Print this Article


අසූ අට වන විය සපිරි උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය, පරියත්තිධර, සාහිත්‍ය ශිරෝමණී ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත

අසූ අට වන විය සපිරි උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය, පරියත්තිධර, සාහිත්‍ය ශිරෝමණී ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත

තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහා නා හිමි

ආශීර්වාදාත්මක උපහාර පූජෝත්සවය වලපනේ නිල්දණ්ඩාහීන්න අභිනවාරාමය මූලික කරගෙන ශ්‍රී සුමංගල ජාතික පාසලේ දී

ශ්‍රී සම්බුද්ධ සාසනය එදා සිට අද දක්වා දීප්තිමත්ව බැබළුනේ සිල්වත් ගුණවත් ධර්ම විනයධර සුපේෂල ශික්ෂාකාමී මහතෙරවරුන් නිසාය. ඊට අපේ සාසන වංශ කතාව සාක්ෂි දරයි. උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධූරය හොබවන අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහ නාහිමිපාණන් වහන්සේ නූතන යුගයේ ශ්‍රී‍්‍ර ලංකා බුද්ධ සාසනයේ මහා ථෙර නාමාවලියේ බැබළෙන අගනා පණ්ඩිත රත්නයක් ලෙස සැළකිය හැකියි. උන් වහන්සේ මාර්තු මස 23 දිනට අසු අට වෙනි විය සපුරති.

මධ්‍යම පළාතේ නුවරඑළිය වලපනේ තෙරිපැහැ නම් ඓතිහාසික පිටිසර ග්‍රාමවරයේ උන් වහන්සේ උපත ලැබූහ. ඓතිහාසික භුගෝලික හා සාමාජික ලක්ෂණ වලින් හෙබි වලපනේ තෙරිපැහැ උඩකුඹූරේ වත්තේ පී.එල්. ඩිංගිඅප්පුහාමි උපාසක මහතා සහ මීපනාවේ රත්නායක මුදියන්සේලාගේ රන්මැණිකේ උපාසිකාව නාහිමියන්ගේ දයාබර මව්පියෝ වූහ. අතිජාත ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය ලෙස උපන් කුමරුවා දභර වියේ හැඳින් වූයේ පී.ඇල්. ගුණතිලක යන අර්ථාන්විත නාමයෙනි.

අධ්‍යාපනය

දෙගුරුන්ගේ සෙනෙහස ලබමින් ළමා විය දිවි ගෙවූ පී.එල්.ගුණතිලක කුමරුවා ගිහි කල අධ්‍යාපනය ලැබීමට මුලින්ම ඇතුළත් වූයේ කුරුපනාවෙල සෙනරත් මහා විද්‍යාලයටයි. තදන්නතරව තෙරිපැහැ මහා විද්‍යාලයට අතුළත්ව තව දුරටත් ගුණෙන් නුවණින් පිරිපුන්ව පෙර පින දයාදා කොට ගත් සේ මව්පිය වැඩිහිටියන්ගේ හද කුමුදු වන පුබුදුවාලන පුන් සඳක් සේ ක්‍රමයෙන් වැඩෙන්නට විය. කුඩා කාලයේ පටන් තම මිත්තණිය ගේ මඟ පෙන්වීම අනුව කටයුතු කළ මොහු බුද්ධ සාසනයටත් ධර්මානුකූල ගති සිරිත් විරිත්වලටත් දැක්වූයේ අසීමිත ගෞරවයකි. කාරුණිකභාවය ශාන්ත ඉඳුරන් ඇති බව, චාම් සරල පැවැත්ම ආදී ගති සිරිත් දැක ගිහි ජීවිතයට වඩා සුදුසු වන්නේ ශාසනික පැවිද්දට බව නිතරම සිය මිත්තණිය විසින් ප්‍රකාශ කළාය. තම මිත්තණිය පරලෝ සැපත් වුවත් ශාසනික ඇල්ම හා පැවිද්ද කෙරෙහි තිබුණු අවනතභාවය කිසිවිටක අත් නොහැරීමට වග බලා ගත්තේය. දෛවෝපගතව ආ සිද්ධියක් නිසා තම අභිනිෂ්ක්‍රමණ චිත්තය දිනෙන් දින මුහුකුරා ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ගුරු දෙගුරුන්ගේ හා වැඩිහිටියන්ගේ නොමඳ ආශිර්වාදය පිට පී.එල්. ගුණතිලක කුමරුවා ප්‍රවෘජ්‍යාව අපේක්ෂාවෙන් එක් දහස් නවසිය තිස් නවයේ වර්ෂයේ ගිහිගෙයින් නික්මුණේය.

