Print this Article


ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ

ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ

පද්මාකාර, ඝණ්ඨාකාර හා ආමලාකාර ස්තූප ලක්දිව ඉතාමත් විරලය. බෞද්ධ ලෝකයා ස්තූප නිර්මාණය සඳහා විවිධ වූ හැඩ තල හා විවිධ වූ ආකෘති තෝරගත් බව පෙනේ. ඉන්දියාවේ සාංචි ස්තූපය ලංකාවේ රුවන්මැලි මහා සෑය, බුරුමයේ සේදෙංගුං චෛත්‍යය, නේපාලයේ ස්වයම්භු ස්තූපය විවිධ හැඩ තල ගත් ස්තූපයි. ඒ ඒ රට රටවල දේශීය කලා ශිල්ප සමග සම්මිශ්‍රණය වී දේශීය ආකෘති බිහිවී ඇති බව දක්නට ලැබේ.

මෙම ලිපියේ පළමු කොටස නවම් පුර පසළොස්වක පත්‍රයේ පළ විය.

ලක්දිව මුල්ම යුගයේ තැනූ ස්තූ®ප හැටියට සලකන ථූපරාම සෑයත් කැලණි වෙහෙරත් ධාන්‍යාකාර ආකාතියට තනා ඇත. මහ සෑ ස්තුපය ප්‍රධාන කොට අනුරාධපුරයේ පොළොන්නරුවේ හා ලක්දිව අනික් ප්‍රදේශ වලත් වැඩිමනක් ස්තූප දක්නට ලැබෙන්නේ බුබ්බුලාකාර ආකෘතියෙනි.

ඝණ්ඨාකාර ස්තූ®ප ආකෘතිය ලක්දිව දක්නට ඇත්තේ කීපයක් පමණි. එයින් එකක් නම් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත , කළටුවාගම රාජමහා විහාරස්ථ ඓතිහාසික දාගැබ අනුරාධපුර යුගයේ ඉදිකළ ඝණ්ඨාකාර ස්තූපයකි. එහි හතරැස් කොටු දෙකක් තිබීම විශේෂයක් ලෙස දැක්ක හැකිය.වෙනත් කිසිත් ස්තූපයක එවන් ආකෘතියක් දක්නට නොමැත.

පද්මාකාර, ඝණ්ඨාකාර හා ආමලාකාර ස්තූප ලක්දිව ඉතාමත් විරලය. බෞද්ධ ලෝකයා ස්තූප නිර්මාණය සඳහා විවිධ වූ හැඩ තල හා විවිධ වූ ආකෘති තෝරගත් බව පෙනේ. ඉන්දියාවේ සාංචි ස්තූපය ලංකාවේ රුවන්මැලි මහා සෑය, බුරුමයේ සේදෙංගුං චෛත්‍යය, නේපාලයේ ස්වයම්භු ස්තූපය විවිධ හැඩ තල ගත් ස්තූපයි. ඒ ඒ රට රටවල දේශීය කලා ශිල්ප සමග සම්මිශ්‍රණය වී දේශීය ආකෘති බිහිවී ඇති බව දක්නට ලැබේ.

අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, යාපහු, කුරුණෑගල හා මහනුවර සීතාවක ආදී යුගවල ලක්දිව බිහි වූ ස්තූප එකකට එකක් වෙනස් වූ ආකෘති භාවිත කොට ඇත. ඒ හෙළ කලාකරුවාගේ කලා කෞශල්‍යයයි . දක්‍ෂතාවයි.

ස්තූප පිළිබඳ පුරා විද්‍යාත්මක පර්යේෂණ රැසක් කළ පාකර්, සෙනරත් පරණවිතාන ආදී වියත්හු ස්තූප ආකෘති හයක් දක්වයි.

