UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

ගිහි ගෙදරට බුදු බණ

කර්තෘ - වාසනා සුරංගිකා විතානගේ
ප්‍රකාශනය – සාහිත පොත් පියස
10/7, දේවානන්ද පාර, නාවින්න, මහරගම
මිල – රුපියල් 250/- යි

ජයග්‍රහණ අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් අනිවාර්යයෙන් ම අනුගමනය කළ යුතුම කරුණු කාරනා කිහිපයක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. “ගිහි ගෙදරට බුදු බණ” සරුසාර ජීවිතයකට ලෙන්ගතුව මග නොමග කියා දෙන අත්වැලක් වගේ ය. පුවත් පත් තීරු ලිපි රචනය, ගීත රචනය, ග්‍රන්ථ කරණය ඇතුළු නූතන ධර්ම සන්නිවේදන ක්ෂේත්‍රයේ නිරත ජන ප්‍රසාදය දිනූ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් සමඟ කළ ධර්ම සාකච්ඡා මෙහි අන්තර්ගත” යනුවෙන් එම ග්‍රන්ථයට පසුවදන සපයන මහාචාර්ය ඇලහේනේගම සුමනරතන හිමියෝ සඳහන් කරති. මාධ්‍යවේදිනි වාසනා සුරංගිකා විතානගේ මෙම කෘතියෙහි කතුවරිය වේ.


දිවිමග සනසන අමා දහම

කර්තෘ - පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංශ හිමි
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
101 සහ 102, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවත, කොළඹ 10
මිල – රුපියල් 280/- යි

සූරියවැව ජාතික පාසලේ ආචාර්ය හම්බන්තොට “සිංහගිරි” විහාරාධිපති විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් ගත් කතුවරයෙකු, විචිත්‍ර ධර්ම දේශකයකු ලෙස සමාජයේ ගෞරවයට පාත්‍රව වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේ නමකි.

“දිවිමග සනසන අමා දහම” මාතෘකා විසි අටක් ඔස්සේ බුදුදහම ජීවිතයට සහ සමාජයට වැදගත් වන ආකාරය එම කෘතියෙන් ඉදිරිපත් කෙරේ. කතු හිමියන්ගේ එම ප්‍රයත්නය මැනවින් සඵල වේවා.
 


මහ රහතුන් දැක ගනිමු

ත්‍රිපිටක දහමින් - 1
කර්තෘ - සරත්චන්ද්‍ර අමරතුංග
ප්‍රකාශනය – සාහිත පොත් පියස
10/7, දේවානන්ද පාර, නාවින්න, මහරගම
මිල – රුපියල් 250/- යි

“ධර්ම ඥානාභිලාෂී ජනයාට මෙමගින් ත්‍රිපිටකයෙන් හෙළිවන “මහ රහතන් වහන්සේ” පිළිබඳ දහම් කරුණු නිවැරැදිව ග්‍රහණය කර ගැනීමට මග පෙන්වන්ට මහ රහත් සංකල්පය පිළිබඳ මෑත යුගයේ පළවුනු විශිෂ්ටතම කෘතියක් ලෙස මෙය අගය කළ හැකියි.

බුද්ධ ධර්මයෙහි දාර්ශනික කරුණු පිළිබඳ මනා අවබෝධයක් හා හසළ දැනුමෙන් හෙබි සරත්චන්ද්‍ර අමරතුංග සූරීන් පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙන්හි ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකි.

පාලි සංස්කෘත සහ අට්ඨකතා රැසක් පාඨකයාට දායාද කර ඇති අමරතුංග මහතා විරචිත මෙම “මහරහතන් දැක ගනිමු” කෘතිය සුවහසක් දම් පිපාසිත ධර්මකාමීන්ට අමා දහරක් ම වනු නොඅනුමානය යනුවෙන් එම ග්‍රන්ථයට පසු වදන සපයන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හසලක සෝමරතන හිමියෝ පවසති.


දහම් දැනුම සඳහා සරළ සිංහලෙන් සූත්‍ර ධර්ම අධ්‍යයනය

කර්තෘ - ශාස්ත්‍රපති පී. වීරතුංග
ප්‍රකාශනය – වාසනා කුමාරි දිසානායක
ස්කොට්ලන්තය
මිල – රුපියල් 400/- යි

සූත්‍ර ධර්ම අධ්‍යයනය ග්‍රන්ථයෙහි පසුවදන සපයන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ එහි මෙසේ සඳහන් කර ඇත.

