Print this Article


අමාරසැති නිවන නම් වූ අස්වනු ලබා නිවී සැනහේවා

අමාරසැති නිවන නම් වූ අස්වනු ලබා නිවී සැනහේවා

කසී භාරද්වාජ බමුණාගේ මහා වප්මඟුල් දිනය උදාවිය. භෝජන සංග්‍රහ අවස්ථාවේ දී තථාගතයන් වහන්සේ වඩමවා සිටිනු දැක කසී, භාරද්වාජ බමුණා මෙසේ කීය. ශ්‍රමණය, මම නිකන් බලා හිඳ අනුභව නොකරමි. වගාකොට අනුභව කරමි. ගෞතමය ඔබත්, වගාකොට අනුභව කරව. එවිට භාග්‍යවතුන් වහන්සේ බමුණාට මෙසේ දේශනා කළ සේක. බමුණා, මමත්, සීසා වපුරා අනුභව කරමි. මමත් ගොවියෙක්මි. නිකන් බලා හිඳ අනුභව නොකරමි. මෙම ප්‍රකාශය අසා බමුණා විසින් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ, ප්‍රශ්න කළේ ය. පින්වත් ගෞතමයන් වහන්ස, ඔබවහන්සේ ගොවියෙකැයි ප්‍රකාශ කරයි. එහෙත් මම කිසිදාක ඔබ වහන්සේගේ කෘෂි උපකරණ නොදැක්කෙමි. නොදන්නෙමි. ඒ කෘෂි උපකරණ මොනවාද?

සද්ධා බීජං තපො වුට්ඨි පඤ්ඤා මෙ යුගනංගලං
හිරි ඊසා මනො යොත්තං සති මෙ ඵාලපාචනං

බමුණ මාගේ කෙතෙහි බීජය නම් ශ්‍රද්ධාවයි. එය වැඩීමට සීලය නම් වූ වර්ෂාවක් ඇත. මාගේ නඟුල හා විය ගස වනුයේ විදර්ශනා ප්‍රඥාවත් මාර්ග ප්‍රඥාවත්ය. බමුණ තවද මාගේ නඟිලිස නම් හිරි ඔත්තප්ප වේ. කසී භාරද්වාජය මම කිසිදිනෙක පාණාතිපාතාදීවූ ත්‍රිවිධ කාය දුශ්චරිතයන්හි නොයෙදුනෙමි. මුසාවාදී වූ චතුර්විධ වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වුනෙමි. මාහට අනන්ත අප්‍රමාණ වශයෙන් පිණ්ඩපාතාදී සිව්පසය ලැබුණා ද මම ඒවා මාගේ පමණ දැන අනුභව කරමි. මාගේ මේ කෙත විනාශ කරන්නා වූ කෙලෙස් නම් තණ කොළ සත්‍යය නම් වූ ආයුධයෙන් කපා දමා ආරක්‍ෂා කළෙමි. මාගේ යම් මිදීමක් වේද එය නම් අරිහත් ඵලයයි. එවන් වූ නිවනට වීර්ය හා ප්‍රඥාව නම් යුග නඟුල් තුළින් පමුණුවන්නේ ය. තවද බමුණ යමෙක් නිවනට ගොස් ශෝක නොකෙරේ ද ඒ දක්වාම නොනැවතී ගමන් කරයි. තථාගතයන් වහන්සේ යෙදෙන්නා වූ කෘෂිකර්මාන්තය නම් මෙසේ ය. යමෙක් මා මෙන් මේ කෘෂිකර්මාන්තයෙහි යෙදෙන්නේ වී නම් හෙතෙම මා ලැබූවාක් මෙන් නිර්වාණය නම් වූ සදාකාලික සැප ලබාදෙන අස්වැන්න ලබන්නේ ය.

ප්‍රඥාවන්ත කසීභාරද්වාජ බමුණා බුදුරදුන්ගේ දේශනාව අවබෝධ කොට ගෙන, තමුන්ගේ කිරි ආහාරය පැහැදුනු සිතින් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය.

පින්වත් ගෞතමයන් වහන්ස, සැබැවින්ම ඔබ වහන්සේ ගොවියෙකි. එබැවින් ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මෙම කිරි ආහාරය වළඳන සේක්වා. බමුණා බුදුවරුන් වනාහී ගාථා කියා වර්ණනාකොට ලබන ලද ආහාර වළඳන්නෝ නොවෙති. එබැවින් මෙම ආහාරය මම ප්‍රතික්‍ෂේප කරමි.

බමුණ යමෙකුට දනක් දී ඉහළම ආනිසංස ලැබෙන්නේ වී නම් ඒ තථාගතයන් වහන්සේට හෝ බුද්ධශ්‍රාවකයෙකුට පූජා කිරීමෙනි. එබැවින් පින් කැමැත්තවුන්ට පින් කෙතක් වන මාගේ ශ්‍රාවකයන්ට ආහාරපානාදියෙන් සංග්‍රහ කරව. එය වනාහී නිවන් මඟට ඇතුළුවීම වැනි ය.

ගෞතමයන් වහන්ස, දැන් මේ ආහාරයට කුමක් කළ යුතු ද? බමුණ මෙම ආහාරය විශ්වයේ සිටින කවරෙකුට දීමෙනුත් වඩා බුදුන්වහන්සේ නමක් හෝ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකට පිළිගැන්වී නම් එම ආහාරය මනාසේ ජීර්ණය වන්නේ ය. වෙන අයෙකුට මෙම ආහාරය එසේ ජීර්ණය නොවේ. එබැවින් මෙම කිරි ආහාරය සතුන් නොමැති ජලයට දමව.

බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව කසීභාරද්වාජ බමුණා විසින් එම ආහාරය සතුන් නොමැති ජලයට දැමීය. එවිට බුද්ධානුභාවයෙන් එම ආහාරය චිටි, චිටි යන ශබ්දය ඇතිව දුම් නගමින් පිපිරීය. මෙම සිදුවීම දුටු කසීභාරද්වාජ සංවේගයට පත් වීය.

සංවේගයටත්, සොම්නසටත්, පත් වූ භාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේට, නොයෙක්, අන්දමින් වර්ණනා කරන්නට වන මක්නිසාද, යත් මෝහාන්ධකාරයේ වෙළී සිටි තමන් ධර්මාලෝකයට යොමු කරලීම නිසාවෙනි. අවසානයේ දී පැවිදි වී උපසම්පදා ලබා බුදුන් වහන්සේ අනුදැන වදාළ කෘෂිකර්මාන්තයෙහි නම් ධර්මයේ නියැළී අවසාන අමා රසයෙන් පිරී ඉතිරී ගිය නිර්වාණය නම් වූ රන් අස්වනු ලැබීය. ඉන් අනතුරුව උන්වහන්සේ භාරද්වාජ මහ රහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධ වීය.

සැදැහැත්තෝ ප්‍රඥාවන්තව ශාසනය නමැති පුණ්‍යක්‍ෂේත්‍රයෙහි ශ්‍රද්ධා බීජ වගා කොට අමාරසැති නිවන නම් වූ අස්වනු ලබා නිවී සැනහේවා....