UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 13 පතිකුලයට යන විශාඛාවට ධනංජය සිටුතුමා දුන් උපදෙස්

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 13

පතිකුලයට යන විශාඛාවට ධනංජය සිටුතුමා දුන් උපදෙස්

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ඇතුළත් සත්ත භරියා සූත්‍රයෙහි සඳහන් භාර්යා වර්ගීකරණයන් හඳුනාගැනීමට ය. මෙවර අපගේ අවධානයට යොමුවන්නේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන උග්ගහ සූත්‍රය වෙතටයි. අද අපගේ අවධානය යොමු වන්නේ කා අතරත් ප්‍රසිද්ධ ධනංජය සිටුතුමා පතිකුලයට යන සිය දියණියට එනම් විශාඛාවට ලබාදුන් උපදේශයන් විමසා බැලීමටයි. එම උපදේශයන් සාර්ථක දිවියකට බෙහෙවින්ම උපකාරී වෙයි.

අන්තෝ අග්ගි බහි න නිහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට නොදිය යුතුය.

මෙහිදී “ගිනි’ යනුවෙන් අදහස් කරන්නේ ප්‍රශ්නයි. ඇතුළත ගිනි ලෙස හඳුන්වා ඇත්තේ ගේ දොර ඇතුළේ ඇතිවන ප්‍රශ්නයන්ය. ගේ දොර ඇතුළත බිරිඳත්, ස්වාමියත් අතර යම් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. එසේ ඇතිවන ගැටලු පිට අයට නොදැන්විය යුතු ය. ඇතුළත ගිනි පිටත නොදිය යුතුය යනුවෙන් අදහස් කරන්නේ එයයි. ගෙදර දී ස්වාමියත්, බිරිඳත් අතර ඇතිවන යම් යම් ගැටුම්කාරී අවස්ථාවන් බොහෝවිට පිට අයට දැනගන්නට ලැබෙන්නේ බිරිඳගෙනි. එය ස්වාමියාට අවමානයක් මෙන්ම සමහර විට ඒ අය ලබාදෙන උපදෙස් අනුව බිරිඳ ක්‍රියාකිරීම නිසා ගෙදර දී ඇති වී තිබෙන ඉතා සුළු ප්‍රශ්න විශාල ගැටුම් බවට පරිවර්තනය වී දුරදිග යා හැකිය. ඇතුළත ගිනි පිටත නොඳිය යුතුය යන්නෙන් අර්ථවත් කර ඇත්තේ නිවස තුළ සිදුවන දේ පිට අයට දැන ගැනීමට නොසැලැස්වීමයි.

බහි අග්ගි අන්තෝ න සවිස තබ්බෝ - පිටත ගිනි ඇතුළට නොගත යුතුය.

පිටත ගිනි ඇතුළට නොගත යුතුය. යන්නෙන් අදහස් කරන්නේ පිට අයගේ ප්‍රශ්න තමාගේ ගෙදරට නොගත යුතුය යන්නයි. බුදුදහම අන් අයගේ වැරැදි සෙවීම කිසිසේත් අනුමත කරන්නේ නැත. බුදුදහම අවධාරණය කරන්නේ අන් අයගේ වැරැදි සොය සොයා සිටිනවාට වඩා තමාගේ වැරැදි සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට උත්සාහ කිරීමයි. ධනංජය සිටුතුමා ද තම දියණියට උපදෙස් දෙනුයේ මෙයින් වැළකීම සඳහා ය. එනම් අන් අයගේ ප්‍රශ්න තමාගේ නිවසට ගෙන ඒවා පිළිබඳ කාලය නාස්ති කරනවාට වඩා තමාගේ කටයුත්තක් සිදුකිරීමට එම කාලය මිඩංගු කිරීම වඩාත් යහපත් බවයි. බොහෝ විට බිරිඳ සෙසු අය සමඟ කටයුතු කරන විට ඒ අයගෙන් වැරැදි උපදෙස් ලැබුණහොත් තම ස්වාමියාට වැරැදි ලෙස පිළිපදින්නට පුළුවනි. එබැවින් පිට අයගේ ප්‍රශ්න තමාගේ නිවසට ගැනීම නොකළ යුතු බව මින් අවධාරණය කර ඇත.