පැවිද්ද

තෙරිපැහැ සෝමානන්ද මහා නාහිමියන්ගේ ආචාර්යවර පූජ්‍ය පාද කිරවණාඋල්පත ඛේමානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

වලපනේ අඹලියද්දේ බෝධි රුක්ඛාරාමාධිපති අඹලියද්දේ සරණතිස්ස මා හිමි එම විහාරවාසී කිරවනාඋල්පොත ඛේමානන්ද මාහිමි යන දෙනම වෙත පමුණුවා ලූ පී. එල්. ගුණතිලක සැදැහැවත් පින්බර කුමරුවා 1939 වර්ෂයේ අගෝස්තු මස 16 වන දින උදාවූ ශුභ නැකතින් ඉහත කී දෙනමගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උතුම් වූ සසුන් පැවිද්දට පත් කරන ලදී. මීපනාවේ මොග්ගලීපුත්තාරාමයේදී එම ප්‍රවෘජ්‍යා මංගල උත්සවය අතිඋත්කර්ෂවත් අන්දමින් සිදුවිය. පැවිද්දෙන් පසුව උන්වහන්සේ හැදින්වූ ශාසනික නාමය වූයේ තෙරිපැහැ සෝමානන්ද යන නාමයයි. තෙරිපැහැ සෝමානන්ද සාමණේරයන් වහන්සේට සසුන්ගත වූ තැන් පටන් මූලික ආරාමික අධ්‍යාපනයේ ගුරු භූමිය වූයේ අඹලියද්දේ බෝධිරුක්ඛාරාමයයි. එහි වැඩ සිට හෙරණ සික බණ දහම් වත් පිළිවෙත් අධ්‍යාපනයෙහි යෙදී ආරාමික ශික්ෂණය ලැබූහ.

මූලික අධ්‍යාපනය

තම ආචාර්ය පාදෝත්තම කිරවනා උල්පොත ඛේමානන්ද හිමියන්ගේ දෘඩතර බලාපොරොත්තුව වූයේ තෙරිපැහැ සෝමානන්ද සාමණේරයන්ට අවශ්‍ය කරන මූලික භික්ෂු අධ්‍යාපනය ලබා දීමයි. එම අපේක්ෂාව අකුරටම පලගන්වා ගැනීමට සිතූ උන්වහන්සේ එවකට වලපනේ ප්‍රසිද්ධ මහා විහාරයක් වන රූපහ ශ්‍රී ජනානන්ද මහා විහාරස්ථ විද්‍යා විලාස පිරිවෙණට ඇතුළත් කරන ලදී. එහිදී රූපහ විලාස පරිවේණාධිපති රාජකීය පණ්ඩිත රූපහ සද්ධානන්ද මහ නාහිමියන් ප්‍රධාන ධර්මාචාර්යන් වහන්සේලාගේ සිත් සතන් ප්‍රබෝධමත් කරමින් පැවිදි දිවියට අවශ්‍ය කරන මූලික ධර්ම විනය හා ශබ්ද ශාස්ත්‍රය හදාරා උසස් අධ්‍යාපනයට අඩිතාලම දමන ලදී.