“ස්ථවිරවාදී බුද්ධ ධර්මයෙහි එන මෞලික සිද්ධාන්තයන් වන කර්මය, අනාත්මය, නිර්වාණය හේතුඵල ධර්මය හා විවිධ භාවනා ක්‍රම ආදිය පිළිබඳව ඉතා ගැඹුරින් මෙන්ම සංවාද ස්වරූපයෙන් විශ්ලේෂණාත්මකව සාකච්ඡා කෙරෙන සූත්‍ර රාශියක් දීඝ නිකායේ හා මජ්ඣිම නිකායට ඇතුළත් වෙයි. මේ අතරින් විවිධ ප්‍රස්තුතයන්ට ඇතුළත්ව තෝරාගත් සූත්‍ර කීපයක් මෙම ග්‍රන්ථයෙහි විමර්ශනයට මෙන්ම විවරණයට භාජනය කෙරෙයි.

දීර්ඝ කාලයක් සුනේත්‍රා මහාදේවි පිරිවෙනෙහි සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා පාලි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ද බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කර ලබා ඇති අත්දැකීම මෙන්ම පෙළ අටුවා ග්‍රන්ථ පරිශීලනය තුළින් ලැබූ අවබෝධය මෙම ග්‍රන්ථය රචනා කිරීමේ දී ශාස්ත්‍රපති පී. වීරතුංග මහතා විසින් උපයෝගී කර ගෙන ඇති බව පැහැදිලිව සඳහන් කළ යුතුය.

සූත්‍ර විමර්ශනයේ දී කතුවරයා අනුගමනය කර ඇති ක්‍රමවේද නිසා උසස් විභාගවලට පෙනී සිටින ශිෂ්‍යයනට මෙන්ම ධර්මාවබෝධය ලැබීමට බලාපොරොත්තු වන සාමාන්‍ය පාඨකයනට ද මෙම ග්‍රන්ථය එක සේ ප්‍රයෝජන ගත හැකි කෘතියක් වශයෙන් හැඳින්විය හැකි බවත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ එහි සඳහන් කරති.


වොෂින්ටන් දහම් සුවඳ

කර්තෘ -
ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නා හිමි

වොෂින්ටන් බුඩිස්ට් විහාරාධිපති මහරගම ධම්මසිරි නා හිමියන් විසින් එම ග්‍රන්ථය පිළිබඳ “පොත ගැන වචනයක්” යනුවෙන් දක්වා ඇති අදහස් මෙසේ ය.

“ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර හිමියන් 2012 වර්ෂයේ වෙසක් මාසයේ වොෂින්ටන් බුඩිස්ට් විහාරයට වැඩම කිරීම අප සැමගේ භාග්‍යයක් කොට සළකමු.

මෙහි වැඩ සිටි කාලය තුළ උන්වහන්සේ මෙහෙය වූ භාවනා වැඩසටහන් හා ධර්ම දේශනා අප හැමගේ ප්‍රසාදයට හේතු විය. එහි දහම් රසයෙන් වොෂින්ටන් විහාරය ප්‍රබෝධමත් වූ කාලයක් විය. සිරිකර හිමියන් ගේ ධර්ම දේශනා රසවත් ය, හරවත් ය, බුද්ධිගෝචරය, දිගු කාලයක් මනසේ රැදී පවතියි... ආදී වශයෙන් මහරගම ධම්මසිරි නාහිමියෝ එහි වටිනාකම පිළිබඳව අදහස් දක්වා ඇත.

අගනා ධර්ම දේශනා 17ක් එම ග්‍රන්ථයේ අඩංගු වේ.


