Print this Article


ශ්‍රමය පිළිබඳ බොදු පිළිවෙත

ශ්‍රමය පිළිබඳ බොදු පිළිවෙත

මෙහි පළමු කොටස මැදින් පුර පසළොස්වක දා පත්‍රයේ පළ විය

ශ්‍රම ඇගැයුමක් මත ධනය ලබා ගත යුතු ක්‍රම වේදයක් ද බුදුදහම තුළින් අවධාරණය කර ඇති අතර, තමාට මෙන්ම අන් සමාජගත පුද්ගලයනට ද උපකාරී වේ. ධම්ම සංකල්පයට යටත්ව සිය ශ්‍රමය මෙන්ම අන් ශ්‍රමයද තබා ගනිමින් නිෂ්පාදන කාර්යයන්හි නිරතවීමට අදාළ උපදේශනය බුදුදහමින් ලබාදෙයි. ශ්‍රම යෝජනය කළ යුතු දැහැමි කාර්යයන් සේ ද බුදුන්වහන්සේගේ ප්‍රසාදයට ලක් වූ වෘත්තින් රැසක් ද වේ. කෘෂිකර්මය (කසියා), වෙළෙඳාම (වාණිජ), පශු පාලනය (ගොරක්ඛ) ධනු ශිල්පය, රාජ්‍ය සේවය, ශිල්ප කලාව (සිප්පඤ්ඤතරෙන) වැනි කර්මාන්ත දැහැමි ධන මූලෝපායන මාර්ග සේ පෙන්වා දී ඇත. එමෙන්ම ගොවිතැන ගැන බෞද්ධ ඉගැන්වීම් රැසක් ඇති අතර කර්මාන්ත අතර මූලික ස්ථානයක් ද දැහැමි කාර්යයක් සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වූ කර්මාන්තයකි. බොහෝ අවස්ථාවල ගොවියා හා ගොවිතැන කෙත උපමා උපයෝගී කොට ගෙන ඇත. කසිභාරද්වාජ සූත්‍රය මීට නිදසුනකි. අවිහිංසක පදනමක් ඇති සතුටුවිය හැකි එක් ප්‍රධාන ධනෝපායන මාර්ගයක් ලෙසින් කෘෂිකර්මාන්තය බුදුරදුන්ගේ පැසසුමට ලක්ව ඇති බව මෙම සූත්‍රාන්ත ගත තොරතුරු තුළින් සනාථ වේ. ගව පාලනය ද බුදුරදුන්ගේ ප්‍රසාදයට ලක් වූ වෘත්තියකි. ගව පාලකයෝ ද ගවයෝ ද ගව පාලනය ගැන ද සූත්‍රවල දැක්වේ. ගවයන් බලන ගොපල්ලකු (ගොපාවගාවො) වැනි වූ උපමා බුදුරදුන් සිය දහම පැහැදිලි කිරීමේ දී භාවිත කොට ඇති බව ධම්මපද පාලියෙන් පැහැදිලි ය. මිනිසාගේ පැවැත්මට අදාළ පස්ගෝරස ලබාදෙන ගවයා තරම් සම්පතක් ද නැති බව දේවතා සංයුක්තයේ දැක්වේ. මිනිසා සහ එක්ව ජීවත්වන සහායකු ලෙසින් ගවයා දක්වා තිබේ. ගවයන් අපගේ මිතුරන් වන බැවින් ඔවුන් නොනැසිය යුතුය යන්න සුත්තනිපාතයේ දී බුදුරදුන් විසින් පැහැදිලි කොට තිබේ. දරුවන් සේ හදාවඩාගත යුතුය යන අදහස ද බ්‍රහ්මණ ධම්ම සූත්‍රයෙන් අවධාරණය කෙරේ.

වෙළෙඳාම ද දැහැමි ධන උපායන මඟක් සේ පෙන්වා දුන් අතර දැහැමි වෘත්තියක් කර ගැනීමට නම් පඤ්ච වෙළෙඳාමකින් වෙන්විය යුතු බව වාණිජ්ජා සූත්‍රයේ දැක්වෙයි. සිය ශ්‍රමය හෝ අන්ශ්‍රමය මෙම වෘත්තීන්හි යෙදීමේ දී දැහැමි බව සුරැකෙන පරිදි කළ යුතුය. තහනම් පඤ්ච වෙළෙඳාම නම් සතුන් වෙළෙඳාම (සත්ත වාණිජ්ජා), අවිආයුධ වෙළෙදාම (සත්ථ වාණිජ්ජා), මස් වෙළෙදාම (මංස වාණිජ්ජ), මත්පැන් වෙළෙඳාම (මජ්ජ වාණිජ්ජා) හා විස වෙළෙඳාම (විස වාණිජ්ජා) වේ. තෙරුවන් සරණ ගිය පිරිස් මෙබඳු වූ වෙළෙඳාමෙන් වැළකිය යුතු වේ. (පඤ්ච වාණිජ්ජා උපාසකෙන අකරණියාති සම්මා ආජීවය නොගැළපෙන ලෙසින් වංචනිකව හා කූට ලෙසින් හොරට භාණ්ඩ කිරුම්- මිණුම් කිරීම හොඳ භාණ්ඩ යැයි පවසමින් නරක් වූ හෝ බාල භාණ්ඩ විකිණීම ආදි වශයෙන් වංක ලෙස හා වංචනික ලෙසින් පොරොන්දු කඩකරමින් ව්‍යාපාරයන්හි යෙදීම බුදුසමය අනුමත නොකරන බව සුමංගල විලාසිනියෙන් පැහැදිලි වේ. අනාකුල කර්මාන්තයෙහි නිරතව කටයුතු කිරීම දියුණුවට මඟක් සේ (අනාකුලා ච කම්මන්තා) මංගල සූත්‍රය ගෙනහැර දක්වයි.