උපසම්පදාව

විසි වයස් සම්පූර්ණ වූ තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද සාමණේරයන් වහන්සේ අධිසීලය සඳහා උගත යුතු ධර්ම විනය හදාරා නිම කොට ඊට සුදුසුකම් ලැබූයෙන් 1945 දී උඩරට අමරපුර මහා නිකායේ මහානායක භදන්ත පණ්ඩිත විදුරුපොළ ශ්‍රී පියතිස්සාභිධාන මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ශූ®ද්ධෝපසම්පදා සීලය ලැබූහ.

වැඩිදුර අධ්‍යාපනය

උපසම්පදාවෙන් ටික කලකට පසුව තෙරිපැහැ සෝමානන්ද ස්වාමින් වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා අතිගරු විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මොරටුවේ සාසනරතන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත භාරදීමට තරම් තම ගුරුදේවයන් වහන්සේ බුද්ධිමත්ව කටයුතු කළහ. උන්වහන්සේ වෙතින් ලද දැනුම භික්ෂු ආකල්ප හා කුසලතා වලින් තෙරිපැහැ සෝමානන්ද නාහිමියන්ගේ චරිතය පෝෂිත විය. ඒ බව අප මහනාහිමිපාණෝ අවංකව නිතර ප්‍රකාශ කරති.බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන ද ධර්ම විනය ඥානය ලැබූ අප නාහිමියන්ගේ ගුරු භූ®මියකි. මෙසේ දැන උගත්කමෙන් සීලයෙන් ගුණයෙන් පිරිපුන් තරුණ වයසේ දිවි ගෙවූ තෙරිපැහැ සෝමානන්ද හිමියන්ගේ ගුරු දේවයන් වහන්සේ 1948 දී අපවත් වූහ. එය ඉගෙනීමේ යෙදී සිටි උන්වහන්සේට දැරිය නොහැකි පාඩුවක් පාළුවක් හා බාධාවක්ද වූහ. එහිදී උන්වහන්සේ මුහුණදුන් උභතෝකෝටික ප්‍රශ්නය වූයේ තවදුරටත් ඉගෙන ගන්නවාද? නැතහොත් විහාරස්ථානය භාර ගෙන එය රැක බලාගෙන කටයුතු කරනවාද යන්නය.

මෙහිදී බුද්ධිමත් තීරණයක් ගැනීමට සෝමානන්ද හිමියෝ සමත් වූහ. වලපනේ වැනි අති දුෂ්කර පළාතක විහාරස්ථානයක් භාරගෙන ඊට කොටු වී ඉගෙනීමෙන් තොරව නිරර්ථක පැවිදි ජීවිතයක් ගත කරනවාට වඩා සුදුසු ගුරුභූමිය හා ගුරුවරුන් තෝරාගෙන සාසනික වශයෙන් එන අභියෝග ජයගෙන ඉදිරි සෙත සාදන්නට නම් ඉගෙනීම අනිවාර්යෙන්ම අවශ්‍ය බව උන්වහන්සේ තේරුම් ගත්හ. ඒ සඳහා උන්වහන්සේගේ අධිෂ්ඨානය දුර දක්නා නුවණ හා අප්‍රතිහත ධෛර්ය හේතු වූවාට කිසිදු සැකයක් නොමැත. විපත්තිවලදී ඛෙදයට පත්වීම පිළියමක් නොවේ. දුරදර්ශී වූ තෙරිපැහැ සෝමානන්ද හිමි තම ප්‍රාචාර්යවරයන් වහන්සේගේත් මග පෙන්වීම අනුව 1950 දී කැලණියේ විද්‍යාලංකාර මහ පිරුවනට ඇතුළත් වූහ. මේ වන විට ප්‍රාචීන ප්‍රාරම්භ විභාග සමත්ව සිටි උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙණෙන් වර්ග පටිපාටියෙන් හදාරා ප්‍රාචීන විභාග පටිපාටියද නිමාවට පත් කොට සිංහල , පාලි, සංස්කෘත , හින්දි , තර්ක න්‍යාය , ඉතිහාසය ,පුරා විද්‍යාව යන විෂයාන්තර දැනුම ලබා රාජකීය පණ්ඩිත උපාධිය හිමි කර ගැනීමට තරම් භාග්‍යවන්ත වූහ. ඉන් නොනැවතුනු උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනේ් පැවති සාහිත්‍ය විභාග පටිපාටියද නිම කර සාහිත්‍යාචාර්ය යන උපාධියද හිමි කරගත්හ.

