Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
කලාත්මක අතින් වැදගත්ම ‘සඳකඩ පහණ’ දෙක පිහිටා ඇති ස්ථානය කොතැන්හි ද? ඒ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
ශ්‍රී ලාංකික විශිෂ්ටතම කලාකෘතියක් වන සඳකඩ පහණෙහි මූලික අවස්ථා දෙකම අනුරාධපුර අභයගිරි පෙදෙසේ පිහිටා ඇත. එයින් විශාල සඳකඩ පහණ පංචාවාස ඒකකයේ මැද ප්‍රධාන ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩි පෙළ අග වෙයි.

දෙවැන්න බිසෝ මාලිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලෙහි දොරටුවෙහි පඩිපෙළ අග වෙයි. ඉහත සඳහන් සඳකඩ පහණ්වල ගිනිදැල් සිව් පා පන්තියලොකු ලියවැල හංසජාතිය – කුඩාලියවැල හා මැද පද්මය වෙයි.

ප්‍රශ්නය
විනය, සූත්‍ර, අභිධර්මය යනුවෙන් සුවාසූ දහසක් ධර්මස්ඛන්ධය, පිටක වශයෙන් වෙන් කිරීම සිදුවූයේ කුමන අවස්ථාවේ ද? මෙම අවස්ථාවෙහි දී මූලිකත්වය ගෙන කටයුතු කළෝ කවරහුද?

පිළිතුර
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු තෘතිය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති පළමුවන සංඝායනාවෙහිදීය. රජගහනුවර වේහාර පර්වත පාමුල ‘සප්ත පර්ණී’ නම් ගල්ගුහා දොර ඉදිරි පස වු ශාලාවෙහි ධර්මධර විනයධර මහ රහතන් වහන්සේ පන්සියයක් නමකගේ සහභාගිත්වයෙන් සත් මසක් ගතවීමෙන් අවසන් විය.

ප්‍රශ්නය
ප්‍රධාන ඉරියව් හතරක් පිළිබඳව නිරතුරුවම බුදුරජාණන් වහන්සේ විසින් තම දේශනාවලදී දක්වා තිබේ. මේ සතර ඉරියව්ව කුමක්ද?

පිළිතුර
ප්‍රධාන ඉරියව් 04 ක් ඨිතො - සිටීම, නිසින්නො හිඳ ගැනීම, සයන්තො - හාන්සිවීම (නිදීම) ගච්ඡන්තො - ගමන් කිරීම, මේ සතර ඉරියව්වෙහි දීම සති සම්පජඤ්ඤය (සිහිය පිහිටුවාගෙන) වැඩීම භාවනා ක්‍රමයෙහි පැහැදිලි කොට ඇත.

ප්‍රශ්නය
ලංකා ශාසන ඉතිහාසයෙහි ඉතා සුවිශේෂී පුවතක් වංස කතාවල මෙසේ ස¼ඳහන් වෙයි.

මම තෙරුවන් සරණ ගියෙමි. බුද්ධ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමයාණෙනි, ඔබ ද සිත් පහදවන ඒ තෙරුවන් සරණයන්න මෙම ප්‍රකාශය ඇතුළත් එම පුවත පිළිබඳව කෙටි සටහනක් දක්වන්න.

පිළිතුර
දඹදිව අශෝක මහරජතුමන් විසින් මහින්දා ගමනයට කලින් ලක් රජු වෙත එවන ලද මෙම දහම් පණිවිඩය මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිසේ කාර්යභාරය පිළිබඳව කළ පෙරවදනක් ලෙස සැලකිය හැකි ය.

ප්‍රශ්නය
නිර්වාණය කෙලෙස් සංසිඳවීම හේතුවෙන් ලැබෙන වූපසම සුවයකි (තෙසං වූප සමසුඛො) නිර්වාණ පිළිබඳ මෙම විවරණය පැහැදිලි කරන්න.

පිළිතුර
වූපසම සුවය හා සමාන්තරව යෙදෙන අනෙක් වචනය ‘වෙදයිත’ යන්නයි. එයින් අර්ථවත් වන්නේ කිසියම් තෘෂ්ණාවක් කැමැත්තක් පිනවීම සඳහා ලබන්නා වූ ලෞකික වූ විඳීමකි. ආශ්වාදයකි. ඉන්ද්‍රියබද්ධ වූ වින්දනයකි. මෙම වෙදයිත ලෞකික සුවය හේතුඵල සමවායන්ගේ නිපදවීමකි. ඒවා කල් නොපවතී. අනිත්‍යය, රෝග පීඩාදියෙන් දුක් සහිත වේදනාවෝය.

බිඳෙන සුළු ආහාරයෙන් යැපෙන මෙබඳු දේ කෙරෙහි ඇලුම් නොකළ යුතු ය. ඉන් මිදීම සැනසිල්ලකි. එය පරම සුවයකි. ‘පරමං සුඛං’ එය නොනැසෙන සුළුය. අජාතය අනර්මිය ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්නා වූ එය අසංඛතය. එම සුවය කුමක්දැයි වචනයෙන් ප්‍රකාශ කළ නොහැකිය. එය තම තමා විසින්ම පසක්කරගත යුතු ය. (පච්චත්තං වෙදිතබ්බෝ)

ප්‍රශ්නය
ඉපැරැණි ශ්‍රී ලංකාවේ මුල්වරට දළදා පෙරහරක් පැවැත් වූ බවට වංශකතාවල දක්නට ලැබෙයි. මේ දළදා පෙරහර පැවැත්වීමට මූලිකව කටයුතු කළ රජතුමා කවුද? පෙරහර පවත්වන ලද ඓතිහාසික ස්ථානය කුමක්ද?

පිළිතුර
කිත්සිරි මෙවන් රජු දවස අනුරාධපුර (අභියුත්තර විහාර) අභයගිරි විහාරය මූලික කොටගෙන පෙරහර පැවැත්විණි.

ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයේ ඉතා සුවිශේෂී අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ඉන්ද්‍රිය සංවරයෙන් ද ප්‍රඥාවෙන්ද, උතුම් හැසිරීමෙන් ද, යන මෙබඳු ගුණ දහමින්ම බ්‍රාහ්මණයෙක් වේ. මෙසේ පව් බැහැර කළ පුද්ගලයා උතුම් බමුණෙකි.

මේ බුද්ධ දේශනාවට පාදක වූ සිදුවීම් පැහැදිලි කරන්න.

පිළිතුර
සුනීත රජගහනුවර විසූ සැඩොල් කුලයට අයත් කසළ ශෝධකයෙකි. රහත් වීමට හේතු සම්පත් ඇතියෙකු බව දුටු බුදුරජාණන් වහන්සේ මහ සඟුන් පිරිවරා පිඬු පිණිස හැසුරුණු සේක. අතරමඟදී මුණ ගැසී මොහොතක සාකච්ඡාවකින් පසු භාග්‍යවතුන් වහන්සේ වෙතින් සුනීත භික්‍ෂුවක් විය. පසුව භාවනා වඩා පඤ්චාභිඤා උපදවා රහතන් වහන්සේ වෙත පැමිණ වැඳුම් පිදුම් කළහ.එවිට බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් දේශනාව කළ සේක.