UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළොම්පුර එකලු කරන නවම් පෙරහර අසිරිය

කොළොම්පුර එකලු කරන නවම් පෙරහර අසිරිය

කොළඹ නවම් මහා පෙරහර ජාතික සමගියත්, ආගමික සංහිඳියාවත් ඇති කරවන ආකාරය ද ආදර්ශවත් වේ. ගමක පැවැත්වෙන පෙරහර ගමක සමගිය, සහජීවනය මෙන් ම එකමුතුකම ද ඔප්නංවන අවස්ථාවකි. නවම් මහා පෙරහර ජාතික සමඟිය හාආගමික සහජීවනයත් රටක් ලෙස ලොවට පෙන්නුම් කැරෙන අවස්ථාවකි. නවම් පෙරහර මංගල්‍යය සඳහා සියලු ජන කොටස් එදා සිටම ආධාර උපකාර කිරීමද ආදර්ශවත් වේ.


ආචාර්ය ගල්බඩ ශ්‍රී ඤාණිස්සර නා හිමි

කොළඹ ගංගාරාම මහා පින්බිමෙන් ඇසෙන පිරිත් සජ්ඣායනා හා සාධු නාදයත්, හේවිසි හඬත් බෞද්ධ උරුමයක මහත් වූ අසිරිය විදහා දක්වන්නකි.

ගංගාරාමය අසළ මංමාවත්හි වෙනදා දක්නට ලැබෙන රථවාහන හඬ අද නිහඬය. බලන හැම දිසාවකම දක්නට ඇත්තේ බොදු ධජ ලෙලදෙන චමත්කාර දසුනකි. දහස් සංඛ්‍යාත විදුලි බුබුළුවලින් ආලෝකවත් වූ නෙත් සිත් පහන් කරවන සුන්දර දසුනකි. සුදුවතින් සැරසුණු දහස් සංඛ්‍යාත සැදැහැතියන් ය.

නවම් මහේ සඳ එළිය පොළොව මත පතිත වෙන මොහොතේ ගංගාරාම පින්බිම සිට අවට බලන්නෙකුට පෙනී යන්නේ අපූර්ව වූ පින්සිතිවිලි උදාකරවන චමත්කාර ජනක දසුනකි.

නවම් මහේ උදාවත් සමඟ වෙසෙසින්ම බොදු දන මනසට සිහි ගැන්වෙන්නේ කොළඹ නවම් මහා පෙරහර පිළිබඳ දසුනයි.

කොළඹ නවම් මහා පෙරහර දසක තුනහමාරක අතීතයකට උරුමකම් කියයි. ඓතිහාසික පින් බිමක අතීත උරුමය ද එක් කරමින් නවම් මහා පෙරහර කොළොම්පුර ආලෝකවත් කරන අයුරු සැබැවින්ම ආදර්ශවත් ය.

පෙරහර සංස්කෘතිය ජීවමාන බුදුරදුන් දවසට පෙර සිට පැවතිණි. එහෙත් පෙරහරට ගුණාත්මක බවත්, කලාත්මක බවත් ඒකරාශී වූයේ සම්බුදු දහමේ ආභාෂයෙනි.

කොළඹ හුණුපිටියේ ගංගාරාමය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පෞරාණික විහාරස්ථානයක් වේ.

ගංගාරාමය ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික ආදී වශයෙන් සුවිශාල සමාජ මෙහෙවර රැසක නිරත පුණ්‍ය භූමියකි. ලෝක පූජිත විහාරස්ථානයකි.

මෙරට ශාස්ත්‍රීය හා ආගමික පුනරුදයක් බිහි කළ පණ්ඩිත ශිරෝමණි හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව, ශිෂ්‍ය උරුමය පවතින විහාරස්ථානය ද ගංගාරාමයයි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යරත්නය ලෙස දෙවුන්දර ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගංගාරාමය කුඩා ආවාසයක් ලෙස එහි පදිංචියට වැඩම කරවූහ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගංගාරාමය ආරම්භ කර අනතුරුව උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු කරගෙන යන අතරතුර විද්‍යෝදය පිරිවෙන ද ආරම්භ කරන ලදී.

මෙරට බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමෙහිලා හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා හෙන්රි ස්ටීල් ඕල්කොටතුමා ඇතුළු පිරිසගෙන් ලද දායකත්වය ද අපි නිරතුරුවම සිහිපත් කරමු.

බෞද්ධ කොඩිය ප්‍රථමයෙන් ඔසවන ලද ස්ථාන ලෙස කොටහේනේ දිපදුත්තමාරාමයත්, කැලණි රජ මහා විහාරයත්, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනත් හුණුපිටියේ ගංගාරාමයත් සලකනු ලැබේ.

අතීතයේ දී ගංගාරාමය පෙරහරක් පවත්වන ලදී. ඒ ඇසළ පෙරහර නමිනි. එහෙත් එදා එම පෙරහර කාලයාගේ ඇවෑමෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ නතර වී ගියේ ය.

1979 දී එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් නැවත වතාවක් ගංගාරාමයේ පෙරහර ආරම්භ විය. එම පෙරහරේ අනුශාසකත්වය හා මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් එම භාරදූර කාර්යය නව මුහුණුවරකින් සිදු කිරීමට ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලිකත්වය ගත්හ. අපේ රටේ හැම දෙනාම ‘ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ’ නමින් උන්වහන්සේ හඳුන්වනු ලබයි.

සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දෙනම වෙත අග්‍රශ්‍රාවක තනතුරු පුදන ලද්දේද, ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේ ද ඓතිහාසික නවම් පුන් පෝදා ය.