උසස් අධ්‍යාපනය

රත්මලානේ පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු පුහුණුවද ලැබූහ. ඉන් අනතුරුව 1960 වර්ෂයේ දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හොඳින් ලැබූ උන්වහන්සේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද අත්පත් කර ගත්හ. විද්‍යාලංකාර පිරිවෙන හා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය යන ගුරු භූමින් තම ජීවිතය මල්පල ගැන්වීමට හේතු කාරණා වූ බව නා හිමියෝ හද පිරි සතුටින් අද පවා ප්‍රකාශ කරති.

අධ්‍යාපනික සේවය

භාෂා භාෂාන්තර දැනුමෙන් මෙන්ම ත්‍රිපිටක ධර්මඥානයෙන් ද පෝෂිත ප්‍රශස්ථ භික්ෂු ප්‍රතිපත්තියේ අනූන වූ තෙරිපැහැ සෝමානන්ද ස්වාමීන් වහන්සේ මුලින්ම ආචාර්යවරයෙක් වශයෙන් තමන් ලත් දැනුම ශිෂ්‍ය සමූහයට බෙදා දීම ආරම්භ කළේ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙනි.එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංස නාහිමි, විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත මාතලේ සාසණතිලක අනුනාහිමි වැනි තත්කාලීන එහි වැඩ සිටි උගත් ධර්ම විනයධර නාහිමිවරුන්ගේ ආශ්‍රය නිශ්‍රය කිරීමද අප නාහිමියන්ගේ ඉදිරි කටයුතු සඳහා ඉතා වැදගත් වූ බව උන්වහන්සේ කෘතවේදීව සිහිපත් කරති. මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේදී සම්භාවනීය ගුරු පියෙකු වීමේ වාසනාව උදාවූයේ උන්වහන්සේ සතුව පැවති හොඳින් ඉගැන්වීමේ ශක්තියත් ධාරණ ශක්තියත් ලේඛනයත් භාෂා ඤාණයත් මනා සංකලනයකින් පැවති නිසාය. එහිදී දහස් ගණන් ගිහි පැවිදි ශිෂ්‍යයනට දැනුම ලබා දීම අගය කළ යුතු සුවිශේෂ සේවය යි.

තෙරිපැහැ සෝමානන්ද නාහිමිපාණෝ 1964 පටන් රජයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළහ. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ආදි කොට ඇති විවිධ පළාත්වල පාසල් කීපයක ඉගැන්වීමේ කටයුතු කළ තෙරිපැහැ සෝමානන්ද නාහිමියන්ගෙන් අධ්‍යාපනය ලැබූ ගිහි ශිෂ්‍යයන් දහස් ගණන් වෙති. හුදෙක්ම ගිහි පැවිදි ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ කටයුතු සිදු කළේ යුගයේ අවශ්‍යතාවයට සිදු කෙරෙන සමාජයමය මෙහෙවරක් ලෙස සලකාගෙනය.

1970 දී පමණ තලවතුගොඩ ප්‍රදේශයට පැමිණ කලල්ගොඩ ආසන්න සරස්වතී වත්තේ ශ්‍රී සුධර්මාරාමය අරඹා ප්‍රාදේශීය සිසු දරු දැරියන්ට දහම් දැනුම ලබා දීමෙන් සුවිසල් සේවාවක් අද දක්වාම සිදු කරගෙන එනු ලැබේ. එම දහම්පාසල මගින් ධර්මඥානාභිවර්ධනය මෙන්ම බෞද්ධ සමාජ ආචාර ධර්ම හුරු පුරුදු කිරීමේ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීම උන්වහන්සේගේ එකම අධ්‍යාශය වී තිබේ. එය මේ වන විට මල්පල ගැන්වී ඇත.