1.ඝණ්ඨාකාර 2.ධාන්‍යාකාර 3.ඝටාකාර 4. පද්මාකාර 5. බුබ්බුලාකාර 6. ආමලාකාර

අද ලක්දිව දක්නට ලැබෙන ස්තූපයන් යථෝක්ත ආකෘති හයම අභිභවනය කොට තිබේ. අඹේපුස්ස තලගම රාජමහා විහාරස්ථානයේ ගොඩනගා ඇති ස්තූපය, මීගමුවේ, අඟුරුකාරමුල්ලේ විහාරස්ථානයේ ගොඩනගා ඇති ස්තූපය ආදි ස්තූප ආකෘතීන් ගැන විමසා පර්යේෂණ කොට බලන විට පෙනී යන්නේ ස්තූපයේ ආකෘති විවිධ වූ හැඩ තල ගත් බවකි. එනිසා ඉහත කී ආකෘති හයට පමණක් සීමා කිරීම කිසිසේත් යුක්ති යුක්ත නොවේ.

මේ අයුරින් විවිධ හැඩතල ගත් කොටස් නවයකින් සම්පූර්ණ වේ. එයින් කියවෙන සංකේතාර්ථ ද රැසකි.

1.සලපතල මළුව – සත්ව සමූහයා
2. ආසනය – සුවාසු දහසක් ධර්මස්කන්ධ
3. තුන් මහල්පේෂා – ත්‍රිවිධ රත්නය
4. ගර්භය – සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
5. හතරැස් කොටුව - සිව්වනක් පිරිස
6. දේවතා කොටුව - සදිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක
7. කොත් කැරැල්ල – මාර්ග ඵල
8. කොත – නිවනේ දෙයාකාරය
9. චූඩා මාණික්‍ය - නිවන

සල පතල මළුව

සල පතල මළුව නිර්මාණය වී ඇත්තේ විවිධ වූ හැඩ තලවලින් යුක්ත ගල් ලෑලි භාවිත කිරීමෙනි. තැනට ඔබින , ගැළපෙන ගල් පතුරු තබමින් සකස් කොට ඇත. එයින් අදහස් කරන්නේ සත්ත්ව සමූහයටය. එනම් අන්ධ වූ පෘථග්ජනයා ය. කර්ම ශක්ති අනුව සසර ඉපැදී ඇති අයුරු දිග, පළල හා කෙටි ගල් තලවලින් නිරූපිතව දක්වයි.

ස්තූපයක ස්ථාවර පැවැත්ම සඳහා මේ සලපතල මළුව අතිශයින් ම වැදගත් වේ. එය අත්තිවාරම වශයෙන් ද සලකති. එය ඉතා ශක්තිමත් ලෙස නිර්මාණය කළ යුතුය. විශාල ගල් ගොඩක් යට කර තිබේ. බොහෝ ස්තූ®ප වල පොළොවෙන් මතුපිටට ඇති තරම් ප්‍රමාණයක් පොළොව යටටත් ඇති බව කියැවේ. මහා සෑය අත්තිවාරම ගැන විශේෂ සඳහනක් වෙයි. අත්තිවාරමේ ගැඹුර හා සලපතල මළුවේ දිග පළලින් අන්ධ පෘථග්ජනයා දීර්ඝ වූ හා පැතිරුණු සංසාරය මැනවින් විදහා දක්වයි.

ජේතවන ස්තූපය ගැන පර්යේෂණයක් කළ බෙල් මහතා සඳහන් කරන්නේ එහි අත්තිවාරම අඩි 26 ක් ගැඹුරට ඇති බවය. එහි විෂ්කම්භය අඩි තුන්සිය හැත්තෑවකි. ස්තූපයේ පැවැත්ම සඳහා මෙතරම් ශක්තිමත් පදනමක් අත්තිවාරමක් අවශ්‍ය නැත. විශාල ගල් ගොඩක් යට කර ඇත්තේ ස්තූපයෙන් හරි අඩක් පොළොව යටට ඇති බව පෙන්වීමටය. එයින් බලාපොරෙත්තු වූයේ විශ්වයෙන් හෙවත් ලෝකයෙන් හරි අඩක් සයුරේ ගිලී ඇති බව පෙන්වීමට යැයි අල්විස් මහතා කියයි.

