UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිසිඳු වේදනාවක් නොදැනෙන්නේ ඇයි?

කිසිඳු වේදනාවක් නොදැනෙන්නේ ඇයි?

තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ලැබුණු එකම දරුවාට බොහෝ සෙයින් ආදරය කරන්නාසේම බිම්බිසාර රජතුමා ද සිය පුත්‍රයාට එලෙසම ආදරය කළේය. අජාසත්ත කුමරු මව්කුසේ සිටියදී මව්කුස පරීක්‍ෂා කර බැලූ ඇතැම් නිමිති පාඨකයන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ මව් කුසෙහි සිටින පිරිමි දරුවා අනාගතයෙහි තමන්ගේ පිය තුමන් මරණයට පත්කරනු ලබන බවයි. මහ රජතුමා දරුවාගේ අතෙහි හටගෙන පීඩා විඳින සැරව ගෙඩිය සහිත ඇඟිල්ල තමන්ගේ කට ඇතුළට දමා ගත්තේය. වේදනාවෙන් කෑගහන දරුවාගේ අතෙහි වූ විසර ගෙඩිය රජතුමාගේ කට ඇතුළේදීම පිපිරී ගියේය. දරුවාගේ ඇඬීම නතර විය. කට ඇර ඇඟිල්ල එළියට ගතහොත් නැවතත් දරුවාට වේදනාව දැනේවි යැයි සිතු රජතුමා විසර ගෙඩියෙහි වූ සියලු සැරව පිළිකුලෙන් තොරව ගිල දැම්මේය. පියතුමා එසේ කළේ මේ දරුවා ලොකු වී කවදා හෝ දවසක රජකම ලබාගැනීමේ තණ්හාවෙන් තමා මරණයට පත්කර දමනු ලබන බව හොඳ හැටි දැනගෙනය

බිම්බිසාර මහ රජතුමාට සිටියේ එකම එක පුත්‍රයෙකි. එම පුතාගේ නම අජාසත්තය. තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ලැබුණු එකම දරුවාට බොහෝ සෙයින් ආදරය කරන්නාසේම බිම්බිසාර රජතුමා ද සිය පුත්‍රයාට එලෙසම ආදරය කළේය. අජාසත්ත කුමරු මව්කුසේ සිටියදී මව්කුස පරීක්‍ෂා කර බැලූ ඇතැම් නිමිති පාඨකයන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ මව් කුසෙහි සිටින පිරිමි දරුවා අනාගතයෙහි තමන්ගේ පිය තුමන් මරණයට පත්කරනු ලබන බවයි. එය අසා අතිශයින් කම්පාවට හා පීඩනයට පත් රජබිසව දරුවා ගබ්සාකර දැමීමට සිතා උත්සාහයක් කළාය. කුසෙහි සිටින දරුවා උපත ලැබූ පසු තමා මරණ බව දැන දැනත් බිම්බිසාර රජතුමා නූපන් දරුවාට දැක්වූ සෙනෙහස නිසා මවට රැකවල් ලා දරුවා ගබ්සා කරවීම වැළැක්වූයේය.

අජාසත්ත කුමරු ලැබුණු පසු එම දරුවාගේ මහපට ඇඟිල්ලේ හටගත් විසර ගෙඩියක් නිසා කුමරු ළදරු වියේදී බොහෝ පීඩා වින්දේය. අඬන දරුවා ඇකයෙන් ගෙන සිංහාසනයේ සිටි රජතුමාට දුන් බිසව දරුවා විසර ගෙඩියේ වේදනාවෙන් අඬන බව පැවසුවාය . ඒ මොහොතේ දරුවා අතට ගත් මහ රජතුමා දරුවාගේ අතෙහි හටගෙන පීඩා විඳින සැරව ගෙඩිය සහිත ඇඟිල්ල තමන්ගේ කට ඇතුළට දමා ගත්තේය.වේදනාවෙන් කෑගහන දරුවාගේ අතෙහි වූ විසර ගෙඩිය රජතුමාගේ කට ඇතුළේදීම පිපිරී ගියේය. දරුවාගේ ඇඬීම නතර විය. කට ඇර ඇඟිල්ල එළියට ගතහොත් නැවතත් දරුවාට වේදනාව දැනේවි යැයි සිතු රජතුමා විසර ගෙඩියෙහි වූ සියලු සැරව පිළිකුලෙන් තොරව ගිල දැම්මේය.පියතුමා එසේ කළේ මේ දරුවා ලොකු වී කවදා හෝ දවසක රජකම ලබාගැනීමේ තණ්හාවෙන් තමා මරණයට පත්කර දමනු ලබන බව හොඳ හැටි දැනගෙනය. ලොකු මහත් වූ අජාසත්ත කුමරුට ඇසුරට ලැබුණේ දේවදත්ත හාමුදුරුවන්ය. උන්වහන්සේත් ඒ වන විට හිටියේත් බලවත් අධිෂ්ඨානයකින් යුතුවය. ඒ අධිෂ්ඨානය මුදුන් පත්කරවා ගැනීම සදහා සංවිධාන කටයුතු ද ටිකෙන් ටික සුදානම් කරමිනි. දේවදත්ත හිමියන්ගේ අධිෂ්ඨානය වූයේ බුදුරජාණන් වහන්සේ මරණයට පත්කොට බුද්ධත්වය ලබාගැනීමය. තමා බුදු වු පසු රාජ තන්ත්‍රයෙහි අනුග්‍රහය ලැබීමට කෙනකු අවශ්‍ය වන නිසා එම කාර්යය ඉෂ්ට කරගැනීම සඳහා අජාසත්ත කුමරු එහි යැවීය. දේවදත්ත හිමියන් අජාසත්ත කුමරුට කීවේ ඔබ දැන් හොඳටම තරුණයි. ඔබේ පියා දැන් හොඳටම මහළුයි. ඒත් ඔහුගේ සිතේ තිබෙන තණ්හාව නිසා රජකම දැන්මම ඔබට බාරදෙන පාටක් නැහැ. මහළු වුණාට පසුව රජකම් කරල කුමටද? ඔබ දැන්ම තරුණ කාලයේ රජකම ලැබෙන්නේ නැත්නම් ඒ සඳහා සටන් කළ යුතුය යන්න කියාය. පියා පිළිබඳ සිතේ ආදරය තිබුණත් තරුණ අජාසත්තට දේවදත්ත ගේ කතාව ඇත්තක් බව නිතර නිතර සිතෙයි. මේ සිතිවිල්ල නිතර නිතර කල්පනා කිරීමට යාම නිසා සිය පියතුමන් කෙරෙහි පැවැති ආදරයද කෙමෙන් කෙමෙන් දුරස් වී යයි. තාත්තා මට රජකම දෙන්නේ නෑ.මේ තරුණ කාලයේ නැති රජකම වුවත් තලතුණා වූ විට ලැබිල කුමටද? ආදි වශයෙන් නිතර සිතන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මැරීමට දුනුවායන් යෙද වූ ආරංචිය අසා අජාසත්ත ද සිය පියා මැරවීමට කටයුතු සුදානම් කළේය. ඒ සඳහා යුහුසුළු වුණා. ඒ අනුව පියාණන් සිර කර දඟගෙයි දමා මුරටත් සේවකයෝ රඳවා බලෙන්ම රජ කිරුළ හිසේ පළඳවාගෙන රටේ රජ වුණා. දේවදත්ත හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ මැරවීමට ගිජ්ජකූට පර්වතය මුදුනට නැග පර්වතය පාමුල සක්මන් බවුන් වඩන බුදුරදුන් වෙත ගල්පෙරළනු ලැබුවේ එම කාලයේදී ය. දේවදත්තට බුදුගුණ මහිමය වටහා ගැනීම අමාරු වුණාට මහ පොළොවටත් ඒ බුදුගුණ වටහාගන්න පුළුවන් වුණා.

