට ඉගෙන ගන්න තැනැත්තා ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරන තැනැත්තාට පුළුවන්කම ලැබෙනවා පිරිනිවන් පාන්නට. පිරිනිවන් පාන්නට පුළුවන් කෙනාට සියලු දුකෙන් නිදහස්වීමේ භාග්‍යය උදාවෙනවා. පිරිනිවන් පෑමෙන් සියලු දුක් අවසන්වෙලා යනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ටයි ඒ පිරිනිවන් පෑමේ භාග්‍ය උදා වෙන්නේ.

කෙනෙක් පිරිනිවන්පාන්නට නම් ඔහු ඤාණ දර්ශනය පිරිසුදු කර ගන්නට ඕන. ඤාණ දර්ශනය පිරිසුදු කරගන්නට නම් පටිපදා ඤාණ දර්ශනය පිරිසුදු කරගන්ට ඕන. පටිපදා ඤාණ දර්ශනය විසුද්ධිය ඇතිකර ගන්නට නම් මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය ඇතිකර ගන්න ඕන. මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය ඇතිකර ගන්නට නම් කංඛාවිතරණ විසුද්ධිය ඇතිකර ගන්න ඕන. කංඛාවිතරණ විසුද්ධිය ඇතිකර ගන්නට නම් දිට්ඨි විසුද්ධිය ඇතිකර ගන්න ඕන. දිට්ඨි විසුද්ධිය ඇතිකර ගන්න නම් චිත්ත විසුද්ධිය ඇතිකර ගන්න ඕන. චිත්ත විසුද්ධිය ඇතිකර ගන්නට නම් සීල විසුද්ධිය ඇතිකර ගන්න ඕන.

එසේනම් සීල විසුද්ධිය ඇතිවීමකින් තොරව චිත්ත විසුද්ධිය ඇති වන්නේ නැහැ. චිත්ත විසුද්ධිය ඇති නොවී දිට්ඨි විසුද්ධිය ඇතිවන්නේ නැහැ. දිට්ඨි විසුද්ධිය ඇතිවීමකින් තොරව කංඛාවිතරණ විසුද්ධිය ඇති වන්නේ නැහැ. කංඛාවිතරණ විසුද්ධිය ඇති නොවී මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය ඇතිවන්නේ නැහැ. මග්ගාමග්ග ඤාණ දර්ශන විසුද්ධිය ඇති නොවී පටිපදා ඤාණ දස්සන විසුද්ධිය ඇති වන්නේ නැහැ. ඤාණ දස්සන විසුද්ධිය ඇති නොවී පිරිනිවන් පෑමක් සිදුවන්නේ නැහැ. පිරිනිවන් පෑමකින් තොරව සියලු දුකින් නිදහස් වීමක් සිදුවන්නේ නැහැ. සියලු දුකින් නිදහස් වීමකින් තොරව ජරා මරණ කියන මේ මූලික අර්බුදයෙන් නිදහස්වීමක් වෙන්නේ නැහැ.

එසේනම් අප ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට කටයුතු කරන්නට කැමැතිනම් ජරා, මරණ, කියන දුකෙන් නිදහස් වෙන්නට කැමැති වෙන්නට ඕන. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නට කැමැති තැනැත්තා ඒ නිවන් මඟ ගැන හොඳ වැටහීමක් ඇති කර ගන්නට ඕන. එසේ නිවන්මඟ ගැන වැටහීමක් ඇති කරගත්ත තැනැත්තා ඒ නිවන් ම‍ෙග් ආරම්භයේ ඉඳන් පුරුදු කරන්නට ඕනෑ.

එසේනම් ඒ නිවන්මඟ කොතැනින්ද පටන් ගන්නේ? සීලය පිරිසුදු කර ගැනීමෙනු යි. ඒ නිසා අප ජරා මරණ දුකින් නිදහස් වෙන්නට කැමැතිනම් ඒ නිවන්මගේ ආරම්භය හොඳින් පුරුදු කර ගැනීමට කැමැති වෙන්නට ඕන. ඒ සඳහා මහත්සේ වෑයම් කරන්නට ඕන. නිවන්මෙ‍ෙග් ආරම්භය පිරිසුදු කර ගත් තැනැත්තාට යම් කලක ඒ නිවන්මඟ අවසන් කර ගන්ට පුළුවන්කම තිබෙනවා. මේ ධර්මයේ තිබෙන සුවිශේෂත්වය තමා ඒ නිවන්ම‍ෙග් ආරම්භයට පැමිණි තැනැත්තා ඒ මග අවසානය කරා යනවාම යි. මේ ධර්මයේ තිබෙන අතිශය සුවිශේෂි බවක්.

ඒ ධර්මයේ ආරම්භයට පැමිණි තැනැත්තාට ඒ ධර්මය අවසානය දක්වා දියුණු කිරීමේ භාග්‍යය මේ ලොවේ කාටවත් වළක්වන්නට බැහැ. නමුත් යම් යම් ප්‍රමාදයන් තිබෙන්නට පුළුවන්. ඒකත් උපරිම වශයෙන් තිබුණොත් භව හතක් දක්වා විතරයි. ඒ නිසා අප වෑයම් කරන්නට ඕනෑ. ඒ ආරම්භයට එන්න තමයි ඉතා අමාරු. ඒ අමාරු ම දේ කළ තැනැත්තා ඒ නිවන්මඟ අවසන් කරනවා කියන දේ සිද්ධ වෙනවා.