ආසනය

ඇතැම් ස්තූපවල පොළොවෙන් අඩි කීපයක් උසට තනා ඇති ආසනයකි. එයින් සංකේතවත් කරන්නේ සුවාසු දහසක් ධර්මස්කන්ධයයි.

ද්වාසීතිං බුද්ධතො ගණ්හිං
ද්වෙ සහස්සානි බක්ඛුතො
චතුරාසීති සහස්සානි
යෙ මෙ ධම්මා පවත්තිනොති

අසූ දෙදහසක් ධර්මස්කන්ධ බුදුරජාණන් වහන්සේගෙන් ද (දෙදහස් ධර්මස්කන්ධ භික්ෂූන්ගෙන්ද ගෙන අසූ හාර දහසක් ධර්මස්කන්ධ ගොඩ නගා ගත් බව ප්‍රකාශ කරති. මේ අසූහාර දහසක් ධර්මස්කන්ධ පෙන්වීමට ආසනය සංකේතවත් කොට තිබේ.

තුන් මහල් පේෂා

ස්තූපයේ තුන්වන කොටස හැටියට දක්වන්නේ තුන් මහල් පේෂායි. ආදිම යුගයේ මෙම තුන් මහල් පේෂා දාගැබ වටේ පිටට නෙරා යන අයුරින් නිර්මිතය. ඒවා මල් පහන් තැන්පත් කොට පූජා කිරීම සඳහා යොදා ගත් බව ද කියති. ‘ මල් පියවසා ‘ යනු තුන් මහල් පේෂා සඳහා භාවිතා කළ තවත් නමකි. එනමින් හඳුන්වා ඇත්තේ ද යථෝක්ත කරුණ හේතු කොට ගෙන බව පෙනේ.

බුද්ධ,ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය නිරූපණය සඳහා මේ නිර්මාණය කොට ඇති බව කියති. ඇතැමෙක් ,සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂා තුන් මහල් පේෂා ගොඩ නගා ඇත්තේ ලඤ්ජිතිස්ස රජතුමා විසින් බව කියති.

සිලාමයානි කාරෙසි - පුප්පයානානි තීනිසො
අථො සතසහස්සෙන – විනාපෙසිව අන්තරා’

සෙනරත් පරණවිතාරණ මහතා කියන්නේ මහා සෑයේ පේෂාවන් ගඩොලින් ඉදි වී තිබූ අතර ලඤ්ජිතිස්ස රජතුමා ඒ පේෂා හුණුගලින් ආවරණය කළ බවයි.

තුන්මහල් පේෂාවන්ගෙන් ත්‍රිවිධ රත්නය සංකේතවත් කළ බව කියති. බුද්ධ, ධම්ම, සංඝ යනු ත්‍රිවිධ රත්නයයි. බුදුරජාණන් වහන්සේ සත්වන සතිය රාජායතන (කිරිපලු ) රුක් සෙවණෙහි ගත කළ සේක. එහි දී උත්තලා නම් නුවර සිට පැමිණි තපස්සු – භල්ලුක වෙළෙඳ සොහොයුරෝ දෙදෙනෙක් අත්සුණු හා මී පිඬු පිළිගැන්වූහ. අනතුරුව බුද්ධ රත්නය, ධර්ම රත්නය, පමණක් ඔවුන් සරණ ගිය ප්‍රථම, ද්වේවාචික උපාසකයෝ තපස්සු භල්ලුක දෙසොහොයුරෝ වූහ.

යසගේ පියා වූ බරණැස් සිටුතුමා, යසගේ මව හා පුරාණ භාර්යාව යන පිරිස බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය තේවාචික ප්‍රථම උපාසක උපාසිකාවෝ වූහ. තෙරුවන් සරණ ගිය අය බුද්ධ ශාසනයේ හඳුන්වනු ලැබුවේ ‘උපාසක –උපාසිකා ‘ යන ගෞරව නාමයෙනි. ධර්මාශෝක රජතුමා ද දෙවනපෑතිස්ස රජුට දහම් පඬුරක් එව් බව ඉතිහාසයේ දැක්වේ.