දදන්නස්සේව දාතබ්බං - දෙන අයටම දිය යුතුය

මෙහි දී දෙන අයට දිය යුතුය යන්නෙන් අවධාරණය කරන්නේ තමාට සලකන උදව් උපකාර කරන අයට සැලකිය යුතුය. හෙවත් ප්‍රත්‍යුපකාර කළ යුතුය යන්නයි. අප ගතකරන ජීවිතයේ විවිධ අවස්ථාවල අපට අන් අයගේ සහාය අවශ්‍ය වේ. සමාජයේ ඇතැමුන් සිදුකරනුයේ යමෙකුට වාසි අවස්ථාවල පමණක් ඔහු ඇසුරු කර, කරදරයක් පැමිණි අවස්ථාවල ඔහු අතහැර දැමීමයි. එය අකෘතඥකමකි. එබැවින් තමා ආශ්‍රය කරන අයට වාසී පැමිණෙන අවස්ථාව දීමෙන්ම අවාසී හෙවත් කරදර පැමිණෙන අවස්ථාවල දී ද අප ඇසුරු කරන අය අතහැර නොයා යුතු ය. එබැවින් තමාට මිල මුදල් ආදියෙන් අග හිඟ අවස්ථාවල දී මිල මුදල් දී උපකාර කරන අය දෙන අය යනුවෙන් මින් අදහස් කොට ඇත. තමාට අවශ්‍ය අවස්ථාවන් හි දී උපකාර කරන අයට ප්‍රත්‍යුපකාර කිරීම මින් අවධාරණය කර ඇත.

අදන්තස්ස න දානබ්බං - නොදෙන අයට නොදිය යුතුය

අප සමාජයේ සමහර අය අප කරන උදව් උපකාර ඉතා කෙටිකලකින් අමතක කර දමයි. ඔවුන්ට අවශ්‍ය අවස්ථාවන්හි එනම් මිල මුදල් ආදිය හිඟ අවස්ථාවන්හි ලබා ගන්නා මුදල් නැවත නොදෙන අවස්ථාවන් ද අප සමාජයේ කොතෙකුත් ඇත. බුදුදහමේ එවැනි අය හඳුන්වන්නේ වසලයන් ලෙසය.

යෝ භවේ ඉණමාදය – චුජ්ජමානෝ පලායතී
නහි තේ ඉණමත්ථිති – තං ජඤ්ඤා වසලෝ ඉති

යමෙක් ණය ගෙන තමා ණය ගත් පුද්ගලයා පැමිණ එම ණය විමසන විට මම ඔබට ණය නැතැයි යනුවෙන් පවසා පලා යෑමට උත්සාහ කරන පුද්ගලයා වසලයෙකි.

එබැවින් පවුල් ජීවිතයේ දී ණය (ණය හෝ ණයට ගත් වෙනත් දෙයක්) ගෙන, නැවත ණය නොදෙන පුද්ගලයන් හා ගනුදෙනු නොකළ යුතු බව මින් අවධාරණය කරයි.

දදන්තස්සාපි අදන්තස්සාපි දාතබ්බං - දෙන අයටත් නොදෙන අයටත් දිය යුතුය.

