Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 29 වක්කලී මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 29

වක්කලී මහරහතන් වහන්සේ

නිවන් සැපය කියන්නේ ලෝකයේ තිබෙන අග්‍රම සැපය යි. ඒ අග්‍ර වූ සැපය ලෝකයට දායාද කළේ තුන් ලෝකටම අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනු යි. අමා මහා නිවන නම් වූ පරම සැපයට පත්වීමට තරම් භාග්‍යවන්ත වූ මහා පුණ්‍යවන්තයින්ගේ ජීවිත හරිම අසිරිමත්. මේ ගෞතම බුදු සසුනේ ශ්‍රද්ධා සම්පත්තියෙන් අග්‍ර වූ වක්කලී නම් උතුම් මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර යුගයේ ලෝකනායක වූ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ගිහි පැවිදි බොහෝ ශ්‍රාවක පිරිසක් පිරිවරාගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එදින දහම් දෙසමින් වැඩ සිටියා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ‘පින්වත් මහණෙනි, මාගේ ශාසනයෙහි ශ්‍රද්ධාව බලවත්ම භික්ෂුව වන්නේ මෙන්න මේ භික්ෂුව යි’ යනුවෙන් අග තනතුරක් පිරිනැමුවා. එකල හංසවතී නුවර බමුණු පවුලක බමුණු පුත්‍රයෙකු ලෙස උපත ලබා සිටි වක්කලී තෙරුන් මේ සිදුවීම දැක අතිශයෙන්ම සොම්නසට පත්වුණා.

ඔහු බුද්ධ ප්‍රමඛ මහා සංඝ රත්නයට දානයකට ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන දානයට වැඩම කළා. ප්‍රසන්න සිතින් ඔහු දන් පැන් පිදුවා. මේ අයුරින් මේ තරුණයා සත් දිනක් පුරාවටම බුදුරජාණන් වහන්සේටත්, භික්ෂු සංඝයා වහන්සේටත් සිවුපසයෙන් උපස්ථාන කළා. සත්වන දිනයෙහි දානයෙන් පසුව බුදුරජාණන් වහන්සේ පාමුල වැඳ වැටී ‘මහා මුනීන්ද්‍රයන් වහන්ස, මෙයින් සත් දිනකට පෙර ඔබ වහන්සේ ශ්‍රද්ධාවන්ත භික්ෂුන් අතර අග්‍ර යැයි යම් භික්ෂුවකට අග තනතුරු ප්‍රදානය කළේද ඒ අයුරින්ම මටද මතු පහළ වන බුදු සසුනක බලවත් ශ්‍රද්ධාව ඇති භික්ෂුන් අතර අග්‍රස්ථානය ලැබේවා! යි ප්‍රාර්ථනා කළා.

එය ඇසු පමුදුත්තර බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මේ තරුණයාගේ අනාගතය දැක පින්වත් මහණෙනි, මේ බමුණු මානවකයා දෙස බලන්න. මින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ලොව පහළ වන ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මොහු ශ්‍රද්ධා සම්පන්න භික්ෂුන් අතරින් අග තනතුරු ලබන්නේ ය’ යැයි පවසා වදාළා. මහත් වූ පී‍්‍රතියකට පත් වූ මේ තරුණයා දිවි ඇති තාක් කුසල් රැස්කොට මරණින් මත සුගතියේ උපත ලැබුවා. කල්ප ලක්ෂයක් පුරාවට සුගති දුගතින්ගේ සැරිසරමින් පැමිණි හෙතෙමේ මේ මහා භද්‍ර කල්පයේ අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ සැවැත්නුවර බ්‍රාහ්මණ පවුලක උපත ලැබුවා. වක්කලී නමින් හැඳින් වූ මොහු පසු කලෙක ගිහි ගෙයින් නික්මි බුදු සසුනේ පැවිදි බව ලැබුවා. ස්වර්ණ වර්ණ ප්‍රතිමාවක් බඳු වූ බඹයක් පමණ උස, දූවිලි නො රදින සිවියක් ඇති අභිනීල නෙත් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රීය දැකීමට වක්කලී ස්වාමින්වහන්සේ බොහෝ සෙයින් ආශා කළා. පිණ්ඩපාතේ වැඩම කරන වෙලාව හැර අන්සෑම මොහොතක ම බුදුරජාණන් වහන්සේ සමීපයටම වී ඒ රන්වන් බුදු සිරුර දකිමින් වාසය කළා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැසිරීමට ප්‍රමාදීව වාසය කරන වක්කලී ස්වාමින් වහන්සේව දැක උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් ‘පින්වත් වක්කලී ඔබ මෙතැනින් ඉවත් වන්න’ යැයි බැහැර කොට වදාළා. බලවත්ව සිත් තැවුලට පත් වූ වක්කලී හිමියන් ‘ශාස්තෘන් වහන්සේව නො දකින මගේ ජීවිතයෙන් ඇති ඵලේ කුමක් ද? යැයි සිතා දිවි තොර කර ගැනීම පිණිස ගිජුකුළු පව්වෙහි ප්‍රපාතයක් සමීපයට ගියා. මේ සිදුවීම දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ මහත් වූ අලෝකයක් විහිදුවා සතර පද ගාථාවක් වක්කලී තෙරුන් අරභයා වදාළා.