මේ වන විට ‘සුධර්මා’ නම් දහම් පාසල ආරම්භ කර වසර තිහක් පමණ වෙයි.රටේ අනාගතය භාරගෙන සමාජමය යුග මෙහෙවර සඳහා යහපත් පුරවැසියන් තැනීම තෙරිපැහැ සෝමානන්ද නාහිමියන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී තිබුණි. රටට ජාතියට සමාජයට පිරිමැහෙන දරුවන් තැනීම ගෙවල්දොරවල් තැනීමට වඩා උසස් සේවයක් ලෙස සළකා හැදෙන වැඩෙන දරු දැරියන්ට ධර්ම ශාස්ත්‍රාවබෝධය ලබාදී ආගමික සදාචාරයෙන් යහපත් මාර්ගයට ගැනීමට උන්වහන්සේ අධිෂ්ඨානශීලිව කැපවීමෙන් ක්‍රියා කළහ. සුධර්මා දහම් පාසලේ එක ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය පන්තිය දක්වාම පන්ති පවත්වනු ලබන අතර වාර්ෂිකව විශිෂ්ට ප්‍රතිඵල ලබන දහම් පාසලක් බවට පත්ව ඇත.

ධර්ම ශාස්ත්‍රීය සේවය

අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයෙන් හෙබි කීර්තිමත් ලේඛකයෙකු හා භාෂා ශාස්ත්‍ර විශාරදයෙකු වන තෙරිපැහැ සෝමානන්ද නා හිමියෝ ධර්ම ශාස්ත්‍රිය සේවය පෘථුල ලෙස සිදු කිරීමට තම ජීවිතය කැප කළහ. උන්වහන්සේ විසින් විරචිත ග්‍රන්ථ හා ශාස්ත්‍රීය සඟරා කීපයකි. ප්‍රථමයෙන්ම අ.පො.ස. සා.පෙළ විභාගය සඳහා පාඨකයින්ට ප්‍රයෝජනවත් වූ බුද්ධ ධර්ම සංග්‍රහය සම කර්තෘත්වයෙන් පළකළහ. ආගමික චර්යාධර්ම පිළිබඳ අධ්‍යාපනයකට උපකාර වන භාවෝපකාරය නමැති දුර්ලභ ධර්මමෝපදේශ ග්‍රන්ථය ඉතා අපහසු වෙන් සොයා සංස්කරණය කර මුද්‍රණය කළහ. 1949 වර්ෂයේ සිට මේ රටේ පුවත්පත් සඟරාවලට ධර්ම ශාස්ත්‍රීය ලිපි ලිවීම තුළින් හෙළ සාහිත්‍ය පෝෂණය කිරීමට දායක වී ඇත. රසවාහිනී, නවයුගය, දිනමිණ ඇතුළු දිනපතා පුවත්පත්වලද නිවන් මඟ සිංහල බෞද්ධයා, බුදුසරණ, තරංග, සාහිත්‍ය සාරදා ,වෙසක් රසය ආදි පුවත්පත් සඟරා ඒ අතර වෙති. ඉහත කී සඟරා හා පුවත්පත් වල නාහිමියන්ගේ දහස් ගණන් ලිපි පළ වී ඇත. එම සියලු ලිපි හරබර කරුණුවලින් සම්පූර්ණ ඒවා වීම සුවිශේෂ කරුණකි. ලේඛනයේදී වියරණ විධි දැඩි සැළකිල්ලට ගත් උන්වහන්සේ න,ණ,ල,ළ භේදය ආදි නිවැරැදි අක්ෂර වින්‍යාසය අනුගමනය කරමින් සම්ප්‍රදාය, ගරුකව, ශාස්ත්‍රීය ලිපි ලිවීමෙන් විද්වතුන් අතර අතිසම්භාවිත ලේඛකයෙක් බවට පත්ව ඇත.

