Print this Article


පන්සාළිස් වසරක ඉතිහාසයක් ඇති ආනන්ද විහාර මන්දිරය නවීකරණය වෙයි

මේ සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ද සහාය ඇති ව සම්පත් බැංකු අධ්‍යක්‍ෂවරයෙකු මෙන් ම දීප්තිමත් ව්‍යාපාරිකයෙකු හා ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ අනුශාසකවරයෙකු ද වන ඡන්න පලංසූරිය මහතා ගේ සභාපතිත්වයෙන් විහාර සාධක කමිටුවක් ද පත්කර ගන්නා ලදී. විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු ආදි ගුරු ශිෂ්‍ය හා වර්තමාන ගුරු, ශිෂ්‍ය සැම ගේ ද සම්බන්ධය ඇති ව මේ ශ්‍රේෂ්ඨ පුණ්‍යකර්මය සඳහා ආධාර ලබා ගැනීමේ අරමුණින් පවත්වන ලද ප්‍රථම හා එක ම රැස්වීමේ දී ම රුපියල් දෙකෝටියකට අධික මුදලක් රැස්කර ගැනීමට කමිටුව සමත් විය. ක්‍ෂණික ව විධිමත්ව ඉදිකිරීම් ආරම්භ විය. ගතවූයේ මාස දෙකකට ආසන්න කාලපරාසයකි. පියවරින් පියවර ම නව තාක්‍ෂණික ක්‍රමවේදයන් ද උපයෝගී කර ගනිමින් වඩාත් සුරක්‍ෂිත හා දීර්ඝකාලීන යහ පැවැත්මක් අපේක්‍ෂා කළ හැකි පරිදි විහාර මන්දිරයට අවශ්‍ය සකලාංග සම්පූර්ණත්වයට පත්කරමින් මූලික ආකෘතියේ කිසිදු වෙනසක් නො වන සේ නවීකරණය සිදුවීම අසන දකින සැම ගේ අමන්දානන්දයට හේතුභූත වී ඇත.

අදින් වසර එකසිය විසි ගණනකට පෙර කොළඹ ආනන්දය බිහි වූයේ කිසි ජාතියකට හෝ ආගමකට හානියක් නො වන සේ රටේ පරිපාලන තන්ත්‍රයට ඇතුළත් විය හැකි ඉංගී‍්‍රසි භාෂා ප්‍රවීණත්වයක් ද ඇති දේශප්‍රේමී ආගමාලයැති සිංහල බෞද්ධ පරපුරක් බිහි කිරීම අරමුණු කරගෙනය.

මෙහිලා ප්‍රමුඛව ක්‍රියා කළේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි සහ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාත් ය. එහෙත් වෙනත් ජාතික ආගමික දරුවන්ගේ අධ්‍යාපනයට එහි දොර ආවරණය වූයේ නැත.

බටහිර සංස්කෘතිය කරපින්නා ගත් පිරිසකගේ පරිසරයක් තුළින් හැදෙන වැඩෙන දරුවනට නිවැරදි මඟ පෙන්වීමේ අවශ්‍යතාව එදා බලගතු ව තිබුණි. එහෙයින් ම බෞද්ධ සදාචාරයට සාරධර්මවලට හැදෙන වැඩෙන දරුවන් නැඹුරු කරවීමේ දී ආගමික ක්‍රියාවලීන් සඳහා විහාර මන්දිරයක අවශ්‍යතාව බලගතු විය.

කරුණු එසේ හෙයින් 1929 ජූලි මස 10 වැනි දින පළමු වරට කුඩා විහාර මන්දිරයක් බිහි වූයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ පී.ද.එස්. කුලරත්න මහතා ගේ දූරදර්ශීත්වය නිසා ය.එවකට ආනන්දයේ ධර්මාචාර්යවරයන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේගේත් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේත් පුරෝගාමීත්වය ඊට උපස්ථම්භක විය. එකල ආනන්දයේ තිබුණු හරිස්චන්ද්‍ර ගොඩනැගිල්ලේ කාමරයක ටිබෙට් මහින්ද හිමියන් විසින් දඹදිවින් වැඩම වන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ වඩා හිඳුවා ආගමික වත්පිළිවෙත් කිරීම ක්‍රමිකව ආරම්භ විය.

ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවත් ම එහි ඉඩකඩ ප්‍රමාණවත් නො වූයෙන් ප්‍රබල දේශපේ‍්‍රමියෙකු වූ විදුහල්පති එල්.එච්. මෙත්තානන්ද මහතාගේ පුරෝගාමීත්වයෙන් 1953 ජනවාරි 29 වැනි දින එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවර ඩඩ්ලි සේනානායක මැතිතුමා ගේ සුරතින් නව විහාර මන්දිරයක් සඳහා මුල්ගල් තැබීම සිදු විය.

