Print this Article


වයසෙන් බාල යැයි අවමන් නොකළ යුත්තෝ

වයසෙන් බාල යැයි අවමන් නොකළ යුත්තෝ

භුජංගමං පාවකං ච
ඛත්තියං ච යසස්සිනං
භීක්ඛුං ච සීල සම්පන්නං
සම්මදෙව සමාචරෙ

මේ ගාථාව ඇතුළත් ධර්ම දේශනාව අඩංගු වන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයේ පළමුවන ඛන්ධකයටයි. මෙය නම්කර ඇත්තේ දහර සුත්ත යනුවෙන්. දහර කියන්නෙ ළදරුවාට. එහෙයින් මේ සූත්‍රයෙන් දහර (ලාබාල) හෙවත් ළදරුවන් සිව්දෙනෙකු පිළිබඳ කරුණු සතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

මාතෘකා වශයෙන් මුලින් සඳහන් කරන ලද ගාථාව ඇතුළු ගාථා කිහිපයෙ අදහස මා පසුව දක්වන නිසා මේ සූත්‍රයේ නිදානය ආදී කොට ඇති මුලින් සඳහන් විස්තරය මා පළමුවෙන්ම ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩ සිටි දිනෙක කොසොල් මහරජතුමා උන්වහන්සේ දකින්නට ගියා. රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ සතුටු සාමිචි කථා කර අවසන් වී එකත් පසෙක හිඳගෙන බුදුන් වහන්සේට මෙසේ කියනවා. ‘ස්වාමීනි, ඔබ වහන්සේ සම්මා සම්බෝධිය හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළෙමියි කියා කියනවද?”

එවිට බුදුහාමුදුරුවො පිළිතුරු දෙමින්, “මහරජ , තමා හරියටම බුද්ධත්වය ලැබුවේ යැයි යමකු කියනවා නම් එසේ කිය හැක්කේ මා සඳහා පමණයි.මහරජ , මම ඒ අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි” යි වදාළා.

“ ස්වාමීනි , පැවිදි පිරිසක් සිටින, ගණාචරිය (පිරිසකට ප්‍රධාන,) ප්‍රසිද්ධ ,පතල යසස් ඇති, විවිධ ලබ්ධි අනුගමනය කරන, ඉතාම සිල්වත් , ගුණවත් පුද්ගලයන් වශයෙන් සාධු සම්මත වූ පූරණකස්සප, මක්ඛලිගෝසාල, නිගණ්ඨ නාථපුත්ත, සඤ්ජය බෙල්ලඨිපුත්ත, පකුධ කච්චායන, අජිතකේසකම්බල කියන අයගෙනුත් ඒ අය විසින් බුදුබව අවබෝධ කරන ලදදැයි මා ඇසුවාම උන්වහන්සේ ඒ බවක් නොකියති. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ උපතිනුත් ලා බාලයි. පැවිද්දෙනුත් ලාබාලයි “ කියා කොසොල් රජතුමා බුදුන් වහන්සේට පැවසුවා.

“ස්වාමීනි, මේ අන්‍ය තීර්ථක ශාස්තෘවරු වයසෙන් වැඩි නිසාත් එසේම පැවිදි වී බොහෝ කලක් ගතවූවෝ නිසාත් තමන් බුදුවරු යැයි නොකියත්ද? එහෙත් භවත් ගෞතමයන් වහන්සේ උපතිනුත් බාලයි. පැවිද්දෙනුත් නවකයි. ඒ නිසා තමන් බුදුවරයෙක් යැයි ප්‍රතිඥා දීම නුසුදුසුයි”

මේ අවස්ථාවේ බුදුහාමුදුරුවො රජතුමාට දේශනා කරනවා. “මහරජ මෙන්න මේ සතරදෙනාට වයසෙන් ලා බාලයි කියා නින්දා නොකරන්න. පරිභව නොකරන්න. කවුරුන්ද මේ සතර දෙනා?”

1. “ඛත්තියො ඛො මහාරාජ දහරොති න වුඤ්ඤාතබ්බො”

මහරජ, ක්ෂත්‍රියය හෙවත් රාජකුමාරයා ළදරුය කියා නින්දා නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි.

2. “උරගො ඛො මහාරාජ “

ආසිවිෂ සර්පයා ළදරුය කියා නින්දා නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි.

3. “අග්ගි ඛො මහාරාජ”

මහරජ , ගින්න ළදරුය (සුළුය) කියා නින්දා නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි.