ග්‍රන්ථකරණය කෙරෙහි වඩාත් රුචිකත්වයක් දැක්වූ සෝමානන්ද නාහිමි ග්‍රන්ථ ගණනාවක් රචනා කිරීමෙන් තමන් ලද දැනුම රටට බෙදාදීමට තරම් ක්‍රියාකාරි වූහ.සිංහලයේ පරිණාමය (1961) බුද්ධ ධර්ම සංග්‍රහය (1964) පන්සිය පනස් ජාතක පොත (1980) භවෝපකාරය (1984) විචාරභාස (1976) සිංහල මාලකවි සංග්‍රහය (1987)) එම දෙවන කොටස (1999) භක්ති පඤ්චශිකා (1990) අභිනව සාසනවංශය ප්‍රථම ද්විතීය භාග (1991) පාඨශාලීය සද්ධර්මකෝෂය (සමකර්තෘ 2001) කතිකාවත් හා ව්‍යවස්ථා මාලාව (2002) දීඝ සංයුක්ත අංගුත්තර නිකායවල සිංහල අනුවාද , සංයුක්ත අට්ඨකතා ටීකාව 1 –2 (සම කර්තෘ 2002 –2004) යන ග්‍රන්ථ උන්වහන්සේ විසින් විරචිත ශාස්ත්‍රීය ග්‍රන්ථයෝය. මෙකී ග්‍රන්ථ සියල්ල විද්වතුන්ගේ හා විද්‍යාර්ථින්ගේ ඇගයීමට ලක්ව තිබේ. විද්වතුන්ගේ හා පාඨකයන්ගේ රුචිකත්වය වර්ධනය වන ආකාරයට ශාස්ත්‍රීය සඟරා කීපයක් සංස්කරණය කොට ඇත. මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය මගින් පළ කළ තරංග සඟරාව, සංස්කෘතික අමාත්‍යාංශය මගින් පළ කළ සඟරාව, ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පළකළ ශාස්ත්‍රිය සංග්‍රහය, එම සංගමයේ 2002 දී පළ කළ ශත සංවත්සර කලාපය යන සඟරා එසේ සංස්කරණය කළ ඒවාය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි චරිත කථා සම්පාදනයද සුවිශේෂි අංගයකි. බුදු බෝසත් සිරිත ශ්‍රාවක ශ්‍රාවිකා චරිත බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ. චරිත කථා කියවීමෙන් එහි ආදර්ශ තම චරිතායනය කොට ඒ ඒ අංශයන්ගෙන් උත්කෘෂ්ඨතර චරිත ගොඩනගා ගැනීමට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති කරයි. ඒ තුළින් අනාගත පරම්පරාවේ චරිතාභිවෘද්ධිය සඳහා ද එම චරිත කථා බොහෝ සෙයින් උපස්තම්භක වෙයි.තෙරිපැහැ සෝමානන්ද නාහිමියන්ගේ සුරතින් එසේ වැදගත් වන චරිත කථා කීපයක් රචනා වී ඇත. ඒ අතර සුවිශේෂි චරිත කථාව වන්නේ උඩරට අමරපුර මහා නිකායේ හිටපු මහානායක පණ්ඩිත ජන ශේඛරායමාන වූ ද අතිපූජ්‍ය සිරිපවර වජිරඤාණාලංකාර භදන්ත පණ්ඩිත විදුරුපොළ ශ්‍රී පියතිස්සාභිධාන මාහිමිපාණන් වහන්සේගේ චරිත කථාවයි. එය 1988 දී රචනා කරන ලදී. එය දුටු අතිපූජ්‍ය මඩිහේ මහනාහිමියන් ප්‍රකාශ කළේ එම කෘතියට ආචාර්ය උපාධිය දීමට සුදුසු ලෙස සැකසී ඇති බවයි.