මෙහි දී දෙන අය යනුවෙන් අදහස් කරන්නේ තමාට අවශ්‍ය අවස්ථාවන්හි උදව් උපකාර කරන අයයි. එවැනි අයට ඕනෑම අවස්ථාවක උදව් උපකාර කළ යුතු ය. දෙන අයට දියයුතුය, යන්න එයින් පැවසෙන අතර නොදෙන අයටත් දිය යුතුය, යන්නෙන් පැවසෙන්නේ බලාපොරොත්තු රහිතව යම් යම් අවස්ථාවල අපට යම් අයට උදව්කිරීමට සිදුවන අවස්ථා ඇත. අපට අකෘතඥ වූ කෙනෙකුට වූද ද යම් යම් අවස්ථාවල උදව් කිරීමට සිදුවේ. එය සද්පුරුෂ ලක්‍ෂණයකි. එවැනි අවස්ථාවල අපට නොදුන් අයට වුණද උදව් කළ යුතුය. මෙය තවදුරටත් අර්ථවත් කරන්නේ නම් යම් යම් පුණ්‍ය කටයුතු සඳහා ආධාර උපකාර කරන්නේ ඒවා නැවත ලබා ගැනීමේ අදහසින් නොවේ. විශේෂයෙන් තම නිවසට පැමිණෙන ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දන් පැන් පුදන්නේ උදව් උපකාර කරන්නේ නැවත ඒවා බලාපොරොත්තුවෙන් නොවේ. එබැවින් ඒ අයට සිදුකරන ප්‍රදානයන් මෙහිදී නොදෙන අයට දීම වශයෙන් ද අර්ථවත් කළ හැකි ය. එබැවින් තමාට සලකන අයට මෙන්ම තමාට නොසලකන අයට ද (බලාපොරොත්තු රහිතව) සැලකීම මින් අවධාරණය කරයි.

සුඛං නිසිදිතබ්බං - සුවසේ හිඳිය යුතුය

බිරිඳක් තම නිවස මනාව පිරිසුදුව තබාගත යුතු අතර නිවසෙහි ඇවතුම් පැවතුම් ද මනාව සිදු කළ යුතු ය. තම ස්වාමියා ඉදිරිපිට මනාව හැසිරිය යුතුය. තම නිවසෙහි ස්වාමියාගේ දෙමාපියන් හා වෙනත් සහෝදර සහෝදරියන් සිටිත් නම් ඔවුන් ඉදිරියේ සුදුසු අයුරින් හැසිරිය යුතුය. පිටතින් ගෙදරට පැමිණෙන අය ඉදිරියේ ද මැනවින් හැසිරිය යුතු ය. ඔවුන්ට මැනවින් පිළිපැදිය යුතුය. නිවස තුළ කිසිදු අපහසුවකින් තොරව මනාව ඇවතුම් පැවතුම් පවත්වාගෙන යා යුතු ය. එය තමාගේ නිවස ලෙස සිතා කටයුතු කළ යුතු ය. ධනංජය සිටුතුමා විශාඛාවට සුවසේ හිඳිය යුතු ය. යන්නෙන් උපදෙස් ලබා දෙන්නේ මේ කරුණු පිළිබඳවය.

සුඛං පරිභුඤ්ජි තබ්බං - සුවසේ අනුභව කළ යුතුය

අනුභවය හෙවත් ආහාර ගැනීම ස්ත්‍රියකගේ චර්යාව විදහා දක්වන කැඩපතක් බඳුය. බොහෝ අය මෙය ලඝු කොට සලකන කරුණකි. නමුත් මෙය විශේෂ අවස්ථාවකි. එය ස්ත්‍රියකගේ ඉවසීම, බුද්ධිය මෙන්ම අරපිරිමැස්ම මනින අවස්ථාවකි. පැරැණි පවුල් සංස්ථාව තුළ කාන්තාව ආහාර ගත්තේ නිවසේ සියලු දෙනා ආහාරගත් පසුවය. හදිසියේ යම් අයෙක් නිවසට පැමිණිය හොත් පරිත්‍යාග කරන්නේ ඇගේ ආහාර වේලයි. වර්තමානයේ නම් පවුලේ සියලු දෙනා ආහාර ගන්නේ එකටය. එහෙත් බිරිඳ ආහාර බෙදාගන්නේ අන් සියලු දෙනා බෙදාගත් පසුවය. ආහාර ගන්නා විට පිරිමියෙකුට වඩා කාන්තාව සංයමයෙන් කටයුතු කළ යුතු ය. එය සමාජයද බලාපොරොත්තු වන දෙයකි. එබැවින් ධනංජය සිටුතුමා, සුවසේ අනුභව කළ යුතුය යන්නෙන් අදහස් කර ඇත්තේ මෙයයි.

