UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 4

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 4

1 කොටස

1.(අ) මහාදේව තෙරුන්ට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවන්නේ කවර හේතුවක් නිසා ද?

(ආ) මේ හිමියන් නිසා උද්ගත වූ විශේෂ සිදුවීම කුමක් ද?

2.(අ) ගෝකුලික නිකායයෙන් බෙදීගිය අලුත් ශාඛා දෙක නම් කරන්න

(ආ) මේ නිකාය දෙක පැන නැගීමට කවර කරුණක් හේතු වූවා සේ සැලකේද?

3.(අ) සර්වාස්තිවාදීන්ට සහාය වෙමින් ඔවුන්ගේ සංගායනාවට අනුග්‍රහ දැක්වූ භාරතීය රජතුමා කවරෙක්ද?

(ආ) මේ සංගායනාව පැවැත්වූ ප්‍රදේශ නම් කරන්න

4.(අ) ආචාර්ය ශාන්තිදේව පාදයන් අයත් වූයේ කවර මහායාන බෞද්ධ සම්ප්‍රදායකට ද?

(ආ) එතුමා ලියූ ග්‍රන්ථ අතුරින් දෙකක් නම් කරන්න.

5.(අ) බුදුරජාණන් වහන්සේගේ සහෝදර නන්ද කුමරුගේ පැවිදිවීම ආදි විස්තර ඇතුළත් කොට සංස්කෘත භාෂාවෙන් රචිත කාව්‍යයේ නම කුමක්ද?

(ආ) මෙහි කතුවරයා කවරෙක්ද?

6. (අ) සීහල සංඝ පරපුර බිහි වූයේ අග්නි දිග ආසියාවේ කවර රටකද?

(ආ) මේ කාලයේ දී යථෝක්ත රටේ සිටි රජතුමා කවරෙක්ද?

7. (අ) කල්‍යාණි ශිලා ලිපිය දක්නට ලැබෙන්නේ කවර රටක්ද?

(ආ) මේ ශිලා ලිපියේ නිර්මාතෘවරයා නම් කරන්න.

8.(අ) බුදුසමය පළමුවෙන්ම කොරියාවට රැගෙන ගිය චීන ජාතික භික්‍ෂූන් වහන්සේ නම් කරන්න

(ආ) මේ වකවානුවේදී කොරියාවේ විසූ පාලකයාගේ නම කුමක්ද?

9.(අ) වෛතුල්‍යවාදී මත ඛණ්ඩනය කිරීම සඳහා භාරතයේ සිට ලංකාවට වැඩම කළ පැවිදි ආචාර්යන් වහන්සේගේ නම කුමක්ද?

(ආ) මෙකල ශ්‍රී ලංකාව පාලනය කළ රජතුමා කවරෙක්ද?

10. (අ) පරමත්ථජෝතිකාවට පාදක වූ ත්‍රිපිටක ග්‍රන්ථය කුමක්ද?

(ආ) සංයුක්ත නිකායට ලියැවුණු අටුවාවේ නම කුමක්ද?

පිළිතුරු - 1. (අ) මහාදේව තෙරුන් ථෙරවාද භික්‍ෂූන්ට පටහැනිව අරහත් සංකල්පය පිළිබඳ කරුණු 5 ක් ඉදිරිපත් කිරීම.

(ආ) මහායාන අදහස්වල බීජ ජනිත වි නිකාය භේදයේ පදනම සකස්වීම, නිකාය භේදය ඇතිවීම.

2.(අ) බහුශ්‍රැතියෙන් , ප්‍රඥප්තිවාදියෝ

(ආ) කල්යාමේදී ඇති වූ අභිධර්මය පිළිබඳ ගැටලු හේතු කොට ගෙන මේ නිකාය දෙක බෙදී යන්නට ඇත.

3.(අ) කණිෂ්ක රජතුමා

(ආ) භාරතයේ කාශ්මීරයේ දී

4.(අ) මාධ්‍යමික බෞද්ධ සම්ප්‍රදායට

(ආ) ශික්‍ෂා සමුච්චය, සූත්‍ර සමුච්චය, බෝධිචර්යාකාරය

5.(අ) සෞන්දරා නන්ද කාව්‍යය

(ආ) භදන්ත අශ්ව ඝෝෂ ආචාර්යවරයා

6.(අ) බුරුමය

(ආ) අනෞරථ රජතුªමා

7.(අ) බුරුමය හෙවත් වර්තමාන මියන්මාරය

(ආ) ධම්මචේතිය රජතුමා

8. (අ) සුනන්දෝ හිමියන්

(ආ) කෝරෙයි රජතුමා

9. (අ) ජෝතිපාල නම් පැවිදි ආචාර්යවරයා

(ආ) පළමුවන අග්බෝ රජු

10. (අ) සුත්තනිපාත / ඛුද්දකපාඨ

(ආ) සාරත්ථප්පකාසිනී

11. (අ) තායිලන්තයට හෙවත් සියම් රටට බුදු දහම ලැබුණු අයුරු දක්වන්න.

පිළිතුර - තායිලන්තයට බුදුදහම ලැබුණු ආකාරය පිළිබඳව මත 4 ක් පවතී. එනම්,

1. සෝන, උත්තර හිමිවරුන් විසින් නකෝන් පටෝන් නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රි.පූ. 3 වන සියවසේ ප්‍රථම වරට බුදු සමය හඳුන්වා දුන් යුගය.