පමොජ්ජ බහුලෝ භික්ඛ - පසන්නො බුද්ධ සාසනේ
අධිගච්ජේ පදං සන්තං - සංඛාරූපසමං සුඛං

ප්‍රමුදිත වූ සිතකින් බුදු සසුන කෙරෙහි සිත් පහදවා ගත් භික්ෂුව සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ලබන ශාන්ත වූ නිර්වාණය අවබෝධ කර ගන්නේ ය.

මේ ගාථාවෙන් අරතිය දුරු කරගත් වක්කලී හිමි මහත් වීරියෙන් යුතුව හුදෙකලාවන ධර්මය පුරුදු කළා. නො සිතු ලෙස වක්කලී හිම බලවත් සේ ගිලන් වුණා. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාම යේ. ගිලන් වූ වක්කලී තෙරුන් කුඹුල්කරුවෙකුගේ ශාලාවක වැඩ සිටියා. අනුකම්පා උපදවාගෙන බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් බැහැ දැකීමට වැඩම කළා. පැන වූ අසුනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන්ගෙන් මෙසේ විමසා සිටියා. ‘පින්වත් වක්කලී දැන් ඔබට කොහොමද ඉවසන්නට පුළුවන් ද? යැපෙන්නට පුළුවන් ද? කොහොමද ඔබේ දුක් වේදනා අඩුවීමක් තිබෙනවා ද? වැඩිවීමක් දකින්නට නැහැ නේද?

‘අනේ ස්වාමිනි මට ඉවසන්නට අමාරුයි. යැපෙන්නටත් අමාරුයි. මගේ දුක් වේදනා බොහෝ සෙයින්ම වැඩිවෙනවා. අඩුවීමක් නැහැ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නෙ නැහැ.

‘ඇයි පින්වත් වක්කලී? කිසියම් පසුතැවිල්ලක් නැද්ද? කිසියම් විපිළිසර බවක් නැද්ද? ‘ අනේ ස්වාමිනි, හැබෑවටම මට ස්වල්ප පසුතැවිල්ලක් නොවෙයි තියෙන්නේ. ස්වල්ප විපිළිසර බවක් නො වෙයි තියෙන්නේ’.

‘ඇයි වක්කලී, ඔබට සිල්වත් බව පිළිබඳව තමාගෙන්ම චෝදනා ලැබෙනවා ද? ‘

‘නැහැ ස්වාමිනි, මට සිල්වත් බව පිළිබඳව තමාගෙන් චෝදනා ලැබෙන්නේ නැහැ.’

‘ඉදින් පින්වත් වක්කලී සිල්වත් බව පිළිබඳව ඔබට තමාගෙන්ම චෝදනා නො ලැබෙනවා නම්, එහෙම එකේ අයෙමත් ඔබ මොනවාට පසුතැවිලි වෙනවාද? මොනවාට විපිළිසර වෙනවා ද?

‘ස්වාමිනි මම බොහෝ කලක් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට එන්න කැමැත්තේ හිටියා. යම්තාක් කලක් භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්නට එළඹෙනු කැමැතිව හිටියත් එතරම්වත් මගේ ශරීරයහි සවිශක්තියක් නැහැ.

පින්වත් වක්කලී, මේ කුණු ශරීරයක් දැකලා ඇති එලේ මොකක් ද? වක්කලී, යමෙක් ධර්මය දැකිනවා නම්, ඔහු තමයි මාව දකින්නේ. යමෙක් මාව දකිනවා නම්, ඔහු තමයි ධර්මය දකින්නේ. පින්වත් වක්කලී, ධර්මයම දකිද්දී මාව පේනවා. මාව දකිද්දී ධර්මය යි පෙනෙන්නේ.

