Print this Article


සතුටයි ජීවිතයේ උතුම්ම ධනය

සතුටයි ජීවිතයේ උතුම්ම ධනය

සතුටින් ජීවත් වන්නකුගේ ජීවන රටාව සුපැහැදිලි ය. එය එසේ වන්නේ ඔහු විනිවිද චරිතයක් බැවිනි. ඔහු අනුන්ගේ දොස් පරොස් නොසොයා ඉතා මැනැවින් පිළිවෙළකට තම ජීවිතය සකසා ගනී. ධර්මය නමැති දිව ඔසුව පානය කර ඇති නිසාවෙනි.

සමාජයේ ජීවත්වන ඇතැම් අය ඉතා සතුටින් දිවි ගෙවති. සමහරු ඉතා දුකින් දිවි ගෙවති. වැඩිදුරටත් අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ බොහොමයක් දෙනා සමාජයට නොපෙන්වූවාට තම තමන්ගේ සිත් තුළ දුක සඟවාගෙන ජීවත් වන බවයි. තමන් බලාපොරොත්තුවන්නා වූ යම් ආශාවන් සන්සිඳුවා ගැනීමට නොහැකි වන තරමට අසතුටින් කල්ගෙවති. දහමට අනුව දැහැමි පිළිවෙත් අනුගමනය කරන්නා වූ ඇතැම් අය ද මේ තත්ත්වයට බඳුන් වි ඇත. තුන්ලොවම සනහා වදාළ බුදුරදුන්ගේ උසස් ආදර්ශ සම්පන්න ඉගැන්වීම තම ජීවිතයට ළං කරගන්නා වූ බොහෝ පිරිසක් සතුට මධ්‍යයේ වාසය කරන බව සැබෑවයි. මේ ලිපියේදී අවධානය යොමු කරන්නේ එම කරුණ පැහැදිලි කිරීමටයි.

සමාජයේ බොහෝ පිරිසක් බලාපොරෙත්තු වන්නේ තමන් ලද දෙයින් තෘප්තිමත් නොවී තව බොහෝ දුර ඈත ඇති දෙයක් ළංකර ගැනීමටය. නිදසුනක් ලෙස බස් රථයකට ගොඩවන්නටත් පෙර සමහරුන් බලාපොරෙත්තු වන්නේ ආසනයක්ය. නමුත් තමන් බලාපොරොත්තු වූ ලෙස එය ඒ අයුරින් සිදු නොවුණහොත් සිත් තුළ ඇතිවන්නේ කෝපයද මිශ්‍ර දැඩි අසතුටකි. එසේම ඇතැම් අය තමන් වාඩි වී සිටින අසුන ද අනෙකකුට ලබාදෙන්නට මැලිකමක් දක්වති. මේ සෑම ක්‍රියාවලියක්ම සිදු කරනුයේ, සතුටු විය හැකි වෙතැයි යන පුහුදුන් සිතුවිල්ල මූලික වීමෙනි. අප බුදුරදුන්ගේ ඉගැන්වීමක් වූයේ ‘සන්තුට්ඨි පරමං ධනං’ යන්නයි.මෙයින් පැහැදිලි වන්නේ උතුම් ධනය වශයෙන් සතුට තමා සතු කර ගත යුතු බවයි. නමුත් සිතට වහල් වී අපගේ සතුට ප්‍රායෝගික ජීවිතයේදී අහිමි කර ගන්නේ අප ම නොවේද?

සතුටින් යුතුව සිටීමට නම්, පළමුවෙන්ම අන් අය සතුටු කිරීමට පෙර තමන් සතුටින් සිටිය යුතුය. සමහරුන්, පසුතැවීමට පවා පත්වන්නේද අන්‍යයන් පමණක් සතුටට පත් කිරීමට යෑමෙනි. ‘අප්පිච්චතා’ යනු අඩු කැමැත්තයි. එනම්, අල්පේච්ඡතාවයි. එසේ සතුටින් කල් ගත කරනවා වෙනුවට බොහොමයක් දෙනා රටට, ලෝකයාට ණය වී ජීවත්වෙති. අප ලද දෙයින් සතුටු වන තරමට ජීවිතය තුළ අල්පේච්ඡතාව ගොඩනඟා ගත හැකිය. ඒ බව බුදුරදුන් ඉතා මැනැවින් උගන්වා ඇත්තේ ඇඳුම් පැළැඳුම් මූලික කරගෙනය. භික්‍ෂූන් උදෙසා උන්වහන්සේ අනුදැන වදාළේ තුන් සිවුරයි. මක්නිසාද යත්, ඒ තුළින් භික්‍ෂූත්වයේ අල්පේච්ඡතාව නිතැතින්ම ගොඩනැඟෙන නිසාවෙනි. එබැවින් භික්ෂූන් වහන්සේ සතුටින් යුතුව, බරක් නැතිව දිවි ගෙවති.

