Print this Article


දහම් පාසල් ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

දහම් පාසල් ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 2

1 කොටස

1. අ. ධර්ම ගුත්තික හා මහිංසාසක යන අය තම ආදි පුරුෂයා ලෙස සලකුණු ලබන තැනැත්තාගේ නම ලියන්න.

ආ.මේ ආදී පුරුෂයා ප්‍රථම සංගීති කාරකයන්ට ඉදිරිපත් කරන ලද ප්‍රකාශය කුමක්ද?

2.අ. ‘මහා දේව‘ නමැති මහායාන ආචාර්යවරයාට බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් තැනක් හිමි වන්නේ කුමන හේතුවක් නිසාද?

ආ. හීන අධිගමයක් ලෙස අරිහත්වය හඳුන්වාලමින් පළ වූ මතය ඛණ්ඩනය කෙරෙන ථේරවාදීන්ගේ අගනා ග්‍රන්ථය කුමක්ද?

3.අ. ද්විතීය ධර්ම සංගීතියට මුල් වූ දස වස්තුව ඉදිරිපත් වූයේ ථෙරවාදීන්ගේ කවර සම්මතයකට විරෝධය පළ කිරීමක් වශයෙන් ද?

ආ) මෙම දස වස්තුව පිළිගත්තේ කවුරුන් විසින්ද?

4. අ). වාත්සීපුත්‍ර භික්‍ෂුව ඉදිරිපත් කළේ යැයි සැලකෙන ‘අලුත් මතය’ වූයේ කුමක්ද?

ආ) මෙම මතයට ප්‍රතිවිරුද්ධව ථෙරවාදීන් පළ කළ අදහස කුමක්ද?

5. අ) ගෝකුලික නමැති නිකාය ප්‍රභවය වූයේ කවර නම් ප්‍රධාන නිකායක් ආශ්‍රයෙන්ද?

ආ) මෙම නිකායන්ගේ මූලික මතය වූයේ කුමක්ද?

6. අ) ‘දින්නාග‘ නමැති භික්‍ෂුව සැලකෙන්නේ කවරෙකුගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමක් ලෙසින් ද?

ආ) මහායාන බුදු දහමේ උන්නතියට උන්වහන්සේගෙන් සැලසුන සේවය කුමක්දැයි ලියන්න.

7. අ) බුරුම රාජ්‍යයෙහි කල්‍යාණ නමැති ශිලා ලිපිය පිහිට වූ රජතුමාගේ නම ලියන්න.

ආ) කල්‍යාණ ශිලා ලිපියෙන් අනාවරණය කරනු ලබන්නේ කුමක්දැයි ලියන්න.

8. අ) භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ චීන ජාතික භික්‍ෂුවගේ නම ලියන්න.

ආ) මෙම චීන ජාතික භික්‍ෂුව බුදු දහමේ ව්‍යාප්තිය උදෙසා කළ සේවය කුමක් ද?

9. අ) සුත්ත නිපාතයට ලියා තිබෙන පාලි අටුවා ග්‍රන්ථයේ නම ලියන්න.

ආ) හෙල අටුවා නමින් හැඳින්වෙන ලක්දිව ප්‍රධාන අටුවා ග්‍රන්ථ වල නම් ලියන්න.

10. අ) හිඳි බුද්ධ ප්‍රතිමාවල යොදා තිබෙන ධ්‍යාන මුද්‍රාවෙන් පිළිබිඹු කරන්නේ කිනම් ලක්‍ෂණයක්ද?

ආ) ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුද්ධ ප්‍රතිමා දක්නට ඇති ස්ථාන 02 ක් නම් කරන්න.

පිළිතුරු

1. අ) පුරාණ තෙරුන්ය.

ආ) බුදුරදුන් හමුවේ දී අසන ලද ධර්මය විනය ඒ ආකාරයෙන්ම පිළිගන්නා බව.

2. අ) පංච වස්තුවක් ඉදිරිපත් කිරීම නිසාය.

ආ) කථාවත්තූපකරණය යි.

3. අ) අලුතින් ශික්‍ෂා පද නොපැන වීමට හා පැන වූ ශික්‍ෂා පද තබා ගැනීමට ගත් තීරණය පාදක කොටගත් සංරක්‍ෂණ වාදී සම්මුතියයි.

ආ) වජ්ජිපුත්තක භික්‍ෂූන් ය.

4. අ) පුද්ගල සංකල්පයයි

ආ) පරමාර්ථික වශයෙන් පුද්ගලයෙකු නොමැති බවයි.