එසේනම් ආරම්භය කුමක් ද? සීලය පිරිසුදු කර ගැනීම යි. එය අතිශයින්ම අමාරුයි. ඉතා ම අමාරුයි. ඒ සඳහා විශාල කැප කිරීමක් කරන්නට සිදුවෙනවා. විශාල කැප කිරීමක් නො කර සීලය පිරිසුදු කරන්නට බැහැ. ඒ සඳහා අපට ගුණධර්ම හදා ගන්නට තිබෙනවා. බොහෝ ගුණධර්ම හදන්නේ නැතිව සීලය පිරිසුදු කරන්නට බැහැ. ගුණ ධර්ම හදා ගැනීමෙන්මයි ගුණධර්ම පුරුදුකර ගත යුත්තේ. ගුණධර්ම පරිපූර්ණ කර ගැනීමෙන්ම යි සීලය පිරිසුදු වෙන්නේ. ඒ සඳහා අප විසින් පුරුදු කර ගතයුතු ගුණ ධර්මයන් ඉගෙන ගන්නට ඕනෑ. ඒ ගුණධර්ම ගැන ඉගෙනගෙන ඒ ගැන මහත්වූ පැහැදීමෙන් ගෞරවයෙන් ආසාවෙන් පුරුදුු කර ගන්නට අප කවුරුත් කැමැති වෙන්න ඕනෑ. ඒ ගුණධර්ම ටික ටික අපේ ජීවිතේට පුරුදුකර ගත්තොත් අප තුළ සීලය දියුණු වෙනවා. සීලය පිරිසුදු දෙයක් බවට පත්වෙනවා. සීලය පරිපූර්ණ බවට පත්වෙනවා.

සීලය පරිපූර්ණ වෙනවා කියන්නේ සීලය පිරිහෙන්නේ නැති දෙයක් බවට පත්වෙනවා. නැවත වතාවක් සිල් බිඳෙන්නේ නැති ස්වභාවයට දුස්සීල බවට පත් නො වෙන ස්වභාවයට පත්වෙනවා කියන එකයි. ඒකයි සීලය පිරිසුදු වෙනවා කියන්නේ. එවිට නැවත වතාවක් ඔහු දුස්සීල භාවයට පත්වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතයෙන් ඒ දුස්සීලභාවය නිරුද්ධවෙලා ඉවරයි. ඒකට සීල විසුද්ධිය කියලා කියන්නේ. එතකොට ඒ සීල විසුද්ධියට පැමිණීම පිණිස අප විසින් පුරුදුකර ගතයුතු බොහෝ ගුණධර්ම තිබෙනවා. ඒ ගුණධර්ම සියල්ලක්ම පුරුදුකර ගන්නේ නැතිව සීලය පිරිසුදු කරගන්නට බැහැ.

ඒ ආකාරයට සීලය පිරිසුදු කර ගැනීමට වුවමනා කරන ගුණධර්ම පුරුදුකර ගැනීම පිණිස උපකාර වන පරිසරය ගොඩනැගෙන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ එකට වාසය කිරීම තුළිණුයි. යම් කෙනෙක් සීලය පිරිසුදු කර ගන්නට කැමැති නම් ඔහු කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ එකට වාසය කරන්නට ඕනෑ. මේ දේවල් කිරීමට ඉතා අමාරුයි. මේ සඳහා යම් කැප කිරීමක් යම් වීර්යයක් අප විසින් කරන්නට ඕන. ඒ විදිහට කැප කිරීමක් කරන්නට බැරි කෙනාට වීර්යයක් නැති කෙනාට කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ එකට වාසය කිරීම අමාරු දෙයක්. නමුත් ඒ කැපකිරීම කරන්නට පුළුවන්නම් ඒ වීර්ය තිබෙන තැනැත්තාට කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කිරීම අතිශයින් මිහිරි අත්දැකීමක්. සසර පුරාවට ලබන මිහිරි ම අත්දැකීමක් බවට පත්වෙනවා.

කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ එකට වාසය කිරීමෙන් තමන්ගේ ජීවිතේ යහපත් පැත්තට දියුණුවෙන්නට උපකාර වෙන ගුණධර්ම ගැන ඉගෙනගෙන ඒවා පුරුදු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔහුට පුළුවන්කම ලැබෙනවා කාය දුෂ්චරිතය බැහැර කරලා කාය සුචරිතය පුරුදු කරන්නට. වචී දුෂ්චරිතය බැහැර කරලා වචී සුචරිතය පුරුදු කරන්නට. මනෝ දුෂ්චරිතය බැහැර කරලා මනෝ සුචරිතය පුරුදු කරන්න. ඒ විදිහට ඔහු කල්‍යාණ මිත්‍ර ඇසුරේ වාසය කිරීම නිසා ඔහුගේ ජීවිතය තුළ සීලය පිරිසුදු කරගන්නට පරිපූර්ණ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ දුර්ලභ වූ වාසනාව අත්කර ගැනීමට සියලු දෙනාටම භාග්‍යය උදාවේවා!.

මතු සම්බන්ධයි

නයනා නිල්මිණි

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]