ආරම්භයේ දීම සැදැහැතියන් ගෙන් ආධාර ගලා එන්නට පටන් ගති. දොස්තර ඊ.එම්.විජේරාම මහතා සහ අනුලා විජේරාම මැතිණියත් රු. 25,000 කින් ද, ඒ.බී. හේමචන්ද්‍ර මහතා රු 20,000 කින් ද ආධාර කර ඇත. විධිමත් ව ආධාර මුදල් සපයාගෙන ඉදිකිරීම් කටයුතු ක්‍රමවත් ව කරවීමට විහාර සාධක සමිතියක් ද පිහිටුවාගෙන ඇත.

විහාර මන්දිරය සඳහා සැලැස්ම සකස් කර ඇත්තේ අනගාරික ධර්මපාලතුමන් දඹදිව සාරානාත්හි ඉදිකර වූ මූලගන්ධකුටි විහාරයේ ආකෘතිය පදනම් කරගෙනය. ඒ තුළ ප්‍රතිමා නිර්මාණය භාරවූයේ කලාශූරී ආචාර්ය මාපලගම විපුලසාර හිමිපාණන්ට ය. විහාර මන්දිරය ඉදිකිරීම් කාර්යභාරයේ නිමාව දකින්නට වර්ෂ 16ක් පමණ ගත විය. විදුහල්පති ඊ.ඒ.පේරුසිංහ මැතිතුමා ගේ කාලයේ දී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා ගේ සුරතින් නව විහාරමන්දිරය විවෘත විය. ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ නිදන් කර පූජ්‍ය මාපලගම විපුලසාර හිමිපාණන්ගේ දෑතින් නිම වූ දහස් ගණන් ප්‍රතිමා වහන්සේලා අතර අසීමිත බුදුගුණ මූර්තිමත් වන මෙවැනි ප්‍රතිමා වහන්සේ නමක් ලංකාවේ හෝ වෙනත් කිසිදු රටක නැත.

සිය ගණනක් ගුරු භවත්හු ද දහස් ගණනක් ශිෂ්‍යයෝ ද දිනපතා උදෑසන ප්‍රතිමා වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කිරීම තුළින් ලබන සැනසිල්ල බෙහෙවින් විශාලය. විදුහලට පිවිසෙන ගුරු සිසු හැම පමණක් නො ව විදුහල අසලින් වාහනවලින් යන අය පවා අසුනින් නැගිට විහාර මන්දිරයට නමස්කාර කර යනු පමණක් නො ව ඉගෙනීම් කටයුතු ඇරඹීමට පෙර පන්ති කාමරවලින් පිට ව පෙරහැරින් දෝතින් සුවඳ මල් ගෙන පැමිණ බුදුන් පුදා පන්සිල් සමාදන් වන සිසු දරුවන් අනුව යමින් ශබ්ද විකාශනයෙන් අවට නිවෙස්වල අය පවා පන්සිල් සමාදන් වනු කලකට පෙර අප දැක ඇත.

බුද්ධාලම්බන පී‍්‍රතිය උපදවන මෙම අතිපූජනීය විහාර මන්දිරය ඉදිකිරීමෙන් අනතුරුව භාරතයෙන් ගෙන්වා එතෙක් වැඳුම් පිදුම් කළ ප්‍රතිමා වහන්සේ ආනන්දයේ විශිෂ්ටතම විදුහල්පතිවරයා වූ සෙන්පති ජී.ඩබ්ලිව්. රාජපක්‍ෂ මැතිතුමා විද්‍යාලයීය ධර්මාචාර්ය හිමිවරුගේ ද අනුමැතිය ඇතිව මාතර පාලටුව ගුණරත්න මහවිදුහලට පරිත්‍යාග කළේ එහි අධ්‍යාපනය ලබන දරුවන් ගේ ද වන්දනාමාන සඳහා සානුකම්පිතව ය.

6000 ක් පමණ ශිෂ්‍යයන් ගේ වන්දනාමානවලට ලක් වූ ආනන්ද විහාර මන්දිරය විවෘත කර වසර දහයක් පමණ ගත වන විට වතුර කාන්දුවක් නිසා පලුදු ඇතිවන්නට වූයෙන් කම්පාවට පත් වූ ධර්මාචාර්ය හිමිවරුන් මෙන් ම විදුහල්පතිතුමා ප්‍රධාන ගුරුසිසු පිරිස ද විසඳුම් සෙවීමෙහි ලා උත්සුක වූහ. කීර්තිමත් ඉංජිනේරුවරුන් ගේ ද උපදෙස් පරිදි වරින්වර ප්‍රතිසංස්කරණ කළ නමුත් ඒවා එතරම් දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාදීමෙහි ලා අසමත් වූයෙන් 1996 දී එවකට ආදී ආනන්දීය බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමිපාණන් ගේ ද උපදෙස් පරිදි එම සංගමයේ ප්‍රධාන සභාපති රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරය දැරූ යසසිරි කස්තුරිආරච්චි මහතා ගේ පූර්ණ අනුග්‍රහය මත රු. 23, 00000ක පමණ වියදමින් ප්‍රතිසංස්කෘත විහාර මන්දිරය 1996 අගෝස්තු මස 17 වන දින අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පුෂ්පපූජෝත්සවයෙන් අනතුරු ව ගුරු ශිෂ්‍යයෝ වඩාත් බැතිබර ව වන්දනාමාන කරන්නට පටන් ගත්හ.