තවද මේ රටේත් ජාතියේත් නූතන බෞද්ධ පුනරුදයේත් ප්‍රදීප ස්ථම්භය වන ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරම්පරාව පිළිබඳව බොහෝ කරුණු දැනුවත්වීමට උපකාර වන සෝමවතී හේවාවිතාරණ මැතිනිය නම් චරිත කථාව 1977 වර්ෂයේදී රචනා කරන ලදී.

1973 දී වලපනේ ජාතික වීරයා නමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.ඇම් හේරත් මැතිතුමා පිළිබඳව කරුණු එක් රැස් කර චරිත කථාවක් ලියා පළ කර තිබේ.

ශාසනික ගරු නාම සම්භාවනා හා උඩරට අමරපුර නිකායික පදවි ලාභ

තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද නාහිමියන්ගේ දක්ෂ පක්ෂකම් හා භික්ෂු ආකල්ප ගැන සුපසන් වූ උඩරට අමරපුර නිකායේ ‘විනයවාදිනි’ කාරක මහා සංඝ සභාව උන්වහන්සේ වෙත වරින්වර ගෞරව සම්මාන උපාධි හා ශාසනික ගරු පදවි කීපයක් පිරිනමා සම්භාවනාවට පාත්‍ර කිරීමටද වග බලා ගත්හ. ඒ අනුව 1982 දී ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය ගෞරව සම්මාන උපාධිය සහිතව බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමූහ. 1985 වර්ෂයේ දී උඩරට අමරපුර මහා නිකායේ ‘විනයවාදිනී’ කාරක සංඝ සභාවේ සාමාජික ධූරයක් ප්‍රදානය කළහ. 1988 අපේ‍්‍රල් 25 දින ස්වනිකායේ අනුනායක ධූරයට පත් කළහ. 2003 වර්ෂයේදී සිංහල සාහිත්‍ය හා ශාස්ත්‍රිය සේවය අගය කරමින් සාහිත්‍ය ශිරෝමණී යන ගෞරව සම්මානය ප්‍රදානය කළ අතර 2004 වර්ෂයේදී දෙසැම්බර් මස 25 දින විදුරුපොළ ශ්‍රී‍්‍ර සුමංගලරාම මහා විහාරයට රැස් වූ උඩරට අමරපුර මහා නිකායික ‘විනයවාදිනී’ කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් උඩරට අමරපුර මහානිකායේ මාහෝපාධ්‍යාය, ධූරය සහිත මහානායක පදවියට පත් කර ගන්නා ලදී. එතැන් පටන් ස්ව නිකායට නායකත්වය දෙමින් නිකායාභිවෘද්ධිය මෙන්ම ශාසනාභිවෘද්ධියද සළසමින් ක්‍රියා කරති.

අතිපූජ්‍ය තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද නාහිමියන්ගේ ආගමික අධ්‍යාපනික සාසනික හා ධර්ම ශාස්ත්‍රිය සේවය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්කිරීම් වස් 2009 වර්ෂයේදී මියන්මාර් රජයෙන් අග්ගමහා පණ්ඩිත යන සම්මාන උපාධිය ප්‍රදානය කරන ලදී.

සාමාජික හා ශාස්ත්‍රීය තනතුරු ප්‍රදානය

ප්‍රවීණ වියත් ලේඛකයකු වන අප මහා නාහිමිපාණෝ 1989 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. භාෂා සාහිත්‍ය පණ ගන්වා පෝෂණය කළ මුන්වහන්සේ 1980 වර්ෂයේ සිටම ශ්‍රී ලංකා කලාමණ්ඩලයේ සම්භාවනීය සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරති. 1989 මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකත්වය දරමින් ග්‍රන්ථ සංස්කරණ කටයුතු හා අධීක්‍ෂණ කටයුතු කරති. 1995 සිට මේ දක්වා විශ්ව විද්‍යාලයානුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකත්වය දරා ක්‍රියාකරති. 1996 සිට මේ දක්වා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභා සාමාජිකත්වය දරමින් භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂ දායකත්වය ලබා දෙති.

