Print this Article


හදවත දුකෙන් වෙලා ගන්නා ශෝකයට පත්වීම යනු කුමක් ද?

හදවත දුකෙන් වෙලා ගන්නා ශෝකයට පත්වීම යනු කුමක් ද?

ආරම්භක් කෙළවරක් පැනවීමට නොහැකි, ඝෝර දුක් ඇති සසර ගමනකටයි අප මේ වැටී සිටින්නේ. සංසාරය යනු දුකක්ම ය. සසර ගමනට වැටුණු කෙනා ඉපදීමෙන්, වයසට යාමෙන්, ලෙඩදුකට පත්වීමෙන්, මරණයෙන්, කායික, මානසික දුක්ඛ දෝමනස්සයන්ගෙන් අනන්ත අප්‍රමාණ දුකකට පත්වෙනවා.

දෙවියන් බඹුන්, මරුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ කිසිවෙකුටත් නිදහස්වීමට නො හැකි වූ සසර දුකින් අත්මිදුණු අපගේ තථාගතයන් වහන්සේ ලෝ සතුන් පීඩාවට පත්කරවන ශෝකයට පත්වීම කුමක්දැ’යි වදාළා.

පින්වත් මහණෙනි, විවිධාකර විපත් අතර කවර හෝ විපතකින් පීඩා විඳින තැනැත්තෙකු හට විවිධාකාර විපත් අතර කවර හෝ ඉවසිය නොහැකි දුක් සහිත පීඩාවෙන් වේදනා විඳින කෙනෙකු හට, යම් ආකාරයක හදවත දුකින් වෙළා ගන්නා ශෝකයක් වේද, ශෝකයෙන් තැවීමක් වේද? හිත දවාලන ශෝකයක් වේද, හිත හාත්පස වෙලා දවාලන ශෝකයක් වේද පින්වත් මහණෙනි, මේ වනාහි ශෝකය යැයි කියනු ලබන්නේ ය.

ශෝකය නිසා මේ වන විටත් ඔබ කොතරම් දුක් විඳන්නට ඇති ද? පි‍්‍රය වූ මනාප වූ යමකින් වෙන් වන්නට සිදුවීම නිසා හෝ අපි‍්‍රය වූත් අමනාප වූත් යමකට මුහුණ දෙන්නට සිදුවීම නිසා හෝ ඒ ශෝකය විසින් ඔබේ සිතට විශාල දුකක් දැවීමක් ඇති කරන්නට ඇති. ඒ කටුක දුක් ඇති ශෝකයෙන් නිදහස් වන්නේ කෙසේ ද?

එය අප කැමති වූ පමණින් සිදුකර ගන්නට නො හැකිය. ‘පින්වත් මහණෙනි, ශෝකය උරුමකරගත් සත්ත්වයන් හට මෙබඳු දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය. ‘අහෝ අප වනාහි ශෝකයට පත්වීම උරුම කරගත්තෝ නො වන්නෙමු නම්, ඒකාන්තයෙන් ශෝකයට පත්වීම අප කරා නො පැමිණෙන්නේ නම් කො තරම් හොඳ ද? කියා ය. එහෙත් මහණෙනි, එය වනාහි කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නො හැක්කේම ය.

මීට වසර 2602 කට පමණ පෙර ජම්බුද්වීපයේ පහළ වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශෝක කරන ජනයා මැද ශෝකය දුරුකොට වාසය කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මනා කොට ඇසුරු කළ බොහෝ දෙනෙක් ද අරහත් බවට පත්ව ශෝකය දුරුකොට වාසය කළෝ ය. උන් වහන්සේ සියලු දුක් ශෝක දුරුකරන ශ්‍රී සද්ධර්මය විවර කොට වදාළ සේක. ඒ ශ්‍රී සද්ධර්මය තවමත් ජීවමානව බබලමින් ලෝකයේ පවතී. ඊට පෙර අප්‍රමාදීව ශ්‍රී සද්ධර්මය ඉගෙනගෙන ඒ දහමේ හැසිරෙන කෙනෙකුට දුක ශෝක දුරුකර ගත හැක්කේම ය.

දඹදිව් තලයේ පාටලීපුත්‍ර නම් කුඩා නගරයක් විය. එකල පාටලීපුත්‍රයේ ප්‍රාදේශීය රජු වූයේ මුණ්ඩ නම් රජු ය. මුණ්ඩ රජු තම අගබිසව වූ භද්‍රා දේවියට හදවතින්ම ආල වඩන්නේ ය. පි‍්‍රය ය. නමුත් අවාසනාවකට හදිසියේ ඇති වූ රෝගාබාධක් නිසා ඇය කළුරිය කළා ය.