වසර කීපයක් ගත විය. 1996 ප්‍රතිසංස්කරණවලදී නොදුටු වෙනත් තැන්වලින් ජලකාන්දුව නැවත ඇති වූ හෙයින් 2008 වසරේ දී එවකට විදුහල්පති ධුරය දැරූ බී.ඒ.අබේරත්න මහතා සහ ධර්මාචාර්ය හිමිවරුන්ද ඒ පිළිබඳව ආදි ආනන්දීය බෞද්ධ සංගමය දැනුවත් කිරීමෙන් අනතුරු ව කල්ගත වුවහොත් සිදුවිය හැකි ආපදාවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ගරු අනුශාසක, උපදේශක මණ්ඩල සමඟ නිලධාරී මණ්ඩලය ද සාකච්ඡා කොට තීරණය කළේ අවශ්‍ය තැන් ප්‍රතිසංස්කරණය කළයුතු බවයි.

මේ තත්ත්වය කන වැටුණු එක්සත් රාජධානියේ ආනන්ද ආදි ශිෂ්‍ය සංගමය එම කාර්යය සඳහා වැය වන මුළු මුදල වන රු. මිලියන දෙකකට ආසන්න සම්පූර්ණ මුදල ම ආදි ආනන්දීය බෞද්ධ සංගමයට ලබාදීමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් විය. එම කාර්යයේදී එහි සභාපති ජානක රංචාගොඩ මහතාගේත්, අරමුදලේ සම සභාපති හරේන් පුංචිහේවා මහතාගේත් විශේෂ උනන්දුව මත ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා අභ්‍යන්තර ආරක්‍ෂාව පිණිස සුරක්‍ෂිත වීදුරු දොරක් ද සවිකිරීමට ප්‍රතිපාදන ලැබුණි. සියල්ල මැනවින් සිදුවිය.

එතැන් සිට තවත් වසර කීපයක් ගත වන විට ද කොන්ක්‍රීට් වහලයේ තැනින් තැනින් ඇති වූ වතුර කාන්දුව නිසා භයානක ඉරි තැලීම් ආදිය ඇතිවූයෙන් වඩාත් කලබල වූ ආදි ආනන්දීය බෞද්ධ සංගමය විහාර මන්දිරය සුරැකීමේ කටයුතු විශේෂයෙන් තම සංගමයට භාර වී ඇති හෙයිනුත් විසඳුම් සොයන්නට පටන් ගනී. ආනන්දයෙන් ම බිහි වූ විශිෂ්ට ගණයේ ඉංජිනේරුවරුන් ඉදිකිරීම් පිළිබඳ විශේෂඥයන් ද සමඟ සාකච්ඡා වාර කිහිපයක් පවත්වා පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළින් දීර්ඝකාලීන පැවැත්මකට සරිලන පරිදි විශිෂ්ට ලෙස විහාර මන්දිරය නවීකරණය කරන්නට තීරණය විය.

මේ සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ද සහාය ඇති ව සම්පත් බැංකු අධ්‍යක්‍ෂවරයෙකු මෙන් ම දීප්තිමත් ව්‍යාපාරිකයෙකු හා ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ අනුශාසකවරයෙකු ද වන ඡන්න පලංසූරිය මහතා ගේ සභාපතිත්වයෙන් විහාර සාධක කමිටුවක් ද පත්කර ගන්නා ලදී. විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු ආදි ගුරු ශිෂ්‍ය හා වර්තමාන ගුරු, ශිෂ්‍ය සැම ගේ ද සම්බන්ධය ඇති ව මේ ශ්‍රේෂ්ඨ පුණ්‍යකර්මය සඳහා ආධාර ලබා ගැනීමේ අරමුණින් පවත්වන ලද ප්‍රථම හා එක ම රැස්වීමේ දී ම රුපියල් දෙකෝටියකට අධික මුදලක් රැස්කර ගැනීමට කමිටුව සමත් විය.

ක්‍ෂණික ව විධිමත්ව ඉදිකිරීම් ආරම්භ විය. ගතවූයේ මාස දෙකකට ආසන්න කාලපරාසයකි. පියවරින් පියවර ම නව තාක්‍ෂණික ක්‍රමවේදයන් ද උපයෝගී කර ගනිමින් වඩාත් සුරක්‍ෂිත හා දීර්ඝකාලීන යහපැවැත්මක් අපේක්‍ෂා කළ හැකි පරිදි විහාර මන්දිරයට අවශ්‍ය සකලාංග සම්පූර්ණත්වයට පත්කරමින් මූලික ආකෘතියේ කිසිදු වෙනසක් නො වන සේ නවීකරණය සිදුවීම අසන දකින සැම ගේ අමන්දානන්දයට හේතුභූත වී ඇත.

දිනපතා හත්දහසක ගේ වන්දනාමානවලට ලක්වන මේ පරම පූජනීය විහාර මන්දිරය නවීකරණය කිරීමේ මහා පුණ්‍යකර්මයට හැම අයුරකින් ම සහාය ලබා දුන් සැමට කෘතවේදී ව පුණ්‍යානුමෝදනා කළ යුතු ය.