අසිරිමත් ගන්ධාරය

පකිස්ථානයේ බෞද්ධ නටඹුන් සොයා ගිය ගමනක්
කර්තෘ - චන්දන විජේකෝන්
ප්‍රකාශනය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
661, 665, 675, පී. ද ඇස්. කුලරත්න මාවත, කොළඹ 10
මිල – රුපියල් 200/- යි

ගන්ධාර ශිෂ්ටාචාරය හා කලාව යනු ලෝක බෞද්ධ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී ම¼ග හැර යා නොහැකි විෂය ක්ෂේත්‍රයකි. පකිස්ථානයේ ඊසාන දිග ප්‍රදේශය තුළ මෙම ශිෂ්ටාචාරය මනාව පැතිරගොස් තිබුණි. ඒ ක්‍රි.පූ 10 වැනි සියවසේ සිට ක්‍රි. ව. 7 වැනි සියවස දක්වාය.

ගන්ධාර ශිෂ්ටාචාරය පදනම් කරගෙන ගොඩනැඟුණු කලා සම්ප්‍රදායන් කෙරෙහි බෞද්ධ නැඹුරුව බෙහෙවින් දක්නට ලැබේ. ඒ පිළිබඳ පර්යේෂණ කරන්නකුට නම් අධ්‍යයනය කළ යුතු වූ පෘථුල විෂය ක්ෂේත්‍රයක් ඒ අනුව නිර්මාණය වී තිබේ. පුවත්පත් කලාවේදී චන්දන විජේකෝන් මහතා අත ගසා තිබෙන්නේ මේ පර්යේෂණ කටයුත්තට යි.

ගන්ධාර තක්ෂිලා පුරාවිද්‍යා භූමියෙහි 2008 සහ 2011 වර්ෂවල සිදු කළ අධ්‍යයනයන් පාදක කර ගනිමින් “අසිරිමත් ගන්ධාරය” කෘතිය සම්පාදනය කිරීමට කතුවරයාට හැකිව තිබේ. ශාස්ත්‍රිය වශයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ඔහු තුළ තිබෙන අවබෝධයත්, කරුණු ගවේෂණය කිරීමේ උනන්දුවත් මේ කෘතිය තුළින් මනාව පිළිබිඹු වේ. මහා බ්‍රිතාන්‍ය, ස්විඩනය ආදි රටවල දී පුවත්පත් කලාව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබා ඇති චන්දන විජේකෝන් මහතා දැනට දිනමිණ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු වශයේ සේවය කරයි’. - නිලූෂා


පුර පසළොස්වක පොහොයක අසිරිය

කර්තෘ - ජම්මික ප්‍රබෝධනී වැලිකල
ප්‍රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
30, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ
මිල – රුපියල් 250/- යි

එම ග්‍රන්ථය පිළිබඳ පසු වදන සපයන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියෝ එහි මෙසේ සඳහන් කරති.

“ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනියක වූ ජම්මික ප්‍රබෝධනී වැලිකල මහත්මිය ගේ මෙම කෘතිය “පුර පසළොස්වක පොහොයක අසිරිය” පිළිබඳව අප විසින් දත යුතු වඩාත්ම වැදගත් මූලික තොරතුරු හෙළිදරව් කරයි. එබැවින් මෙම සිරස්තලය යටතේ වැඩිදුරටත් කරුණු හදාරන්නෙකුට මෙන්ම, බෞද්ධ පාඨකයන් සැමටද මෙය අත්පොතක් වැනියැයි ද කිව යුතුය. පොහෝ දිනවල උවසු උවැසියනට දහම් දෙසන අපේ දේශකයන් වහන්සේලාට ද මෙමඟින් ලබා ගත හැකි පෝෂණය අගය කළ යුතු වෙයි’ එසේ ම අපේ පාසල් හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජාවට ද මෙමගින් අගනා අත්වැළක් සපයා තිබේ. “පුර පසළොස්වක පොහොයක අසිරිය” ඓතිහාසිකත්වය හා ශාසනික වැදගත්කම පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීමට මෙමඟින් ඔවුනට අවස්ථාව ලැබෙයි”.... යනුවෙන් දේවාලේගම මේධානන්ද හිමියෝ සඳහන් කරති.

එමෙන් ම පොහොය දිනයෙහි අසිරිය විදහා දැක්වෙන සිතුවම් ශිල්පි සරත් නන්දකුමාරගේ සිතුවම් පෙළක් ද ඊට ඇතුළත් කර ඇත. එම ග්‍රන්ථය ජම්මික ප්‍රබෝධනී වැලිකල විසින් “බුදුසරණ” පුවත්පතෙහි පළකරන ලද ලිපි පෙළක එකතුවකි.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]