මහ පොළොවෙන් තව කලුගලක් මතුවෙලා බුදුරජාණන් වහන්සේ වෙතට පෙරළාගෙන එන කලු ගලේ හැපුණා. ඒ පිළිබඳව

ගල මුනිදු මත්තේ
හෙත කිසිවෙක් නොදත්තේ
ගලකි පිළිගත්තේ
එහෙවු ගුණ මොහු නොපිළිගත්තේ

පොළොවෙන් මතුවුණ කලු ගලෙහි හැපුණු පෙරළීගෙන එන ගලෙන් පතුරක් ගැලවී විසිවී ගොස් බුදුරජාණන් වහන්සේගේ මහපට ඇඟිල්ලේ වැදී තුවාල විය. බුදුරජාණන් වහන්සේගේ එම තුවාලය සඳහා ප්‍රතිකාර කරනු ලැබුවේ ජීවක නම් වු විශේෂඥ වෛද්‍යවරයකු විසිනි.

බුදුරජාණන් වහන්සේ ජීවක වෙදදුරාගේ අඹ වනයට ගොස් ප්‍රතිකාර ගනු ලැබූහ. ජීවක වෛද්‍යවරයාද ඉතාමත් සතුටෙන් බුදුරජාණන් වහන්සේගේ කකුලට බෙහෙත් බැඳ මෙසේ ප්‍රකාශ කළේය. බුදුරජාණන් වහන්ස! පිළියම් ලැබීමට මිනිසෙක් ඇතුළුනුවර ඇත.මම එහි ගොස් ඔහුට ප්‍රතිකාර කොට වහා නැවත එමි ඇවිත් මේ බෙහෙත ලිහා තත්වය පරීක්‍ෂා කරමි යනුවෙනි. එසේ කියා ගියද ජීවක වෛද්‍යවරයා කී සැනින් ආපසු එන්නට ලැබුණේ් නැත. එයට හේතු වූයේ නුවර වාසල් දොරවල් සියල්ල වැසීමට කලින් ආපසු ඒමට නොහැකි වු නිසාය. බුදුරජාණන් වහන්සේට කී වචනය බොරු වීම නිසා බඳින ලද බෙහෙත බුදුසිරුරෙන් ගැලවීමට නොහැකි වූ නිසාත් ජීවක වෛද්‍යවරයා රාත්‍රිය මුළුල්ලෙහි අතිශයින් කම්පාවට පත්විය. ජීවක වෙදදුරාට තමන් වහන්සේ වෙත පැමිණීමට නොහැකි වන බව දැනගත් බුදුරජාණන් වහන්සේ අනඳ හිමියනට කියා බැඳී බෙහෙත් පටිය මුදවා ගත්තේය.පසුදා අලුයම පැමිණි ජීවක වෛද්‍යවරයා කලබලයෙන් තමන්ගෙන් වූ අතපසුවීම පිළිගෙන බුදුරජාණන් වහන්සේ ළග වැද වැටෙද්දී තමන් වහන්සේ ඒ සිදුවන සිද්ධි සියල්ල දැනගෙන සිටි බවත් අනඳ හිමියන් ලවා අවශ්‍ය කටයුතු කරගත් බවත් නැවත ඉපදීමක් නැති ශෝකය රහිත සියලු කෙලෙස් සිඳලු රහතන් වහන්සේලාට කිසිදු වේදනාවක් දැවිල්ලක් නොදැනෙන බවට වදාළ සේක.

හේමමාලා රන්දුනු

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]