විශාල ශෝකයකින් මුණ්ඩ රජතුමා වෙලී ගියේ ය. ඔහු දැන් ස්නානය කිරීමට හිත් පහළ නොවේ. හේ සුවඳ විළවුන් නො ගන්වයි. ආහාරපාන ද අනුභව නො කරයි. රාජ්‍ය පාලන කටයුතු පවා අඩාල විය. හැම තිස්සේම භද්‍රා දේවියගේ මෘත ශරීරය අසලට වී එහිම මුසපත් වී සුසුම් හෙළමින් කල් ගෙවීය.

මුණ්ඩ රජතුමා තම භාණ්ඩාගාරික අමාත්‍යවරයා වූ පියක ඇමැති අමතා ‘එසේ වී නම් පියකය, භද්‍රා දේවියගේ ශරීරය ලෝහමය තෙල් දෙනක බහා අන්‍ය වූ ලෝහ පියනකින් වසා දමව්. එසේ වූ කල්හි අප භද්‍රා දේවියගේ ශරීරය ඉතා බොහෝ කලක් දකින්නෙමු’. අමාත්‍යවරයා රජුගේ වචනයට අනුව සියල්ල කරවීය. පියක අමාත්‍යවරයා තුළ ඇතිවූයේ මහත් අනුකම්පාවකි.

‘මේ මුණ්ඩ රජුගේ පි‍්‍රය බිසව වූ භද්‍රා දේවිය කලුරිය කළා ය. හේ තමාහට පි‍්‍රය වූ භද්‍රා දේවිය කළුරිය කළ හේතුවෙන් ස්නානය නො කරයි. සුවඳ විලවුන් නො ගල්වයි. ආහාර අනුභව නො කරයි. කර්මාන්ත කටුයුතුවල නො යොදවයි. රෑ දවල් දෙකෙහි භද්‍රා දේවියගේ මෘත ශරීරය කෙරෙහි බෙහෙවින් මුසපත් සිතින් වසයි. මුණ්ඩ රජ තෙමේ යමෙකුගේ ධර්මය අසා ශෝක හුල් බැහැර කරයි නම් එබඳු වූ කවර නම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ඇසුරු කරන්නේ ද?’

එසමයෙහි පාටලීපුත්‍රයේ ම කුක්කුටාරාමයෙහි තථාගත ශ්‍රාවක වූ නාරද මහරහතන් වහන්සේ වැඩ විසූහ. ඒ ප්‍රදේශය පුරා නාරද තෙරුන්ගේ කල්‍යාණ රාවය පැතිර ගොස් තිබුණි. පියක අමාත්‍යවරයාට නාරද තෙරුන් ගැන සිහිපත් විය. හේ මුණ්ඩ රජු සමීපයට ගොස් මෙසේ පැවසීය.

‘දේවයන් වහන්ස, මේ ආයුෂ්මත් නාරද තෙරුණුවෝ පිළිබඳව උස් වූ කීර්ති රාවයක් පැන නැඟ තිබේ. මේ ස්ථවිර තෙමේ නුවණැත්තේ ය.ව්‍යක්ත ය. ප්‍රශස්ත බුද්ධි ඇත්තේ ය. බහුශ්‍රැත ය. විචිත්‍ර ධර්ම කථික ය. කල්‍යාණ ප්‍රතිභානයෙන් යුක්ත ය, අරහත්ය යනුවෙනි. අප මේ නාරද තෙරුන් ව ඇසුරු කළහොත් නම් ඔබ වහන්සේගේ ශෝක හුල බැහැර වී යනු ඒකාන්තම ය’.

මුණ්ඩ රජු නාරද තෙරුන්ව බැහැ දැක්කේ ය. රජු අරභයා නාරද තෙරුන් අපූරු ධර්ම කථාවක් සිදු කළේ ය.

‘මහරජතුමනි, දෙවියන්, බඹුන් , මරුන් සහිත මේ ලෝකයේ කිසිවෙකුටවත් කැමැති වූ පමණින් ලබාගත නො හැකි කරුණු පහක් තිබෙනවා. එනම්, (1) ජරාවට පත්වන දෙය ජරාවට පත් නො වේවා! (2) රෝගී බවට පත්වන දෙය රෝගී නොවේවා! (3 ) මැරෙන ස්වභාවයට අයත් දෙය නො මැරේවා (4) ගෙවීයන ස්වභාවයට අයත් දෙය ගෙවී නො යේව, (5) නැසී වැනසෙන ස්වභාවය ඇති දෙය වැනසී නො යේවා! යන කරුණුය.