අහං බුද්ධඤ්ඡ
සංඝඤ්ච සරණං ගතො
උපාසකත්තං මේ දෙසි
සක්‍යපුත්තස්ස සාසනෙ
ඉමෙසු තීසු වත්ථුසු
උත්තමෙසු නරුත්තම
ත්වම්පි චිත්තං පසාදෙහි
සද්ධාසරණමුපෙතී ති

මම බුදුන් ද ධර්මයද , සංඝයාද සරණ ගියෙමි. බුදුන්ගේ සසුනෙහි උපාසකයෙකු කොට ප්‍රකාශ කෙළෙමි. නරෝත්තමය,මේ උතුම් වස්ත්‍රයෙහි නුඹ ද සිත පහදවා ශ්‍රද්ධාවෙන් සරණ යව යනුයි. බොහෝමයක් සූත්‍ර දේශනා අවසානයෙහි තෙරුවන් සරණ ගිය උපාසකයෙකු කොට සැලකුව මැනවැයි බුදුරජුන්ගෙන් කළ ඉල්ලීම් දක්නට ලැබේ. අන්ධ පෘථග්ජනයා සුවාසු දහසක් ධර්මස්කන්ධය ශ්‍රවණය කිරීමෙන් ත්‍රිවිධ රත්නය සරණ යන බව පෙනේ. තුන් මහල් පේසාවන්ගෙන් සංකේතවත් වන්නේ එයයි. තවත් අදහසක් අනුව තුන් මහල් පේෂාවන්ගෙන් සීල, සමාධි, ප්‍රඥා යන්න ද සංකේතවත් කරන බව කියති.

තුන්මහල් පේෂා අදහස් කළ සීල – කාය වාචානං සමාදානං සීලං ‘ යනුවෙන් දැක්වෙන පරිදි කාය වාග් ද්වාරයන් මැනවින් සංවර කරගැනීමය. කයින් සිදුවන අකුසල ධර්මයන් හා වචනයෙන් සිදුවන අකුසල ධර්මයනගෙන් වෙන් වී එහි දොරටු දෙක ආරක්ෂා කර ගැනීම සීලය වශයෙන් පෙන්වා දිය හැකිය.

සමාධි නම් සම සතළිස් කර්මස්ථාන අතුරෙන් තමන්ගේ චරිතයට ගැළපෙන එක් කමටහනක් ගෙන භාවනා කිරීමෙන් උපදවා ගත යුතු සිත එකඟ බවයි. මේ සිත් එකඟකම ලබා ගැනීමෙන් පසු එහි ප්‍රතිඵලය වශයෙන් පංච අභිඥා, අට්ඨ සමාපත්ති උපදවා ගත හැකිවේ.

පංච අභිඥා නම්

1.ඉද්දිවිධ ඤාණය 2.දිබ්බ සොත ඤාණය 3.පරචිත්තවිජනන ඤාණය 4.පුබ්බේනිවාසානුස්සති ඤාණය 5.දිබ්බ චක්ඛු ඤාණය

අට්ට සමාපත්ති නම්

1.රූපාවචර ප්‍රථම ධ්‍යානය
2.රූපාවචර ද්විතීය ධ්‍යානය
3.රූපාවචර තෘතීය ධ්‍යානය
4.රූපාවචර චතුර්ථ ධ්‍යානය
5.අරූපාවචර ආකාසනඤ්චායතනය
6.අරූපාවචර විඤ්ඤානඤ්චායතනය
7.අරූපාවචර ආකිඤ්චඤ්ඤායතනය
8.අරූපාවචර නේවසඤ්ඤානාසඤ්ඤාචායතනය

ප්‍රඥා නම් ලෝකයෙහි පවත්නා සියලුම සවිඤ්ඤාණක අව්ඤ්ඤාණක වස්තුන් පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දක්නා නුවණයි. මෙය විදර්ශනා ඥානය ලෙස හැඳින්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ග අංග දෙක මෙයට ඇතුළත් වේ. ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව යයි මූලික වශයෙන් කොටස් දෙකකට බෙදේ.

