Print this Article


සීමා බන්ධන මහා විනය කර්මය 08 වන දා

සීමා බන්ධන මහා විනය කර්මය 08 වන දා

බියගම කොට්ටුන්න කල්‍යාණි මාවත පිහිටි ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ මේ මස 08 දින රාත්‍රී පහන්වනතුරු අභිනව සීමා බන්ධන විනය කර්මයක් සිදු කිරීමට නියමිතව ඇත. ධම්මදස්සී බෞද්ධ සංගමයේ සභාපති විහාරාධිපති දොළොස්වල උදිතධීර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන මෙම මහානීය පුණ්‍ය කර්මය විහාරස්ථ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

අමරපුර මහ නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත මඩලගම වජිරබුද්ධි මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන මෙම විනය කර්මයට අමරපුර මහා නිකායට අයත් භික්‍ෂූන් වහන්සේලා 40 නමකට අධික පිරිසක් සම්බන්ධ වනු ඇත.

බෞද්ධ නියමයන්ට අනුව සුපේසල ශික්ෂාකාමී සඟ පරපුරක් තුළින් ශාසන උන්නතිය පිණිස අතිශය වැදගත් වන උපසම්පදා කිරීම, වත්සමාදානය, කඨින චීවර පැවරීම, අඩමසකට වරක් පොහොය කිරීම, ආදී විනය වත් පිළිවෙත් සඳහා සීමා බන්ධන විනය කර්මය බුදු සසුන තුළ ඉතාම සුවිශේෂ වූ විනය කටයුත්තකි.

මෙම සීමා බන්ධන විනය කර්මය දැක බලා අනුමෝදන් වීම පිණිස බෞද්ධ ජනතාව වෙත මෙත් සිතින් ධම්ම දස්සි බෞද්ධ සංගමය ආරාධනා කරයි.