4. “භික්ඛූ ඛො මහාරාජ”

මහරජ, භික්ෂුවට හෙවත් තමන් වහන්සේ ප්‍රධාන පැවිදි සිල්වතුන් වහන්සේට ළදරුයැයි අවඥා නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි.

සංයුක්ත නිකාය අට්ඨකතාව මේ ගැන මෙසේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙහි ‘භික්ඛු’ යැයි කීයේ තමන් වහන්සේද අයත් කොට පැවිදි සිල්වතුන් දැක්වීමටයි. ඒ අනුව මෙහි ‘භික්ෂු’ යන්නෙන් අදහස් කළේ සිල්වත් පැවිදි බුද්ධශ්‍රාවක පිරිසයි.

එසේම ලා බාල රාජ කුමාරයකු දුටුවාම ඔහු ගණන් නොගෙන, ඔහුට පාර අවහිර කරමින් හිස්වැස්ම ඉවත් නොකරමින් හුනස්නෙන් නොනැඟෙමින් ඇතු, අසු පිටෙන් නොබසිමින් පහත් කොට සිතීම් වශයෙන් වෙනත් මෙබඳුම අනාචාර කිරීම නුසුදුසු යැයිද වදාළා. එසේම ‘මේ රාජ කුමාරයා මහ කන් ඇත්තෙකි. මහ උදරයක් ඇත්තෙකි. සොර සතුරු උපද්‍රවයක් දුරුකරන්න මොහුට පුළුවන්ද? කිසියම් අවස්ථාවක රාජ්‍ය පාලනය කරන්න පුළුවන්ද?’ ආදි වශයෙන් කියමින් පරිභව කිරීම නුසුදුසුයි. එසේම අඳුන් ගාන කූරක් ප්‍රමාණ වූ හෝ නයි පැටවකු අල්වාගෙන ඌ කනේ තබා ගැනීමෙන් හෝ ඇඟිල්ල දෂ්ට කරවා ගැනීමාදී වශයෙන් හෝ ඌට නින්දා කරයිද, ‘අනේ මේ සර්පයා දියබරියකු වගේ, යන්තම්වත් සිරුර දෂ්ට කරන්නට හෝ සිරුරෙහි සුළු විෂක්වත් පතුරුවන්නට හෝ පුළුවන් එකෙක් නොවේ.’ ආදි වශයෙන් කියයිද එසේ සර්ප පැටවකුට පරිභව නොකළ යුතුය.

එසේම කණාමැදිරියකු පමණ කුඩා ගිනිපුපුරක් රැගෙන අතෙන් සෙල්ලම් කරමින්ද සැළියක දමමින්ද සයනයක් මත හෝ සළුවක හෝ පැසක් ආදි කිසිවක තබමින්ද ක්‍රීඩා කරමින් අවඥා කිරීම නොකළ යුතුයි. ‘අනේ මේ කුඩා ගිනිපුපුර හොඳයි කැඳ බත් ටිකක් උයාගන්න, මස් මාංශ ටිකක් උයාගන්න . සීතල වතුර උණූකරගන්න.’ ආදි වශයෙන් අවමානයෙන් කථා කිරීම ගින්නට කරන පරිභවයක්.

එසේ ළදරු සාමණේර භික්ෂු නමක දැක මාර්ගයෙන් බැහැර වී යෑමට ඉඩ නොදීමාදි වශයෙන්ද රාජ කුමාරයකු දැක අනුගමනය කළ අනාචාර ක්‍රියා කරමින්ද භික්ෂුනට නින්දා නොකළ යුතුයි. එසේම ‘මේ මහණගේ උදරය ලොකුයි. කන ලොකුයි. මොහුට බුදු බණ ඉගෙනීමට හෝ කිසියම් අරණකට ගොස් විසීම හෝ කළ නොහැකියි..මොහු ලොකු වුණාම කැමැති කැමැති දේ කරාවි.’ ආදි කථා කියමින් පරිභව කරන්නටත් හොඳ නැහැ.

මෙසේ රජතුමාට අවවාද දුන් බුදුන් වහන්සේ අනතුරුව මේ ගාථාවලින් ඉහත සඳහන් කළ කරුණුත් තවත් විශේෂ කරුණුත් මෙසේ දේශනා කළා. එම ගාථා දේශනා මෙහි ලිවීමෙන් ලිපිය දිගු වන නිසා ගාථා මෙහි සඳහන් නොකොට ඒවායේ අදහස පමණක් මෙතැන් සිට සඳහන් කරනවා. (විස්තර දැන ගැනීමට කැමැති යමකු වේ නම් මෙම දහර සූත්‍රය සහ එහි විස්තර ඇතුළත් සංයුත්ත නිකායේ අට්ඨ කථාවේ කෝසල සංයුත්ත මුල්ම සූත්‍රය කියවන්න. අටුවාවේ 101 සිට 106 තෙක් පිටු කියවන්න .)