තවද සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා හා භාවනාමය ප්‍රඥා ආදි වශයෙන් කොටස් කීපයකට බෙදා තිබේ. කෙටියෙන් සඳහන් කරතහොත් ලෞකික ඥානයෙන් තොර තැනැත්තන්ට ලෝකෝත්තර ඥානයක් ලැබිය නොහැකිය.

ගර්භය

තුන් මහල් පේෂාව මත හතරවන අංකය හැටියට ඇත්තේ අර්ධ කවාකාර ගර්භයයි. ස්තූපයේ සැලැස්ම ඔපවත් වන්නේ මේ ගර්භය නිසයි. ධාතුන් වහන්සේලා ඇතුළු බොහෝ නිධන් වස්තු මෙන්ම, බුද්ධ ප්‍රතිමා ආදිය මෙම ගර්භය තුළ නිදන් කරනු ලැබේ.

රුවන්මැලි මහා ස්තූපයේ ගර්භය ඇතුළේ විශාල කාමරයක් මෙන් තිබූ බව සඳහන් වන අතර, පන්සිය පනස් ජාතක චිත්‍ර කොට තිබූ බව ද පැවසේ. භාතිකාභය රජතුමා වඩාත් සුවඳවත් මල කුමක් ද?යි ගර්භය පුරවා දොරවල් වසා පැයක් හමාරකින් දොරවල් විවෘත කළ විට දෑ සමන් මල් සුවඳ සුවඳවත් බව එදා අනුරාධපුරයේ දී මේ මල් පර්යේෂණයෙන් ඔප්පු කළ බව සඳහන් වේ.

ස්තූපයක මේ ගර්භය කලාත්මක ලෙසත් ශක්ති සම්පන්න ලෙසත් සකස් කරනු ලැබේ. මෙම ගර්භයෙන් සංකේතවත් වන්නේ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම බව සඳහන් කරති. බෝධි යනු ලෝකෝත්තර විමුක්තියට භාවිතා කරනු ලබන නමකි. එම ලෝකෝත්තර මාර්ගඥානය ලබා ගැනීම සඳහා වැඩිය යුතු ධර්ම සියල්ල බෝධි පාක්‍ෂික ධර්ම ලෙස දැක්වේ.

මෙම ධර්ම මාර්ගයන් අනුගමනය කිරීමෙන් සෝවාන් ආදී මාර්ග ඵල ලබාගන්නට හැකි ය. එවන් ධර්ම තිස් හතක් ඇත.

1.සතර සතිපට්ඨාන ධර්ම
2.සතර සම්‍යක්ප්‍රධාන ධර්ම
3.සතර ඍද්ධිපාද ධර්ම
4.පඤ්ච ඉන්ද්‍රිය ධර්ම
5.පඤ්ච බල ධර්ම
6.සප්ත බොජ්ඣංග ධර්ම
7.ආර්ය අෂ්ටාංගික ධර්ම

සතර සතිපට්ඨාන ධර්ම

සතිය හෙවත් සිහිය පිහිටවිය යුතු ධර්ම හතරකි. කායානුපස්සනා, වේදනානුපස්සනා , චිත්තානුපස්සනා, හා ධම්මානුපස්සනා යනු ඒ සතරයි.

1.කායානුපස්සනා - කය අනුව බැලීමයි. එනම් ආශ්වාස , ප්‍රශ්වාස සතර ඉරියව් , කුණුප කොටස්, ධාතු කොටස් හා නවසීවථික වශයෙන් සමස්ත ශරීරයේ පැවැත්ම පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම

2.වේදනානුපස්සනා :- සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ වශයෙන් වේදනාව කෙරෙහි සිහිය පිහිටුවා ගැනීම, වේදනානුපස්සනා නව ආකාරයකට බැලිය යුතුය.