නමුත් ගිහි සමාජය තුළ සතුටින් සිටීමට බොහෝ විට ඇතැම්හු බහුභාණ්ඩිකත්වයක් තුළ එල්බගෙන සිටිති. ගමනට, මංගල අවස්ථාවට, නොයෙක් උත්සවවලට නානාවිධ ඇඳුම් පැළැඳුම් භාවිත කරයි. තමන් බලාපොරොත්තු නොවන ලෙස, එකී අවස්ථාවන්හි සෑම දෙනාගේම අවධානය දිනාගත නොහැකි වුවහොත් තමන්ගේ ඇඳුම නිසා දුකක් සන්තාපයක් ඇතිවීම නියතය. දස දහස් ගණනක් ධනය වියදම් කර බලාපොරොත්තු වූ සතුට නොලැබීමෙන් සිත තුළ ඇති වූයේ තමන් පිළිබඳව ම තරහක් නොවේද? මෙවැනි අවස්ථාවලට ඇතැම් විට බොහෝ දෙනා මුහුණ දී ඇත. අප සතුටින් සිටීමට බැව් සිතා සිදු කර ඇත්තේ පසු තැවෙන ක්‍රියාවකි.

බුදුරදුන් වරක් රාහුල හාමුදුරුවන් ආමන්ත්‍රණයකොට දේශනා කළේ අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයයි. එහි ඉතා අගනා දේශනාවක් අන්තර්ගත වෙයි. එහි සඳහන් වැදගත් දහම් කරුණක් ලෙස ‘පච්චවෙක්ඛිත්වා’ යන්න සඳහන් කළ හැකිය. ‘පච්චවෙක්ඛිත්වා’ යනු ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතුය යන්නයි. එනම් තමන් කියන කරන දෑ මෙන්ම සිතන දෑ පිළිබඳවද ඒ ඒ අවස්ථාවන්හි මෙන්ම එයින් පසුවද මෙනෙහි කළ යුතුය යන්නයි. එමෙන්ම කැඩපතක් ගෙන තම ශරීරාංග දෙස බලා අඩුපාඩු සකසා ගන්නාක් මෙන් තමන් දෙස බලා තම ජීවිතය සකසා ගන්න යැයි එහි වැඩිදුරටත් දේශනා කර ඇත. බොහෝ අවස්ථාවල සමහරු කුමන හෝ ක්‍රියාවක් සිදු කළ ද එයින් මතුªවට ගොඩනැඟෙන තත්ත්වය පිළිබඳව නොසිතති. එය වඩාත් පැහැදිලි කරන්නේ නම්, යම් පුද්ගලයකු බොහෝ විට තමන්ගේ සතුටට බාධාවක් යැයි සිතා වියපත් වූ තම මවුපියන්ට නොසලකා හරී නම් ඔවුනටද වන්නේ කෙදිනක හෝ තම දූ දරුවන්ගෙන් එවැනි ඉරණමකට මුහුණ දීමටයි. එමඟින් තමන්ගේ මුළු ජීවිතය ම අසතුටට පත් කර ගනිති.

ලෞකික පුහුදුන් ලෝකයේ ධනය, වස්තුව ආභරණයක් යැයි සිතා අන්තගාමී පිළිවෙත් අනුගමනය කරන්නෝද බොහෝ වෙති. නමුත් එකී ධනය හා වස්තුව වැඩි වශයෙන් එකතු කර ගන්නා වූ පිරිස තමන්ගේ මානසිකත්වය පහළට ඇද දමා ගනිති. බුද්ධකාලයේ ජීවත්වූ අදින්න පුබ්බක වැනි ධන කුවේරයෝ මසුරුකමින් දිවි ගෙවූහ. මසුරුකම යනු ලෝභයට වඩා එහා ගිය අකුසලයකි. තමනුත් භුක්ති නොවිඳ අන් අයටවත් භුක්ති විඳීමට ඉඩ නොදීමට තරම් මසුරුකම බලවත් වේ. තම එකම දරුවාගේ අසනීපය සුව නොකර නිවෙසෙහි අගුපිළට ගෙන ගොස් දමන්නට අදින්න පුබ්බක කටයුතු කළේ මේ නිසාවෙනි. මෙවැනි පිළිවෙත් අනුගමනය කරන්නාවූ ඇතැම්හු දානයක් වුවද පූජා කර අය වැය බැලීමට පවා පෙළැඹෙති. සතුට ලැබීමට යැයි සිතා අන්තගාමී පිළිවෙත් අනුගමනය කරන විට මෙවැනි සිදුවීම් ස්වභාවිකය. අප මඳක් සිතා බැලිය යුත්තේ මෙබඳු අවස්ථා අප සමාජයේ කොතෙක් ඇතිද යන්නයි. වේගයෙන් ගමන් කරන සමාජ රැල්ලට කොටු වී ‘කොපි කිරීම’ නමැති මායාවට රැවටී කෙතරම් පිරිසක් නම් තම වටිනා ජීවිත පවා අහිමි කරගෙන ඇතිද යන්න අප අවබෝධාත්මකව සිතා බැලිය යුතුය.