එකී ඓතිහාසික ශාසනික සිදුවීම් පාදක කර ගනිමින් ත්‍රිවිධ රත්නය වෙත සිදු කැරෙන මහා පූජෝපහාරයක් ලෙස කොළඹ ගංගාරාමයේ නවම් පෙරහර ආරම්භ විය.

තථාගත බුදුපියාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරමින් සධාතුක කරඬුව වැඩම කරවීමත්, ධර්ම රත්නය සිහි කරමින් ධර්ම පුස්තක වැඩම කරවීම ද පරිත්‍රාණ දේශනා ඇතුළත් රථද, සිය ගණනක් මහා සංඝරත්නය වැඩමවීම ද නවම් පෙරහරේ විශේෂත්වයක් වෙයි.

මේ වන විට කොළඹ නවම් මහා පෙරහර මෙරට ඉතා ප්‍රකට පෙරහරකි. උඩරට, පහතරට, සබරගමු ආදී විවිධ නැටුම් සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් සිය ගණනක් මෙන්ම අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ද සහභාගි වන දර්ශනීය අලංකාර පෙරහරකි.

අලි බලන හස්ති පාලකවරුන්ටත්, පෙරහර අලංකාර කරනු ලබන නර්තන ශිල්පීන්ටත් ස්වකීය ආදායම් තත්ත්වය වැඩිදියුණු කර ගැනීමටත් නවම් මහා පෙරහර හරහා ක්‍රමවේදයක් ගොඩ නඟා තිබේ.

කොළඹ නවම් මහා පෙරහර නැරඹීමේ අපේක්‍ෂාවෙන් විදේශීය සැදැහැවතුන් ද මේ දිනවල අපේ රටට පැමිණේ. ඒ අතර විශේෂයෙන් ජපානය, කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය ආදී රටවල් වේ. කොළඹ නගරයට අලංකාරයක් උදා කරමින් පවත්වනු ලබන නවම් මහා පෙරහර රටට මහත් අභිමානයක් ද ගෙන දෙයි. අපේ රටේ සංස්කෘතිය, දේශීය කලා සම්ප්‍රදායන් පිළිබඳ විදේශීය ජනතාවද එමඟින් දැනුම්වත් වේ.

අපේ සංස්කෘතිකාංගයන් තවදුරටත් ආරක්‍ෂා වනුයේ පෙරහර මඟිනි. අපගේ සාම්ප්‍රදායික නැටුම් කලාව ආරක්‍ෂා වීමට පෙරහර පැවැත්විය යුතු වේ. ඇතැම් නැටුම් සම්ප්‍රදායන් පෙරහර තුළ හැර වෙනත් දකින්නට නොලැබේ. අභාවයට යන නැටුම් සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගැනීමට එම නර්තන ශිල්පීන් සඳහා අවශ්‍ය දිරි දීමනාවන් ලබා දෙමින් එම ශිල්පීන්ගේ කලායතන වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමත් කොළඹ නවම් පෙරහර හා ඉදිරියට යනු ලැබේ.

කොළඹ නවම් මහා පෙරහර ජාතික සමගියත්, ආගමික සංහිඳියාවත් ඇති කරවන ආකාරය ද ආදර්ශවත් වේ.

ගමක පැවැත්වෙන පෙරහර ගමක සමගිය, සහජීවනය මෙන් ම එකමුතුකම ද ඔප්නංවන අවස්ථාවකි. නවම් මහා පෙරහර ජාතික සමඟිය හා ආගමික සහජීවනයත් රටක් ලෙස ලොවට පෙන්නුම් කැරෙන අවස්ථාවකි.

නවම් පෙරහර මංගල්‍යය සඳහා සියලු ජන කොටස් එදා සිටම ආධාර උපකාර කිරීමද ආදර්ශවත් වේ.

කොළඹ නගරය වෙත අලියකු රැගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. ඊට අවසර පත් ලබාගත යුතු ය. එමෙන්ම කොළඹ නගරය තුළ අලියකු බැඳ තබා ගැනීමත්, අලි ඇතුන් සඳහා කෑම බීම සපයමින් නඩත්තු කිරීමත් පහසු කටයුත්තක් නොවේ. මෙවර කොළඹ නවම් මහා පෙරහර සඳහා අලි ඇතුන් හැත්තෑදෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය.

පෙරහර ඉතිහාසය තුළ අලි ඇතුන් 169 දෙනෙකු පමණ එක් වසරක සහභාගි කරවීමේ ගෞරවයද කොළඹ නවම් මහා පෙරහර හිමිකර ගෙන ඇත.

නර්තන කණ්ඩායම් සිය ගණනක් සම්බන්ධ කර ගනිමින් නර්තන ශිල්පීහු හත් දහසක් පමණ සහභාගි වන කොළඹ නවම් මහා පෙරහරෙහි කොඩි, සේසත් රැගෙන යන පිරිස තුන් දහසක් පමණ වේ.

නවම් මහා පෙරහර මෙම 14, 15 දෙදින තුල අත්‍යාලංකාරයෙන් සිදු කෙරෙන අතර පෙරහරෙහි මූලික ආගමික වතාවත් සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වීමට නියමිතය.

ගංගාරාම, පුණ්‍ය භූමියෙන් සිදු කෙරෙන සාමාජික, අධ්‍යාපනික, ආගමික මෙහෙවර මෙවන් ලිපියකින් කියා හෝ ලියා අවසන් කළ නොහැකි ය.

එම උදාර මෙහෙවර සිදු කරන ගංගාරාමාධිපති ආචාර්ය ගල්බඩ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත බොදු දනන්ගේ නොමඳ ගෞරවය නිරතුරුව හිමිවනු ඇත.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14 වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග 05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]