1999 වර්ෂයේ සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ ගැටලු නිරාකරණය සඳහා පත් කෙරුණු වියත් මඬුල්ලේ සාමාජිකත්වය දැරීම හා 1999 වර්ෂයේ සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ධර්ම කෝෂ ග්‍රන්ථ නිෂ්පාදනයේ උපදේශකත්වය දැරීම තුළින් අධ්‍යාපන අමාත්‍යංශයේ අභිමතාර්ථ සාර්ථක කර ගැනීමට උන්වහන්සේගේ බුද්ධිමත් දායකත්වය උපස්තම්භක විනැයි අපට හැඟේ. 1998 සිට මේ දක්වා ත්‍රිපිටක මණ්ඩලයේ ත්‍රිපිටක ධර්මය ලිහිල් බසින් ලිවීමේ සම්පාදක මණ්ඩලයේ සාමජිකත්වය දරමින් පර්යාප්ති ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් කරනු ලබන සුවිශේෂ කාර්ය භාරය වර්ණනා විෂයාතික්‍රාන්ත වේ. එයින් තෙරිපැහැ මහනාහිමියන්ගේ පාණ්ඩිත්‍ය පමණක් නොව ත්‍රිපිටක ධර්මඥානය පිළිබඳව ඇති සුගැඹුරු සියුම් පෘථුල දැනුමද මනාව පිළිබිඹුවෙයි. 1998 සිට 1999 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණ මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් කටයුතු කිරීමෙන් උන්වහන්සේගේ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයෙහිලා ඇති හැකියාව ලොවට පළ කරයි.2008 වර්ෂයේදී ආගමික අධ්‍යාපනය පිළිබඳව උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීමෙන් බුද්ධ ධර්මය විෂය ග්‍රන්ථ සංස්කරණය කිරීම අවසාන අධීක්ෂණ කටයුතු කිරීම් ආදි වශයෙන් ආගමික අධ්‍යාපනය විෂයෙහිලා උන්වහන්සේගෙන් සිදුවුන සේවය සුළුපටු නොවේ.

ඒ අනුව තලවතුගොඩ සුධර්මා දහම් පාසල මගින් එම සුවිශේෂ සමාජ යුග මෙහෙවර මැනවින් සිදු කෙර්. විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිසු දරු දැරියන්ට උගන්වා ප්‍රතිඵල දකිමින් සතුටු වීමට තරම් අප මහා නායක හිමි කාරුණික වූහ.

තෙරිපැහැ ශ්‍රී සෝමානන්දාභිධාන මහා නා හිමියන් මෙම මාර්තු 23 වෙනි දින වන විට උපතින් අසූ අටවෙනි විය සපුරති. ඒ නිමිති කරගෙන උන්වහන්සේගේ උපන් ගම ප්‍රදේශය වන වලපනේ නිල්දණ්ඩාහින්න අභිනවාරාමයේදී බෝධි පූජා බුද්ධ වන්දනා පිරිත් දේශනා පවත්වා සග සතු දන් පිරිනමා රාජ්‍ය ගෞරව සහිතව උන්වහන්සේට උපහාර පිදීමේ මහෝත්සවයක් පැවැත්වීමට එම විහාරාධිපති රූප හා සාසනජෝති ස්වාමින් වහන්සේ ප්‍රධාන විහාරස්ථාන කාර්ය සාධක සමිතිය ඇතුළු පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රදේශීය සභා මැති ඇමතිවරු හා ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව සැදී පැහැදී පෑහී සැදැහැ සිතින් සියලු කටයුතු සංවිධානය කර ඇත. තවදුරටත් තම සේවය රට දැය සමය වෙනුවෙන් සිදු කිරීම සඳහා අතිපූජ්‍ය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට රත්නත්‍රයාශීර්වාදයෙන් දළදා හිමි රැකවරණින් නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.