අනතුරුව බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමින් වහන්සේ අරභයා පංච උපාදානස්කන්ධය විස්තර කරමින් මිහිරි ධර්මයක් දේශනා කොට වදාළා. එය සංයුත්ත නිකායේ වක්කලී සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. වක්කලී ස්වාමින් වහන්සේ ධර්මයෙන් සතුටු කොට වදාළ බුදුරජාණන් වහන්සේ එම ශාලාවෙන් නික්ම ගියා. නොබෝ වේලාවකින් ඒ ධර්මයම විදර්ශනා කොට මහා පුණ්‍යවන්ත වක්කලී තෙරුණුවෝ ගිලන් අ‍ෙඳ්දීම සියලු කෙලෙසුන් නසා අමා මහ නිවන සාක්ෂාක් කොට වදාළා. ඒ නිවන් සුවය අත් විඳීන වක්කලී රහතන් වහන්සේ උපස්ථායක භික්ෂුන් හට තම අරහත්වය මේ අයුරින් ප්‍රකාශ කොට වදාළා.

වාතරෝගාභිනීතො ත්වං විහරං කානනේ වනේ
පවිට්ඨ ගොචරේ ළූඛේ කළුං භික්ඛු කරීස්සසී

(භාග්‍යවතුන් වහන්සේ) පින්වත් භික්ෂුව, ඔබ ඉන්නේ මහා වනයේ, වාත රෝගයකිනුත් පීඩා විඳිනවා. සිව්පසයත් පිළිවෙළකට නැහැ. මේ කටුක ජීවිතේ ඔබ ගෙවන්නේ කොහොම ද?

පීති සුඛේන විපුලේන එරමානො සමුස්සයං
ළූතම්පි අබිසම්භොන්තෝ විභරිස්සාමි කානනේ

(වක්කලී තෙරුන්) මගේ මුළු සිරුර පුරාම මහත් පී‍්‍රති සැපයක් පැතිරිලා තියෙන්නේ. ඒ නිසා කටුක ජීවිතේ මැඩගෙන මම මහ වනයේ ඉන්නවා.

භාවෙන්තො සතිපට්ඨානේ ඉන්ද්‍රියානි බලානි ච
බොජ්ක්‍ධංගානි ච භාවෙන්තො විහරිස්සාමි කානනේ

මම මහ වනයේ ඉන්නේ සතර සතිපට්ඨාන වඩිමිනුයි. ඒ වගේම පඤ්ච ඉන්ද්‍රිය ධර්මයන්, පඤ්ච බල ධර්මයන්, සප්ත බොජ්ඣංග ධර්මයන් වඩමිනුයි.

ආරද්ධවිරියො පහිතත්තො නිච්චං දළ්හ පරක්කමො
සමග්ගේ සහිතේ දිස්වා විහාරිස්සාමි කානනේ

(පටන් ගත් විරිය දිගටම පවත්වන දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන දැඩි පරාක්‍රමයෙකින් යුක්ත වූ සබ්‍රහ්මචාරින් වහන්සේලා සමඟියෙන් වැඩ සිටින ආකාරය දකිමිනුයි මහ වනයේ මම ඉන්නේ.

අනුස්සරන්තො සම්බුද්ධං අග්ගං දන්තං සමාහිතං
අත්තන්දිතො රත්තිං දිවං විහරිස්සාමි කානනේ

තුන් ලොවටම අග්‍ර වූ දමනය වූ සමාහිත සිත් ඇති බුදු සමිඳාණන්ව දිවා රාත්‍රී දෙකේම සිහි කරමිනුයි මහා වනයේ මම ඉන්නේ.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ව අග තනතුරු ප්‍රදානය කර කල්හි “පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ මේ පින්වත් වක්කලී වනාහි බලවත් ශ්‍රද්ධාව ඇති භික්ෂුන් අතරින් අග්‍ර භාවයට පත් වෙනවා යැයි” අග තනතුරු ප්‍රදානය කොට වදාළා.

එනිසා අපත් බුදු සසුනක අග්‍ර ඵල නෙලා කිසිවක නො බැඳී ලෝකයෙන්ම එතෙර වුණ වක්කලී මහ රහතන් වහන්සේ වැනි මහා පුණ්‍යවන්ත රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 28 සුමන මහරහතන් වහන්සේ