2. සුමාත්‍රාවේ පලම්බාන් රජු ක්‍රි.පූ. 700 දී පමණ මහායාන බුදු දහම ප්‍රචලිත කළ යුගය.

3. ක්‍රි.ව.1000 දී පමණ බුරුමයේ බෞද්ධ ප්‍රබෝධයක් උදා කළ අනවරත රජුගේ කාලයේ බුදු දහම ප්‍රචාරය කළ බව.

4. ලාංකික භික්‍ෂූන්ගේ අනුග්‍රහය ඇතිව බුදු සමය ප්‍රචාරය කළ බව.

(ආ) තායිලන්තය හා ශ්‍රී‍්‍ර ලංකාව අතර පවතින සම්බන්ධතා ගෙන හැර දක්වන්න.

පිළිතුර - තායිලන්තය හා ශ්‍රී‍්‍ර ලංකාව ථෙරවාද බෞද්ධ දෙරටක් වන බැවින් බුදු සමය පිරිහීමට පත්ව ඇති යුගවලදී දෙරටේම සහයෝගය තිබී ඇත. ක්‍රි.ව. 1361 දී පමණ තායිලන්ත භික්‍ෂු පිරිසක් ලක්දිවට පැමිණියහ. ලක්දිවට පැමිණි භික්‍ෂූන් බුදු දහම පිළිබඳව මැනවින් හදාරා උපසම්පදාව ලබා තායිලන්තයට වැඩම කළහ. ලංකාවේ ක්‍රමයට අනුව විහාර මන්දිර ,ධර්ම ශාලා, සංඝාවාස , දාගැබ් , බුද්ධ ප්‍රතිමා ආදිය නිර්මාණය කරනු ලැබේ. ‘සිංහල භික්‍ෂු වංශය’ නමින් සංවිධානයක් තායිලන්තයේ ඇත.

ලංකා ශාසන ඉතිහාසයේ බුදු දහමේ පරිහානියට පත් වූ අවස්ථාවේදී තායිලන්තයේ සහයෝගය ලබා ගෙන ඇත. වැලිවිට සංඝරාජ හිමි ලක්දිව ශ්‍රී විජයරාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව පළමු වරට සියමට දූත පිරිසක් යවා ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව තායිලන්තයේ ධාර්මික රජුගේ විශේෂ අනුග්‍රහය ලබා උපාලි හිමි ප්‍රධාන උපසපන් භික්‍ෂූන් 21 නමක්ද, සාමණේර භික්‍ෂූන් 08 නමක්ද, ඇමැතිවරු 03 දෙනෙක්ද ලංකාවට එවා මල්වතු මහා විහාරස්ථ සීමා මාලකයේදී වැලිවිට සරණංකර හිමි ප්‍රධාන සිහල භික්‍ෂූන් උපසම්පදා කොට යළිත් ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළහ. මේ අනුව ලංකාව හා තායිලන්තය ආගමික වශයෙන් සබඳතා පවතින රටවල් 02 ක් වශයෙන් පෙන්වා දිය හැක.

ඉ) තායිලන්තයේ සංඝ සංවිධානය හා පැවිදි ජීවිතය කෙසේ සකස් වී ඇත්දැයි විමසන්න.

පිළිතුර - ථේරවාදී බුදු දහම පවතින රටක් ලෙස සලකනු ලබන තායිලන්තයේ බුදු දහමේ ආරක්‍ෂාව හා නඩත්තුව රජය සතු වගකීමක් වුවත්, එරට භික්‍ෂූන් වහන්සේලාගේ නිදහස ඉන් සීමා වී නැත. සංඝරාජයන් වහන්සේ රජයෙන් පත් කරනු ලැබුවත් උන්වහන්සේ නායකත්වය දරන්නේ විවිධ මට්ටමේ සංඝ සංවිධානයක් මෙහෙයවීම සඳහාය. එරට පවතින සංඝ සංවිධාන නම්,

1.සංඝරාජයන් වහන්සේ

2.උත්තරීතර සංඝ සභාව

3.සංඝ මන්ත්‍රී මණ්ඩලය

4. ප්‍රාදේශීය පාලක මණ්ඩලය

5.භික්‍ෂු කොමසාරිස්වරු

6.දිස්ත්‍රික් කාරක සභා

7.ග්‍රාම සංඝ කාරක සභා යනු එම සංඝ සංවිධානයන්.

පැවිදි ජීවිතය ටික දිනක් හෝ ගත කිරීම තායි ජාතිකයන්ගේ සම්ප්‍රදායයි. පැවිදි වී ගත කරන කාලය තුළ රැස් කරන පින් දෙමව්පියන් සතු වේය යන විශ්වාසය නිසා ඔවුන් දරුවන් පැවිදි කරති. සමහර අය පැවිදි වන්නේ මළගිය ඥාතියෙකුට හෝ වෙනත් කෙනෙකුට පින් පැමිණවීමට ය. ටික කලෙකට හෝ පැවිදි වුවත් ඇතැම් අය ජීවිතාන්තය දක්වාම ගත කරති. පැවිදි කිරීම හා උපසම්පදා කිරීම උත්සවාකාරයෙන් සිදු වේ.පැවිදි වීමෙන් පසු ගිහි නම වුවද භාවිතා කළ හැකිය. පැවිදි ජීවිතය මෙන්ම සිවුරු හැරීම අවනම්බුවට කරුණක් නොවේ. සිවුරු අත්හැරීම ද උත්සවාකාරයෙන් සිදු කෙරේ.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]