සුඛං නිපජ්ජිතබ්බං - සුවසේ නිදාගත යුතුය.

නිදාගන්නා විට නිවසේ අන්තිමටම නිදා ගන්නේ බිරිඳය. ගෙදර දොර, ජනේල ආදිය නිසි අයුරින් වසා ඇද්දැයි ඇය විසින් පරීක්‍ෂා කර බැලිය යුතු ය. එමෙන්ම කිසිදු අපහසුවකින් තොරව මෙත් සිතින් නින්දට යා යුතු ය. නිදියහන ක්‍රමවත්ව සකස්කර ගත යුතු ය. එහි දී ස්වාමියාට පි‍්‍රය ඇතිවන අයුරින් හැසිරිය යුතු ය. සුවසේ නිදාගත යුතු ය යන්නෙන් අර්ථවත් කරන්නේ මෙයයි.

අග්ගි පරිචරිතබ්බෝ - ගිනි පිරිමැසිය යුතුය

ගිනි පිරිමැසිය යුතුය යන්නෙන් අදහස් කරන්නේ ස්වාමියා උපයන වස්තුව ක්‍රමවත්ව නිසි කළමනාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යා යුතු බවයි. මෙහි දී ගිනි යනුවෙන් අර්ථවත් කරන්නේ ආහාරාපානාදිය පිසීමයි.එබැවින් ආහාරපානාදිය පිසීමේ දී ද අනවශ්‍ය ලෙස අපතේ යන ලෙස ඒවා නොපිස අවශ්‍ය පමණට පමණක් පිසිය යුතු ය.එසේ නොවුණ කල සිදුවන්නේ නාස්තියකි. අපතේ යෑමකි. එය ස්වාමියා උපයන වස්තුවට කරන නිසි ගෞරවයක් නොවන්නේ ය. එබැවින් ආහාරපානාදිය පිසීමේ සිට සියලු ගේ දොර සිදුවන සියලු කටයුතු සඳහා අරපිරිමැස්මෙන් කටයුතු කිරීම ගිනි පිරිමැසිය යුතුය යන්නනෙන් අර්ථවත් වේ.

අන්තෝ දේවතා නමස්සිතබ්බෝ - ඇතුළත දෙවියන් පිදිය යුතුය.

ඇතුළත දෙවියන් පිදිය යුතුය යන්නෙන් අදහස් කර ඇත්තේ තම ස්වාමියා හා විශේෂයෙන්ම ස්වාමියාගේ දෙමාපියන්ය. පතිකුලයට ගිය පසු බිරිඳ තම ස්වාමියාගේ දෙමාපියන්ට තමාගේම දෙමාපියන්ට මෙන් සැලකිය යුතුය. ඔවුන් ගෙදර දෙවියන් ලෙස සිතා කටයුතු කළ යුතු ය. එමෙන්ම ඔවුන්ට නිසි ගෞරව සැලකිලි ලබා දිය යුතු ය. එවිට ඔවුන් ද ඇය තමාගේම දියණියක් ලෙස සිතා කටයුතු කරනු ඇත. එම නිවසේ ස්වාමියාගේ වැඩිහිටි සහෝදර සහෝදරියන් සිටිත් නම් ඔවුන්ට ද නිසි අයුරින් සංග්‍රහ කළ යුතු ය.

ධනංජය සිටුතුමා තම දියණියට ලබාදුන් මේ ඔවදන් සියල්ලෙන්ම බලාපොරොත්තු වී ඇත්තේ තම දියණිය, වඩාත් චරිතවත්, ගුණවත් මෙන්ම යහපත් ස්වාමි දියණියක් කරලීම බව මනාව පැහැදිලි වෙයි. මෙම ඔවදන් වර්තමාන සමාජයේ ද පතිකුලයට යන දියණිවරුන් පිළිපදින්නේ නම් සුන්දර යුගදිවියක් ගොඩනැඟෙනු නොඅනුමාන ය.

මතු සම්බන්ධයි

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]