5.අ) මහා සාංඝික නිකායෙන් ය.

ආ) පංචස්කන්ධය ගිනි අඟුරු ගොඩක් මිස වෙන දෙයක් නොවන බවත් මේ අනුව කැප යැයි කිව නොහැකි කිසිවක් ලෝකයේ නොමැති බවත් එය දුක් රැසක් බවත් අවධාරණය කිරීමය.

6. අ) වසු බන්දු පාදයන්ගේ ය.

ආ) බෞද්ධ තර්ක ශාස්ත්‍රය දියුණු කිරීම, අභිධර්ම කෝෂ ව්‍යාඛ්‍යානය හා ප්‍රමාණ සමුච්චය රචනා කිරීම.

7. අ) ධම්මචේතිය රජතුමා ය.

ආ) ලංකාවේ උපසම්පදාව ලැබූ බුරුම භික්‍ෂූන් සිය රටට වැඩමවා උපෝසථකර්ම කිරීම සඳහා කල්‍යාණි ශිලා ලිපි නමින් සීමා මාලකයක් ඉදිකරන ලද බවත් බුරුම භික්‍ෂූන් එහි උපසම්පදාව ලැබූ බවත් ය.

8. අ) හියුං සියෑං භික්‍ෂුවය.

ආ) බෞද්ධ ග්‍රන්ථ 1335 ක් චීන බසට පරිවර්තනය කිරීම හා දේශාටන වාර්තාවක් පිළියෙළ කිරීමයි.

9. අ) පරමත්ථ ජොතිකාව යි.

ආ) මහා අට්ඨකථා, මහා පච්චරි අට්ඨකථා, කුරුන්දි අට්ඨ කතා යනුයි.

10. අ) බද්ධ පරියාංකයෙන් සිටීම, උඩුකය කෙලින් තබා ගැනීම, කමටහනට සිත යොමු කිරීම.

ආ) තොලුවිල හා අනුරාධපුරයේ අභයගිරි ප්‍රදේශයේ ඇති සමාධි ප්‍රතිමා වහන්සේ.

02. අ) මහායාන බුදුදහමෙහි දැක්වෙන පාරමිතා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.

ථෙරවාදී බෞද්ධයෝ බුද්ධ කාරක ධර්ම යනුවෙන් පාරමිතාවන් හඳුන්වති. මහායාන බුදු සමයේ මුල් යුගයේ පාරමිතා 06 ක් තිබුණ අතර පසුව ඒවා 10 ක් බවට වර්ධනය විය. මහායාන පොත්පත් වල සඳහන් වන පාරමිතා 10 මෙසේ ය. දාන පාරමිතා, ශීල පාරමිතා, ශාන්ති පාරමිතා, වීර්යය පාරමිතා, ධ්‍යාන පාරමිතා, ප්‍රඥා පාරමිතා, උපාය කෞෂල්‍ය පාරමිතා, ප්‍රණිධාන පාරමිතා, බල පාරමිතා, ඥාන පාරමිතා යනු එම 10 යි.

මෙම පාරමිතාවන්ගෙන් ද ප්‍රධාන වන්නේ ප්‍රඥා පාරමිතාවයි. මෙහි ශ්‍රේෂ්ඨත්වය විදහා පෑම සඳහා ලියන ලද ප්‍රඥා පාරමිතාව නමින් වූ විශාල ධර්ම සාහිත්‍යයක් ද වේ. බුදු බව ලැබීමට අනිවාර්යයෙන්ම ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කළ යුතුම වේ.

ආ) මහායාන බුදුදහමෙහි දැක්වෙන පුද්ගල සංකල්පය නම් කුමක්ද?

වාත්සී පුත්‍ර නම් භික්‍ෂුවගේ නව මතය පුද්ගල සංකල්පය වේ. පරමාර්ථික වශයෙන් පුද්ගලයෙකු ඇත යන්න උන්වහන්සේගේ මතය වීය. ධර්මධර මහා තෙරවරු මේ මතය ප්‍රතික්‍ෂේප කරති. පරමාර්ථික වශයෙන් පුද්ගලයෙකු නොමැති බවට ධර්මධර තෙරවරු කථාවත්ථුප්ප්‍රකරණයහිලා කරුණු ඉදිරිපත් කළහ. එසේ වුවද වාත්සීපුත්‍ර හිමියන්ගේ අදහස පිළිගත් පිරිසක් ද වූහ. මහායාන බුදුදහමේ පුද්ගල සංකල්පය පිළිබඳව දක්වා ඇත්තේ මේ ආකාරයෙන් ය.