කුහුඹුවා ඉතා දක්ෂ ලෙස කඩිසරව වර්ෂා රහිත කාලයේ දී තමාට අවශ්‍ය ආහාර ආදිය සම්පාදනය කර ගනියි. ඒ අනුව වර්ෂා කාලයේදීද කුහුඹුවෝ බොහෝ සතුටින් වාසය කරති. මඳක් සිතා බලන්න. උට්ඨාන වීර්යය හෙවත් උත්සාහවන්තභාවය නිසා නොවෙයිද කුහුඹුවා සතුටින් සිටින්නේ? උසස් මොළයක් ඇතැයි සම්මත මනුෂ්‍ය සමාජය තුළ මෙය අවබෝධ කරගන්නෝ අල්ප වෙති. මෙහි අවධානය යොමු කළ යුතු පැතිකඩ වන්නේ සමාජයෙහි ඇතැමුන් අලසව, කම්මැලිව සිටිමින් සතුටින් වාසය කිරීම එය යැයි සිතා දුක්බර ජීවිතයක් ගෙවීමයි. තමන්ට අවශ්‍ය වන දේ අවශ්‍ය ප්‍රමාණය දැන තමා සමීපයට ළං කරගැනීමද සතුටින් සිටින අයකුගේ ලක්ෂණයකි. මෙහිදී කියනුයේ පොදි බැඳගෙන සිටිනවා වෙනුවට, ‘සුභර’ හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකි අයකු වීම යන්නයි. එසේ නොමැති වුවහොත් සතුට වෙනුවට තම මුළු ජීවිත කාලයම මානසිකත්වය පරිහානියට පත් පුද්ගලයකු වනු නියතය.

සමාජයේ හමුවන සමහර පුද්ගලයින් වෙනත් අය සමග කථා කිරීමට මෙන්ම හමු වීමටද අකැමැතිය.බොරුව, වංචාව වැනි පටු ආකල්ප මඟින් ජීවිතය පුරවාගෙන දිවි ගෙවන්නා වූ සමහර පුද්ගලයෝද මෙසේ හැසිරෙති. අන් අය තමන්ගේ සතුටට බාධාවක් ලෙස සලකා මෙවැනි අය සමාජයෙන් නෙරපා හරිති. ඔබ මඳක් සිතන්න. සතුටින් සිටීම වෙනුවට බොරුව තමන්ගේ ජීවිතයට සමීප කරගෙන එයින් ලෝකය සමඟ ගනුදෙනු කිරීමට වෙර දරන්නා නිතැතින්ම පිළිකුල් පුද්ගලයකු වනු නියතය. සමාජගත පිරිස බොහොමයක් දෙනා පුරුදු පුහුණු වී ඇත්තේ එක් දෙයක් කර ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයක් පැවසීමටය. බුදුදහමට අනුව, මෙය දෙලොවම පරිහානියට පත්වන කාරණාවකි. එය යථා පරිදි අවබෝධ කර නොගන්නා තමන් විසින්ම තමන්ගේ පරිහානියේ දොරටු විවර කර ගනු ලබයි. එහි දී සිදු වනුයේ සතුට වෙනුවට දුක, සන්තාපය මෙන්ම කලකිරීම ද තමන්ගේ දිවියට පතුරුවා ගැනීමකි.

බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දී දේශනා කරන්නේ ‘පණ්ඩිතානඤ්ච සේවනා’ යන්නයි.මෙහි දී බොහෝ දුරට පණ්ඩිතයන් යනුවෙන් විද්‍යමාන වනුයේ නැණවත් මෙන්ම ගුණවත් පුද්ගලයන් යන්නයි. අනුන්ට හිංසා කරන, පීඩා කරන, දුක් ලබා දෙන එසේම අන් අයගේ වස්තුන්වලට ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් ඇසුරු නොකළ යුතු බව පෙන්වා දෙයි. එමඟින් උන්වහන්සේ අවධාරණය කරන්නට යෙදුණේ සතුටින් ජීවත් වීමට තමන් ඇසුරු කරන පුද්ගලයන් ද බලපාන බවයි. මේ කාරණාව සුදුසු පරිදි අවබෝධකර නොගත්තෝ පවුල තුළින්, රැකියා ස්ථානය තුළින් එසේම මුළු මහත් සමාජය තුළින්ම නෙරපා හරිනු ලැබෙති.