නමුත් මහරජතුමනි, මේ කරුණු පහ කිසි ලෙසකින්වත් ලැබිය නො හැකි බව නොදත් අඥානයාහටද ජරාව, මරණය, ලෙඩවීම, නැසීයාම, ගෙවීයාම සිදුවේ. එකල්හී ඔහුට ඉතිරි වන්නේ ශෝක කිරීම, ක්ලාන්තවීම, හැඬීම, පපුවට ගසා ගනිමින් වැළපීම පමණ යි. මහරජතුමනි, මේකට කියන්නේ ‘ශෝක හුල ඇනීමෙන් පීඩාවට පත්වුණා’ කියල යි.

නමුත් රජතුමනි, මා පැතූ පමණින් මේ දේවල් මට ලැබීය නො හැකියි කියා අවබෝධයෙන් ම දන්නා නැණවතාටත් ජරාව, ලෙඩවීම, මරණය, ගෙවීයාම, නැසීයාම ආදියට මුහුණ දීමට සිදුවේ. ඔහුට ඒ තුළින්ම සිහිනුවණ උපදී.

‘මේ ස්වභාවයන් උරුම මට පමණක් නොවේ. උපන්නා වූ සියලු සතුන්හට මේ සියල්ල උරුමය. එනිසා ජරා, මරණ, ව්‍යාධි ඉදිරියේ හැඩීමෙන් වන්නේ මටද වෙහෙසකි. මාගේ සතුරෝද ඉන් සතුටු වෙති. වැඩ කටයුතු ද අඩාල වී යයි. මට ආහාර ද පිරියක් නැති වේ. කයද විරූපි වේ’.

ඒ නිසා නැණවතා තුළ කිසි කලෙක ශෝකය ක්ලාන්තය, හැඬීම, වැළපීම, මුලාව හට නො ගනී. හෙතෙමේ ශෝක හුල උදුරා දමයි. ආර්ය ශ්‍රාවක තෙමේ තම ජීවිතය පිරිනිවීමට පත් කරවයි’.

මේ අරුත්බර දෙසුමේ අවසන නාරද තෙරුන් මිහිරි ගාථාවන් සතරක් ද පැවසු සේක. එහි අරුත් මෙසේය.

1. ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන්, ස්වල්ප වූ හෝ යහපතක් නො ලැබේ. ශෝකි පුද්ගලයාව දකින සතුරෝ සන්තෝෂ වෙති.

2. යම් කලෙක නුවණින් අර්ථ විමසන ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නො වැටී සිටී. ඔහුගේ සතුරෝ නො වෙනස් වන ඔහු දැක දුකට පත් වෙති.

3. සද්පුරුෂයන්ගේ ඔවදනින් යම් තැනෙක යහපත ලැබේනම් ඒ අයුරින්ම කටයුතු කිරීමට වීර්ය කරයි.

4. ඉදින් මා විසිනුත් අන්‍යයන් විසිනුත් ඒ අර්ථය නො ලැබිය හැකි යයි දන්නේ නම් ශෝක නො කොට ඉවසිය යුත්තේ ‘ ය. කර්මය දැඩි වූ දෙයකි. දැන් ඉතින් කුමක් කරම්දැයි’

මුණ්ඩ රජු අතිශයින්ම සතුටට පත් විය. ශෝක හුල් බැහැර වී ගියේ ය. ‘ස්වාමිනි, මේ අසිරිමත් ධර්ම පරියායෙහි නම කුමක් ද? ‘මහරජතුමනි, මේ ‘ශෝක හුල් ඉදිරීම’ නම් වේ.

‘සාධු, සාධු ස්වාමිනි, මෙය නම් ඒකාන්තයෙන්ම ශෝක හුල් ඉදිරීමක්ම ය. මෙම ඇසූ මාගේ ශෝක හුල බැහැර වී ගියේ ය.

අනතුරුව ‘එසේනම් පියකය, භද්‍රා දේවියගේ මෘත ශරීරය දවව්. ඇයට ස්ථූපයක් කරවව්. අද පටන් අප ස්නානය කරන්නෙමු. සුවඳ විලවුන් දරන්නෙමු. ආහාර අනුභව කරන්නෙමු. රාජ්‍යය ද කරන්නෙමු’ රජතුමා කියා සිටියේ ය.

අපට ද සම්බුදු රජුන්ගේ ධර්මය කෙරෙහි සිත් පහදවාගෙන සියලු ශෝක හුල් දුරු කරන ශ්‍රී සද්ධර්මයෙහිම හැසිරී දුක් රහිත අමා මහ නිවන් සුව සලසා ගැනීමේ භාග්‍යය උදාවේවා!

නයනා නිල්මිණි