1.ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදි උසස් ජාතියක, උසස් කුලයක උපන් යසස් ඇති ක්ෂත්‍රිය කුමාරයකුට ඔහු ලාබාලය කියා නින්දා නොකරන්න. පරිභව නොකරන්න. එසේම ඒ ශ්‍රේෂ්ඨ වූ ක්ෂත්‍රියයා රජ වූ විට තමාට පෙර නින්දා පරිභව කළ පුද්ගලයාට දඩුවම් කිරීමෙන් විපතක් කළ හැකියි. ඒ නිසා තමන්ගේ ජීවිතයට ආදරේ නම් ක්ෂත්‍රියයා ලාබාල යැයි කියා අවඥා නොකරන්න. ගැහැට නොකරන්න.

2.එසේම, යමකුට ගමේදී හෝ වනයෙහිදි හෝ වෙනත් තැනකදී හෝ කුඩා සර්පයකු දකින්නට ලැබුණහොත් ඌ සර්ප පැටවෙකු කියා නින්දා පරිභව නොකරන්න. තේජවන්ත ඒ සර්පයා නොයෙක් නොයෙක් ආකාර වර්ණවලින් වෙස්ගෙන හැසිරෙනවා. ඔහු කිසියම් අවස්ථාවක ,තමාට පරිභව කළ පුද්ගලයාට දෂ්ට කළ හැකියි.

3.ලැබෙන හැම දෙයක්ම දවනා ගිනිදැල්වලින් යුක්ත ගින්න ස්වල්ප යැයි කියා නින්දා නොකරන්න. ගණන් නොගෙන නොසිටින්න. ඒ ගින්නට බාහිර වශයෙන් දර තෘණාදිය ලැබුණොත් මහත්ව දැල්වී අවමන් කළ තැනැත්තාද පුලුස්සා දමාවි. එම නිසා ගින්න සුළු යැයි සලකා පහත් කොට නොසිතන්න.

4.එසේම ගින්න කිසියම් වනයක් ඩැහැ ගත්තොත් එනම් වනයෙහි පැතිරෙමින් රැයක් දවාලක් ඉක්ම ගිය පසු, පිලිස්සුණු ප්‍රදේශයේ ඉතිරි වු ගස් මුල් වලින් පසුව අතු රිකිලි හටගන්නවා. එහෙත් තම සිල් නමැති තේජසෙන් පසමිතුරන් (දුශ්ශීලයන්) පරදවන්නා වූ භික්‍ෂුවට අනාගතයට ගෙන යා හැකි කිසිවක් නැත.

මේ ආකාරයෙන් කල්පනා කරන නුවණැති පුද්ගලයා තමාගේ දියුණුව දකිමින් ක්ෂත්‍රියයත්, සර්පයාත්, ගින්නත්, භික්ෂුවත් යන සිවුදෙනා මනාව ඇසුරු කළ යුතුයි. විශේෂයෙන් මේ භික්ෂුව තමාගේ සුසිල්වත් පැවිදි පැවැත්මෙන් අන්‍ය වූ හැම දෙනාම හැම දෙයම තම ශීල තේජසෙන් පරාජය කිරීමට සමත්. නැවත නොවැඩෙන හෙවත් නැවත සසරට නොයන පුද්ගලයකු බවට උන්වහන්සේ පත්වනවා.

මෙසේ රාජ කුමාරාදින්ට අවඥා නොකර පරිභව නොකර තමාගේ අභිවෘද්ධිය පතන්නා කළ යුත්තේ ක්ෂත්‍රිය කුමාරයා සතුටට පත්වන පරිදි කටයුතු කිරීමයි. එසේ කිරීමෙන් ධන ධාන්‍ය වස්තුව ආදියත් ඔහුගෙන් ලබාගත හැකියි. අහිගුණ්ඨිකයා කළ යුත්තේ සර්පයාට නින්දා අපහාස වන ක්‍රියා නොව සර්පයා කෙරෙහි වන තේජස වටහාගෙන කටයුතු කිරීමයි.