ඔබ අප ජීවත් වන මේ සමාජයේ උපන් දින හා වෙනත් වැදගත් දින මූලික කරගෙන පැවැත්වෙන පි‍්‍රය සාද ආදිය දැක ඇත්තෙමු. ඉතා සතුටින් තමන්ගේ ජීවිතයේ වැදගත් සිද්ධීන් මුලික කරගෙන මෙවැනි දිනයන්හි විනෝදවන සමහරුන් සැබෑම සතුට විඳිනවා ‘ දැයි ඔබ මඳක් සිතන්න. නානාවිධ මස් මාංශ, එසේම ඉතා මිල අධික මත් ද්‍රව්‍යාදිය මූලික කරගෙන විශාල වශයෙන් සතුටක් වෙනුවට ඔවුන් ලබන්නේ නියත දුකක් නොවේද? මෙවැනි නොකළ යුතු ක්‍රියාකාරකම් සිදු කර සතුටක් බලාපොරෙත්තු වනවාට වඩා සැබෑ ලෙසම සතුටු විය හැකි ක්‍රම තිබේදැයි ඔවුන් සිතා බැලුවාද? අවසානයෙහි මුළු මහත් සමාජයටම ණයකරුවකු වී තමන්ගේ ආර්ථිකය පවා පිරිහීමට පත් වන්නේ සමාජගත සතුට යැයි කියන, රැල්ලට යන හිස් ක්‍රියාවලින් නිසා නොවේද?

සතුට ඇතිව ජීවත් වන්නකුගේ ජීවන රටාව ඉතා සුපැහැදිලිය. එය එසේ වන්නේ ඔහු විනිවිද චරිතයක් බැවිනි. ඔහු අනුන්ගේ දොස් පරොස් නොසොයා ඉතා මැනැවින් පිළිවෙළකට තම ජීවිතය සකසා ගනී. ධර්මය නමැති දිව ඔසුව පානය කර ඇති නිසාවෙනි. ඒකාකාරි ජීවන රටාවකට හුරු පුරුදු වීමේ දී සතුට ගිලිහී යයි. තමන්ගේ පවුලේ’ රැකියාවේ එසේම සමාජයේ කටයුතු සෑම දෙයක්ම ගොඩගසා ගෙන කරන්නට යෑමෙන් තමන්ගේ මානසිකත්වය පවා ව්‍යාකූලත්වයට පත්වනු ඇත.

සැලසුම් ඇති ජීවන රටාවට හුරු පුරුදු වීමේ දී නිතැතින්ම ඔබගේ ජීවිතයට සතුට ගලාගෙන එනු ඇත. සමාජගත ප්‍රදර්ශනාත්මක ක්‍රියාවලියකට අනුගත නොවී තමන් කරන කියන දෙයින් සිදුවන යහපත මෙන්ම අයහපත පිළිබඳව සිතා බලන්න. මෙහිදී ධර්මයට අනුගත වීම සැබෑ ලෙසම සිදු කළ යුතුය. බුදුරජාණන් වහන්සේ අපට ඉතා වැදගත් දහම් කරුණක් මෙසේ පෙන්වා දෙන සේක. එය මජ්ඣිම නිකායෙහි ඕපම්ම වග්ගයෙහි අලගද්දූපම සුත්‍රයෙහි සඳහන්ය. ‘කුල්ලූපමං වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමී, නිත්ථරණත්ථාය නො ගහණත්ථාය’ මෙහිදී පෙන්වනුයේ ධර්මය හිස මත තබා නොගොස් තම ජීවන පැවැත්මට පමණක් ධර්මය ගත යුතුය යන්නයි. එවිට ධර්මානුකූල දිවි පෙවෙත තුළ සතුට වර්ධනය වනු ඇත.

ඔබ බලාපොරොත්තු වන්නේ සතුටින් යුක්තව මරණයට පවා මුහුණ දීමටය. එය ද ඔබ සිත තුළ ඇති බලාපොරොත්තුවකි. තම මුළු ජීවිතයම සතුට උතුරා යන්නක් බවට පත් කර ගැනීමට ඔබට නිරායාසයෙන්ම හැකි වන්නේ තමන් කරන ක්‍රියා මූලික කරගෙන බව ඔබ වරක් නොව දෙවරක්ම සිතන්න. ලබා ගත් උතුම් මනුෂ්‍ය දිවියම ආලෝකමත් කර ගැනීමට උත්සාහවන්ත වන්න.