3.චිත්තානුපස්සනා :- ඒ ඒ අවස්ථාවන්හි පවත්නා ඒ ඒ සිත් කෙරෙහි දහසය ආකාරයකට බැලීම, සිහිය පිහිටුවා ගැනීමය.

4.ධම්මානුපස්සනා :- නිර්වාන මාර්ගය අහුරන, නීවරණ ධර්ම, ස්කන්ධ ධර්ම, ආයතන ධර්ම, බොජ්ක්‍ධංග ධර්ම හා චතුරාර්ය සත්‍ය ධර්ම යන කොටස් සතර පිළිබඳව සිහි කල්පනාව මෙනෙහි කිරීමය.

සතර සම්‍යක් ප්‍රධාන වීර්ය

1.නූපන් අකුසල් නූපදනු පිණිස
2.උපන් අකුසල් ප්‍රහාණය පිණිස
3.නූපන් කුසල් ඉපදීම පිණිස

4.උපන් කුසල් දියුණු කිරීම පිණිස උත්සාහ කිරීම සතර සම්‍යයක් ප්‍රධාන වීර්ය ලෙස හඳුන්වති. අලසකම, කම්මැළිකම, නැතිකිරීම, ලෞකික, ලෝකෝත්තර වශයෙන් දියුණුව ලද හැකිය.

සතර ඍද්ධිපාද ධර්ම

ඍද්ධිය යනු යමක සිදු වීමයි. එවැනි සිදුවීම් හතරකි. 1.ඡන්ද :- භාවනා කිරීමෙහි කැමැත්ත 2.චිත්ත :- භාවනා කිරීම සඳහා ඇතිකර ගන්නා චිත්ත ශක්තිය, 3. වීරිය - භාවනා කිරීමට වීර්ය ඇති බව 4. වීමංසා - තියුණු වූ ප්‍රඥාවයි

පඤ්ච ඉන්ද්‍රිය ධර්ම

සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන්න පංච ඉන්ද්‍රිය ධර්මයි. මේවා වැඩූ පුද්ගලයා ලෞකික දියුණුවට පත් වේ. ලෝකෝත්තර දියුණුව ඇති අයෙකි. තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා අවබෝධය පැහැදීම සද්ධා ඉන්ද්‍රියයි. කායික මානසික වශයෙන් උපදවා ගනු ලබන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය විරිය ඉන්ද්‍රියයි. කුසල් අකුසල් නිතරම හඳුනා ගැනීමෙන් අකුසල් දුරු කොට කුසල් උපදවා ගැනීමට සිත දියුණු කරගත යුතුය. එසේ සිත දියුණු කර ගැනීම ඒ සඳහා ඇති සිහි කල්පනාව සති ඉන්ද්‍රියයි. ඊළඟට වැදගත් වන්නේ සමාධියයි. ධ්‍යාන උපදවා ගැනීමට , සිත එකඟ කර ගැනීමට සමත් වන්නේ සමාධි ඉන්ද්‍රියයි. චතුරාර්ය සත්‍යය විමසීමෙන් ,අනුගමනය කිරීමෙන් ඇති කරගත හැක්කේ ප්‍රඥාවයි. දුක් කෙළවර කොට නිවන අවබෝධ කිරීම පිණිස ප්‍රඥාව අවශ්‍ය වේ. එය පඤ්ඤා ඉන්ද්‍රිය නමින් හැඳින්වේ.

පඤ්ච බල

‘පඤ්චමානි භික්ඛවේ බාලානි. කතමෙ පඤ්ච සද්ධා, බලං, වීරිය බලං සති බලං , සමාධි බලං, පඤ්ඤා බලං’ මෙහි පඤ්ඤා බල යනු පඤ්ඤා ඉන්ද්‍රිය ම බලවත් වීමය. නිවනට ඇති සියලු බාධාවන් මැඩ පවත්වා ජය ගැනීමට තරම් බලවත් නිසා පඤ්ච බල යයි ව්‍යවහාර කෙරේ.