එසේම ගිනි සමඟ සෙල්ලම් නොකොට භාණ්ඩ, සැළි ආදියෙහි ගිනි නොදමා අතින් නොඅල්වා කටයුතු කළ යුතුයි. ගොම,කොළ ආදිය එක්කොට ගිනි දල්වා කැඳ බත් ආදිය පිස ගැනීමයි කළ යුත්තේ. මෙසේ කිරීමෙනුයි යහපතක් වන්නේ. ඒ ආකාරයෙන්ම ඉගෙනීමට, පෙර නොඇසූ කරුණු දැන ගැනීමට බලාපොරොත්තු වන්නා කළ යුත්තේ වැඩි විශ්වාසය නිසා භික්ෂුව වෙදකමට, පණිවුඩ පනත් ගෙන යෑමාදියෙහි නොයොදවා උන්වහන්සේට සිවුපසයෙන් මනාව උපස්ථාන කිරීමයි. එසේ සිදු කරන විට ඒ ලාබාල භික්ෂුව වෙතින්, පෙර තමා නොඇසූ විරූ බුද්ධවචනද පෙර නොඇසූ විරූ ප්‍රශ්න විසැඳුම් ද දැනගැනීමට හැකිවෙනවා. මෙලොව පරලොව යහපත සැලසෙන කුසල ධර්ම නමැති සම්පත්ද සවැදෑරුම් ස්වර්ග සම්පත්ද නව වැදෑරුම් බ්‍රහ්ම ලෝක සම්පත්ද අමා මහ නිර්වාණ සම්පත් ද ලබාගන්නට හැකිවනවා.

මේ ආදි වශයෙන් කරුණු වටහාගෙන රාජ කුමාරයා, ගින්න, සර්පයා , හා කුඩා භික්ෂුව යන සිවුදෙනාට නින්දා අපහාස නොකොට ගෞරව සැලකිලි දැක්විය යුතුයි. ‘සම්මදෙව සමාචරෙ’ එනම් ‘මනාව හැසිරිය යුතුයි ‘ යනුවෙන් බුදුන් වහන්සේ වදාළ බව අටුවාව පෙන්වා දෙනවා.

මේ දහර සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ පසු එම දේශනාව පිළිබඳ අතිශයින් පැහැදුණු කොසොල් රජතුමා බුදුන් වහන්සේට කියනවා. “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ “ යනාදී වශයෙන්. “ස්වාමීනි ඉතා යහපති. ඉතා මනාපයි. ඉතා සුන්දරයි, ස්වාමීනි මම ඔබ වහන්සේගේ මේ දේශනා අසා අතිශයින්ම පැහැදුනෙමි “ කියා අනතුරුව පහත සඳහන් උපමා සතරෙන් තවදුරටත් බුදුපියාණන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිබඳ ප්‍රශංසාව පළ කළා.

“ ස්වාමීනි, මුනින් නවා තැබූ භාජනයක් උඩුකුරු කළා වගේ, වැසී තිබුණු දෙයක් විවර කළා වගේ, මංමුළාවූවකුට නියම මඟ කියාදෙන්නාක් මෙන් ඇස් ඇත්තො මේ රූපාදිය දකිත්වා’යි සිතා අන්ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේත්, ඔබවහන්සේගේ ශ්‍රී සද්ධර්මයත්, භික්ෂු සංඝයාත්, සරණ යමි. ස්වාමීනි අද පටන් දිවි තිබෙන තුරු තෙරුවන් සරණ ගිය උපාසකයකු කොට ඔබවහන්සේ මා පිළිගන්නා සේක්වා “

මෙම දහර සූත්‍රයට අනුව,ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද සිව්දෙනාට අවමන් කිරීමෙන් වළකින්නට අවශ්‍යයි. එසේ දේශනා කළේ ඒ අය ළදරු වුවත් වැඩිහිටි වුවත් ඔවුනට නොසලකා හැරීමෙන් තමනට සිදුවිය හැකි අවැඩවලින් ආරක්‍ෂා විය යුතුය යන කරුණත් මුල්කරගෙනයි. එහෙත් ඒ අය පමණක් නොව අපෙන් අපහාස විඳි තවත් බොහෝ දෙනා සමාජයේ ජීවත්වනවා. අසරණයන්, කායික මානසික දුර්වල අය සහ දුප්පත් අයද ඒ අතර සිටිනවා. යහපත් මනුෂ්‍යයන්, හොඳ බෞද්ධයන් වශයෙන් ඒ කිසිවකුට අවඥා නොකිරීමට ඉටා ගත යුතුයි.